මීමුරේට තවලමක්
Posted on October 22nd, 2017

වරුණ චන්ද්‍රකීර්ති

තමන්ට, සතා සීපාවට, ගහ කොළට, ගොවිතැනට ඕනකරන වතුර හොයාගන්න ක්‍රමයක් අපේ ගම්වල මිනිස්සු දැනගෙන හිටියා. වැව් හැදුවේ, ඒ වැව් එකිනෙක යාවෙන විදිහට ඇල මාර්ග හදලා එල්ලංගාවල් හැදුවේ ඒ දැනුමෙන්. යටත්විජිත බලපෑම නිසාත් ගම්වල තිබුණු අධ්‍යාපනය බිඳවැටීම නිසාත් දැන් ඒ දැනුම අපෙන් ඈත්වෙලා. ඒ මදිවට දැන් අපි හැමෝ ම සල්ලි පස්සේ දුවන අය බවටත් පත්වෙලා. සල්ලි හොයන ක්‍රමයක් විදිහට දැන් අපේ බොහෝ අය තේරුම් ඇරගෙන ඉන්නේ ගම්වලින් පිටට ගිහිල්ලා කන්තෝරු රස්සාවක් හොයාගන්න එක. දැන් තියෙන අධ්‍යාපනය ලිපිකරුවන් හදන එකක් හින්දා ඊට වඩා දෙයක් කරන දැනුමක් අපිට ඇත්තෙත් නෑ. ඉතින් හැම දා ම හොඳින් මැදගත්ත ඇඳුමක් ඇඳගෙන, බත් මුලකුත් බැඳගෙන රස්සාවලට යන්න අපි පුරුදුවෙලා.

සල්ලි කියන්නේ නරක දෙයක් නෙවෙයි. සුදත්ත සිටුතුමා ජේතවනාරාමය හදලා බුදුරජාණන්වහන්සේට පූජාකරන්න සිව් පනස් කෝටියක් ධනය වියදම් කළා කියලා අපි අහලා, කියවලා තියෙනවා. අදටත් අපේ ගම්වල පන්සල් විහාර හදන්නේ දායක කාරකාදීන් කරන ධන පරිත්‍යාගවලින්. සිංහල අපේ ජාතික ආගමික පුනරුද කටයුතු වෙනුවෙන් වෙහෙසෙන අයත් බොහෝ වෙලාවට ඉවරයක් නැතුව ආඩපාලි කියන්නේ තමන් ගේ කටයුතු කරගෙන යන්න උවමනා කරන ධන සම්පත් නැතුව අතරමංවෙලා ඉන්න හින්දා. දැන් තියෙන ආර්ථික ක්‍රමය ඇතුළේ ම තමයි මේ හැම දෙයක් ම අපිට කරන්න වෙලා තියෙන්නේ. ඉතින් මිනිස්සුන් ගේ ධනයෙන් පන්සල් විහාර හදනවා වගේ ම තමයි ජාතියක් විදිහට කරන්න ඕන මහ වැඩවලට කරගහන්න පුළුවන්වෙන්නේත්. ඒ හින්දා මොන දේ කරන්නත් මිනිස්සුන් ගේ ආර්ථිකය ගොඩදාන්න ක්‍රමයක් හොයාගන්න ඕන කියන එක අපි හැමෝ ම තේරුම්ගන්න ඕන.

අපේ රට කාන්තාරයක් නෙවෙයි. රටේ දේශගුණයත් කර්කශ එකක් කියන්න බෑ. අව්වේ වැස්සේ වුනත් අඩුවක් නෑ. අවුරුදු දහයක් පහළොවක් වහින්නේ නැති රටවල් තියෙනවා. අපේ රට සුළි සුළං, භූමිකම්පාවලින් බැටකන්නෙත් නෑ. සුනාමිය වුනත් ආවේ අවුරුදු දාස් ගාණකට පස්සේ. භූමිය වුනත් සරුයි. කෝටුවක් කපලා හිටෙව්වාත් පැළවෙනවා. මේ ලේඛකයා දන්න එක්තරා විදේශිකයෙක් ලංකාවේ විශ්වවිද්‍යාලයක ඉගෙනගනිද්දි තමන් නැවැතිලා හිටිය ගේ පිටුපස්සේ රෙදිවැලක් බඳින්න කෝටු දෙකක් කපලා හිටවලා තියෙනවා. දවස් කීපයක් යද්දි ඔහු දැකලා තියෙන්නේ මහ පුදුමාකාර දර්ශනයක්. ඒ කෝටු දෙක පැළවෙලා! ඉතින් ඒ ගැන කියලා ඔහු තමන් ගේ අම්මාට ලියුමකුත් ලියලා යවලා තියෙනවා.

එහෙව් රටක ජීවත්වෙන අපි අද අසරණවෙලා. හැමෝ ම දන්නේ හතර වටේට බැන බැන ඉන්න විතරයි. මේකත් හිතාගන්න බැරි මහ පුදුමයක් තමයි. ඉතින් මේ රටට එන විදේශිකයෝ දැන් ලියුම් ලියන්න ඕන මේ පුදුමය ගැන කියන්නයි.

අපේ හැම ප්‍රශ්නයක් ම විසඳන්න ආණ්ඩුවට බෑ. අපේ හැම වැඩක් ම ආණ්ඩුවට පවරන්න ඕනත් නෑ. ගමේ අපි ආණ්ඩුවට බදු ගෙවලා ඒ සල්ලි නිලධාරි තන්ත්‍රයක් හරහා වියදම්කරවලා ගමේ වැඩ කරවාගන්න එක වටේ යන මහා විකාර වැඩක්. අපිට කරගන්න බැරි වැඩ ආණ්ඩුව ලව්වා කරවාගන්න එක හරි. ඒ වෙනුවෙන් නම් ඉතින් ආණ්ඩුවට බදු ගෙවන්නත් සිද්දවෙනවා. ඒත් හැම වැඩකට ම ආණ්ඩුව ගාවගන්නේ ඇයි?

මෙහෙම කිව්වාට වැව් හදනවා වගේ වැඩකරන්න දැන් අපිට හයියක් නෑ කියලා කාට හරි කියන්න පුළුවන්. ඉතින් ඒ ශක්තිය අපි ආණ්ඩුවෙන් බලාපොරොත්තු වෙනවා. ඒත් වැව, ඒ වටා තියෙන පරිසර පද්ධතිය, අපේ නිෂ්පාදන දැන් තියෙන ආර්ථික ක්‍රමයත් එක්ක යම් ආකාරයකින් හරි ගලප්පවාගන්න පුළුවන් නම් අපිට බැරිකමක් නෑ ගමේ වැඩකරන්න උවමනා ශක්තිය උපදවාගන්න.

මේ වැඩේට ඕනකරන්නේ සමස්තයක් විදිහට ගම, ගමේ මිනිස්සු, ගමේ සම්පත් දායක කරගන්න පුළුවන් ක්‍රමයක් සැලසුම් කරගන්න එක. පොත් පත් පාඩම්කරලා, විභාග පාස්කරපු අයටත් පුළුවන් මේ දේවල් සැලසුම් කරගන්න උදව්කරන්න. ඒ අය ඉංග්‍රීසිත් දන්නවා. සුද්දා ගේ භාෂාවෙන් සිනර්ජි කියන්නේ පද්ධතියක කොටස් එකට එකතුවුනා ම සිද්දවෙන දේට. පද්ධතියේ එක එක කොටස් වෙන වෙන ම තියෙද්දී ලබාදෙන දේට වැඩි දෙයක් සමස්තයක් විදිහට ඒවා එකතුකළා ම ඒවාට ලබාදෙන්න පුළුවන්. ඊ ළඟට, සුද්දා ගේ භාෂාවෙන් සිම්බයොසිස් කියලා කියන්නේ එකිනෙකා මත රැ‍ඳෙමින්, එකිනෙකාට සහායවෙමින් ජීවත්වෙන වැඩේට. සුද්දෝ තව පදයක් හදලා තියෙනවා ඉන්ඩස්ට්‍රියල් එකොලොජි කියලා. ඒ පදයේ තේරුම තමයි පාරිසරික පද්ධතියක් වගේ සමස්තයක් හැදෙන විදිහට කර්මාන්ත සැලසුම් කරන එක. එතකොට කර්මාන්ත පවතින්නේ දාමයක් විදිහට. ඒ වගේ දාමයක් ඇතුළේ එක කර්මාන්තයක අපද්‍රව්‍ය” තවත් කර්මාන්තයකට මූල ද්‍රව්‍යයක් වෙන්න පුළුවන්.

මෙහෙම ක්‍රමයක් තමයි ඉස්සර අපේ ගම්වල තිබුණේ. කමක් නෑ. දැන් අපි ඒකත් සුද්දගෙන් ම ඉගෙනගනිමු. කාගෙන් ඉගෙනගත්තත් කමක් නෑ වැඩේ කෙරෙනවා නම්. ඉතින් ගම්වල ප්‍රජා සංවර්ධන කටයුතු අපිට සැලසුම් කරගන්න පුළුවන් මේ සිනර්ජි, සිම්බයොසිස්, ඉන්ඩස්ට්‍රියල් එකොලොජි කියන මූලධර්ම තුන උඩ පදනම්වෙලා. ඒ වගේ ම ප්‍රොඩක්ට් – සර්විස් සිස්ටම් කියලා තවත් සංකල්පයක් තියෙනවා. ඒකට ගමේ නිපදවන දේවල් – ඒ කියන්නේ භාණ්ඩ හා සේවා; ඇතුළත්. ඒ වගේ ම, ඒ වැඩවලට දායක වෙන පිරිස් ඇතුළත්. ඒ වැඩවලට උවමනා කරන යටිතල පහසුකම් ඇතුළත්. සම්පත්, ශිල්ප ශාස්ත්‍ර, මූල්‍ය පහසුකම්, වෙ‍ළෙඳ ක්‍රම වගේ දේවලුත් ඇතුළත්. ඉතින් සමස්තයක් විදිහට සළකලා ගමක ප්‍රජා සංවර්ධන වැඩක් සැලසුම්කරනවා නම් මේ හැම දෙයක් ගැන ම හිතන්න ඕන. ඒ වගේ ම, ගමේ සංස්කෘතිය, අනන්‍යතාව ගැනත් හිතන්න ඕන. මිනිස්සු පිළිගන්නේ නැති දෙයක් ගමකට බලෙන් පටවන්න බෑ.

ගම්වල ප්‍රජා සංවර්ධන වැඩවලට දායකවෙන පිරිස්වල නම් අඩුවක් නෑ. ආණ්ඩුවේ දෙපාර්තමේන්තු, විවිධ සංවිධාන විතරක් නෙවෙයි රාජ්‍ය නොවන සංවිධාන කියලා හඳුන්වාගන්න අයත් මේ වැඩවලට සම්බන්ධවෙනවා. ඒත් එකෙක් කරන වැඩේ අනිත් එකා දන්නේ නෑ. මේ හැම සංවිධානයකට ම අයිති නෝනලා මහත්තුරු ඉවරයක් නැති ව දේශනාත් පවත්වනවා. ඒ දේශනා අහගෙන හිටියාට පස්සේ යමක් ලැබෙයි කියන බලාපොරොත්තුවෙන් මිනිස්සු ඒවාට ගිහිල්ලා නිදි කිර කිරා ඉන්නවා. බො‍හෝ වෙලාවට ඒ බලාපොරොත්තු කඩවෙන්නෙත් නෑ.

ඉතින් සමහර පවුල්වලට මහණ මැෂිම් ලැබිලා. තවත් සමහර පවුල්වලට ගඩොල් කපන යන්ත්‍ර ලැබිලා. ඉවරයක් නෑ! ඊට පස්සේ හැමෝ ම ඒ විදිහට ලැබිච්ච දේවල් ගෙවල්වල ගිහිල්ලා තියාගන්නවා. හුඟක් අය මහණ මැෂිම් තියාගන්නේ දුවලා දීග යන වෙලාවට දෙන්න. අනිත් ලැබිච්ච දේවල් නම් එක එක තැන්වල දාලා තියලා දිරලා යනවා. සමහර වෙලාවට පොඩි එවුන් ඒවා සෙල්ලමට ගන්නවා. ඒවා ගේ කෑලි බෑලි වෙන වැඩවලට ගන්න සිද්දවෙන වෙලාවලුත් තියෙනවා.

ඇයි මේ විදිහට කණාපල්ලම් ගහන්නේ? මෙහෙම නැතුව මෙයට පෙර ලිපියෙන් කියපු විදිහට මේ හැම දෙයක් ම ගමේ හදාගන්න සභාවක් මුල් කරගෙන සැලසුම් කරගන්න බැරි ද? ඒ සැලසුම් කිරිල්ලට මේ ලිපියෙන් කියපු සිනර්ජි, සිම්බයොසිස්, ඉන්ඩස්ට්‍රියල් එකොලොජි, ප්‍රොඩක්ට් – සර්විස් සිස්ටම් කියන කරුණුත් සම්බන්ධ කරගන්නත් පුළුවන්. මේ කාරණා ගැන මේ ලේඛකයා ඉගෙනගත්තේ ඕස්ට්‍රියාවේ වියනා විශ්වවිද්‍යාලයත් ඕස්ට්‍රේලියාවේ දකුණු ඕස්ට්‍රේලියා විශ්වවිද්‍යාලයත් චීනයේ රන්මින් විශ්වවිද්‍යාලය එක්ක එකතුවෙලා කරපු පර්යේෂණයකට අදාළ ලිපි ලේඛනවලින්. චීනයේ යුන්-නාන් සහ ච-චියං කියන පළාත්වල තමයි මේ පර්යේෂණ කටයුත්ත කරලා තිබුණේ.

මේ ක්‍රමය අනුගමනය කරලා අපිට අපේ එක ගමක් හරි හදාගන්න බැරිකමක් නෑ. ඉතින් මේ ගැන හිතන බොහෝ වෙලාවට මේ ලේඛකයා ගේ මතකයට එන තැනක් තමයි අපේ මීමුරේ ගම්මානය. මීමුරේ ගම යම් පමණකට හරි රැකිලා තිබුණේ ඒ ගමට යන එක පිටස්තර අයට පහසු කටයුත්තක් නොවිච්ච හින්දා. ඉස්සර නම් හුන්නස්ගිරියේ ඉඳලා ලූල්වත්තට ගිහිල්ලා එතැන ඉඳලා කිලෝ මීටර් දාහතරක් විතර පයින් ගියා ම තමයි මීමුරේට යන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ කාලේ මීමුරේට බඩු ගෙනිච්චේ තවලම්වලින්. ඒ ගමෙයි අවට ප්‍රදේශයේයි අසිරිය විඳින්න ගිය අයත් හිටියා.

ඒත් මෑතක ඉඳලා මීමුරේ පිටස්තර බිස්නස්කාරයන් ගේ ගොදුරක් බවට පත්වෙලා. ඇඩ්වෙන්චර් කෑම්ප් හදන කොළඹ සමාගම් ඒ වැඩෙන් යමක් ගරාගෙන ගමේ මිනිස්සුන්ට මොනවා හරි රොඩු බොඩු ටිකක් විසිකරනවා. ඊට වඩා නරක ද ඒ ගමේ කෙරෙන මේ සංචාරක කටයුතුවලට උවමනා කරන භාණ්ඩ හා සේවා සපයන වැඩේ මීමුරේ මිනිස්සු ම එකතුවෙලා හදාගත්ත සමාගමකට පවරගන්න එක? හුන්නස්ගිරියේ ඉඳලා වෑන් එකක ගාල් කරගෙන මීමුරේට මිනිස්සු ගෙනියන්නේ නැතුව ලූල්වත්තේ ඉඳලා පරණ විදිහට ම ඒ ගමන යන්න සලස්වලා දෙන්න බැරි ද? වාහනේකින් මීමුරේට යන එකේ තියෙන ඇඩ්වෙන්චර් එක මොකක් ද? දැන් මේ වාහන සෙල්ලම හින්දා මීමුරේට යන මිනිස්සු තමන්ට උවමනා කරන බඩු මුට්ටු ගන්නෙත් හුන්නස්ගිරියෙන්. ඊ ළඟට යන පිරිසේ සීමාවකුත් නෑ. ඒ විදිහට චාරයක් නැතුව ගමට යන පිරිස් හින්දා සිද්දවෙන විනාශයත් සුළුපටු නෑ.

ඉතින් මීමුරේ ගම ආපහු ඒ ගමේ මිනිස්සුන්ට ම භාරදෙන්න ඕන කාලේ ඇවිල්ලා. තමන් ගේ අනන්‍යතාවත්, සංස්කෘතියත්, පරිසරයත් රැකගෙන යමක් හම්බ කරගන්න විදිහ මීමුරේ ගමේ මිනිස්සුන්ට කියලා දුන්නා ම හොඳට ම ඇති.

වරුණ චන්ද්‍රකීර්ති ෴

One Response to “මීමුරේට තවලමක්”

  1. Dharmasiri Weerasinghe Says:

    අපි මෙහිදී බැලිය යුත්තේ අපේ බොහෝ අය ගම්වලින් පිටට ගොස් කන්තෝරු රස්සාවක් හොයාගන්නේ මොකද කියයි. අපේ රට කෘෂිකාර්මික රටක් උනත් 1948යේ නිදහස ලැබුනායින් පසු කෘෂිකාර්මය ඈලියාවට යන්නට ඇරපු නිසායි බොහෝ අය ගම්වලින් පිටට ගිහිල්ලා කන්තෝරු රස්සාවක් හොයාගන්න පටන් ගත්තේ. ගොවීන්ට ජීවත් වෙන්න සිදු උනේ සමාජයේ ඉතාම පහල තත්වයකටයි. මෙතන තිබුන ප්‍රධානම ප්‍රශ්නය නම් බෝග වර්ගවලට යහපත් ගෙවීමක් ගොවියාට නොලැබී අතරමැදි මුදලාලිට ලාබලැබීමට හැකි ව්‍යපාරික ක්‍රමයක් ප්‍රතිෂ්ඨාපිත වීමයි.

    මාගේ මව් මීරිගම ප්‍රදේශයේ ගම්බද පාසැලක ගුරුවරියක් වශයෙන් සේවයකර ඇතිනිසා මාගේ ළමාකාලය ග්‍රාම ප්‍රජාව හා ඉතා සමීපව ගතකිරීමෙන් ලත් අත්දැකීම මත මට කියහැක්කේ එදා පටන්ම හැමවිටම ගම්බද ගොවියා තැත් කලේ අනාගතය පරම්පරාව ගොවියාට දායදවූ දිලිදුකමින් බේරීමට කන්තෝරු රස්සාවක් හෝ අඩුම වශයෙන් ගුරු පත්වීමක් හෝ ලබාගැනීමයි.

    වරුණ චන්ද්‍රකීර්ති විශ්ව විද්යාලවල ඉගෙනගත්දේ න්‍යායයික සිද්ධාන්තමයක් පමනි.

    වරුණ චන්ද්‍රකීර්ති කියන ක්‍රමය සෝවියට් රුසියාවේ 1917 සිට සමූහ ගොවිපලවල් වශයෙන්ද (කල්හොස්) රජ්ය්‍ය සංස්ථාපිත ගොවිපලවල් (සව්හොස්) වශයෙන්ද අත්හදා බලා ඇතිඅතර එය රටක දියුනුවකට අදාල නොවන බව සක්සුදක් සේ පසුගිය වසර තිහ තුලදී රුසියාවේ ඇතිඋන සමාජ පෙරලියෙන් මනාව පෙන්වාදී ඇත.

    එම නිසා අපට අවශ්‍යවන්නේ ගොවියා විසින් නිපදවන ලද බෝග වර්ගවලට යහපත් ගෙවීමේ ක්‍රමයක් හා ගම්බද කෘෂිකර්මාන්තය යාන්ත්‍රිකකරණය කිරීමට අවශ්‍ය සුදුසු ප්‍රස්තාව සම්පාදනය කිරීමයි.

    මෙය රජය විසින් කලයුතු යුතුකමකි

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2017 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress