මුදුන්කඩවල සියතට ම ගෙන මලින් හැඩ කළ ඕ
Posted on October 23rd, 2017

ප්‍රසන්න සිල්වා – දිඹුලාගල උපුටා ගැන්ම දිවයින

කොළඹ ප්‍රධාන පෙළේ පාසලක දරුවෝ පිරිසක්‌ පසුගිය සතියේ රතිඤ්ඤා පුපුරවමින් පාසල ඉදිරිපිට දී ම මහත් කලබලයක්‌ ඇති කළහ. දරුවන්ට රතිඤ්ඤා ද ගෙනැවිත් දෙමින් මෙම විරෝධතාවට ඔවුන් පෙළඹවූවෝ එම පාසලේ ගුරුවරු පිරිසකි . වසර ගණනක්‌ එම පාසලේ මුල් බැස සිටි ගුරුවරු පිරිසකි. මේ ඇතැම් ගුරුවරුන් එම පාසලේ ගත කර ඇති කාලය විසි වසරකට අධික ය. තවත් අය වසර පහළව ද ඉක්‌මවා සිටිති. පාසල පවතින්නේ දරුවන්ට විනා තමන්ට නොවන බව ඔවුහු නොදන්නේ නොවේ. එහෙත් තමන්ගේ වාසිය වෙනුවෙන් කිසිත් නොදන්නා සෙයියාවෙන් හැසිරෙති. එසේ හැසිරීම පිටුපස ඇත්තේ අතිශය පෞද්ගලික අරමුණු විනා අන් කවරක්‌ හෝ නොවේ. ඔවුන්ගේ අවශ්‍යතාව වූයේ තවදුරටත් එම පාසලේ ම කටයුතු කිරීම ය. වසර විසි ගණනකටත් අධික කාලයක්‌ එකම පාසලේ රැඳී සිටීමෙන් පසුව තවදුරටත් එම පාසලේ ම රැඳීම සඳහා උත්සාහ කිරීම කෙතරම් ආත්මාර්ථකාමී ස්‌වභාවයක්‌ පෙන්වන්නේ ද. කෙසේ වුව ද ඒ සියලූ ම ගුරුවරුන්ට වෙනත් පාසල් කරා යැමට සිදු විය.

guru1

මේ දිග හැරෙන්නේ පාසල්වල අරක්‌ ගැනීම හෝ ජනප්‍රිය පාසල් හඹා යැම වෙනුවට අහිංසක දරුවන් වෙනුවෙන් කැපවීමේ ප්‍රතිඵලය මතින් ලොවක්‌ දිනූ පදගතාර්ථයෙන් ම සැබෑ ගුරු මවක්‌ පිළිබඳ ව ය.

guru2 සිප් සතර රුපියල් සතවලට අලවි වන යුගයක ඊට පිටුපා උඩුගං බලා පිහිනන ගුරුවරු අදටත් අධ්‍යාපන පද්ධතිය තුළ සිටිති. තම මුළු සේවා කාලයම දුෂ්කර ප්‍රදේශවල අහිංසක දරුපැටවුන් වෙනුවෙන් කැප කරන ගුරු දෙවිවරු විශාල පිරිසක්‌ද මේ අතර වෙති. දිඹුලාගල අධ්‍යාපන කලාපයේ අතිදුෂ්කර සහ දුෂ්කර පාසල්වලට එන කෙනෙකුට සැබෑ ගුරු දෙවිවරු හඳුනාගත හැකිය. ඔවුහු ටියුෂන් මුදලාලිලා නොවෙති. දැයේ දරුවන් තමන්ගේම දරුවන් යෑයි සේවයේ යෙදී සිටින උදවිය වෙති. දරුවන්ගේ බඩගින්න, දුක, වේදනාව ඔවුන් හොදහැටි හඳුනාගෙන සිටිති. පුහු ආටෝප ඔවුන් තුළ නැත. ජනප්‍රිය වීමේ මේනියාවක්‌ ද නැත. ඒ බව පසුගිය දා නිකුත් වූ ශිෂ්‍යත්ව ප්‍රතිඵල විමසීමේදී මනාව පැහැදිලි වෙයි. මෙම ප්‍රතිඵල දරුවන්ට ළගාකර දීමට කැපවූ ගුරුභවතුන් බොහෝමයකි. ඒ අතර එම්. ෂෙනාලි රසංගිකා නම් වූ මෙම ගුරුතුමිය එක්‌ සුවිශේෂ චරිතයකි. ඇය දිඹුලාගල දුෂ්කර පාසල්වලින් සිප්සතර හදාරා තම වෘත්තීය ජීවිතයේ පළමු ශිෂ්‍යත්ව ප්‍රතිඵලය ද අති දුෂ්කර පාසලකටම හිමිකර දුන්නාය. ඇගේ කථාව දුෂ්කර සේවයේ යෙදී සිටින සෑම ගුරු දෙවි කෙනෙකුටම උපහාරයක්‌ ලෙස ඇයගේ වචනයෙන්ම මෙසේ සටහන් කරන්නෙමි.

-මම ඉගෙන ගත්තේ දිඹුලාගල අතිදුෂ්කර පාසල්වලින්. ඉතිං ඒ නිසා පුංචි කාලෙම මමත් තීරණය කළා ගුරු වෘත්තියට ඇතුළත් වෙන්න. මම ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ දිඹුලාගල අතිදුෂ්කර පාසලක්‌ වන සදගලතැන්න ප්‍රාථමික විදුහලෙන්. ඊට පස්‌සේ මම උසස්‌පෙළ දක්‌වා ඉගෙන ගත්තේ නිකවත්තලන්ද මහා විද්‍යාලයෙන්. උපන්දා ඉඳන් මහවැලි කලාපවල දරුවෝ විදිහට ඉගෙන ගන්න අපි ගොඩාක්‌ දුක්‌ වින්දා. නගරයේ පාසලකට අපිව ඇතුළත් කරලා උගන්වන්න අපේ දෙමව්පියන්ට ඉහළ ආර්ථික ශක්‌තියක්‌ තිබුණේ නැහැ. නමුත් ගුණධර්මවලින් මගේ දෙමව්පියෝ හරිම පොහොසත්. පිට පළාත් වලින් දුෂ්කර සේවය පැමිණි ගුරුවරු දෙවිවරු වගේ අපිට උගැන්නුවා. ඒ ආභාෂය ගත්ත මමත් කවදා හරි ගුරුවරියක්‌ වීමට දැඩි අධිෂ්ඨානයෙන් වැඩ කළා. මම විශ්ව විද්‍යාලයට ඇතුළත්වෙන්න සුදුසුකම් ලැබුවත් ඉක්‌මනින් ගුරු වෘත්තියට ඇතුළු වීමේ අදහස තිබුණු නිසා විද්‍යාපීඨයට ඇතුළත් වුණා. පුලතිසිපුර ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයෙන් අවුරුදු තුනක පාඨමාලාව සාර්ථකව හදාරා මම ගුරුවරියක්‌ ලෙස 2015 වර්ෂයේ මුලින්ම පත්වීම ලබා ගත්තේ දිඹුලාගල මුදුන්කඩවල ප්‍රාථමික විදුහලට.

මේ පාසල අතිදුෂ්කර පාසලක්‌. දරුවන්ගේ දෙමව්පියෝ වැඩි දෙනෙක්‌ ඉතා දුප්පත් අයයි. මේ මිනිසුන්ට දරුවෝ ටියුෂන් යවන්න සල්ලි නැහැ. ඔවුන්ගේ එකම බලාපොරොත්තුව දරුවන්ට හොඳට උගන්වන එක. විදුහල්පතිතුමාගේ හිතවතුන් අවුරුද්දට වතාවක්‌ දෙකක්‌ මේ දරුවන්ට අධ්‍යාපන උපකරණ ලබා දෙනවා. එය මේ දෙමවුපියන්ට ලොකු සහනයක්‌. මේ ඉස්‌කෝලෙට මම එනකොට විදුහල්පතිතුමා ඇතුළු ගුරුමණ්‌ඩලයත් දෙමව්පියොත් ඉතා ආදරයෙන් මාව පිළිගත්තා.මට ඉස්‌කෝලේ ඉතාම ප්‍රිය මනාප තැනක්‌ වුණා. මම එනකොට තුන්වන ශ්‍රේණියේ දරුවන්ට ගුරුවරයෙක්‌ නැහැ. මම ඒ පන්තිය භාර ගත්තා. ඒ පන්තියේ දරුවෝ 11 දෙනෙක්‌ හිටියා. ඉන් පස්‌ දෙනකුට අකුරක්‌ ලියන්න බැහැ. මම මාස තුනක්‌ ඇතුළත සියලුම දරුවන්ට හොඳට ලියන්න කියවන්න පුළුවන් මට්‌ටමට ගෙනාවා. ඊට පස්‌සේ මට පුළුවන් වුණා විෂය නිර්දේශයට අනුව හැම දරුවෙක්‌ එක්‌කම වැඩ කරගෙන යන්න. මෙහිදී විදුහල්පතිතුමා සහා ආචාර්ය මණ්‌ඩලයෙන් වගේම දෙමව්පියන්ගෙන් ලොකු සහයෝගයක්‌ ලැබුණා.

මම ඉස්‌කෝලෙට එන්නේ කිලෝමීටර් 20 ක දුරක්‌ ගෙවාගෙන. උදේ පාන්දර පහට ගෙදරින් එනකොට සමහර දවස්‌වලට පාරේ අලි ඉන්නවා. නමුත් මට කවදාවත් ඒ සතෙකුගෙන් හානියක්‌ වුණේ නැහැ. අපේ ගම්වල කීප දෙනෙක්‌ වන අලි ප්‍රහාරවලින් මිය යනකොට මටත් හිතට බයක්‌ දැනුණා. එහෙම දවස්‌වලට මම තනියට තාත්තා එක්‌ක එනවා. කොහොමහරි උදේ හයයි තිහ වෙනෙකොට ඉස්‌කෝලෙට ඇවිත් දරුවන්ට පන්ති කරනවා. ඉස්‌කෝලෙට මම එන පාරේ වැව් දෙකක පිටවාන් තිබෙනවා. වර්ෂා කාලයේ සමහර දවස්‌වලට ඒ පිටවාන්වලින් යනකොට හොඳටම තෙමෙනවා. නමුත් මම හැමදාම ඉස්‌කෝලේ ආවා. එක දවසක්‌ හරි අත්‍යවශ්‍ය දෙයකට නිවාඩුවක්‌ ගත්තොත් මම ඒකට පැවරුමක්‌ දෙනවා. අවුරුදු දෙකහමාරක්‌ මම මේ දරුවන්ට උගැන්නුවා සතියේ දවස්‌ හයක්‌ අමතර පන්ති කළා.

.මේ දරුවො දෙමව්පියන්ට, ගුරුවරුන්ට හරිම කීකරුයි. අපේ අම්මා තාත්තා මගේ මේ සේවාවට යෝධ ශක්‌තියක්‌ වුණා. හැම දෙනාගේම සහයෝගයෙන් දරුවන්ට අවුරුදු දෙකහමාරක්‌ දිවා රෑ වෙහෙස වෙලා උගැන්නුවා. හැබැයි මම එක රුපියලක්‌ අය කරලා නැහැ. ඒ නිසා මට අද ගොඩාක්‌ සතුටුයි. අපේ ළමයි එකොළොස්‌ දෙනාගෙන් ලකුණු 175 ක්‌ සහ 169 අරගෙන හසිතා පියුමාලි සහ දිනුක දිල්ශාන් යන දරුවො දෙන්නා සමත් වුණා. ලකුණු 70 වඩා අඩුව ඉන්නේ එක දරුවෙක්‌ පමණයි. ඒ දරුවටත් ද්විතියික අධ්‍යාපනය හොඳින් කරන්න පුළුවන් මට්‌ටමට ඇවිත් ඉන්නවා.මේ එක දරුවෙක්‌වත් ටියුෂන් ගිහිං නැහැ. ඒ නිසා අද අපි ගොඩාක්‌ සතුටු වෙනවා.

ශිෂ්‍යත්ව ප්‍රතිඵල පැමිණි දිනට පසු දින එනම් ලෝක ගුරු දිනයේ උදෑසනම අපේ පාසලට පැමිණි දිඹුලාගල කලාප අධ්‍යාපන අධ්‍යක්‌ෂිකා එච්.එච්.වී.එම් සංජීවනී මහත්මිය, සංවර්ධන අධ්‍යක්‌ෂ නිමල් බණ්‌ඩාර මහතා ඇතුළු කණ්‌ඩායමක්‌ ගුරුභවතුන් හා දරුවන් අගය කළා. එය අපිට ලොකු ශක්‌තියක්‌. මමත් දිඹුලාගල අතිදුෂ්කර පාසල්වල බොහෝ ආර්ථික අපහසුතා මැද ඉගෙනගත්ත කෙනෙක්‌. ඒ නිසා දරුවන්ට උගන්වන්න දෙමව්පියො විඳින දුක මම දන්නවා. කළුගල් තලලා, කුලියට කුඹුරු වැඩ කරලා, කම්කරු වැඩක්‌ කරලා දරුවා අතේ ගුලිකරලා එවන එවන සල්ලි කොලේ දාඩිය සුවඳ තියෙනවා. වකුගඩු රෝගයෙන්, වනඅලි කරදරයෙන්. නියඟයෙන් පීඩා විදින මිනිසුන්ගේ දරුවන්ට අමතර උගන්වලා මට කවදාවත් සල්ලි ගන්න බැහැ. දිඹුලාගල අධ්‍යාපන කලාපයේ දුෂ්කර සහ අතිදුෂ්කර පාසල් බොහෝමයක පාසල්වල ගුරුවරු මම වගේ තමයි. අපේ ප්‍රතිඵල දැකල දරුවො සමත් වූ දෙමව්පියෝ වගේම සමත් නොවූ හැම මව්පිය කෙනෙක්‌ම සතුටු කදුළු හෙළුවා. මගේ පන්තියේ හැම දරුවෙකුටම හැම දෙමව්පියකෙනෙක්‌ම හ§ම ආදරෙයි. පූර්ණ කාලීනව මම දුෂ්කර පාසල්වල දරවන්ට උගන්වන්න බලාපොරොත්තු වෙනවා. ඇය සතුටු කදුළු අතරින් පැවසුවාය.

පත්වීම ගත් දා සිට පහසුකම් තිබෙන පාසල් සොයා යන ගුරුවරු අපි දැක ඇත්තෙමු. පාසල් වෙලාවේ පන්ති කාමරයේ උගන්වන්න බැරි ගුරුවරු ටියුෂන් පන්තියේ අපූරුවට උගන්වන අයුරු අපි දැක ඇත්තෙමු .එවන් සමාජයක ෂෙනාලි රසංගිකා වැනි දිඹුලාගල දුෂ්කර සේවයේ යෙදෙන ගුරුවරු දැයේ දරුවන්ගේ සැබෑ ජීවමාන දෙවිවරු ම ය.

* ප්‍රසන්න සිල්වා – දිඹුලාගල

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress