කිතුලට නො නැඟි ගැහැණිය!
Posted on October 29th, 2017

වරුණ චන්ද්‍රකීර්ති

මතක විදිහට ඒ 2010 අවුරුද්දේ දවසක්. අවිස්සාවේල්ලේ ඉඳලා මහරගමට ධාවනය වුනු ලංගම බස් රථයකට මේ ලේඛකයා ගොඩවුනේ කොස්ගමින්. වෙලාව උදේ 11 විතර වෙන්න ඇති. සතියේ දවසක් වුනත් බස් එකේ වැඩිය සෙනඟ හිටියේ නෑ. බස් එකත් ධාවනය වුනේ මිනී ගෙනියන වාහනයක් ධාවනයකරනවාට වඩා තරමක් වැඩි වේගයකින්. මේ ලේඛකයා වාඩිවුනේ බස් රථයේ මැද හරියට වෙන්න තිබුණු දකුණු පැත්තේ වීදුරුව අයිනේ ආසනයක. අතේ පොතක් පත්තරයක්වත් නො තිබුණු හින්දා නිකම් වටපිට බල බලා එනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් තිබුණෙත් නෑ. ඒත් හදිසියේ ම තමන් ඉඳගෙන හිටිය ආසනයට පිටුපස ආසනයේ ඉඳගෙන කතාකරන කාන්තාවන් දෙදෙනෙක් ගේ කතාවකට මේ ලේඛකයා ගේ කණ ඇදිලා ගියා. ඒ, ගමේ ගොඩේ පෙනුම තියෙන වයස අවුරුදු පනහක් විතර ඇති ගෑණු දෙන්නෙක්.

පොළේ යන්න ඕන බව ඇත්ත. ඒත් පොළේ විතරක් වෙළෙඳාම් කරලා හරියන්නේ නෑ. ගෙවල් ගානේ පලයන්. ගමේ විදිහට යද්දී හොඳට වෙළෙඳාම් වෙනවා.” එක කාන්තාවක් කිව්වා.

හරියට පාට එන්නේ නෑනේ අක්කේ” අනිත් ගැහැණිය කිව්වා.

ඒකට මයිලෝ දාන්න ඕන.”

දානවා. ඒත් හරි ඉක්මනින් පුස්කනවානේ.”

ඒකට බෙහෙතක් දාන්න ඕන. පිටකොටුවේ බංගසාලවීදියෙන් ගන්න පුළුවන්. මම උඹට කඩේ නම ලියලා දෙන්නම්කෝ.”

කතාවට හොඳින් කණ් දී ගෙන හිටිය මේ ලේඛකයාට තේරුණා ඒ කාන්තාවෝ දෙන්නා කතාවෙන්නේ කිතුල් හකුරු හදන ක්‍රමයක් ගැන කියලා. අපේ මිනිස්සු මේ වගේ වැඩකරන්න හරි දක්‍ෂයි. මේ වගේ මිනිස්සු කරන වැඩවලට රැවටෙන අයත් අපි අතර ඕන පදම් ඉන්නවා. කල් පනින්න ළඟ මාළු ටිකක් කඩෙන් ඇරගෙන මුහුදු වැලි ගාලා විකුණන හාදයෝ දෙහිවල, වැල්ලවත්ත පැත්තේ ඉන්නවා මේ ලේඛකයා දැකලා තියෙනවා. මැනිං මාර්කට් එකෙන් ගන්න පරණ මඤ්ඤොක්කා ටිකක් උඩට වැටකින් කඩාගන්න මඤ්ඤොක්කා කොළ ටිකක් දාලා විකුණන මිනිස්සුත් ඉන්නවා. ඉතින් මේ විදිහේ බොහොම ප්‍රෙස් දේවල්, ගමේ දේවල් අපේ මිනිස්සු සල්ලි දීලා ගන්න බව ඒ සෙල්ලම කරගෙන යන අය දන්නවා.

ගම්වල මිනිස්සු විවිධ නිෂ්පාදන වැඩවලට යොමු කරවන, ඒ විදිහට හදා වඩාගන්න දේවල් විකුණාගන්න ක්‍රමයක් විදිහට දේශීය සංචාරකයෝ ගම්වලට යවන්න පොළඹවන වැඩපිළිවෙලක දී අපි සළකාබලන්න ඕන වැදගත් ම කාරණයක් තමයි මේ විදිහේ වංචාවලින්, සෙප්පඩ විජ්ජාවලින් අත්මිදෙන්න කළ යුතු දේ මොකක්ද කියලා හොයා බලන එක. උදේ පාන්දර ඇඳෙන් නැගිට්ට වෙලාවේ ඉඳලා රෑ නින්දට යනකල් සාධාරණය ගැන කතා කළත් අපේ හුඟක් මිනිස්සු කැමැති බඩ පළලා බිත්තර හොයන වැඩවලට. යමක් වවාගෙන කන්න තරම් ඉවසීමක් තියෙන අය හරි ම අඩුයි. එක දවසින් බුදුවෙන ක්‍රම තමයි මෙහෙම කට්ටිය හොයන්නේ. ඉතින් ගමේ නිෂ්පාදන කරන්න අපේ මිනිස්සුන් ව පොළඹවලා ඒවා විකුණාගන්න පොටක් පාදලා දුන්නත් මේ වගේ සෙල්ලම් හින්දා ඒ හැම වැඩක් ම අතරමග දී කොට උඩ යන්න පුළුවන්. ඉතින් මේ වගේ සෙල්ලම්වලට යොමුවෙන එකෙන් අපේ මිනිස්සු වළක්වාගන්නේ කොහොම ද?

ගම්වල නිෂ්පාදන වැඩිකරන ක්‍රමයක් විදිහට මේ ලේඛකයා දිගින් දිගට ම කිව්වේ සමූහ සමාගම් හදන වැඩකට අපේ මිනිස්සු යොමුකරන්න ඕන බවක්. අපේ අයට තේරෙන භාෂාවෙන් කියනවා නම් අපි හදන්න ඕන කොම්පැනි. අර පරණ විදිහට සමූහ ගොවිපොළවල් හදලා, ඒවා ගැන හොයන්න නිලධාරි තන්ත්‍රයක් පත්කරලා මේ වැඩේ කරන්න බෑ. සමූහ ගොවිපොළවල් වගේ ඒවා හදලා සෝවියට් දේශය වගේ රටවල්වල නිෂ්පාදන කටයුතු බිඳවැටුණා. ඒත් චීනයට පුළුවන් වුනා ඒ පරණ සමාජවාදී වට්ටෝරු ක්‍රමයෙන් අත්මිදිලා අලුත් විදිහකට තමන් ගේ ගම්වල ආර්ථික කටයුතු නඟාහිටුවන්න.

තමන් ගේ ගම්වල ප්‍රජා සමාගම් ඇතිකරන වැඩේ චීන්නු 1958 අවුරුද්දේ ඉඳලා ම කරගෙන ආවා. ඒත් සමාජවාදී වට්ටෝරු ක්‍රමත් අඩු වැඩියෙන් පාවිච්චි වුන හින්දා 1978 වෙද්දිත් චීනයේ තිබුණේ ඒ විදිහේ ග්‍රාමීය සමාගම් ලක්‍ෂ පහළොවක් විතරයි. ඒත් ආර්ථික ප්‍රතිසංස්කරණ පටන් ඇරගෙන අවුරුදු හතක් ගතවෙද්දි ඒ ප්‍රමාණය ලක්‍ෂ 120 ක් දක්වා වැඩි කරගන්න චීන්නුන්ට පුළුවන් වුනා. 1978 අවුරුද්දේ දී ග්‍රාමීය සමාගම්වල වැඩකළේ ලක්‍ෂ 280 ක විතර ජනගහනයක්. ඒත් 1990 වෙද්දී ඒ ප්‍රමාණය ලක්‍ෂ 1350 ක් දක්වා වැඩිවුණා. මේ විදිහට ග්‍රාමීය සමාගම්වල වැඩකරන පිරිස පස් ගුණයකින් විතර වැඩිවෙද්දි ඒ අය කරපු නිෂ්පාදන ප්‍රමාණය 37 ගුණයකින් විතර (ඒ කියන්නේ යුවාන් බිලියන 1800 ක් දක්වා) වැඩිවුනා.

චීන්නු මේ හැම වික්‍රමයක් ම කළේ දේපල අයිතිය පවා පුද්ගලයන්ට පවරලා නොතිබුණු සමාජ ආර්ථික වටපිටාවක් ඇතුළේ. ඉතින් ඒ වගේ ක්‍රමයකට අවශ්‍ය මූල්‍ය පහසුකම් සැපැයීම වගේ කාරණා අද තියෙන ආර්ථික ශාස්ත්‍රවලින් පැහැදිළි කරන්න බෑ. නිකමට හිතලා බලන්න අපි ණයක් ගන්න ගියා ම අපේ බැංකු ඉල්ලන දේවල් ගැන. දේපල අයිතියක් නැති මිනිහෙක්ට ගන්න පුළුවන් ණය මොකක්ද? ඉතින් චීන්නු කරපු වික්‍රමයෙන් අපිට ඉගෙනගන්න දේවල් තියෙනවා. ඒත් අපේ විශ්වවිද්‍යාලවල පවා අදටත් උගන්නන්නේ අර සාම්ප්‍රදායික සමාජවාදී නිෂ්පාදන වට්ටෝරු ගැනයි ධනවාදී නිෂ්පාදන වට්ටෝරු ගැනයි විතරයි.

අපි හැමෝ ම දන්නවා අර බස් එකේ ගිය අක්කලා දෙන්නා වගේ ම චීන්නුත් හරි හරියට සමහර බඩු මුට්ටු නිෂ්පාදන කරපු විදිහ. පාලනය කරපු ආර්ථික ක්‍රමයක ඉඳලා විවෘත ආර්ථික ක්‍රමයකට ඒ වගේ මහා ජනගහනයක් සංක්‍රමණය වෙද්දි මෙරු මතුවෙනවා වගේ වංචාකාරයෝ පහළවෙන එක පුදුමයක් නෙවෙයි. ඒත් මේ වෙද්දි ඒ රෝගය යම් ප්‍රමාණයකින් සනීපකරගන්න චීන්නුන්ට පුළුවන් වෙලා තියෙනවා. මේ වැඩේ කරන්න චීන්නු අනුගමනය කරපු එක උපක්‍රමයක් ගැන මේ ලේඛකයා හොයලා බැලුවා. ඒ තමයි වෙළෙඳනාම ක්‍රමය අනුගමනය කරන්න මිනිස්සු පොළඹවන එක. ඉතින් හවුලේ එක වෙළෙඳනාමයක් යටතේ භාණ්ඩයක් නිෂ්පාදනය කරද්දි ඒ වැඩේට හවුල්වෙන අය ගේ වැඩ හවුලේ ම අධීක්‍ෂණය වෙනවා. එහෙම කරද්දි තම තමන් කැමැති විදිහට වැඩකරන්න තියෙන ඉඩ ඉබේ ම ඇහිරෙනවා.

අපේ ගමක පොදු හවුල් සමාගමක් පිහිටුවලා එක වෙළෙඳ නාමයක් යටතේ කිතුල් හකුරු හදනවා කියලා හිතන්න. වැඩේට හවුල්වෙන අය ගේ නිෂ්පාදන ගැන අන්‍යොන්‍ය විදිහට පරීක්‍ෂාකරලා බලන කොන්දේසියකට ඒ අය ව එකඟ කරගන්න පුළුවන්. එහෙම එකඟවෙනවා නම් විතරයි ඒ වෙළෙඳනාමය යටතේ තමන් ගේ හකුරු නිෂ්පාදනය කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් හොඳ අධීක්‍ෂණයක් යටතේ කිතුල් හකුරු හැදෙනවා. මේ ගැන පාරිභෝගිකයොත් දැනගන්නවා. ඒ විදිහට නිෂ්පාදනය කෙරෙන හකුරු විතරක් මිල දී ගන්න පාරිභෝගිකයෝ පෙළැඹෙයි. ඉතින් ඒ වැඩේට හවුල් නොවෙන නිෂ්පාදකයාටත් අනිවාර්යයෙන් ම තීරණයක් ගන්න සිද්දවෙනවා.

ඊට අමතර ව, ගම්වල පිහිටුවාගන්න පොදු සභාවකිනුත් මේ නිෂ්පාදන කටයුතු අධීක්‍ෂණය කරවලා සහතික කරගන්න පුළුවන්. ගම්වල කරන්න පුළුවන් නිෂ්පාදන මොනවා ද කියලා හඳුනාගන්න පුළුවන් වෙන්නේ ගමට අනුයුක්ත කරලා ඉන්න ග්‍රාම නිලධාරි, සංවර්ධන නිලධාරි, සමෘද්ධි නියාමක, කෘෂිකර්ම නිලධාරි වගේ අයත්, ගමේ පන්සලේ හාමුදුරුවෝ, ඉස්කෝලේ විදුහල්පතිතුමා, දායක සභාව – සංවර්ධන සමිති – කාන්තා සමිති – තරුණ සංගම් වගේ සමාජ සංවිධානවල නායකයෝත් එකතුකරලා හදාගන්න සභාවක් මූලික කරගෙන කියලා මෙයට පෙර ලිපියකින් කිව්වා. ආණ්ඩුවේ දෙපාර්තමේන්තු, බැංකු, රාජ්‍ය නොවන සංවිධාන කියලා හඳුන්වාගන්න ආයතන වගේ බාහිර සංවිධානවලට පුළුවන් මේ විදිහට පිහිටුවාගන්නා සභාවක් හරහා ගමේ සංවර්ධන වැඩට සම්බන්ධවෙන්න.

ප්‍රජාතන්ත්‍රවාදය කියලා කියන්නේ උඩ කට්ටිය එකතුවෙලා හදලා පහළ අයට බෙදලා දෙන එකක් විතරක් ම විය යුතු නෑ. දායක සභා, කාන්තා සමිති, තරුණ සංගම් හදාගන්නවා වගේ ගමේ මිනිස්සුන්ට ම පුළුවන් වෙන්න ඕන තමන් ගේ ආර්ථික කටයුතුවලට අදාළ පාලන සභාවකුත් පිහිටුවාගන්න. මේ වගේ වැඩට උවමනා දැනුම, ජවය, ශක්තිය ලබාදෙන එක ජාතික ව්‍යාපාරවලට සම්බන්ධ අයටත් කරන්න පුළුවන්. ඒත් අපේ ජාතික ව්‍යාපාර බොහෝ වෙලාවට සීමාවෙලා තියෙන්නේ උඩ මට්ටම් ඉලක්ක කරගෙන තමන් ගේ කටයුතු කරගෙන යන්න. ඊට පස්සේ ඒ අය ආඩපාලි කියනවා හාල් සේරු දෙකට, පරිප්පු කිලෝවට, කිරිපිටි පැකැට් එකට මිනිස්සු ආගම්වලට හරවාගන්නවා කියලා. ඒත් අපේ මිනිස්සු මේ අසරණකමෙන් ගලවාගන්න පුළුවන් ක්‍රමයක් ගැන ඒ අය හිතන්නේ නෑ.

හැම දේ ම ආණ්ඩුව ලවා ම කරවාගන්න ඕන කියන අදහස තමයි හැම කෙනෙක් ළඟ ම තියෙන්නේ. ඉතින් විශ්වවිද්‍යාලවල ඉන්න පොඩි ළමයි කලබලකරනවා වගේ ම ජාතික ව්‍යාපාරවල ඉන්න අයත් උද්ඝෝෂණ, පෙළපාලි යන්න විතරක් පෙළැඹිලා. මේ උද්ඝෝෂණ සෙල්ලම හැම වැඩේට ම ගැලපෙන තෛලයක් නෙවෙයි. අපේ ගම්වල මිනිස්සුන් ගේ ආර්ථිකය ශක්තිමත් කරන වැඩවලටත් මේ වැඩිහිටි අයට දායකවෙන්න පුළුවන්. මේ අරමුණත් අපේ ඒ වැඩිහිටියන් ගේ න්‍යාය පත්‍රවලට එකතුවේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු!

වරුණ චන්ද්‍රකීර්ති ෴

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress