හඳේ බර සහ ගමේ මුල!
Posted on November 12th, 2017

වරුණ චන්ද්‍රකීර්ති

හඳ ගැනයි ගම ගැනයි කිව්වා ම අපිට මතක්වෙන්නේ හඳගම. එතුමා අපේ චිත්‍රපට අධ්‍යක්‍ෂවරයෙක්නේ. ඒත් හඳේ බර ගැන කියද්දි මේ ලේඛකයාට මතක්වෙන්නේ වෙනත් චිත්‍රපට අධ්‍යක්‍ෂවරයෙකුත් එතුමා නිර්මාණය කරපු චිත්‍රපටයකුත්. ඒ චිත්‍රපට අධ්‍යක්‍ෂතුමා තමයි සත්‍යජිත් රායි. හ‍ඳේ බරට අදාළ ව එතුමා නිර්මාණය කරපු ඒ චිත්‍රපටය තමයි ජන අරණ්‍යය. ඉංග්‍රීසියෙන් ඒ චිත්‍රපටිය නම්කරලා තියෙන්නේ අතරමැදියා කියන තේරුම ලැබෙන විදිහට.

සෝම්නාත් කියන තරුණ හාදයා ගේ චරිතය වටා තමයි මේ චිත්‍රපටිය හදලා තියෙන්නේ. විභාග පාස්කරලා සමාජයට ආපු සෝම්නාත් රස්සාවක් හොයන්න පටන්ගන්නවා. එක එක තැන්වල සම්මුඛ පරීක්‍ෂණවලටත් යනවා. අන්තිමේ දී ඔහු සහභාගී වෙන සම්මුඛ පරීක්‍ෂණයේ දී ඔහුට උත්තර දෙන්න වෙන්නේ “හඳේ බර කීය ද?” කියන ප්‍රශ්නයට. ඊට පස්සේ සෝම්නාත් රස්සා හොයාගෙන යන වැඩේ අත අරිනවා. බිෂුදා කියලා මැදිවියේ මනුස්සයෙක් ඔහුට මුණගැහෙනවා. ඉතින් සෝම්නාත් මේ තලත්තෑනි මනුස්සයා ගේ උපදෙස් පිළිපැදලා අතරමැදියෙක් බවට පත්වෙනවා. දවසෙන් දවස ඒ වැඩේ ඉගෙනගන්න ඔහු අන්තිමේ දී මහා වංචාකාර දූෂිත පුද්ගලයෙක් බවට පත්වෙනවා.

සෝම්නාත්ට බැරිවුනාට අපේ ඉස්කෝලවලට ගිය අයට නම් පුළුවන් මෙ ලොව ඉඳන් එ ලොව අතගාන මේ වගේ ප්‍රශ්නවලට උත්තරදෙන්න. බුර්කිනා ෆාසෝ කියන රටේ තියෙන තෙනකෝරෝ කන්දේ උස, කැෂ්පියන් මුහුදේ ජල ධාරිතාව, අසර්බයිජානයේ ව්‍යවහාර මුදල්වලට කියන නම, ඉරාන – ඉරාක යුද්ධයේ දී මියගිය සාමාන්‍ය වැසියන් ගණන, සෙනසුරු ග්‍රහයා ගේ වායුගෝලයේ තියෙන හීලියම් ප්‍රතිශතය වගේ දෙයක් ගැන වුනත් අහලා බලන්න. අපේ විභාගවල දී බෙදන සාමාන්‍ය දැනීම ප්‍රශ්නපත්‍රවලත් මේ වගේ දේවල් අහනවා. ඉතින් දැන් අපේ ළමයි සාමාන්‍ය දැනීම පවා පාඩම්කරන්න පෙළැඹිලා. ඒ වෙනුවෙන් ටියුෂන්වලට යන අයගෙත් අඩුවක් නෑ.

ඉස්කෝලවල විෂය නිර්දේශයට වුනත් මේ විදිහේ ඈත ඈත රටවල්වල, ලෝකවල තියෙන දේවල් ඇතුළත් කරලා තියෙනවා. මේ විදිහට බාහිර දේවල් ඉගෙනගන්න එකේ වැරැද්දක් නෑ. අපි ළිං මැඩියෝ වගේ එක තැනකට කොටුවෙලා ඉන්න ඕන නෑ. හැබැයි ඒ එක්ක ම අපිට අපේ අහළ පහළ ගැනත් යමක් ඉගෙනගන්න පුළුවන් නම් කොච්චර හොඳ ද?

ඒත් අපේ ගම් ගැන කියලා දෙන එක ම එක පාඩමක්වත් අපිට උගන්නන පොත්වල නෑ. ඇමේසන් වනාන්තරේ ඉන්න ගෝත්‍රික පිරිසක ගේ සමාජ සම්ප්‍රදායයන් ගැන කියලා දෙන අතර ම තමන් ගේ ගමේ සිද්දවෙන්නේ මොනවා ද කියලා හොයලා බලන්න ළමයින් ව පොළඹවන්න බැරි ඇයි? ඒත් අද අපේ ළමයි ගමේ මායිමවත් දන්නේ නෑ. ගමේ ඉතිහාසය මොකක්ද කියලා දන්නේ නෑ. ගමේ ඉන්න මිනිස්සු ගැන දන්නේ නෑ. ගමේ තියෙන සම්පත් ගැන දන්නේ නෑ. ගමේ තියෙන ප්‍රශ්න ගැන හෙවිල්ලක්, ඉගැන්නිල්ලක් නෑ. ඒ ප්‍රශ්න විසඳගන්න පුළුවන් කොහොමද කියලා කෙරෙන සාකච්ඡාවක් නෑ.

රටේ ලෝකයේ සිද්දවෙන දේවල් ගැන කියලා දෙන අතර ම ඇයි අපිට බැරි අපේ ළමයින්ට ගම ගැනත් කියලා දෙන්න? දැන් පරිගණක ශිල්පය ගම් මට්ටම දක්වා ම පැතිරිලා තියෙන හින්දා මේ දේවල් ගැන කියන පොත් පත් ගම් මට්ටමින් වුනත් පළ කරගන්න පුළුවන්. වෙබ් අඩවි වුනත් හදාගන්න පුළුවන්. එක එක වයස් මට්ටමට ගැලපෙන විදිහට පවා පොත් ලියන්න පුළුවන්. මේ දේවල් කියලා දෙන්න, හොයලා බලන්න උදව්කරන්න වෙනත් සන්නිවේදන ක්‍රම පවා යොදාගන්න පුළුවන්. ගමේ වාර්ෂික ව සංවිධානය කරන අවුරුදු උත්සව වගේ අවස්ථාවලටත් මේ දේවල් ගැන දැනුම සම්බන්ධ කරන්න පුළුවන්.

අකුරු තියෙන පොත් වගේ ම අකුරු නැති පොතුත් තියෙනවා. අපි සමාජය ගැන බොහෝ දේවල් ඉගෙනගන්නේ අකුරු නැති පොත්වලින්. අපේ රටේ අතදරුවෝ ඇරෙන්න හැම මනුස්සයෙක් ම අඩුවක් නැතුව කුණුහරුප දන්නවා. අපි ඒවා ඉගෙනගෙන තියෙන්නේ පොත් කියවලා නෙවෙයි. අධ්‍යාපනය විධිමත් විදිහටත් අවිධිමත් විදිහටත් ලබාදෙන්න පුළුවන්. හැබැයි අවිධිමත් විදිහට උගන්නනවා කියන්නේ මිනිස්සුන්ට ඉබාගාතේ යන්න සලස්වනවා කියන එකට නෙවෙයි. පොත්වල නැති දේ, පොත්වලින් කියන්න බැරි දේ වෙනත් විදිවලින් සන්නිවේදනය කරන කටයුත්ත හොඳින් හිතලා මතලා පිළිවෙළකට සංවිධානය කරන්න ඕන. ළමයාට ඒ දැනුම සන්නිවේදනය වෙන්නේ විධිමත් ආකාරවලින් පංති කාමරවල දී නොවෙන්න පුළුවන්. ඒත් ඒ විදිහට සන්නිවේදනය කරන්න ඕන දැනුම මොකක්ද කියලා අඳුරගෙන ඒවා සන්නිවේදනය කරන ක්‍රම හදන එක වැඩිහිටියන් ගේ වැඩක්.

ගමට අදාළ දැනුම ඇතුළත්කරලා පොත් ලියන වැඩේ ජාතික අධ්‍යාපන ආයතනය වගේ තැන්වල වැඩකරන අයට කරන්න බෑ. ඒක ගමේ මිනිස්සු ම කරගන්න ඕන වැඩක්. ඒ වැඩේ අවශ්‍යතාව පෙන්නලා දීලා ඒකට ඕනකරන දැනුම ලබාදෙන එකයි ඉගෙනගෙන උඩට ගිය අය කරන්න ඕන. ඒ විදිහට ලියැවෙන පොත්පත් සුදුසු විදිහට සංස්කරණය කරලා, පිටු සැලසුම්කරලා දෙනවා වගේ වැඩවලට බාහිර අයට වුනත් දායකවෙන්න පුළුවන්. හැබැයි අපි කරන්න ඕන මේ විදිහට පොත පත් ලියන වැඩේ විතරක් නෙවෙයි කියන එක නම් අමතකකරන්න හොඳ නෑ. ගම්වල සංවිධානය කරන සංස්කෘතික උත්සව, ඉදිකරන ස්මාරක, ගම්වල මාර්ගවලට බස් නැවතුම් වගේ තැන්වලට යොදන නම් හරහාත් මේ වැඩේ කරන්න පුළුවන්.

චීනයේ හැම බස් නැවතුම්පොලකට ම නමක් තියෙනවා. මේ නම් දැමිල්ල ඒ ඒ තැන්වලට අදාළ විවිධ කරුණු කාරණා පදනම් කරගෙන කෙරිච්ච එකක්. මේ වැඩේ කරලා තියෙන්නේ ඒ ඒ ප්‍රදේශ පාලනයකරන ප්‍රාදේශීය ආණ්ඩුවලින්. ඉතින් සිතියම් සකස්කරගන්න වැඩේ, පාරක් තොටක් හොයාගන්න වැඩේ, ප්‍රවාහන සේවා විධිමත් විදිහට පවත්වාගෙන යන වැඩේ වගේ කටයුතු සෑහෙන ප්‍රමාණයක් හරි පහසුවෙන් කරගන්න මේ හින්දා පුළුවන් වෙලා තියෙනවා. මේ වැඩවලට අදාළ පරිගණක මෘදුකාංග, ජංගම දුරකථන නියැලුම් හදාගන්න එකත් ඒ හින්දා ම ලේසිවෙලා. ඒත් අපි තාමත් බස් එකේ යද්දි කියන්නේ කන්ද උඩ හෝල්ට් එකේ බහිනවා,” කන්ද පල්ලමේ බහිනවා” වගේ කතා. ඊට වඩා කොච්චර හොඳ ද ඒ ඒ තැන්වලට, ගම්වලට අදාළ දැනුමක් සංනිවේදනය වෙන විදිහට නම් හදලා ඒ නම්වලින් බස් නැවතුම් හඳුන්වන්න පුළුවන් නම්. ඉතින් ගම්වලට අදාළ සමහර දැනුම බෙදන මාර්ගයක් විදිහට එ් වැඩෙත් කරන්න පුළුවන්.

මෙයට පෙර ලිපියෙන් කියපු විදිහට ගමට අදාළ සංඛ්‍යාලේඛන වාර්තා සකස් කරගැනීම ගමේ ම සභාවකින් කෙරෙද්දි ඒකත් ගමට ම අදාළ දැනුමක් බවට පත්වෙනවා. එහෙම වුනා ම ඒ දැනුම ප්‍රයෝජනවත් වෙන්නේ කොළඹ ඉඳලා ගමට, රටට සැලසුම් හදන මහත්තුරුන්ට නෝනලාට විතරක් නෙවෙයි. ඒ දැනුම ගමේ ම අයටත් ප්‍රයෝජනයට ගන්න පුළුවන් වෙනවා. බාලදක්‍ෂ ව්‍යාපාරයට සම්බන්ධ වැඩට යොමුකරනවා වගේ ම යම් යම් ප්‍රාථමික මට්ටමේ සමීක්‍ෂණ, සංගණන කටයුතු කරන්නත් ළමයින් ව යොදවන්න පුළුවන්. ඒ වගේ වැඩවලිනුත් ළමයින්ට පුළුවන් ගම ගැන ඉගෙනගන්න.

අනිත් වැදගත් ම කාරණය තමයි ගම්වල තියෙන ප්‍රශ්න ගැන ළමයින්ට උගන්නන එක. දැන් කුරුණෑගල පැත්තේ, අනුරාධපුරය පැත්තේ හුඟක් ගම් වතුර නැතුව වේලෙන්න පටන් ඇරන්. බොන්න වතුර ටිකක් හොයාගන්න එක පවා ඒ ගම්වල මිනිස්සුන්ට අමාරු වැඩක්. වැස්සත් පොළොවට වැටෙන වතුර ටික නිකම් ම මුහුදට ගලාගෙන යනවා. වැව් බැඳි රාජ්‍යය කියලා මහ උජාරුවෙන් කියපු පළාතකට මෙහෙම වුනේ කොහොම ද? අපේ මුතුත්මිත්තෝ හදලා තිබුණු වැව් නැත්තට ම නැතිවුනේ කොහොම ද? මිනිස්සුන්ට බොන්න, ආහාර පිසින්න, නාන්න, රෙදි හොදගන්න, වගාවක් කරගන්න, සතෙක්ට සීපාවෙක්ට ජීවත්වෙන්න, ගහකට වැළකට පණගහලා නැගී හිටින්න ඕන වතුර ටික දැන් සපයාගන්නේ කොහොම ද? මෙන්න මේ වගේ ගැටලු ගැනත් හිතන්න, ඒවාට විසඳුම් හොයන වැඩේට මනස යොමුකරවන්න ළමයින් ව පුරුදුකරන්න පුළුවන්.

ඒත් අද අපේ අධ්‍යාපන ක්‍රමයට පුළුවන්කමක් නෑ මේ උවමනා එපාකම්වලට උත්තර හොයලා දෙන්න. නයිල් ග‍ඟේ දිග ගැන කියලා දෙන්න ගුරුවරු හිටියාට ගමේ තියෙන ඇල කදුරු ගැන කියලා දෙන්න කවුරුවත් නෑ. අස්වාන් වේල්ලේ දිග පළල කියලා දෙන්න ගුරුවරු හිටියාට ගමේ වැව් බැම්ම ගැන කියලා දෙන්න කවුරුවත් නෑ. ඇමේසන් වනාන්තරේ දිග පළල කියලා දෙන්න ගුරුවරු හිටියාට ගමේ – එහෙම නැතිනම් ගම මායිමේ; තියෙන කැලෑ ගැන කියලා දෙන්න කවුරුවත් නෑ. ඩොල්පින් ගැන, හිම වලස්සු ගැන කියලා දුන්නාට ගමේ හැදෙන සත්තු ගැන, කුරුල්ලෝ ගැන කියාදීමක් නෑ. බංග්ලාදේශයේ ජන ඝනත්වය ගැන ඉගැන්නුවාට තමන් ගේ ගමේ මිනිස්සු කී දෙනෙක් ඉන්නවා ද කියලා අපේ ළමයි දන්නේ නෑ!

අපේ ළමයින්ට ඉර, හඳ, ග්‍රහ තාරකා ගැන කියලාදෙන්න ඕන බව ඇත්ත. ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, න්‍යුට්‍රෝන ගැන කියලාදෙන්න ඕන බවත් ඇත්ත. ඒත් උන්ගෙන් යම් ප්‍රමාණයකට හරි ගම ගැන කියලා දෙන්න ඕන කියන එකත් අපි අමතකකරන්න හොඳ නෑ. අපේ මිනිස්සු වැඩි හරියක් අදටත් ජීවත්වෙන්නේ ගම්වල. ඒ මිනිස්සු ඔක්කොම නගරවලට දක්කාගෙන ඇවිල්ලා රට දියුණුකරන්න පුළුවන් කියලා හිතන අය අපි අතර නෑ. ඒත් කෝකටත් හරියන තෛලයක් වගේ හැමෝට ම එක විදිහට එක ම අධ්‍යාපනයක් ලබාදෙන්න කරන උත්සාහයේ වැරැද්ද ගැන හිතන්න අපි පෙළැඹෙන්නේ නෑ. මේ වැරැද්ද ගැන අපි දැන්වත් හිතන්න ඕන. එහෙම වුනොත් අපේ ළමයින්ට හඳ ගැන වගේ ම ගම ගැනත් කියලා දෙන අධ්‍යාපන ක්‍රමයක් හදාගන්න අපිට පුළුවන් වේවි.

වරුණ චන්ද්‍රකීර්ති ෴

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2017 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress