නීතිපති තනතුරේ ගෞරවය උච්චතම අවස්ථාව අගමැතිගෙන් බැදුම්කර කොමිසමේ සාක්‍ෂි විමසූ දිනයයි..
Posted on November 21st, 2017

– අරවින්ද අතුකෝරල

පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා 2017 නොවැම්බර් 20 දින අධිකරණ අමාත්‍යාංශ වැය ශීර්ෂයේ දී කළ කතාව…

යුක්තිය පසඳලීම පිළිබඳ වැදගත්ම මූලධර්මයක් තමයි.  යුක්තිය ඉටුවීම පමණක් ප්‍රමාණවත් නෑ.  යුක්තිය ඉටු වුණු බව පේන්න තිබෙන්නත් ඕනි කියන එක.  මේ නිසා අධිකරණ විනිසුරුවරුන්ගේ වගේම නීතිපතිවරයාගේ පත්වීම් වගේම හැසිරීම් යුක්තිය පිළිබඳ මහජන විශ්වාසයට බලපානවා.  මේ අය නීතිය නමනවා නම් නීතිය කොත්තු දමනවා නම් මහජනතාවට අධිකරණ පද්ධතිය පිළිබඳ විශ්වාසය බිඳ වැටෙනවා.

නීතිපති තනතුරේ ගෞරවය උච්චතම අවස්ථාව අගමැතිගෙන් බැදුම්කර කොමිසමේ සාක්‍ෂි විමසූ දිනයයි..

පාපතරයෙක් ඇවිත් දියණිය දූෂණය කළොත් පියා මොකද කරන්නේ?  පොලීසියට පැමිණිලි කරලා යුක්තිය ඉටු වන තුරු නිහඬව බලා සිටිනවා.  නමුත් තමන්ට යුක්තිය ඉටු වන එකක් නෑ කියලා හිතනවා නම් අර තාත්තා පිහියක් අරගෙන ගිහින් දූෂකයා මැරෙන තුරු පිහියෙන් අනිනවා.  තමන්ට ඒක කරන්න හැකියාව නැති නම් මැරයෙකුට ඒ වැඩේ භාර දෙනවා.  අධිකරණ ක්‍රියාදාමය පිළිබඳ ජනතාවට විශ්වාසය නැති නම් ජනතාව නීතිය අතට ගැනීම කිසිවෙකුට වලක්වන්න බෑ.  අද අපේ රටේ මිනීමැරුම් වෙඩි තැබීම් ඉහළ ගොස් තිබෙන්නේ ගැටුම් වැඩි වී තිබෙන්නේ නීතිය පිළිබඳ මිනිසුන්ගේ විශ්වාසය බිඳ වැටිලා තිබෙන නිසා.

නීතිපති තනතුර ඉතාම වැදගත් තනතුරක්.  විධායක සහ අධිකරණ යන ක්ෂේත්‍ර දෙකේම බලතල තිබෙන එකම තනතුර නීතිපති තනතුරයි.  අධිකරණ ක්ෂේත්‍රයේ මේ තනතුර දෙවැනි වෙන්නේ අගවිනිසුරු තනතුරට පමණයි.  මේ වගේ වැදගත් තනතුරකට පුද්ගලයෙකු තෝරා ගැනීමේ නිර්ණායක තිබෙනවා ද? නෑ.  ව්‍යවස්ථාදායක සභාව පත් කරලා වසර තුනකට කිට්ටුයි.  අද වන තුරු ඒ නිර්ණායක සකසලා නෑ.  එහෙම නිර්ණායක සකසලා නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41උ වගන්තිය අනුව මේ වන විට ගැසට් මගින් ප්‍රසිද්ධ කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබිය යුතුයි.  අද වන තුරු එහෙම කරලා නෑ.

පුද්ගලයෙකු තනතුරකට තෝරා ගැනීමේ නිශ්චිත ක්‍රමවේදයක් නැති නම් ලොව පුරා සම්ප්‍රදාය තමයි ආයතනයේ සිටින ජ්‍යෙෂ්ඨතම පුද්ගලයාට තනතුර ලබා දීම.  ඔහුට ලබා නොදෙනවා නම් ඒකට හේතු දක්වන්න ඕනෑ. නීතිපති තනතුර පුරප්පාඩු වන විට ඊ ළඟට සිටි ජ්‍යෙෂ්ඨතම නිළධාරියා තමයි සුහද ගම්ලත් මහතා.  නමුත් ඔහුට තනතුර දුන්නේ නෑ.  ඒකට හේතු දැක්වුයෙත් නෑ.  ජයන්ත ජයසූරිය මහතාව තනතුරට පත් කළා.

දෙන දෙයියෝ ගෙට ගෙනැවිත් දෙනවා වගේ තමන්ට හිමි නැති තනතුරක් ලැබුණාම නීතිපති ප්‍රීතියෙන් පිනා යනවා.  තමන්ගේ නීතිපති සිහිනය සැබෑ කරපු අයට කළ ගුණ සලකන්න පටන් ගන්නවා.  මේ ආණ්ඩුව පත් වුණු සමයේ විධායක සභාව නමින් හංස සංධානයේ පක්ෂ නායකයින්ගෙන් සමන්විත සභාවක් තිබුණා.  මේ සභාවට නීතිපති කැඳවලා.  නඩුවල ප්‍රගතිය අහනවා.  ඉක්මන් කළ යුතු නඩු කියනවා.  මේ සිද්ධියට කොහොම හරි ගෝඨාව අත්අඩංගුවට ගන්න, නැතිනම් අපට ආයෙත් එයාව අත්අඩංගුවට ගන්න අවස්ථාවක් ලැබෙන්නේ නෑ කියලා උපදෙස් දෙනවා.  මම නොවේ මේක කියන්නේ.  හිටපු අධිකරණ ඇමතිතුමා මේක කියන්නේ.

හිටපු අධිකරණ ඇමතිතුමා තවත් අපූරු කතාවක් කිව්වා.  අගමැතිතුමා අරලියගහ මන්දිරයට නිතිපති ගෙන්වලා කුප්‍රකට ෆුට් නෝට් කල්ලිය සමග වාඩි වෙලා නීතිපතිව ප්‍රශ්න කළාලු. බැඳුම්කර කොමිසමේ විමර්ශනයට නීතිපති සහය වෙනවා.  ඒ විමර්ශනයේ චෝදනා එල්ල වුණු අය අතර අගමැතිතුමාත් ෆුට්නෝට් කල්ලියත් ඉන්නවා.  ඒ අතරේ නීතිපතිතුමා අගමැති නිල නිවසට ගිහින් මේ පිරිස හමුවීම කෙතරම් සදාචාර විරෝධි ද?  නීතිපති දෙපාර්තමේන්තුව මෙතරම් පහත් මට්ටමට වැටුණු සමයක් අපි දැකලාත් නෑ.  අහලාත් නෑ.  මෙවැනි සිදුවීම් එක්ක අධිකරණ පද්ධතිය පිළිබඳ ජනතාවගේ විශ්වාසය බිඳ වැටීම පුදුමයට කාරණයක් නොවේ.

නීතිපති තනතුරේ ගෞරවය කෙලෙසූ උච්චතම අවස්ථාව තමයි අද දිනය.  මාධ්‍ය වාර්තා කළ ආකාරයට අද දින අගමැතිතුමා බැඳුම්කර කොමිසම ඉදිරියට ගියාම හරස් ප්‍රශ්න ඇහුව්වේ නීතිපතිලු.  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තිය යටතේ නීතිය ඉදිරියේ සියළුම දෙනා සමානයි.  එහෙම නම් අගමැතිතුමාට විතරක් විශේෂ වරප්‍රසාදයක් ඇයි?  ඒ විතරක් නොවේ අගමැතිතුමාගෙන් හරස් ප්‍රශ්න අහන්න ඉදිරිපත් වෙන්නේ අගමැතිතුමාම විශේෂයෙන් සලකා නීතිපති තනතුරට පත් කළ පුද්ගලයා.  මේක නිකන් හොරාගේ ගෝලයාගෙන් පේන අහනවා වගේ වැඩක්.

බැඳුම්කර කොමිසමේ මෙතෙක් හරස් ප්‍රශ්න ඇහුව්වේ අතිරේක සොලිසිටර් ජනරාල් දප්පුල ද ලිවේරා.  එතුමා බොරු කියන සාක්ෂිකරුවන් නිරුවත් කළ දක්ෂ ආකාරය අපි ඇස් දෙකට දැක්කා.  ඒ නිසා හොරුන් ලිවේරාට බයයි.  අපි පුංචි කාලයේ ජී ටී ලිවේරා කියලා දක්ෂ කරාටේ ශූරයෙක් හිටියා.  එයාට හැමෝම බයයි.  ඒ වගේම දප්පුල ලිවේරාගේ තියුණු ප්‍රශ්න කිරීම් වලට හොරුන් හරිම බයයි.

අගමැතිතුමාගෙන් හරස් ප්‍රශ්න අහන්න දප්පුල ලිවේරා වෙනුවට නීතිපතිතුමා ආවාම මට රසවත් සිද්ධියක් මතු වුණා.  මගේ පුතුන් දෙදෙනා කුඩා කාලයේ අපි ක්‍රිකට් සෙල්ලම් කරනවා.  පුංචි පුතුට බැට් කරන්න අවස්ථාව ලැබුණාම මට බැට් කරන්න බෑ අයියා හයියෙන් බෝලේ එවනවා කියලා නාහෙන් අඬනවා.  ඒ වෙලාවට මම බය වෙන්න එපා පුතේ.  ඔයාට බෝල් කරන්නේ තාත්තා විතරයි කියලා එයාට බැට් කරන්න ගෙන්නා ගන්නවා.  දප්පුල ලිවේරා වෙනුවට හරස් ප්‍රශ්න අහන්න නීතිපති පැමිණීමත් අන්න ඒ වගේ වැඩක්.

නීතිපති පත් කරන්න විතරක් නොවේ විනිසුරුවරුන් පත් කරන්නත් කිසිම ක්‍රම වේදයක් නෑ.  2017 පෙබරවාරි මාසයේ රාමනාදන් කන්නන් මහතා මහාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත් කළා.  ඔහු මහෙස්ත්‍රාත් විභාගයට ලියලා අසමත් වෙලා නීතිඥයෙකු විධියට කටයුතු කරමින් හිටියේ.  ඔහු සමග විභාගයට වාඩි වී විභාගය සමත් වුණු අය තවමත් මහෙස්ත්‍රාත්වරුන් සහ දිසා විනිසුරු ලෙස කටයුතු කරන අතරේ විභාගය අසමත් වුණු කෙනා මහාධිකරණ විනිසුරු.  මෙවැනි පුද්ගලයෙකු මහාධිකරණ තනතුරට නිර්දේශ කලේ ඇයි කියලා විනිසුරුවරුන්ගේ සංගමය අගවිනිසුරුගෙන් ප්‍රශ්න කළාම අගවිනිසුරු දුන්නු උත්තරේ මොකද්ද? ජනාධිපතිගේ ඉල්ලීම මතයි අපි මේ නම නිර්දේශ කලේ.  අධිකරණ ඇමතිතුමා කියනවා.  එක්තරා දේශපාලන පක්ෂයක් විසින් කන්නන්ව මහාධිකරණයට පත් කරන්න කියලා මගෙන් ඉල්ලා සිටියා.  මම ඒක ප්‍රතික්ෂේප කළා කියලා.  ඔන්න යහපාලනය බිහි කළ අධිකරණයේ ස්වාධීනත්වය.

මීට මාස තුනකට කලින් මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙක් අභියාචනාධිකරණයට උසස් කළා.  කිසිම ක්‍රම වේදයක් නෑ.  ඒ පත් කිරීම් කළ විනිසුරුවරුන් පිළිබඳ මට කිසිම විවේචනයක් නෑ.  නමුත් ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරුන් දෙදෙනා නොසලකා හැරලයි ඒ පත්වීම් කලේ.  ඒ දෙදෙනාට උසස්වීම නොලැබුණේ ඇයි කියලා ඒ අය දන්නේ නෑ.  පත් කරපු ක්‍රම වේදය දන්නේ නෑ.  අපි ආණ්ඩුවට පක්ෂව නඩු තීන්දු නොදුන් නිසා අපි මේ ඉරණමට ගොදුරු වුණා කියන සාධාරණ නිගමනයට ඒ අය එළැඹෙන්න පුළුවන්.  මෙවැනි පසුබිමක අපට ස්වාධීන අධිකරණයක් ගොඩ නගන්න පුළුවන් ද?

අතීතයේ දී වගේ මැරයින් භාවිතා කරලා මේ ආණ්ඩුව විරුද්ධවාදින් තලන්නේ නෑ.  ඊට වඩා බොහොම දියුණුයි.  නීතිපති පොලිස්පති වගේ නිළධාරින් යොදා ගෙන තමයි විරුද්ධවාදින් තලන්නේ.  අද වෙන විට පදනම් විරහිත නඩු කීයක් අධිකරණයේ ගොනු කර තිබෙනවා ද? බැලු බැල්මට නඩුවක් නෑ කියලා පේනවා.  ඒත් දේශපාලකයින් සතුටුු කරන්න නඩු පවරනවා.  ඒ වගේම ලඝු නොවන නඩු විභාගයක් නොපවත්වා මහාධිකරණයේ නඩු පැවරීමේ අභිමතය නීතිපතිට තිබෙනවා.  නමුත් ඒ අභිමතය වැරදි ලෙස භාවිතා කර නඩු ගොනු කළ අවස්ථා තිබෙනවා.

එක් නඩුවක් අත්‍යාවශ්‍ය සාක්ෂිකාරියකගෙන් සාක්ෂි ලබා ගැනීමට පොලීසිය කටයුතු කරන්නේ නෑ.  මොකද ඒ සාක්ෂිකාරියගෙන් සාක්ෂි ලබා ගත්තොත් නඩුවක් පවරන්න බැරි වෙනවා.  නඩුව කුඩේ කුඩු.  නීතිපතිත් ඒ සාක්ෂිය ලබා නොගෙනම නඩුව පවරනවා.  මම ඒ නඩු පිළිබඳ තොරතුරු සියල්ල එකතු කර තිබෙනවා.  විභාග වන නඩු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විවාද කිරීමට නොහැකි බැවින් මම ඒ නඩු අංක සඳහන් කිරීමෙන් වලකිනවා.

හිටපු අධිකරණ ඇමතිතුමා විජේදාස රාජපක්ෂ මැතිතුමා පක්ෂ භේදයෙන් තොරව නීති ක්ෂේත්‍රයේ ගෞරවයට පාත්‍ර වුණු අයෙක්.  එතුමාට අධිකරණ ඇමති ධූරයෙන් සමු ගන්න වුණේ අධිකරණයට ඇඟිලි ගැසීම ප්‍රතික්ෂේප කළ නිසා කියලා එතුමාම කිව්වා.  ඇමතිකම තාවකාලිකයි.  නීතිඥකම සදාකාලිකයි.  ඒ නිසා තාවකාලික තනතුරේ බලය අයුතු ලෙස භාවිතා කරලා සදාකාලික තනතුරේ ගෞරවය කෙලසන්න බෑ කියලා එතුමා හිතුවා.  ඇමති තනතුර නැති වුණු දවසක මට ආයේත් අධිකරණයට යන්න වෙනවා කියන එක එතුමා හිතුවා.  ඒ නිසා අධිකරණයට බලපෑම් කිරීම එතුමා ප්‍රතික්ෂේප කළා.

රාජපක්ෂ මැතිතුමාගෙන් පුරප්පාඩු වුණු අධිකරණ ඇමති ධූරයට තලතා අතුකෝරාල ඇමතිතුමිය පත් කරන කොට අපි ඒ දිහා සැකයෙන් බැලුවේ.  එතුමියත් අපේ වෘත්තිය සගයෙක්.  නීතිඥවරියක්.  එතුමිය බරපතල ලෙස අධිකරණයට ඇඟිලි ගසාවි කියා අපි හිතුවා.  මේ දක්වා නම් එතුමියට එල්ල කරන්න අපට චෝදනාවක් නෑ.  Madam Minister, you are so far so good කියලා තමයි අපට කියන්න වෙන්නේ.  තලතා නීතිය තලයි වගේ සිරස්තලයක් මාධ්‍ය තුල දකින්නට නොලැබේවා කියා අපි ප්‍රාර්ථනා කරනවා.

 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2017 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress