හැබෑය. බිය ඇත්තේ අගමැති ලඟ නොව රටවැසියා ලඟය !
Posted on November 25th, 2017

තේජා ගොඩකන්දෙආරච්චි

බැඳුම්කර කොමිසමට සාක්ෂි ලබා දීමට අගමැතිවරයා කැඳවීම පිලිබඳ පුවත මේ දිනවල රටේ දේශපාලන කතාබහ අතර ප්‍රධාන තැනක් ගනී. නව ව්‍යවස්ථාව සම්බන්ධ කතිකාවන්ගෙන්ද අඩුවක් නැත. ඒ පිලිබඳව ජනතාව අතර විවිධ මත ගැටුම් ඇතිවෙත්දී, උතුරු පලාත් මහ ඇමතිවරයා විසින් පාසලක පැවති උත්සවයකදී ජාතික කොඩිය එසවීම ප්‍රතික්ෂේප කිරීම, එම මත ගැටුම් තීව්‍ර කිරීමට හේතුවක් විය. නමුත් මේ කතාබහ, අගමැතිගේ බැඳුම්කර කොමිසමට කැඳවූ කතන්දරයත්, ඒ හා සමගාමීව රට පුරා තාප්පවල ඇලවුනු ‘බය නැති අගමැති’ පෝස්ටරයත් හමුවේ යට ගැසෙන ස්වභාවයක් පෙන්නුම් කරයි. නමුත් අගමැතිවරයාගේ බය නැති කමට වඩා ශ්‍රී ලංකාවේ අනාගතයට බලපෑ හැකි ජාතික කොඩි කතන්දරය වැදගත් වේ.

බැඳුම්කර වංචාව පිලිබඳව අගමැති රනිල් වික්‍රමසිංහ විසින් සාක්ෂි ලබා දුන්නේ ජනාධිපති කොමිසමක් ඉදිරියේය. ‘අගමැති’ පදය ඉවත ලා බලන කල ජනාධිපති කොමිසමක් ඉදිරියේ සාක්ෂි දීම රනිල් වික්‍රමසිංහ නම් පුද්ගලයාට අලුත් දෙයක් නොවේ. 1996 දී ඔහුගේ වත්මන් සුහද මිතුරිය වූ, එවකට හිටපු ජනාධිපතිනිය විසින් පත්කරන ලද බටලන්ද කොමිසම හමුවේ සාක්ෂි දෙන්නට එදා රනිල්ට සිදුවිය. එදා ඔහු ‘හිටපු අගමැති’ ය. ඒ වනවිට 17 වසරක එක්සත් ජාතික පක්ෂ පාලනය අසීරුවෙන් අවසන් කරගෙන වැඩි කාලයක් ගතවී නොතිබිනි. ඒ 17 වසරේ පාලනය ඇරඹෙද්දී පරාජයට පත්වුනේ චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ මෑණියන්ය. 1975 දී නිම වන්නට තිබුනු සමගි පෙරමුණු රජයේ කාලය තවත් වසර දෙකකින් දීර්ඝ කිරීමේ වරද නිසා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතියද එජාප රජය විසින් අහිමි කරන ලදී. ඒ අනුව ඈ විසින් දැරූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයද අහෝසි වූ අතර, 1982 දී පැවති ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ අවස්ථාවද ඇයට අහිමි විය.

1977 ජුලි මස පැවති මහ මැතිවරණය අති විශාල බලයක් සහිතව දිනාගත් පසුව අගමැති බවට පත්වූ ජේ. ආර්. ජයවර්ධන ශ්‍රී ලංකා පොලිසියට සතියක නිවාඩුවක් ලබාදුන් නිසා, ඒ දිනවල ඇති වූ පශ්චාත් මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියා තුල ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ද දැඩි පීඩනයකට ගොදුරු වූහ. එමෙන්ම හිටපු අගමැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට මුල්වූ මැතිවරණ කල් දැමීමේ වරදම ඊට වඩා මඳක් වෙනස්වූ අයුරකින් එජාප රජය විසින් සිදුකලේ 1982 දී පැවැත්වූ ජනමත විචාරනයක් මගිනි. ඒ වන විටද මැතිනියගේ ප්‍රජා අයිතිය ලැබී තිබුනේ නැත. ඒ ජනමත විචාරනය, පැවති රජය දිනාගත් අයුරු එදා සිදුවූ සිද්ධීන් මතකයෙන් නොමැකුන ජනතාව හොඳින් දනිති. මෙතෙක් කලක් ශ්‍රී ලාංකික දේශපාලනයේ ගතයුතු හරයක් ඉතිරිව තිබුනා නම්, මෙවන් දරදඬු, අසාධාරණ තීන්දු තීරණ හරහා ඒවා වාෂ්ප වී ගියේය.

1983 ජුලි මස 23 දා ඇතිවූ වර්ගවාදී කලබල සම්බන්ධ චෝදනාව ජනතා විමුක්ති පෙරමුණ පිට පටවමින් එම පක්ෂය තහනම් කිරීම තුල එදා එජාපය විසින් ශ්‍රී ලංකාවේ තට්ටු මාරු දේශපාලනයට විකල්පයක් ලෙස ගොඩ නැගීගෙන ආ බලවේගය අහෝසිකර දැමීය. ඒ සමගම ශ්‍රී ලංකාවේ ජනවර්ග අතර යලි පිරවිය නොහැකි හිදැසක් නිර්මාණය විනි. ජවිපෙ තහනම් කරමින් තරුණ පරපුර වෙත ක්‍රියාත්මක කල මර්ධන හස්තයේ කුරිරු හා දරදඬු බව විසින් 87-90 සමයේ ඇතිවූ තරුණ නැගිටීමට මග පෑදීය. මේ සියලු ක්‍රියාවලීන් තුල එවකට ප්‍රබල කැබිනට් ඇමතිවරයෙකු වූ වත්මන් අගමැතිද ප්‍රබල භූමිකාවක් ඉටු කරන ලදී. 1977 දී ප්‍රථම වරට පාර්ලිමේන්තුවට පත්ව ආ රනිල් වික්‍රමසිංහ නම් අංකුර දේශපාලකයා ලාබාලම කැබිනට් ඇමතිවරයා ලෙස බෞතීස්ම කරන ලද්දේ ඔහුගේ අගමැති මාමා විසිනි. ඒ තුල ඔහු මාමාගේ ලෝකයේ ඔටුණ්න හිමි කුමාරයා වූයේය. එම වගකීම ඉටු කරනු පිනිස එජාප රජයේ දා හත් වසරක පැවැත්ම උදෙසා රනිල් වික්‍රමසිංහ වෙතින් ඉටුවූ කාර්යභාරයේ එක් සුවිශේෂ සළකුණක් සංකේතවත් වූයේ මේ බටලන්ද කොමිසම මගිනි. ප්‍රථම වරට ඔහුට ජනාධිපති කොමිසමක් ඉදිරියේ සාක්ෂි දීමට සිදුවනුයේ ඒ අනුවය.

සාමාන්‍යයෙන් ශ්‍රී ලාංකික දේශපාලනය තුල කෙනෙකු දැරූ තනතුරට ‘හිටපු’ යන විශේෂණ පදය එක්වූ කල ඇතිවන බලපෑම අමුතුවෙන් විස්තර කලයුතු නැත. එදා 1977 දී හිටපු අගමැතිනියට අත්වූ ඉරණම ඊට හොඳ උදාහරණයකි. ඒ නිසා අද බැඳුම්කර කොමිසම හමුවේ සාක්ෂි ලබා දී ‘බය නැති  අගමැති’ බවට පත්වුවද, හරිනම් රනිල් තම නිර්භීත භාවය ප්‍රදර්ශනය කර ඇත්තේ හිටපු අගමැති ලෙස බටලන්ද කොමිසමේ සාක්ෂි කූඩුවට නැගීම හරහාය. ඔහුට එසේ බිය නොවන්නට හේතු තිබිනි. ඒ, තම මාමණ්ඩිය විසින් ඇතිකල තුප්පහි දේශපාලන සංස්කෘතිය තුල මෙවන් වැරදි තමන්ට බලපාන අන්දම ගැන ඔහු තුල පැහැදිලි තක්සේරුවක් තිබීම නිසා විය හැක.

අද, බැඳුම්කර කොමිසමේ තොරතුරු කතා කරන අගමැති සහ මැති ඇමති ගනයාගේ කතාබහ තුලද පසුගිය රජය සමයේ සිදුවූ දේ ගැන නිතර කියැවෙනු ඇසේ. ඒ ‘හිටපු’ හෝ ‘පසුගිය’ යන දේශපාලන යුගයන්ට අප රටේ අත්වන ඉරණමයි. ඊට අනුව රනිල් සමග පෙරහර සැදී බැඳුම්කර කොමිසම් ගොඩනැගිල්ල වෙත ගිය ඇමතිවරු, 2008 දී පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම සමග එවක පැවති රජයේ ගණුදෙනු, කතාබහ ගැන පවසති.  රජයේ මූල්‍යමය ක්‍රියා පටිපාටීන් හා සම්බන්ධ වන සමාගම් සහ රජයේ වගකිව යුතතන් අතර පුද්ගලික මට්ටමේ සංවාද තිබිය යුතු නොවන බව සැබෑවකි. එමෙන්ම මෙවැනි සංවාද පලමු වතාවට ඇති වන්නට ඇත්තේ 2008 දී නොවේ. දේශපාලනය යනු බොහෝ දෙනෙකුට සල්ලි උනන උල්පතක් බවට පත්වූ පසු අපට සුපිරිසිදු ගණුදෙනු අපේක්ෂාකල නොහැකිව ගියේය. නමුත් මෙතැන ඇති ප්‍රශ්නය 2014 දී මිලියන 250-300 ත් අතර වූ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ බැඳුම්කර කොටස් සඳහා වූ ලංසුව 2015 වන විට, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරුගේ මාමණ්ඩිය මහ බැංකු අධිපති පදවියට පත්ව මාසයක් ඇතුලත, මිලියන 3000 දක්වා ඉහල ගියේ කෙසේද යන්නයි.

මේ හිමිකරුගේ මාමණ්ඩිය මේ තැනට ගෙන ආවේද, මේ කිලිටි ගණුදෙනුව හෙලිදරව් වී තිබියදීද ඔහුගේ සේවය දීර්ඝ කරන්නට දැඟලුවේද, බැරිවූ තැන අලුත් තනතුරක් නිර්මාණය කර, අදාල සේවා ගිවිසුමත් රැගෙන තමන්ම සිංගප්පූරුවට ගොස් අත්සන් කරවාගෙන ආවේද වත්මන් අගමැතිවරයා බැවින් ලැජ්ජාවක් ඇතිනම් ඔහුට මේ ප්‍රශ්නයේදී ලෙහෙසියෙන් අත පිසදා ගන්නට නොහැකිය. පසුගිය රජය කල කී දේ මේ ප්‍රශ්නයේදී සමාවට කරුණක් නොවේ. දැන් සිදුවී ඇත්තේ හොරකම් කරනවා මදිවාට ඒවා පිලිබඳව උදම් අනන්නටත් ඉදිරිපත් වීමය. මෙය බයට වඩා ලැජ්ජාව පිලිබඳ කාරණයකි. බුදු බණේ තිබෙන්නේද පුද්ගලයෙකු තුල පාපය කෙරෙහි ලැජ්ජාව සහ බය තිබිය යුතුයි කියාය.

එදා බටලන්ද කොමිසමේ කරුණු විභාගයේදී රනිල් වික්‍රමසිංහ විසින් තම බලය අයුතු ලෙස භාවිතාකර ශ්‍රී ලාංකික පුරවැසියන් දහස් ගණනක් වද බන්ධනයටද, මරණයටද පත්කරන්නට පාර කැපූ කරුණ ඔප්පුවන බව එම වාර්තාවේ සඳහන්ව තිබිනි. නමුත් එසේ ඔප්පු වූවා කියා ඉන් එහාට සිදුවූ දෙයක් නැත. එම කොමිසම් වාර්තාව මැතිවරණයක් පවත්වන කාල සීමාවේදී පමනක් රනිල්ට පහර ගැසීමටත්, ඒ හරහා 87-90 සමයේ තම සමීපතම ඥාතීන් අහිමිව සිටි මිනිසුන්ගේ හැඟීම් රිදවා ඡන්ද ගරා ගැනීමටත් යොදාගනු ලැබිනි. ඒ ප්‍රහාර තුල අද සිටින බය නැති අගමැති, බටලන්දේ වෘකයා විය. එපමනකි. එදා තමන්ට දේශපාලන බලයක් නැති තැනදී කරුණු සිදුවූයේද එසේනම් අද අගමැතිවරයා ලෙස ඔහු කුමට බිය වන්නේද? මෙය ජනාධිපති කොමිසමක් බව සැබැවි. නමුත් මෙතැන ජනාධිපතිගේ ප්‍රශ්නයක් නැත. ඔහුට විශේෂයෙන් ඩිසයින්කල ටී ෂර්ට් එකක් හා කැප් තොප්පියක් අන්දවා බ්‍රෙසියරයක් හෝ මයිලෝ පැකට් එකක් අතට දුන්විට මොන මොනවා හෝ කියවා සමාජය විහිලුවෙන් කුල්මත් කරනු ඇත. එදා රනිල් ප්‍රමුඛ එජාපය පලවා හරිනුවස් මිනී වලවල් හෑරූ, බටලන්ද ජනාධිපති කොමිසමේ නිර්මාතෘවරිය අද ඔහුගේ පාර්ශ්වයේ සිටිමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නන්නත්තාර කිරීමේ අරමුණින් කටයුතු කිරීම තුල තම ප්‍රබලතම දේශපාලන ප්‍රතිවාදියා වූ ශ්‍රීලනිප ය සම්බන්ධව බිය වන්නට කාරණයක් නැත. අනික යහපාලන රජයේ බහුතරය එක්සත් ජාතික පක්ෂයෙනි.

2015 දී මෛත්‍රීපාල සිරිසේන නම් එවකට හිටපු ශ්‍රීලනිප මහ ලේකම්වරයා පොදු අපේක්ෂකයා ලෙස එජාප ය සමග දීගයට පොලඹවන විට ඊට උඩගෙඩි දුන් සියල්ලෝ, එහි ප්‍රතිඵලයක් ලෙස රනිල් අගමැති බවට පත්වන බව දැන සිටියහ. එමෙන්ම මේ සියලු දෙනාම රනිල්ට අත්වැල ඇල්ලූ ප්‍රධානතම හවුල්කාරිය වන චන්ද්‍රිකාගේ පැටිකිරියද දැන නොසිටියාය කියා කිව හැකිද? මෙවර රනිල් අගමැති වූයේ ව්‍යවස්ථාවට පටහැනි අන්දමිනි. එතැනදී භාවිතා වූයේ විධායක ජනාධිපති බලතලයි. රනිල්ගේ දේශපාලන ඉතිහාසය ජනාධිපති සිරිසේන නොදන්නවා නොවේ. ඉතින් මේ තමන් හොඳහැටි දන්නා අගමැතිවරයා, දේශපාලන කෙමිසමක් හරහා දේශපාලනිකව අගතියට යවන්නට ජනාධිපතිවරයාට වුවමනාවක් ඇතැයි සිතිය නොහැකිය. තම තමන් ලද තනතුරු අනුව ජනාධිපති හා අගමැති එකිනෙකාට කලගුණ සලකා ගන්නා තත්වයක් තිබියදී රනිල් කුමට බය වන්නද? සමාන්‍ය පරිදි එක පක්ෂයක් රාජ්‍ය බලය දරන කාලයක නම් තමන්ට සිහිනයක් විය හැකිව තිබූ ඇමති සැප විඳින සන්ධාන ඇමති කැල ගැන රනිල් බයක් ඇතිකර නොගනු ඇත. නමුත් මේ ඇමතිවරුන් තුල, පවත්නා දේශපාලන වාතාවරණය මත ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් තමන් වෙතින් දුරස් වේද යන බියක් තිබිය හැක. මෙත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සිංහ වෙස් ගෙන කෑ ගසනුයේ මේ බිය තුරන් කරන්නට මිස රනිල් ගැන අහිතකින් විය නොහැකිය.

මෙතැනදී සිතාගත හැකි එකම දේ නම් ලඟ එන ව්‍යවස්ථා සංශෝධනය යනු තම සුලු ජාතික ඡන්ද පදනම රැක ගැනීමට බලපාන ප්‍රධානතම සාධකයක් බැවින් ඊට බාධාවන ජනතාවගේ අවධානය වෙනතකට යොමු කිරීමට මේ සිදුවීම් යොදාගත හැකි බවයි.

මෑතකදී ජාතික කොඩිය එසවීම ප්‍රතික්ෂේප කලේ ශ්‍රී ලංකා ජනරජයේ ව්‍යවස්ථාවට අනුව දිවුරුම් දී, ශ්‍රී ලංකා රජයේ වැටුප් හා වරප්‍රසාද ලබන උතුරු පලාත් සභාවේ ඇමතිවරයෙකි. මේ සියලු වරප්‍රසාදවලට ශ්‍රී ලංකාවේ සෑම අසු මුල්ලකම සිටින ජනතාව විසින් ගෙවනු ලබන බදු මුදල් දායක වේ. තමාටද ජාතික කොඩිය ගැන ප්‍රශ්න ඇති බව උතුරු පලාත් මහ ඇමති විග්නේශ්වරන් කියයි. ඒ සිංහයා සහ සිංහලයා පටලවා ගත් නිසා විය හැකිය.

ජාතික කොඩියේ ඇති සිංහ රූපය සංකල්පය රැගෙන ආවේ ක්‍රි. පූ. 486 දී දිවයිනට පැමින, පැලපදියම් වූ විජය රජු විසින් බව කියැවේ. ඒ අනුව මේ සිංහයාද ඉන්දියාවෙන් ආනයනය කරන ලද්දකි. ක්‍රි. පූ. 162 දී එළාර රජු පරදවා ශ්‍රී ලංකාව (එකල ත්‍රිසිංහලය නම් විය) එක්සේසත්කල දුටුගැමුණු රජ මේ සිංහයා සහිත බැනරයට ඉරත්, සඳත් එක්කර නිර්මාණය කල ධජය 1815 දී රට ඉංග්‍රීසීන් යටතට පත්වන තුරුම රජවරුන් විසින් භාවිතා කර ඇත. 1815 දී ඉංග්‍රීසීන් විසින් තම අධිරාජ්‍ය සංගමයේ ධජය, යම් සංශෝධනයක් සහිතව ‘සිලෝන්’ වෙනුවෙන් යොදාගෙන, එතෙක් භාවිතාකල සිංහ ධජය එංගලන්තයේ චෙල්සී රාජකීය රෝහලේ තැම්පත් කරන ලදී. 20 වන ශතවර්ෂය්දී බ්‍රිතාන්‍යයන් වෙතින් නිදහස ලබාගනු පිනිස සටන්කල ඊ. ඩබ්. පෙරේරා සහ ඩී. ආර්. විජේවර්ධන යන මහත්වරු එම ධජය එංගලන්තයේ ඇති බව සොයාගෙන, එය පිලිබඳව දිණමින පුවත්පතේ විශේෂ මුද්‍රණයක් හරහා ශ්‍රී ලංකා වාසීන් වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කලහ. 1948 දී ශ්‍රී ලංකාවට බ්‍රිතාන්‍යයන් වෙතින් නිදහස ලැබුන විට ත්‍රිසිංහලේ අන්තිම රජුගේ කාලය තෙක් භාවිතාකල එම කොඩිය යොදාගත් අතර එම වසරේදීම අගමැති ඩී. එස්. සේනානායක මහතා විසින් ජාතික කොඩිය ප්‍රතිනිර්මාණය කරනු පිනිස කමිටුවක් පත්කරනු ලැබීය. එහි නිර්දේශ මත ඉර හඳ ඉවත්කර, සුලු ජාතීන් සංකේතවත් කරනු පිනිස තැඹිලි සහ කොළ වර්ණ සහිත තීරු දෙකකුත් බහුතර ජාතිය වූ සිංහල නිරූපනය කරන මෙරූන් පැහැ කොටුවේ සතර කොණට දාගැබක කොත් කැරැල්ලේ රූපද යොදන ලදී. 1972 දී ශ්‍රී ලංකාව පූර්ණ ජනරජයක් බවට පැමිනි පසුව එකම ශ්‍රී ලාංකික ජාතියක් සංකේතවත් කරමින් වටේ රන් පැහැයෙන් යතු බෝඩරයක් එක්කල අතර 1978 දී සතර කොණ ඇති කොත් කැරලි 4 බෝ පත් 4 ක් බවට වෙනසක් ඇති කලේ ජේ. ආර්. ජයවර්ධන රජය ප්‍රකාශයට පත්කල ධර්මිශ්ඨ රාජ්‍යය සංකේතවත් කරනු පිනිසය.

මෙහි සිංහයාගෙන් සංකේතවත් වනුයේ සිංහලයා නොව නිදහස හා අපේක්ෂාවයි. මෙය සියලු ශ්‍රී ලාංකිකයනට පොදුය. එබැවින් ජාතික කොඩියේ කතන්දරය උතුරු පලාත් සභාවට අකැප වන්නේ කෙසේද යන්න අපැහැදිලිය. එහි ජාතීන් සියල්ල නියෝජනය වේ. කවුරුන් කැමති වුනත්, අකමැති වුනත් 74.5% ක් වූ සිංහල ජාතිය බහුතරයයි. මෙහි වෙනසක් කල නෙහැකිය. කෙසේ හෝ මේ විරෝධය තුල කියැවෙන්නේ ඔවුන් වෙනම ධජයක් අපේක්ෂා කරන බවයි. මෙවන් සිදුවීම් තුල ව්‍යවස්ථා සංශෝධනය දෙස උපේක්ෂාවෙන් බලන අයට පවා බියක් දැනීම සාධාරණය. මෙවන් කරුණු පිලිබඳව රජය මුනිවත රැකීම එතරම් යෝග්‍ය නැත. තම සීයා විසින් සොයාගෙන ආ සිංහ කොඩිය ගැන මුණුපුරා වන රනිල්ට විශේෂ හැඟීමක් තිබිය යුත්තේ එම සීයලා විසින් අපේක්ෂා කල නිදහස ගැන අවබෝධයක් ඔහු තුල තිබිය යුතු බැවිනි. සංහිඳියාව යන්නනිර්වචනය විය යුත්තේ මේ ආකාරයෙන් නොවේ. බැඳුම්කර කොමිසම හමුවේ සාක්ෂි දී, ඇඟ බේරාගෙන තම නිර්භීත බව රටවැසියාට ඔප්පු කරනවාට වඩා එය වැදගත්ය. 

එසේ නොවුවහොත් ජනතාව සිතාගත යුත්තේ මෙම ව්‍යවස්ථා සංශෝධනයද ශ්‍රී ලාංකික ජනතාවගේ යහපැවැත්ම උදෙසා නොව දේශපාලකයන් කොටසකගේම යහපැවැත්ම උදෙසා සිදුවන්නක් බවයි. 

One Response to “හැබෑය. බිය ඇත්තේ අගමැති ලඟ නොව රටවැසියා ලඟය !”

  1. Ancient Sinhalaya Says:

    Lajja baya nathi aga matta!

    Lajja baya nathi aga matta!

    LAJJA BAYA NATHI AGA MATTA!

    100% TRUE!

    Traitor chief die hard catholic token Buddhist Bay Gal Karaya Mega Thief Mega Thakkadiya pol pot [email protected] wickrama
    Sinhala killer’s end is nigh! Traitor alugosuwa (to Sinhalese only) going mad and fearing death now. It is written all
    over the face in the traitor kala kanniya’s bum looking face. That’s why Wadakaya running to seek help. Born a
    catholic, became a token Buddhist to fool Sinhala modayas, now running to hindus for saving his pathetic skin. Any
    thing, the wadakaya should’ve gone to a Buddhist temple (the only true religion in the world) to seek help. Read
    Charles Darwin’s Theory of Evolution. You even might be able understand the origin of mankind and run to a
    Buddhist temple!

    If the traitor chief die hard catholic token Buddhist Bay Gal Karaya Mega Thief Mega Thakkadiya pol pot [email protected] wickrama Sinhala killer’s has an iota of humanity, this sub human would’ve thought I managed to destroy a lot of
    Sinhalese lives, hurt parents, sisters, brothers, etc. etc. Since Wadakaya has been firing blanks he doesn’t have any
    off spring. This maybe the reason he wants to kill and kill Sinhalese and eventually destroy Sri Lanka and Buddhism!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress