ජාතික ගීයට, ධජයට ගරු නොකරන අය ශ්‍රී ලාංකිකයන් වශයෙන් හඳුන්වන්න බෑ
Posted on November 28th, 2017

මහනුවර – නදීක දයා බණ්ඩාර උපුටාගැණීම  මව්බිම

ජාතික ගීයට හා ධජයට ගරු කළ නොහැකි පුද්ගලයන් ශ්‍රී ලාංකිකයන් වශයෙන් හැඳින් විය නොහැකි බවත් ඔවුන්ගේ ක්‍රියාවන් මේ රටට සිදුකරන්නේ අවමානයක් බවත් මහනුවර පදවියේ රදගුරු අති උතුම් වියානි ප්‍රනාන්දු පියතුමා ප්‍රකාශ කෙළේය.
මගේ රට, මගේ ජාතිය වශයෙන් සලකා එක මවුබිමක් තුළ සහජීවයෙන් යුතුව ජීවත්විය යුතු නමුත් එසේ නොකර රටට ගරු නොකරන තැනැත්තන් ශ්‍රී ලාංකිකයන් යැයි හැඳින්වීමට කිසිදු අයිතියක් නැතැයි උන්වහන්සේ සඳහන් කළහ.

නත්තල් දින සැමරුම් මුද්දරය හා මුල්දින කවරය නිකුත් කිරීම තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ. හලීම් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27දා) මහනුවර ශාන්ත අන්තෝනි දෙව් මැඳුරු ශ්‍රවණාගාරයේදී පැවැති අවස්ථාවට සහභාගි වෙමින් රදගුරුතුමා එසේ පැවැසීය.
නත්තල් උත්සවය පිළිබඳ පාසල් හා විවෘත අංශයෙන් පවත්වන ලද චිත්‍ර තරගාවලියේ ජයග්‍රාහකයන්ට සහතික පත්‍ර ප්‍රදානය කිරීමද මෙහිදී සිදුවිය.
මේ තීරණාත්මක මොහොතේ එකම ජාතියක්, එකම රටක් ලෙස ලෝකය හමුවේ පෙනී සිටීමට අප කටයුතු කළ යුතු යැයි කී රදගුරු අති උතුම් වියානි ප්‍රනාන්දු පියතුමා මෙසේද ප්‍රකාශ කළහ.

ශ්‍රී ලාංකික ජාතියක්, එක පවුලක් ලෙස ජීවත්වීමට අපට හැකියාවක් ඇත්නම් එය තමයි ලෝකයට පෙන්විය හැකි උතුම්ම ආදර්ශය. එවිට ලෝකයාගෙන් විශාල ගෞරව බහුමානයක් ලංකා මාතාවට හිමිවෙනවා. ජන නායකයන් මෙන්ම සියලු ජාතීන් රට වෙනුවෙන් අත්වැල් බැඳගත යුතුයි.
ශ්‍රී ලාංකික අනන්‍යතාවට ගරු නොකරන අයට මේ රට සාමය කරා ගෙන යෑමට හැකියාවක් නැහැ. ජේසුස් දෙව් සමි¼දාණන් ලෝකයට ලබාදුන් පණිවුඩය ශ්‍රී ලාංකිකයන් වන අපටද ඉතා වැදගත්. ජාතිය, ආගම, භාෂාව වශයෙන් බෙදී නොසිට ශ්‍රී ලාංකික ජාතියක් වශයෙන් ජීවත්වීම වඩා වැදගත් යැයි මහනුවර පදවියේ රදගුරු පියතුමා වැඩිදුරටත් සඳහන් කළහ.

තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ. හලීම්, තැපැල් දෙපාර්තමේන්තුවේ මධ්‍යම පළාත් නියෝජ්‍ය අධ්‍යක්‍ෂ රංජිත් රණසිංහ, ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ඒ.ආර්. ගුණවර්ධන මහතා ඇතුළු පිරිසක් මෙම උත්සවය සඳහා සහභාගි වූහ.

One Response to “ජාතික ගීයට, ධජයට ගරු නොකරන අය ශ්‍රී ලාංකිකයන් වශයෙන් හඳුන්වන්න බෑ”

  1. Vaisrawana Says:

    So true, Father Fernando. Thank you, Your Highness. The National Flag and the National Anthem symbolise the unity, the sovereignty and the stately dignity of a nation. Your words constitute an unintended but apt description of pm Ruinil W. This is well illustrated by the video THIS IS HOW OUR PRIME MINISTER RESPECTS THE NATIONAL ANTHAM published in the Lankaweb today (November 29, 2017).

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress