පළාත් පාලන මැතිවරණය ජනතාවගේ ප්‍රයෝජනය සඳහා විය යුතුයි
Posted on December 13th, 2017

සම ලේකම් නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය

2017 දෙසැම්බර් මස 11 වන දින පවත්වන ලද සංගමයේ විධායක කාරක සභාවේ සාකච්ඡා කොට නිකුත් කරන ලද පළාත් පාලන මැතිවරණ ප්‍රකාශය

අවුරුදු 03 ට ආසන්න කාලයක් මේ ආණ්ඩුව විසින් ඔවුන්ගේ පක්ෂ අභ්‍යන්තරයේ දිග හැරුණු බල අරගල වෙනුවෙන් කල් තැබූ පළාත් පාලන මැතිවරණය ලබන වසරේ පෙබරවාරියේ දී පැවැත්වීමට සූදානම් කෙරෙන්නේ යැයි මැතිවරණ කොමසාරිස් මාධ්‍යයට පවසා තිබිණ. එහෙත් ඒ අතරතුර දේශපාලන වුවමනාවන් මත මැතිවරණය නැවත කල් තැබීමට අධිකරණ නියෝග ලබා ගැනීමේ උත්සාහයන් නොතිබිය හැකි යැයි සහතිකයක් ද නැත. සීමා නිර්ණ වාර්තා සම්පූර්ණ නැතැයි මෙතරම් කාලයක් ආණ්ඩුවේ වුවමනාවන් වෙනුවෙන් මේ මැතිවරණය කල් තැබීමට ජාතික මැතිවරණ කොමිසම හා කොමිසමේ සභාපතිද හවුල් වූ බැව් අපගේ විශ්වාසය ය. එබැවින් ඉදිරි මැතිවරණය කෙතරම් නිදහස් හා ස්වාධීන මැතිවරණයක් වන්නේ ද යන්න පිළිබඳව ජනතාව විමසුම් ඇසින් සිටිය යුතු වේ.

ඒ අතරතුර එළැඹි පළාත් සභා 03 ක මැතිවරණ කල් තැබීම සඳහා ආණ්ඩුව ඉතාම නින්දිත ආකාරයෙන් තෙවන වර කියැවීමට තිබූ පනත් සංශෝධනයකට අවසන් මොහොතේ සංශෝධන වැලක් එකතු කරමින් සියලූ මැතිවරණ එකම දිනයේ පැවැත්වීමට යැයි මැතිවරණ ක්‍රමයත් කාන්තා නියෝජනයත් සංශෝධනය කෙරෙන යෝජනා ඉදිරිපත් කර සම්මත කර ගත්තේය. එබැවින් මේ පළාත් පාලන මැතිවරණය පෙබරවාරියේ පැවතුනහොත් පවතින්නේ අලූත් ඡන්ද ක්‍රමයට අනුව, කොට්ඨාශ සඳහා පුද්ගල නියෝජනයකුත් පළාත් පාලන බල ප්‍රදේශය සඳහා අනුපාත ක්‍රමයට නියෝජනයකුත් සමගය. ඒ සමග සියයට 30 ක කාන්තා නියෝජනයක් ද තිබිය යුතුය. එයම ඡන්දදායකයාට සැළකිය යුතු අවුලක් විය හැක.

එය එසේ වූවත් ආණ්ඩු මාරු නොකෙරෙන මැතිවරණයකින් අලූත් මැතිවරණ ක්‍රමය ආරම්භ කිරීම වඩා වැදගත්ය. එහෙත් පළාත් පාලන ආයතන සතු ප්‍රජාතන්ත්‍රවාදී වැදගත්කම හා අගය ඉන් හෑල්ලූ නොවිය යුතුය. යටත් විජිත යුගයේ දී 1865 මහ නගර සභා ආඥාවෙන් ආරම්භ වූ සහ 1920 පළාත් පාලන ආඥාවෙන් සම්පූර්ණ වූ මෙම පළාත් පාලන ආයතන ව්‍යුහය සතු සැබෑ වැදගත්කම හා ප්‍රයෝජනය එනමුත් මේ සමාජය මෙතෙක් තේරුම් ගෙන නැත.

අවුරුදු 03 ට ආසන්න කාලයක් තමන් තෝරා පත් කරන නියෝජිතයින්ගෙන් සමන්විත ප්‍රාදේශීය, නගර හා මහ නගර සභා නොමැති නිලධාරී පාලනයක් ලෙස ඒවා පැවතීම ඡන්දදායකයින්ගෙන් ප්‍රශ්න නොවුනේ පළාත් පාලන ආයතන සතු වගකීම් ගැන අවබෝධයක් හා උනන්දුවක් මේ සමාජයේ නොමැති හෙයින්ය. පළාත් පාලනය ආණ්ඩු පාලනයේ පහළම නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී ආයතන වූවත් ඒවාට තිබිය යුතු පිළිගැනුම මේ සමාජයේ නැත. ප්‍රාදේශීය, නගර හා මහ නගර සභා සඳහා නියෝජිතයින් පත් කරන්නේත් ඔවුන් මහජන මුදලින් නඩත්තු කරන්නේත් පළාත් පාලන බල ප්‍රදේශයේ පොදු සේවා යහපත් හා කාර්යක්ෂමව පවත්වා ගැනීමට අමතරව, ප්‍රදේශයේ කාර්මික හා වාණිජ කටයුතු සමග මහජන පදිංචිය මනාව සැළසුම් කරමින් වරිපනම් බදු ගෙවන ජනතාවට වඩා යහපත් පරිසරයක් සහිත පහසුකම් සැපයීමට ය. දියුණු පළාත් පාලනයක් ඇති රටවල, ළදරු ධාරකාගාර හා පෙර පාසල් පමණක් නොව ජාතික අධ්‍යාපනයට අයත් ප්‍රාථමික හා ද්විතියික පාසල් පවත්වා ගෙන යන්නේ ද පළාත් පාලන ආයතන විසින් ය.

එවැනි කාර්්‍යයන් ඉටු කළ හැකි පළාත් පාලන ආයතන සඳහා සැළසුම් හැදිය හැකි දක්ෂතා ඇති නියෝජිතයින් පත් කිරීමේ අවශ්‍යතාවයක් හා සම්ප්‍රදායක් අපි ගොඩ නගාගෙන නැත්තෙමු. ඒ වෙනුවට දේශපාලන පක්ෂ විසින් ඔවුන්ගේ මැතිවරණ කටයුතු සඳහා ප්‍රදේශයේ බල කේන්ද්‍ර හදා ගැනීම සඳහා මේ පළාත් පාලන මැතිවරණ යොදා ගැනීමටත් ඡන්දදායකයින් තමන්ගේ පෞද්ගලික දුක්ගැනවිලි සඳහා දේශපාලන සම්බන්ධතා හදා ගැනීමටත් පළාත් පාලන ආයතන සඳහා නියෝජිතයින් තෝරා පත්කර ගැනීම ප්‍රජාතන්ත්‍රවාදී නියෝජිත ආයතන ලෙස පැවතිය යුතු පළාත් පාලන ආයතන පිරිහීමට මූලික හා ප්‍රධාන හේතුවක්ව ඇත.

අවුරුදු කිහිපයකට පසු ලබන පෙරවාරියේ දී පැවැත්වීමට යෝජිත පළාත් පාලන මැතිවරණය පක්ෂ අභ්‍යන්තර බල අරගල වෙනුවෙන් කල් තැබුණු අයුරුම, ඔවුන්ගේ ඒ බල අරගල වෙනුවෙන් තරග වදින මැතිවරණයක් බවට මෙය පෙරළාගෙන ඇති බව දැනටමත් දකින්නට ඇති කාරණාවකි. ජනාධිපති මෛතී්‍රපාල සිරිසේන ඔහුගේ අධිකාරයට ශී්‍ර.ල.නි.ප යටත් කර ගැනීමටත් යු.ඇන්.පී විරෝධී බල මධ්‍යස්ථානය ලෙස ජනාධිපතිට ඉහළින් ශී්‍ර.ල.නි.ප ඡන්ද තමන් වෙත ගොනු කර ගැනීමට පොදු විපක්ෂයත් මැතිවරණය යොදා ගැනීමට උනන්දුවන අතර, ඒ ඛෙදීම් මත එ.ජා.පය තමන් වැඩිම ඡන්ද බලයක් සහිත පක්ෂය ලෙස මේ ආණ්ඩුව ඔවුන්ගේ ආධිපත්‍යයට නතු කර ගැනීමටත් මැතිවරණ කටයුතු සංවිධානය කරනු දැකිය හැක.

පළාත් පාලන ආයතන සඳහා නියෝජිතයින් පත් කරගත යුත්තේ පක්ෂ නායකයින්ගේ ඒ බල අරගලය වෙනුවෙන් නොවේ. ජනතාවගේ මුදලින් නඩත්තු කෙරෙන ප්‍රාදේශීය, නගර හා මහ නගර සභා පත්කර ගත යුත්තේ ජනතාවගේ යහපත වෙනුවෙනි. එබැවින් මේ මැතිවරණය යොදා ගත යුත්තේ වඩා යහපත් වෙනසක් වෙනුවෙන් පළාත් පාලන ආයතන පිහිටුවා ගැනීම සඳහා යැයි අපි විශ්වාස කරමු. එබැවින් මැතිවරණ සඳහා නාම යෝජනා කැඳවීමට ප්‍රථමයෙන්ම මේ සමාජය අවධාරණය කළ යුත්තේ ප්‍රාදේශීය, නගර හා මහ නගර සභා බල ප්‍රදේශ දියුණු කිරීමේ සැළසුම් සමගින් ඉදිරිපත් වන අපේක්ෂකයින් මැතිවරණයට අවශ්‍ය බවය. මැතිවරණයේ ස්වභාවය පක්ෂ නායකයින්ගේ අභිමතය මත නොව, ඡන්දදායකයාගේ අභිමතය මත තීන්දු කිරීමේ අවශ්‍යතාවය වහා ඉදිරියට ගත යුතු වන්නේය. ඒ වෙනුවෙන් අපි මෙසේ යෝජනා කරමු.

1. නාම යෝජනා කැඳවීමට පෙර සියලූ පක්ෂ විසින් ඔවුන්ගේ යෝජිත අපේක්ෂක නාමාවලිය ප්‍රසිද්ධ කළ යුතුය.
2. එක් එක් දිස්ති්‍රක්කය සඳහා මැතිවරණ ප්‍රචාරය වෙනුවෙන් වැය කරන මුදල් ප්‍රමාණය ප්‍රසිද්ධ කළ යුතුය.
3. අපේක්ෂක කණ්ඩායම් විසින් ඔවුන් ඉදිරිපත්වන පළාත් පාලන බල ප්‍රදේශය සඳහා ඉදිරි දළ සංවර්ධන සැළසුම ප්‍රකාශයට පත් කළ යුතුය.

එවැනි සමාජ මතයක් තහවුරු කිරීම වෙනුවෙන් ඉදිරිපත් වන ලෙස අපි සියලූ ප්‍රජාතන්ත්‍රවාදී සංවිධාන සහ කණ්ඩායම්වලට ඇරයුම් කරමු.

ස්තූතියි

මෙයට විශ්වාසී

ඇන්ටන් මාකස්
සම ලේකම්
නිදහස් වෙළඳ කලාප සහ
පොදු සේවා සේවක සංගමය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress