මෛත‍්‍රිට ජනපති පුටුව තව මාස 18යි.. ජනාධිපතිවරණය ඔක්තොම්බරයේ අරඹෙයි.. 19 වන සංශෝධනය මෙන්න..
Posted on December 14th, 2017

 lanka C news

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහහා විසින් නිකුත් කරනු ලැබූ මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

එළඹෙන පළාත් පාලන ඡන්දය ඊළඟ ජනාධිපතිවරණය දක්වා දිවයන ඡන්ද පෙළක ආරම්භයයි.

ජනතාව ඉදිරියට යෑමට තිබුණු බිය නිසාම ආණ්ඩුව විසින් අවුරුදු තුනකට ආසන්න කාලයකින් ප්‍රමාද කරන ලද පළාත් පාලන ඡන්දය සඳහා දැන් නාම යෝජනා බාරගෙන ඇත. පළාත් පාලන ඡන්දයක් යනු රටේ දේශපාලන බලය වෙනස් වන ඡන්දයක් නොවුවත්, මේ ඡන්දයට සුවිශේෂ වැදගත්කමක් ආරූඪ වී ඇත්තේ මෙය වත්මන් ආණ්ඩුවට විරෝධය පෑමට ඡන්ද බලය පාවිච්චි කිරීමට ජනතාවට ලැබෙන පළමු අවස්ථාව වන නිසාය. මීට කලින් ඊනියා යහපාලකයන් යටතේ පවත්වන ලද ඡන්දය වූයේ 2015 පාර්ලිමේන්තු මැතිවරණයයි. ජනාධිපතිවරයා ඒ ඡන්දයෙන් එජාපය දිනවූයේ එක්සත් ජනතා නිදහස් සන්ධාන ඡන්ද ව්‍යාපාරය අස්ථාවර  කිරීමට ඡන්දයට දින කිහිපයක් තිබියදී එජනිසයට අවාසිදායක ප්‍රසිද්ධ ප්‍රකාශ නිකුත් කිරීම හා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේත්, එක්සත් ජනතා නිදහස් සන්ධානයේත් මහ ලේකම්වරුන් දෙදෙනාම එකවර නෙරපා හැරීම ඇතුළු ක්‍රියාමාර්ගයන් ගණනාවක් ගැනීම තුළිනි.

එමඟින් ලංකාවටම යවනු ලැබූ  පණිවිඩය වූයේ හැන්ද තිබෙන්නේ ජනාධිපතිවරයාගේ අතේ නිසා ඒ පාර්ලිමේන්තු ඡන්දයෙන් පැරදුනත් දිනන්නේ එජාපය බවයි. ශ්‍රිලනිපයේ වත්මන් නායකයා පසුගිය පාර්ලිමේන්තු ඡන්දයෙන් එජාපය දිනවූයේ ඒ ආකාරයටය. මේ වතාවේ ඒකාබද්ධ විපක්‍ෂය වෙනම ලකුණකින්, වෙනම සන්ධානයකින් මේ පළාත් පාලන ඡන්දයට මුහුණ දෙන්නෙ ඒ නිසාය. ඒකාබද්ධ විපක්‍ෂයේ බලාපොරොත්තුව වන්නේ ආණ්ඩු විරෝධී ජනතාවට දේශපාලන විකල්පයක් සපයා දීමයි. ආණ්ඩුවේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ කණ්ඩායම එක්සත් ජාතික පක්‍ෂයට විරුද්ධව ප්‍රසිද්ධියේ  නොයෙක් විවේචන එල්ල කලත්, මේ දෙපාර්ශවයම එකම කැබිනට් මණ්ඩලයේ  සිටිමින් හවුල් ආණ්ඩුව පවත්වාගෙන යාමට අවශ්‍ය සියළුම කාරණාවලදී සහයෝගයෙන් කටයුතු කරයි.

එජාපයේ අයවැයට සෑම අවුරුද්දකම ශ්‍රිලනිප ඇමැතිවරුන් ජන්දය දෙනු ලැබේ. මීට දින කිහිහිපයකට පෙරත් ඔවුන් 2018 එජාප අයවැයට පක්‍ෂව ඡන්දය ප්‍රකාශ කළ හැටි මුලු රටම දුටුවේය. ජාතික සම්පත් විකුණා දැමීමේදී ද දෙපාර්ශවයම සහයෝගයෙන් කටයුතු කරනු පෙනේ. එජාපයෙන් පත්වූ වරාය හා නාවුක කටයුතු ඇමති හම්බන්තොට වරාය ගනූදෙනුවට විරුද්ධ වූ විට, ඔහු වෙනුවට ශ්‍රිලනිප ඇමැතිවරයකු එම ධූරයට පත් කරගෙන එජාපය මුලපුරන ලද ඒ අවාසිදායක ගනුදෙනුව ශ්‍රිලනිපය විසින් සම්පූර්ණ කරන ලදී. පසුගියදා හම්බන්තොට වරාය විදේශීය සමාගමට භාරදෙන අවස්ථාවේදී ඩොලර් මිලියන 292 කේ චෙක්පත බදාගෙන එජාප අගමැතිවරයා කළ රංගනයට ශ්‍රිලනිප ඇමතිවරුත් අත්පුඩි තලන දර්ශනය මුළු රටම දුටුවේය.

මේ රට ස්වාධීන රාජ්‍යයන් වලට සමාන ෆෙඩරල් ඒකක නවයකට බෙදීමේ නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට ද එජාපය සමග ශ්‍රිලනිප කණ්ඩායම සහයෝගයෙන් වැඩකරනු පෙනේ. යෝජිත නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ශ්‍රිලනිපය විරුද්ධ වන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම යන කාරණයට පමණි. එජාපය ඉන්දියාව සමඟ ඇතිකරගැනීමට අර අදින එට්කා ගිවිසුමටද ශ්‍රිලනිපය විරෝධය පා නැත.  පළාත් පාලන ආයතන වලටත් පළාත් සභාවලටත් ඡන්ද කල් දැමීමේදී ද එජාපයත්, ආණ්ඩුවේ ශ්‍රිලනිප කණ්ඩායමත් සහයෝගයෙන් කටයුතු කළ ආකාරය මුලු රටම දුටුවේය. ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයට නායකත්වය දුන් රණවිරුවන් බුරුතු පිටින් සිරගත කරන විට ශ්‍රිලනිප ජනාධිපතිවරයා එයට සහයෝගය දැක්වීම හැරුණු විට වෙන කුමක්වත් කර තිබේද?

ජනතා විමුක්ති පෙරමුණ විපක්ෂයේ දේශපාලන පක්‍ෂයක් ලෙස රඟපෑවද, එයද යහපාලන එකතුවේ ප්‍රධාන කොටස්කරුවෙකි. මේ ආණ්ඩුවේ සියලුම ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී වැඩවලට ජනතා විමුක්ති පෙරමුණේ සහයෝගය මුල සිටම ලැබී ඇත. ජවිපෙ නායකයා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය මෙහෙයවන යහපාලන ඇමතිවරුන්, දේශපාලඥයින් සහ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන්ගෙන් සමන්විත කමිටුවේද සාමාජිකයකු විය. ඔවුන් ඒකාබද්ධ විපක්‍ෂය නිර්දය ලෙස විවේචනය කරන අතර ආණ්ඩුව විවේචනය කරන්නේ ලාවටය. හවුල් ආණ්ඩුව ගෙන ඒමට යන නව ව්‍යවස්ථාවටද ජවිපෙ පක්‍ෂය. මේ වනවිට පැවැත්විය යුතු වූ පළාත් සභා ඡන්ද නොපවත්වා සිටීමට හැකිවන පරිදි ඡන්ද ක්‍රමය වෙනස් කිරීමට ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ දී අවශ්‍ය වූ තුනෙන් දෙකේ බහුතරය ලබා දුන්නේද ජවිපෙ විසිනි.

ඊට කලින් මේ රටේ ව්‍යවස්ථාවටත්, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග වලටත් සම්පූර්ණයෙන්ම පටහැණි ආකාරයට පලාත් පාලන ඡන්ද නීතිය වෙනස් කිරීමට ද ජවිපෙ විසින් ආණ්ඩුවට සහයෝගය දක්වන ලදී. 2005 දී රනිල් වික්‍රමසිංහගේ එජාපය බලයට ඒම වැලැක්වීමට සෝමවංශ අමරසිංහ මහතාගේ නායකත්වය යටතේ මට සහයෝගය දුන් ජවිපෙ, වෙනත් නායකත්වයක් යටතේ අද එජාපයේ බළල් අතක් බවට පත්වී ඇත. එම නිසා එළැඹෙන පළාත් පාලන ඡන්දයේදී මේ රටේ තිබෙන එකම සැබෑ ආණ්ඩු විරෝධී බලවේගය ඒකාබද්ධ විපක්‍ෂය බව සියලුම ඡන්දදායකයින් අවබෝධ කරගත යුතුය.

2018 පෙබරවාරි මාසයේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන ඡන්දය ඊළඟ ජනාධිපතිවරණය දක්වා දිව යන ඡන්ද පෙළක ආරම්භය වනු ඇත. 19 වන ව්‍යවස්ථා සංශෝධනය විසින් ව්‍යවස්ථාවේ 30(2) වගන්තිය වෙනස් කරමින් ජනාධිපතිවරයාගේ ධූර කාලය අවුරුදු පහකට අඩු කරන ලදී. 19 වන සංශෝධනයේ 49(1)(ආ) වගන්තියෙන් ඒ වෙනස වත්මන් ජනාධිපතිවරයාටද බලපාන ආකාරයට ප්‍රකාශිතවම විශේෂ විධිවිධාන සලසා ඇත. එම නිසා වත්මන් ජනාධිපතිවරයාගේ ධූර කාලය 2020 ජනවාරි 9 වන දායින් අවසන් වේ. අපේ ව්‍යවස්ථාවේ 31(3) වගන්තියට අනුව ජනාධිපතිවරණයක් පැවැත්විය යුතු වන්නේ බලයේ සිටින ජනාධිපතිවරයාගේ ධුර කාලය අවසන් වීමට මාස දෙකකට නොවැඩි, මාසයකට නොඅඩු කාළ පාරාසයක් තුළය. මෙකී ව්‍යවස්ථාමය ප්‍රතිපදාන අනුව ඊළඟ ජනාධිපතිවරණය පැවැත්විය යුතු වන්නේ 2019 නොවැම්බර් 9 ත් දෙසැම්බර් 9ත් අතරය.

1981 ජනාධිපතිවරණ පනතේ විධිවිධාන වලට අනුව ඡන්දය ප්‍රකාශ කිරීමට හා නාමයෝජනා කැඳවීම වැනි කාරණා වලට අවශ්‍ය කාලයද සැලකිල්ලට ගත්විට ඊළඟ ජනාධිපතිවරණය පැවැත්වීමේ ක්‍රියාදාමය 2019 ඔක්තෝම්බර් මාසය වනවිට ආරම්භ විය යුතු වේ. ඒ අනුව 2018 පෙබරවාරි මස පළාත් පාලන ඡන්දයත්, 2019 ඊළඟ ජනාධිපතිවරණ ක්‍රියාවලයේ ආරම්භයත් අතර ඇත්තේ මාස 18ක් වැනි කාලයකි. ඊළඟ ජනාධිපතිවරණය පැවැත්වීමට පෙර, කල්දමා ඇති පළාත් සභා ඡන්ද පැවැත්වීමටද ආණ්ඩුවට සිදුවනු ඇත. සබරගමුව, නැගෙනහිර හා උතුරුමැද පළාත් සභා දැනටමත් විසුරුවා හැර තිබෙන අතර ලබන වසරේදී උතුරු හා වයඹ පළාත් සභාත් ස්වයංක්‍රීයව විසිරුවා හැරෙනු ඇත. වත්මන් ආණ්ඩුව බලයට පැමිණියේ උතුරු නැගෙනහිරින් ලැබූ බහුතර ඡන්දයෙන් නිසා එම පළාත් දෙකේ පළාත් සභා නොමැතිව වත්මන්  බලධාරීන්ට ජනාධිපතිවරණයකට මුහුණ දීමට නොහැකිය.

මේ අනුව 2018 පෙබරවාරි පළාත් පාලන ඡන්දයෙන් පසු මාස ගණනක් තුළ පළාත් සභා ඡන්දයත්, ඉන්පසු තවත් මාස කිහිපයකට පසු ජනාධිපතිවරණයත් වශයෙන් ඡන්ද පෙළක් එනු ඇති බවට අපේක්‍ෂා කළ හැක. රටේ බලය ලබාගෙන මේ හවුල් ආණ්ඩුව කර ඇති වින්නැහිය ගැන අමුතුවෙන් කිව යුතු නැත. රට පාලනය කරගැනීමට නොහැකි බව මේ එජාප-ශ්‍රිලනිප ආණ්ඩුව ඇස් පනාපිට ඔප්පු කර තිබියදීත් ගමේ බලය ඔවුන් ඉල්ලා සිටින්නේ කුමකටදැයි සියලුම ඡන්දදායකයන් කල්පනා කර බැලිය යුතුය. එළැඹෙන පළාත් පාලන ඡන්දයේ දී අනෙක් සියලුම කාරණා පසෙක තබා, තමන් වත්මන් එජාප-ශ්‍රිලනිප හවුල් ආණ්ඩුවට පක්‍ෂද නැතිනම් විපක්‍ෂද යන කාරණය මත පමණක් ඡන්දය භාවිතා කරන මෙන් මම මහජනතාවගෙන් ඉල්ලා සිටිමි.

මහින්ද රාජපක්‍ෂ
ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති

5,367 Viewers

One Response to “මෛත‍්‍රිට ජනපති පුටුව තව මාස 18යි.. ජනාධිපතිවරණය ඔක්තොම්බරයේ අරඹෙයි.. 19 වන සංශෝධනය මෙන්න..”

  1. ranjit Says:

    We are with you Sir from the bottom of our hearts. The current heartless, evil rulers must be exposed and kicked out this time. These unpatriotic rulers on both sides are not two but one wreched lot. People knows everything from the beginning. We haven’t forgotten anything their bogus promises and fairytale stories from both Sira and Ranil. Sirs is sitting on the UNP lap. He will never go against UNP or his partner Ranil. If he is a genuine SLFPer he should not allow those UNP traitors to sell our lands and assets which are meant for our future generations. To prove he is genuine he must act genuinely on the bond scam and take the culprits in to custody including the prime minister who was the mastermind. Election losers who got ministry posts will never leave this Yamapalanaya because this will be their last chance to be in the parliament. They want to earn as much as possible thru illegal means before they leave or chased by the people in this country. Mahinda and pohottuwa is the answer to our problems therefore patriots work hard to bring this great leader back to power. Sinhala buddhists and the true patriots to Motherlan including minorities must use your vote wisely and think of the hardships we are facing today because of this yamaballo in Yamapalanaya.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress