පිමි, බල්ටි සහ කරනම් !!!!!
Posted on December 17th, 2017

තේජා ගොඩකන්දෙආරච්චි

ඉඩෝරයක් නිමවී, ලඟ එන වැසි සමය ගැන අපේ වැඩිහිටියන් අනාවැකි කියනුයේ සවස් යාමයට දෙසවන් පුරවන ගෙම්බන්ගේ හඬ අනුවය. මේ වන විට වසර තුනකට ආසන්න කාලයක් ඉඩෝරයට හසුව තිබූ මැතිවරණ භූමියට ඇදහැලෙන්නට නියමිතව ඇති පලාත් පාලන වර්ෂාවට පෙර, දැන් දැන් අපේ හෙවත් හුදී ජනතාවගේ දෙසවන්, දේශපාලක ගෙම්බන්ගේ බක බකයෙන් පිරෙමින් පවතී. නමුත් මේ දෙපා මණ්ඩුකයන්ගේ කටහඬට පෙර මහජන අවධානයට යොමු වූයේ ඔවුන්ගේ පිමිය. විශේෂයෙන් ඒකාබද්ධ විපක්ෂයේ සිට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ලඟට පැන්න සහ පනින්නට තීරණය කල උදවිය මේ අතරින් කැපී පෙනේ. අනිත් අය දැන් පනීවි, දැන් පනීවි කියා කිව්වත් මොවුන් උපායශීලීය. ඔවුන් වහින වැස්සේ පාට, ප්‍රමානය ආදිය ගැන සෙවිල්ලෙන් සිටින සෙයකි. ‘පනින්ට පෙර සිතා බලනු’ කියා පැරණි කියමනක් ඇති නිසා ඊට දොසක් කියන්නටද නොහැකිය.  තමා වෙත පනින දේශපාලන ගෙම්බන් අල්ලා ගැන්මට ජනාධිපතිවරයා විසින් මානාගෙන සිටින්නේ ඇමතිකම නමැති කූඩයයි. එවන් කූඩයක් තුල ඇති ආකර්ශණීය දේ ගැන නොකිවමනාය. 2015 න් පසු රටේ සැබෑ වෙනසක් වූ බව කීවත් එය එසේ නොවූ බවට ඇති හොඳම උදාහරණය මෙයයි

මෙතෙක් කල් මොවුන් මේ සම්පත් දෙස බලමින්, ඒකාබද්ධයට වී සිතෙන් දැවි දැවී උන්නා නේදැ’යි දකිනවිට නිතැතින්ම පහල වනුයේ අනුකම්පාවකි. ඇයි ඒ? මහින්ද රාජපක්ෂ මොවුන්ට පනින්නට නොදී සිර කරගෙන උන්නාද? සමහරවිට මේ උදවිය ආණ්ඩුවේ පැවැත්ම ගැන යම් තක්සේරුවක් කරන්නට ඇත. මෙයට මාස කිහිපයකට පෙරද රජය පාර්ශ්වයෙන් ඒකාබද්ධය දෙසට පනින්නට අරඅඳින පිරිසක් ගැන පවසමින් තමන් දින කිහිපයක් ඇතුලත රජය පෙරලන බවට ඩලස් අලහප්පෙරුම ඇතුලු පිරිසක් පැවසුවද එවැන්නක් සිදුවුනේ නැත. එක අතකට එක්සත් ජනතා නිදහස් සන්ධාන කණ්ඩායම රජයෙන් ඉවත් වන්නේ නම් තමන් ද්‍රවිඪ එක්සත් විමුක්ති පෙරමුණ සමග සන්ධානගතව රජයක් පිහිටුවන බවට අග්‍රාමාත්‍යවරයා පැහැදිලිව කියා සිටියේය. දැනටමත් ද්‍රඑවිපෙ යනු නිළ විපක්ෂය වුවත් ඔවුන් හැසිරෙනුයේ රජයේම කොටසක් මෙනි. මීට අනිකුත් සුලු ජාතික කණ්ඩායම්ද එකතුවනු නියතය. රජයේ වගකිවයුතු අය බොහෝ දෙනෙකුට ශ්‍රී ලංකා භූමියේ අනාගතය ගැන සිතා වදවීමට දෙයක් නැත්තේ ඉන් සෑහෙන පිරිසකට තමන්ගෙන් පසු ඔටුණු පලඳවන්නට (ඉහගෙන කෑමේ අභිප්‍රායෙන් හෝ)  නිළ උරුමක්කරුවන් නොමැති බැවිනි. අනිත් අයටද තමන්ට හැකි පමන හරි හම්බ කරගත් පසු තම දරුවන් පිටරටකට පටවා හෝ ඇස් පියා ගත හැක. ඒ, මේ කිසිවකුත් මිලියන 20.8 ක් වන පොදු ජනතාව ගැන නොසිතන බැවිනි. එබැවින් තමන්ගෙන් පසු මේ රට තුල ඕනෑම එකෙකු බඩ පිනුම් ගැසුවත්, රට කෑලිවලට කඩාගෙන අනුභව කලත් මොවුන්ට එය කාරණාවක් නොවනු ඇත. විශේෂයෙන් 80 දශකයේ අග භාගයේදී, ශ්‍රී ලාංකික අනාගත පරම්පරාවේ කොඳු නාරටිය බඳු, යම් දේශපාලන දැක්මක් ඇතිව සිටි තරුණ පරම්පරාවේ 60,000 ක ට වැඩි ජීවිත සංඛ්‍යාවක් වැනසූ එජාපයේද, ශ්‍රී ලාංකික දේශපාලන ලොවේ වැජඹුනු, උගත් සහ බුද්ධිමත් දේශපාලකයන් විනාශකර දැමූ ත්‍රස්තවාදීන්ට සුදු හුණු පිරියම් කරන උතුරේ දේශපාලකයන්ගේද  එකමුතුවකට ශ්‍රී ලංකාවේ අනාගතය භාරදීම ඉතාම භයානකය. එබැවින් රජය පෙරලීමේ වෑයම ගැන නම් මඳක් සිතා බැලීම වටී. අනිත් අතට දිනෙන් දින රට කැබලි කරමින් නොරටුනට විකුණා දමන ප්‍රතිපත්තිය ගැනද ජනතාව සිතා බැලීම අවශ්‍ය වේ. ඇත්තෙන්ම මේ ගැන සිතා බැලිය යුත්තේ ජනතාවම පමනක් වන්නේ දේශපාලකයන්ගේත්, අපේ ජාත්‍යන්තර ‘මිතුරන්ගේත්’ බහුතරයකට ශ්‍රී ලංකාවේ අනාගතයෙන් ඇති පලක් නොවන බැවිනි. වත්මන් ශ්‍රී ලංකාව ‘ප්‍රජාතන්ත්‍රවාදී, සමාජවාදී’ ජනරජයකැ’යි කීවද මෙතැන ඇති ප්‍රජාතන්ත්‍රවාදයක් හෝ සමාජවාදයක් නැත. අද ජනතාව ගැන සිතනවාය කියමින් පිමි පනින්නන්ගේද, ඔවුන් වෙත ඇමති පට්ටම් හද හදා බෙදාදෙන රජයේ ඇත්තන්ගේද අරමුණ තම පැවැත්මම මිස වෙනත් යමක් නොවන බව, පක්ෂ වර්ණාන්ධතාවෙන් නොපෙලෙන දෙමව්පියන් සිටින කුඩා ළමයෙකුගෙන් ඇසුවත් කියනු ඇති.එබැවින් රජය යන මාවතේ වැටෙන මේ සන්ධිස්ථානයේදී, මෙම අත්තනෝමතික ධාවනය අඩාල කිරීමට කහ එලිය දැල්වීමේ වගකීම ඇත්තේ ජනතාව වෙතමය.

මේ සියලු කරුණු එකිනෙකට ගලපාගත් කල විවිධ වර්ගයේ පිමි සිහියට නැගෙනු වැලැක්විය නොහැකිය. වත්මන් පාර්ලිමේන්තුවේ එවන් පිමි නොපැන්න අයෙකු වේ නම් එය ඉතාම දුර්ලභය. එවන් පිමි පැනිලි සිදුවූයේ අද ඊයෙක සිට නොවන අතර සමහරවිට ඊට පැහැදිලි හේතු දක්නට ලැබුනේත් නැත. ගාල්ලේ විජයානන්ද දහනායක, මාතර රොනී ද මැල් එවැන්නන්ය. අප පාසල් යන කාලයේදී රොනී ද මැල්ව, පනීද පිල් ලෙස නම්කලේ මේ දේශපාලන කරණම් ගැන දිගක් පලලක් නොදැනය.

වත්මන් මුදල් හා ජනමාධ්‍ය ඇමති මංගල සමරවීරද, ඔහුගේ පියා වූ මහානාම සමරවීරද එවන් අයයි. අද රාජපක්ෂවරුන්, මංගල නම් නයාට අඳුකොල මෙනි. පසුගිය නොවැම්බර් 25 දා මාතරදී මංගල සමරවීර, ගාමිණී වියන්ගොඩ ඇතුලු පිරිසක් උද්ඝෝෂණය කලේ ලක්ෂ 62 ජනවරම රැකගන්නැයි පවසමින්ය. කාටද කියන්නේ, ඇයි මෙහෙම බෝඩ් ලෑලි අල්ලාගෙන මාතර බෝධිය ඉදිරිපිට ඉන්නට වුනේ යන්න මංගල තමාගෙන්ම විමසා සිටිය යුතු කරුණකි. අනිත් අතට එයද නොවැම්බර් 27 දා ප්‍රකාශයට පත් කරන්නට යෙදුනු පලාත්පාලන මැතිවරණය නම් වර්ෂාව ගැන පණිවුඩ කියන තවත් එක බක බකයක් වැනි වූ බව පෙනුනේ නොබෝ දිනකින් පනින පිමි දුටු කල්හිය. ජනවරම යනු අතින් ඇද උදුරාගත හැකි හෝ ඉබි යතුරු දමා රැකගත හැකි යමක් නොවේ. ඒ ලක්ෂ 62 දිනා ගනිද්දී ‘තමන් ජනතාවට දුන් පොරොන්දු එපරිද්දෙන්ම ඉටුවී තිබේය’ යන්න තම හදවතට එකඟව කියන්නට හැකි වුනා නම් මෙසේ අව් කාෂ්ටකේ දැවෙමින් පාරවල් වල ලගින්නට, රාජ්‍ය බලය අතැ’ති උදවියටම සිදු නොවනු ඇත. එසේ නැතිව කරන මෙවන් විරෝධතා තුල රැඳී ඇත්තේ චන්දදායකයන් යනු හැමෝටම අවශ්‍යවන පරිදි දක්කන්නටම සැදුනු ගොන් රැලක් ලෙස දැකීමද කියාත් සිතේ. නමුත් කෙවිට අත ඇති තම ස්වාමියා දක්කන අතටම යන කොටසක්ද නොසිටිනවා නොවේ. ඊට හොඳම උදාහරණය මට මතක ඇති කාලයේ පතුලේ තැම්පත් වන්නේද මංගල සමරවීර ප්‍රධාන කරගෙනය.

1987 දී ලන්ඩනයේ සිටි තරුණ මංගල සමරවීර පෙරලා ලංකාවට සැපත්ව පදිංචියට පැමිනියේ මාතර නගරයේ වල්පොල අප පදිංචිව සිටි නිවස ඉදිරිපිට වූ නිවසටයි. ඊට පෙර එම නිවස 1977 කාලයේ සිට එක්සත් ජාතික පක්ෂ කාර්යාලය වී තිබී, පසුව වසා දමා තිබිනි.එවකට මාතර ආසනයේ එජාප මන්ත්‍රීවරයා වූයේ මංගලගේ බාප්පා (පුංචි අම්මාගේ සැමියා) වන එස්. කේ. පියදාසයි. ඊටත් පෙර එය මහානාම සමරවීරගේ කාර්යාලය බව අසා තිබුනත් එය මගේ මතකයේ නැත. 77 චන්ද කාලයේ මම පාසැල් දැරියක් වීමි. ඒත් මේ පක්ෂ කාර්යාලය ගැන කුතුහලය අප සැමගේම සිතේ තිබිනි. අපේ ගෙදර පිටුපස ගෙදර සිටි ගර්ලි අක්කා තදබල යූඇන්පී කාරියක් වූවාය. දවසක් සවස් යාමයේ එජාප කාර්යාලයේ පැවති රැස්වීමක් අතරතුර මහත් ගාලගෝට්ටියකි. ඒ දිස්ත්‍රික් පක්ෂ බලමණ්ඩලයේ නිළතල බෙදාගැනීමක් අරභයාය. එතැන කරන කතා අපට පැහැදිලිව ඇසේ. නිළතලයක් නොලැබ තදින්ම කෝපයට පත් ගර්ලි අක්කාගේ කටහඬ එදා සීණුවක් මෙන් ඇසිනි. ”මතකද මිස්ට පියදාස, මතකද? ඔයාල කොමියුනිස්ට් කාලෙත් අපි යූඇන්පී” මේ කතා කලේ මංගලගේ පියා කොමියුනිස්ට් පක්ෂයෙන් දේශපාලනයේ යෙදුන සමය ගැන බව පැහැදිලිය. මේ ආරවුලට මැදිවුන දෙපාර්ශ්වයෙන් එක පාර්ශ්වයක් ‘කැපුවත් කොල’ වන අතර අනිත් පාර්ශ්වය ‘කෙවිට ගත් ස්වාමියා යන අතට යන හරක් රැල’ බඳුවූ බව මට වැටහුනේ වැඩුන පසුය. එදා නොවැම්බර් 25 දා මාතර බෝධිය ඉදිරිපිට උද්ඝෝෂණයේ යෙදුන පිරිසට මේ දෙවර්ගයෙන් පිට ජනතාවක් පිලිබඳ අවශ්‍යතාවයක් නොමැත. මේ අප රටේ දේශපාලන ඛේදවාචකයයි. මේ දෙවර්ගයේම ජනතාව සිටිනතුරු අප රටට ධනාත්මක දේශපාලන අනාගතයක් පිලිබඳ අපේක්ෂාවක්වත් තබාගත නොහැකිය.

පසුව 1987 දී මංගල ශ්‍රී ලංකාවට පැමින, ශ්‍රීලනිප මාතර ආසනයේ සභාපතිවරයා බවට පත්වූ කල්හි එම නිවස ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලය බවට හැරුන විට, මිනිස්සුන්ගේ දේශපාලනයට අනුරූපව ගෙදර හඳුන්වන නමද වෙනස් වන බව පවසමින් අපේ අම්මා සිනාසුන හැටි මට තවමත් මතකය.

එදා ඔහු පාර්ලිමේන්තු මැතිවරණයේදී මාතර දිස්ත්‍රික්කය සඳහා නාම යෝජනා භාර දෙනවිට දකුණේ මතුවූ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ තරුණ නැගිටීම තුල රටම ගිනි ජාලාවක්ව තිබිනි. එය හරියට උඩිනුත් ගින්දර, යටිනුත් ගින්දර තේරවිල්ල වැනිවිය. එජාප රජයේ දැඩි ඒකාධිපතිවාදී ක්‍රියාකලාපයට විකල්පයක් ලෙස නැගී ආ තරුණ නැගිටීම මර්ධනය සඳහා රජය අමානුෂික අයුරින් ක්‍රියාත්මක වූ ඒ යුගයේ, ජනතා සිත්තුල යතාර්ථය පිලිබඳ හැඟීම් ඉස්මතු කරමින් නිර්මාණයකල නන්දා මාලිනියගේ ‘පවන’ ප්‍රසංගය විශ්ව විද්‍යාල පුරා මහත් ආකර්ශනයක් ඇතිකලේය. ඊට සමගාමීව පවන කැසට් පට යුගලයක්ද නිකුත් වූ අතර ඒවා මිලට ගැනීමට බොහෝ දෙනා පෙලඹුනි. මංගල ද පවන කැසට් පට මිලට ගෙන තිබුනේය. එකල මංගල තම ප්‍රචාරක රැස්වීම් සඳහා භාවිතාකලේද පවන කැසට්පටයි. වරක් මාතර උයන්වත්තේ පැවති එවන් රැස්වීමකට තමන් යාමට පෙර ඊට ලක ලැහැස්ති වීම සඳහා පිටත්ව යන තමන්ගේ අන්තේවාසිකයාට මංගල මහ හඬින් කෑ ගසනු මට තවම මතකය. ”කලු මහත්තයා, පවන විතරයි හරිද? පවන විතරයි”  පසුව එජාපයට මහා පිම්මක් පැන්න ඔහු එදා ජනතාවගේ හැඟුම්වලට ආමන්ත්‍රණය කලේ එසේය. අද බලන විට මේවා තුලද තිබී ඇත්තේ බොරුවම මිස වෙනත් යමක් නොවේ. 1990 දී අතුරුදන් වූවන්ගේ මව් පෙරමුණ පිහිටුවීම, 1994 දී සමූහ මිනී වලවල් හෑරීමට මූලික වීම මේ බොරුවේ ඉදිරි පියවරයන්ය.

මේ කාට එරෙහිවද? එදා ශ්‍රීලනිප මාතර කාර්යාලයේ ආලින්දයේ පුටුවල හිඳ මංගල සමග කතාවට වැටී සිටින මහින්ද රාජපක්ෂ එම නිවසට අමුත්තෙකු නොවීය. එකල මහින්ද, රජයේ මර්ධන හස්තය යට පොඩිපට්ටම් කල තරුණ පිරිස්වල මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටි නිසා, මංගල විසින් මේ හා සමාන අදහස් ඔහු වෙතින් උකහා ගත්තාද විය හැකිය. නමුත් අද වනවිට මංගලගේ පරම හතුරා මහින්දයි.

එ් කාලයේ දවසක මැදියම් රැයේ මංගලගේ පක්ෂ කාර්යාලයට බෝම්බ ප්‍රහාරයක්ද එල්ල විය. මේ ආරංචිය නිසා පසුදින තම සැපදුක බැලීමට වැල නොකැඩී පැමිනි පිරිස අතර සිටි ඔහුගේ ඥාතියෙකුට මංගල ඇඟට කඩා පැන්නේ ”දයානන්දල එක්ක එකතුවෙලා මට බෝම්බ ගහල, දැන් බොරුවට මූණ පෙන්නන්න එනවද?” කියා අසමිනි. එවකට අකුරැස්ස ආසනයේ මන්ත්‍රීවරයා වූ දයානන්ද වික්‍රමසිංහගේ නිවෙස පිහිටා තිබුනේද මංගලගේ නිවසට නොදුරිනි. මංගල එය පුද්ගලිකව ගත්තාට ඔහුගේ එම ඥාතියා තද එක්සත් ජාතික පාක්ෂිකයෙකු මිස ක්‍රියාකාරී දේශපාලනයේ යෙදුනෙකු නොවේ. එකල ඔහු වෙත තිබූ එවන් නොමේරූ ස්වභාවය තවමත් එලෙසම බව නොවැම්බර් 25 දා පැවති විරෝධයෙන්ද පෙනුනි. එදා දයානන්දට එරෙහිව කල ඒ බෝම්බ ගැසීම පිලිබඳ චෝදනාව, සත්‍යයක් විය හැකි වුවද, එය එසේ යයි ඔප්පු කරන්නට ඔහු, එවන් අවලාද කීම හැර වෙනත් යමක් නොකලේය. එවර මැතිවරණයේදී, ජවිපෙ විසින් ‘චන්දය පාවිච්චි කරන්නන්ට මරණය’ යන නීතිය පනවා තිබූ නිසා බහුතර ජනතාවක් තම චන්දය පාවිච්චි නොකල අතර, තුවක්කු අතින් ගත් ආරක්ෂකයන් සහිතව සිටි රජයේ මෙන්ම විපක්ෂයේද අපේක්ෂකයන් තම සිතු මනාපයේ හොර චන්ද දැමීම සිදුකර ගත්හ. එය මංගල සම්බන්ධයෙන්ද සත්‍යයකි. එදා දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය හමුවේ අවිනිශ්චිතව තිබූ සමාජය තුල බලයේ සිටි දෙපිරිස අතර, දේශපාලනිකව බෙදුනු සාමාන්‍ය  ජනතාව අතර තිබෙන තරම් මතවාදී වෙනසක් තිබුනේ නැති නිසා මංගලලාගේ පිමි ගැන කියන්නට තරම් විශේෂයක්ද නැත.

පිමි ගැන කරන්නට ගිය කතාව මංගල දෙසට හැරුනේ ඔහුද පරම්පරාවෙන්ම පිමි පැනීමේ කුසලතාවක් රැගෙන විත් ඇති බැවිනි. වරද ඔහුගේ පිමිවලට පොදු ජනතාවගේ හැඟීම් යොදා ගන්නා එකය. ඔහු තාජුඩීන්ගේ මරණය දින ශිරන්ති රාජපක්ෂට ලැබුන දුරකථන ඇමතුම් ගණන ගැන පවසන්නේද යම් වෘත්තිමය ස්වභාවයකින් නොව නිකම් කටට ආවාට වගේය. ඒ තුල රවි කරුණානායකට අර්ජුන ඇලෝෂියස්ගෙන් ලැබුන දුරකථන ඇමතුම් ගැන සාධාරණීකරනය කිරීමේ උත්සාහයක් පවතී. ‘ඒකට මේක’ කියා සමතුලිත කරන්නට හැකි නම් ලක්ෂ 62 ක ජනවරමේ අර්ථය කුමක්ද?

එසේ සමතුලිත කරන්නට අවශ්‍ය නම් තවත් දේ තිබේ. ඔහුගේ පියාද මාතර නිල්වලා ගඟ හරහා ඉදිවුන පාලම මහානාම පාලම යනුවෙන් නම් කරගත් අතර මංගල මේ පාලම නවීකරණය කර එහි තිබූ පැරණි බෝඩ් ලෑල්ල වෙනුවට තම පියාගේ නම සඳහන් ඉතා වටිනා පුවරුවක් සවිකර උත්සවශ්‍රීයෙන් විවෘතකර එය තම පාරම්පරික පාලම බවට බෞතීස්ම කලේය. ඔහු චන්ද්‍රිකා කුමාරතුංග රජයේ, නිවාස ඉදිකිරීම් සහ මහජන උපයෝගීතා අමාත්‍යවරයාව සිටි අවධියේ ඔහුගේ මව වන ඛේමා සමරවීර හදිසි ඇදවැටීමක් නිසා උකුල් ඇටය පුපුරා, ඔත්පල වූවාය. තම මවට උඩුමහලට නගිනු, බසිනු පිනිස තම නිළ නිවසට විදුලි සෝපානයක් සවිකලේ රුපියල් කෝටි දෙක හමාරක් පමන වූ මහජන මුදලිනි. මේ ගැන විමසූ මාධ්‍යවලට ඔහු පවසනුයේ මේ විදුලි සෝපානය ඕන කෙනෙකුට ප්‍රයෝජනවත් වන බවය. ඔහු මාතෘ වන්දනය සිදුකලේ එලෙසිනි. ඒ හැර ඔහුගේ ක්‍රෙඩිට් කාඩ් ගණුදෙනු ගැන කතාද ජනතාවට අමතක විය නොහැක. ඩී. ඒ. රාජපක්ෂ පදනම ගැන කියද්දී ජනතාව මතක තබාගත යුත්තේ කාගෙ කාගෙත් කිල්ලෝටවල හුණු තිබෙන බවයි. ඒ අනුව ඔය පිමි මොන පැත්තට පැන්නත් වෙනස් නොවේ.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිව සිටි අවධියේ අරලියගහ මන්දිරය හැඳින්වුනේ ‘පින්නවල’ නම් අන්වර්ථ නාමයෙනි. එකල දිගින් දිගටම පරාජයේ අමිහිර අත්විඳිමින් සිටි එජාපයේ බොහෝ පිරිස් තම ඇමති සිහින පිලිබඳ අපේක්ෂාවන් ඉටුකර ගැනීමේ අන් මගක් නොදුටුවෝ, අරලියගහ මන්දිරයේ පිලට ගොඩවූ අතර තවත් පිරිසක් නායක රනිල් වික්‍රමසිංහට එරෙහිව පක්ෂය තුලම කැරැල්ලක් ඇරඹූහ. 2010 දී ශ්‍රීලනිප (මහජන පෙරමුණ) නමින් නව පක්ෂයක් පිහිටුවා ගෙන සිටි මංගල එජාපය සමග එක්ව, වරක් තමන් විසින්ම ගැලවීමේ හමුදාවට සුදුසු බව කියමින් පහත හෙලූ සරත් ෆොන්සේකා යුද වීරයෙකු ලෙස නම් කරමින් ජනාධිපතිවරණයේදී  ඔහුට සහයෝගය දැක්වූ අතර ටික දිනකින් තිරසාර ලෙසම එජාපයට එක්විය. 2013 දී පක්ෂ නායක රනිල් වික්‍රමසිංහට එරෙහිව පැවැත්වුන විරෝධතා පාගමනට කුරුඳු පොලු ප්‍රහාරය එල්ල කරමින් එය ව්‍යර්ථ කලේද මංගලගේ මූලිකත්වයෙනි. අද කියන විදියට ඔවුන්ට සන්ධාන කණ්ඩායම රජයෙන් ඉවත්ව ගියහොත් තමන්ට සුලු ජාතික පක්ෂ සමග එකතු වී රජයක් පිහිටුවන්නට හැකියාව ඇතැයි කියනවා නම් 2015 දී මෛත්‍රීපාල සිරිසේන වෙනුවට රනිල් වික්‍රමසිංහම ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවුනේ ඇයි?  එදා පාර්ලිමේන්තුව තුල තමන්ට හිමිව තිබූ ආසන සංඛ්‍යාව මත ඔවුන්ගේ අරමුණ වූයේ ශ්‍රීලනිපය දුර්වල කිරීම මිස අන් යමක් නොවේ. ඒ අනුව අගෝස්තු මැතිවරණය වනවිට අර ජෝන් අමරතුංග එලිපිටම කීවාක් මෙන් ‘රජයත් අපේ පොලිසියත් අපේ’ න්‍යායද රහසින් ක්‍රියාත්මක වන්නට ඇත. ඊට ලොකුම උදව්ව වූයේ 2015 ජනවාරි 8 දා තෙක් මහින්ද සමග සිට 10 වන දා වනවිට මෛත්‍රී දෙසට පිමි පැන්න පිරිසය. හොඳම විහිලුව නම් ජනාධිපතිවරණයට පෙර බද්දෙගම මෛත්‍රීගේ වේදිකාවක් විනාසකර පොලිසියටද බලය පෙන්වා නඩු පටලවාගත් නිශාන්ත මුතුහෙට්ටිගම අද එම නඩුවට යන්නේ මෛත්‍රී රජයේ නියෝජ්‍ය ඇමති කෙනෙක් ලෙස සිටිමිනි.

එබැවින් මේ පිමි ගැනත්, පිමි පනිනවුන් ගැනත් ජනතාව කලබල විය යුතු නැත. දේශපාලකයන්ට නම් මේ ගැන බියක් දැනීම සාධාරණ වනුයේ ඉන් දෙදරා යන්නේ ඔවුන්ගේ පදනම බැවිනි. මැතිවරණයක් ලඟ එන මේ වෙලාවේ කලයුතු හොඳම දේ වන්නේ මේ පිමි ගැන සිතමින් අනුන් රැකදීමට වදවෙනවා වෙනුවට තමන්ගේ රැකවරණය ගැන ස්වාධීනව සිතාබැලීමය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress