ෆ්‍රී වයි-ෆයි, වොක්ස්වැගන් වෙනුවට තරුණයන්ට ‘කොන්ඩම්’.. රට පුරා මැෂින් පන්සියයක්…
Posted on December 19th, 2017

lanka C news

බෙදුම්වාදයට, අධිරාජ්‍යවාදයට, ඉන්දියානු ව්‍යාප්තවාදයට එරෙහි මාවතේ, එනම් මේ රටේ ස්වෛරීභාවයට, නිදහසට පක්ෂපාතී මාවතේ ඉදිරියට යනු විනා දේශද්‍රෝහී සතුරු කල්ලිවල අගුපිල්වල ලගින දේශපාලන ගමනක් තමන්ට නැතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා අවධාරණය කරයි.

රාජගිරියේ පැවති ජනසමුළුවක් අමතමින් ඒ මහතා මෙසේ අවධාරණය කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේ ද පැවසීය.

2015 ජනවාරි 08 වැනිදා ඔබෙත් මගෙත් මාතෘභූමිය සතුරු බලඇණියක ගොදුරක් බවට පත් වූ බව අද කවුරුත් පිළිගන්නා සත්‍යය බවට පත් වී තිබෙනවා. දේශපාලන ස්ථාවරභාවයක් තිබූ, සමාජීය සාමය දිනා ගෙන තිබූ, යම් ආර්ථික වර්ධනයක් ලබා ගෙන තිබූ, රටක් ලෙස ඒ වන විට අප සෑම අතකින්ම ඉදිරියට යමින් තිබුණා. ඒ රට නැවත අස්ථාවර කරන්න, ආර්ථිකමය වශයෙන් ආපස්සට ඇදලා දමන්න තමයි එදා මේ රූකඩ ආණ්ඩුව බලයට ගෙනාවේ.

‘නීති කඩා ගෙන වැඩ පටන් ගත්තේ’

ජනවාරි 09 වැනිදා ඉර බැහැගෙන යන විට මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ජනාධිපති ධුරයේ දිවුරුම් දුන්නා. ඒ සමගම රටේ අගමැතිවරයා ඉල්ලා අස් වී නොමැති තත්වයක් යටතේ රනිල් වික්‍රමසිංහ මහතා නීතිවිරෝධීව අගමැති ධුරයේ දිවුරුම් දුන්නා. ඒ විතරක් නොවෙයි ‘ඔබගේ තනතුර බල රහිත වේ’ යනුවෙන් ලිපියක් යවලා එවකට අගවිනිසුරුවරයා ලෙස කටයුතු කළ මොහාන් පීරිස් මහතා ධුරයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළා. තමන්ට නැති බලයක් ආරෝපණය කර ගෙන තමයි ජනාධිපතිවරයා එහෙම කළේ. මේ ආණ්ඩුව වැඩ පටන් ගත්තේ ඒ විදියට නීති කඩා ගෙනයි. ‘තිබුණු ආණ්ඩුවට වඩා හොදින් නීතිය රකිනවා’ කියා ජනතාවට පොරොන්දු දුන් මේ ආණ්ඩුව වැඩ පටන් ගත්තේ නීතිය බල්ලට දමලයි.

‘රනිල් වගේ එදා මිගාර වැඩ කළා’

2015 ජනවාරි 08 වැනිදාට පෙර දුන් පොරොන්දු අද ඉටු වෙලා ද? ලැම්බෝගිනි, රත්තරන් අශ්වයෝ සොයාගෙන ද? බේබිලාට නුවරඑළියේ යන්න තිබුණු ‘චොපර් ටික’ සොයාගෙන ද? මේ වෙලාවේ මගේ මතකයට එන්නේ ධාතුසේන රජු සමය. අපේ මාතෘභූමිය දාඨිය, පීඨිය ඇතුළු දකුණු ඉන්දීය ආක්‍රමණිකයන්ගේ ග්‍රහණයට නතු වෙලා තිබූණු අවධියක තමයි, මහා සංඝරත්නයේ ඉල්ලීම පරිදි එක්තරා භික්ෂූන්වහන්සේ නමක් උපැවිදිව මේ ආක්‍රමණිකයන්ට එරෙහිව සටන් වැදීමට සේනා සංවිධානය කළේ. මොහුට හැකි වෙනවා දකුණු ඉන්දීය ආක්‍රමණිකයන් පලවා හැරලා මේ රටේ ස්වදේශික ජනතාවට බලය ලබා දීමට. පසුව ධාතුසේන නමින් රජ වූයේ මෙතුමායි.

දකුණු ඉන්දීය ආක්‍රමණිකයාගේ කාලයේ මේ රටේ මිනිස්සු ගොවිතැන් කළේ එක කන්නයයි. කන්න දෙකක් වගා කිරීමට පුළුවන් පොළොවේ වැව්, අමුණු විනාශ වී තිබුණු නිසා එසේ එක් කන්නයක් පමණක් වගා කිරීමට සිදු වුණා. ආක්‍රමණිකයන්ගේ ග්‍රහණයෙන් මේ රට නිදහස් කර ගත් ධාතුසේන රජතුමා ඉන්පසු කෘෂිකර්මාන්තය නගා සිටුවීමටයි තම අවධානය යොමු කළේ. කලා වැව හදලා කලා වැවේ ජලය රජරට පුරා ගලා ගෙන යාමට යෝධ ඇළ නිර්මාණය වන්නේ ඒ අනුවයි. කලා වැව පමණක් නොවේ තවත් වැව් 18ක් ඒ සමගම නිර්මාණය වෙනවා. 2015 ජනවාරි 08 වැනිදාට පෙර වගේ තමයි, එදා දාඨිය – පීඨියගේ පාලන සමයේ ඔවුන්ගෙන් යැපුණු ජාවාරම්කාර ව්‍යාපාරිකයන් ප්‍රජාව, බත්බැලයන් කටකතා යවන්න පටන් ගත්තා. ‘ධාතුසේන රජ්ජුරුවෝ ඔය වැව් හාරන්නේ ජනතාවට ජලය දෙන නොවෙයි. මැණික් ඉල්ලම් තියෙනවා ද කියලයි ඔය බලන්නේ’ කියලයි එදා කටකතා යැව්වේ.

එදා ආක්‍රමණිකයන්ගේ පාලන කාලයේ ගොවිතැන් බත් නොකර හේනක් කොටා ගෙන ජීවත් වූ මිනිස්සු කම්මැලි වෙලායි හිටියේ. තිස් අවුරුද්දක් තිස්සේ හේනක් කොටා ගෙන අලසකමට හිටපු මිනිස්සු වැව් හාරන්න ආවේ කැමැත්තෙන් නොවෙයි. එවැනි පිරිසක් තුළ ඉහත කී බොරුව ලේසියෙන් පැල කරන්න පුළුවන් වුණා. ධාතුසේන රජතුමාගේ අග බිසවගේ පුතා වුණේ මුගලන් කුමාරයා. අනෙක් බිසවගේ පුතා වුණේ කාශ්‍යප කුමාරයා. කාශ්‍යප කුමාරයාට රජ වීමේ උවමනාවක් තිබුණේ නැහැ. නමුත් ධාතුසේන රජතුමාගේ මහ සෙනෙවි ලෙස කටයුතු කළ මිගාර, රජතුමා තමාට එරෙහිව යන විට කාශ්‍යප කුමාරයාගේ ඔළුවේ රජකම පිළිබඳ සිහිනය පැල කළා. ඒ විතරක් නෙවෙයි ධාතුසේන රජතුමා රජකමින් පහ කරලා කාශ්‍යපට රජකම ලබා දීමේ කුමන්ත්‍රණය දියත් කළා. කාශ්‍යප රජ කළාට එදා ඉදන් රට පාලනය කළේ මිගාර සෙනෙවියායි. හරියට රනිල් වගේමයි.

‘එදා මැණික් – අද රත්තරන්’

එදා මිගාර සෙනෙවියා ධාතුසේන රජතුමාට විරුද්ධව යොදා ගත්තේ ඔහුගේම පුතා කාශ්‍යප. මෙදා නූතන මිගාර හෙවත් රනිල් යොදා ගත්තේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ඇමතිවරයෙකු වූ මෛත්‍රීපාල සිරිසේන. ඥාතිකමක් නැතත් දෙදෙනාම එකම දේශපාලන කඳවුර නියෝජනය කළ අයයි. එදා කාශ්‍යප රජ වුණාට පස්සේ මිගාර සෙනෙවියාගේ සෙබළුන් පිස්සු බල්ලන් වගේ රට පුරාම වළවල් හාරමින් ‘ධාතුසේන සඟවපු මැණික්’ හොයන්න පටන් ගත්තා. හරියටම මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ජනාධිපති වුණාට පස්සේ රන්ජන් රාමනායකලා කොමඞ් කටේ අත දාලා රත්තරන් හෙව්වා වගේ, මැදමුලනේ ඉඩම් බැකෝ දාලා හාරලා රත්තරන් හෙව්වා වගේ එදත් වැඩ සිද්ධ වුණා. කාශ්‍යප රජ වුණාට ඔහුට රට පාලනය කිරීමේ වුවමනාවක් තිබුණේ නැහැ. ඔහුට වුවමනා වූයේ සීගිරිය කලා නිකේතනයක් බවට පත් කිරීමටයි. ආලකමන්දාවට වී කලාකාමී දිවියක් ගෙවීමයි ඔහුගේ අපේක්ෂාව වුණේ. කාශ්‍යප රජතුමා ආලකමන්දාව නිර්මාණය කිරීමට මුදල් ඉල්ලුවේ මිගාර සෙනෙවියාගෙනුයි. ඔහු ඒ අවස්ථාවේ තමයි ‘ධාතුසේන සඟවපු මැණික් සොයා ගත්තොත් මුදල් දෙන්න පුළුවන්’ කියලා, කාශ්‍යප රජු ලවා රට පුරා වළවල් හාරන්න අවසර ගත්තේ.

කෙසේ නමුත් එදා රට පාලනය කිරීමට සමත් මුගලන් කුමාරයාට රජකම ලබා දීමට කාශ්‍යප රජතුමා එකඟ කරවා ගැනීමට මහා සංඝරත්නය ඇතුළු රටට හිතැති සෙනෙවිවරුන්ට හැකි වුණා. මෙදා පාර නූතන කාශ්‍යපට එහෙම වුවමනාවක් තිබෙනවා කියා පෙනෙන්නේ නැහැ. දැන් නූතන මිගාර සහ නූතන කාශ්‍යප රණ්ඩු වෙවී, යාළු වෙවී ඉදිරියට යන බවයි පෙනෙන්නෙ. දෙන්නා අතර ඇත්ත ගෝරියක් තිබෙනවා නම් ඒක බැදුම්කර කොමිෂන් සභා වාර්තාවෙන් බලා ගන්න පුළුවන්. ‘රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා බැඳුම්කර වංචාවට වගකිව යුතුයි’ කියා තිබුණොත් දෙන්නා අතර ඇත්ත ගෝරියක් තිබෙනවා කියා පිළිගත හැකියි.

‘තරුණයන්ට ෆ්‍රී වයි-ෆයි වෙනුවට කොන්ඩම්’

අද විපක්ෂ නායක ආර්. සම්බන්ධන් ප්‍රසිද්ධියේ පවසනවා, ‘මේ ආණ්ඩුව ගෙන ආවේ බටහිර රටවල් සහ ඉන්දියාවේ වුවමනාවට’ කියා. එදා දකුණු ඉන්දීය ආක්‍රමණිකයන්ගේ හිතවත් බලවේග ධාතුසේන පලවා හැරලා කාශ්‍යප නැමැති රූකඩ පාලකයකු බලයට ගෙන ආවා තමන්ගේ වුවමනාවන් ඉටු කරවා ගැනීමට. අදත් රට එක්සේසත් කළ මහින්ද රාජපක්ෂ පලවා හැරලා රූකඩ ආණ්ඩුවක් බලයට ගෙන ආවේ බටහිර බලවතුන්ගේ හා ඉන්දියාවේ වුවමනාවන් ඉටු කරවා ගැනීමටයි. ඇමරිකා එක්සත් ජනපදයේ ‘පෙන්ටගනය’ මුදල් වියදම් කරලා ශ්‍රී ලංකාවේ ජනතාවගෙ ප්‍රශ්න විසඳන්න පුළුවන් ආණ්ඩුවක් බලයට ගෙන ඒවි ද? බලන්න, මේ ආණ්ඩුව දුන් පොරොන්දු කිසිවක්වක් ඉටු කාළා ද? අද වොක්ස්වැගන් වාහන හැදෙනවා ද? තරුණයන්ට ෆ්‍රී වයි ෆයි ලැබුණ ද? ඒ වෙනුවට දැන් කොන්ඩම් නොමිලේ දෙන්න මධ්‍යස්ථාන පන්සීයක් නම් හදනවාලු

‘ආණ්ඩුවේ වැරදි ප්‍රතිපත්තිය’

අපි එදා ආණ්ඩුවක් ලෙස ආඩම්බරයට කීවේ රට ‘සහලින් – බඩ ඉරිගුවලින් ස්වයංපෝෂණය කළා’ කියලයි. අද අගමැතිවරයා ආඩම්බරයෙන් කියන්නේ ‘අපි හාල්, පොල්, එළවළු සියල්ල පිටරටින් ගේනවා’ කියලයි. හෙට අනිද්දා කියයි ‘අපි බත් පැකට් එකම පිටරටින් ගේනවා’ කියලා. මේ විදිහට හැම දෙයක්ම පිටරටින් ගෙනෙන්න ගියාම රටේ තිබෙන ඩොලර් ටික පිටරට යනවා. ප්‍රතිඵලය තමයි රුපියල අවප්‍රමාණය වීම. සියල්ල පිටරටින් ගෙන ඒමේ මේ ආණ්ඩුවේ වැරදි ප්‍රතිපත්තිය විසින් තමයි අපේ රට මේ විෂම චක්‍රයට හසු කර ඇත්තේ.

පොහොර සහනාධාර කප්පාදු කිරීමෙන් ගොවියා වී වගාවෙන් ඈත් කළා. ඒ වගේම කෘෂිකාර්මික බෝග වගාව හැම අතින්ම කඩාවැට්ටුවා. දැන් බලන්න අපේ ප්‍රධාන අපනයන බෝගයට සිදුව ඇති දෙය. අපේ ප්‍රධානම තේ ගැනුම්කරුවා රුසියාවයි. ගැටලුකාරී තත්වයක් නිසා රුසියාව ශ්‍රී ලංකාවෙන් තේ මිලදී ගැනීම අත්හිටුවා තිබෙනවා. රුසියාවට මාස දෙකහමාරක් තේ යැව්වාම අගමැති රනිල් වික්‍රමසිංහ මහත්තයා චීනයට හම්බන්තොට වරාය විකුණලා උපයා ගත්තු මුදල හොයා ගන්න පුළුවන්. රනිල් වික්‍රමසිංහ මහත්තයට හැම දෙයක්ම පෙනෙන්නේ වාණිජ භාණ්ඩයක් විදිහටයි. නමුත් ගෙදර ගියාම නෝනාව නම් එහෙම පේන්නේ නැහැ. ඒ නිසා එයා බේරිලා ඉන්නවා. (සභාවේ සිනා) හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපළ, එයාර් ලංකා, ශ්‍රී ලංකා රක්ෂණය, ත්‍රිකුණාමල වරායේ තෙල් ටැංකි, කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය දුටු විට රනිල් වික්‍රමසිංහට ඇති වෙන්නේ විකුණන් කෑමේ මනසයි. ඒකනේ එයාට සමහරු ‘වික්කමසිංහ’ කියන්නේ. රටේ ජාතික සම්පත් විකුණ ගෙන කෑමට අමතරව බලයට ඇවිත් දින 20න් මේ රටේ මහ බැංකුව කොල්ලකෑමට මේ අයට හැකි වුණා. රනිල් වික්‍රමසිංහ මහ මොළකරු ලෙස කටයුතු කළ මේ මහා කොල්ලයෙන් රටට සිදුවූ පාඩුව රුපියල් ට්‍රිලියනයක් බව ලක්ෂ්මන් යාපා ඇමතිවරයා පවසා තිබුණා. හිටපු අධිකරණ අමාත්‍ය, එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහත්තයා කියන විදිහට මේ බැදුම්කර මගඩිය ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ සිදු වූ ලොකුම හොරකමයි. අද අගමැතිවරයාගේ ඡායාරූප වී ඇත්තේ හම්බන්තොට වරාය විකුණන් කාලා ලැබුණු චෙක් එක සමඟ ගත්තු ඡායාරූප. අද සංවර්ධන ක්‍රියාදාමය, විවෘත කිරීම්වල ඡායාරූප වෙනුවට ඇත්තේ ජාතික සම්පත් විකුණාගෙන කෑමේ ඡායාරූප පමණයි. මේ සියල්ලෙන් සිදු වන්නේ රටේ ආර්ථිකය බිඳ වැටීම.

අනෙක් පැත්තෙන් අද සිදු වෙමින් පවතින්නේ කුමක්ද? ධාතුසේන දාඨිය පිඨියලා සමඟ, දුටුගැමුණු එළාර සමඟ, මහින්ද රාජපක්ෂ වේළුපිල්ලේ පිරබාහරන් සමඟ, සටන්වැදී බේරාගත්තු රට අද තෑගි ඔප්පුවකින් (බෙදුම්වාදී ව්‍යවස්ථාවකින්) බෙදුම්වාදී කල්ලිවලට බාර දෙන්න හදනවා. මේ සියල්ල කර ගන්න තමයි, බටහිර රටවල්වලට, ඉන්දියාවට, දෙමළ ඩයස්පෝරාවට 2015 ජනවාරි 08 බල පෙරළිය වුවමනා වුණේ. ඒ නිසා ජනතාවට දුන් පොරොන්දු ඉටු නොකළාට, මේ රූකඩ ආණ්ඩුව බටහිරට, ඉන්දියාවට, ඩයස්පෝරාවට දුන් පොරොන්දු අද ඉටු කරමින් සිටිනවා.

‘අලුත් ව්‍යවස්ථාවක් යටතේ නිදහස සැමරීම’

ඒ අනුව දැන් මංගල සමරවීර ඇමතිවරයාගේ කටින් කියවෙනවා, ‘ඊළඟ නිදහස් දිනය සමරන්නේ අලුත් ව්‍යවස්ථාවක් යටතේ’ කියලා. මේක තමයි ඔවුන්ගේ සැලැස්ම. අපේ අවධානය ඡන්දයට යොමු වෙලා තිබියදී මේ ව්‍යවස්ථා සංශෝධනය හොර රහසේම පාර්ලිමේන්තුවට ගෙන ඒම. පාර්ලිමේන්තුව 2018 ජනවාරි අග තෙක් කල් තබා තිබුණත් හදිසියේම යළි කැඳවා බෙදුම්වාදී ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්මත කර ගන්නයි හදන්නෙ. ඡන්දය පෙබරවාරි 10 වැනිදා. නිදහස් දිනය පෙබරවාරි 4 වැනිදා. ඉතින් ඡන්දයට කලින් ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන්නයි ඔවුන්ගේ සුූදානම.

‘බකට්වලට මේ දවස්වල හොඳ මිලක්’

බකට් පත්තු කරන්නේ වෙසක් කාලයටනේ. වෙසක් එන තෙක් බකට් පැත්තකින් තියලා මුදලාලි බලන් ඉන්නවා. මේ බකට් විකිණෙන කාලයයි. වෙසක් කාලයට වගේ ඡන්ද කාලයට සිරිසේන මහත්තයගෙ ලංසුව වැඩියි. ලංසුව වැඩි වුණාම විකිණෙන ගාණත් වැඩි වෙනවා. ඒ ජවනිකාවන් ඉදිරියේදී රඟ දැක්වෙනවා. ඒවා දිහා ජනතාව බලා ඉන්න කොට බෙදුම්වාදී ව්‍යවස්ථා සංශෝධනය හොර රහසේම ගෙන එනවා.

වෙන ආණ්ඩුවක් ආවොත් යළි විකුණපු සම්පත් පවරා ගන්න පුළුවන්, ආර්ථිකය යළි ගොඩනඟා ගන්න පුළුවන්, දේශපාලන ස්ථාවරභාවය යළි ඇති කරගන්නත් පුළුවන්. නමුත් රටේ මූලික නීතිය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බෙදුම්වාදීන්ට වුවමනා ආකාරයට වෙනස් කළහොත් යළි එය ආපස්සට හරවන්න වෙන ආණ්ඩුවකටත් අමාරුයි. ඒ වගේම එට්කා ගිවිසුම ගහලා ඉන්දියාවට මේ රටේ සේවා ආර්ථිකය විවෘත කරලා දුන්නොත් එය ආපස්සට හැරවීමට වෙන ආණ්ඩුවකටත් අමාරුයි. එම අරාජිකත්වය නිර්මාණය කරන මාවතේයි මේ ආණ්ඩුව යමින් සිටින්නේ.

‘ලැජ්ජා බය නැති අගමැති’

මේ ආණ්ඩුව අද විකාර වැඩ කරමින් ඉන්නවා. කහ ඉර සුදු කළා. දැන් නෙළුම් කුළුණේ නෙළුම් පොහොට්ටුව කොළ පාට කරනවා . මේවා මොළේ කළඳක් තියෙන ආණ්ඩුවක් කරන වැඩ ද? මෙයා ‘බය නැති අගමැති’ නොවෙයි, ‘ලැජ්ජා බය නැති අගමැති’ කියලා නම් හොඳට පෙනෙනවා. පාට මාරු කිරීමට අමතරව පාසල් නිල ඇඳුම් රෙදි වෙනුවට වවුචරයක් දෙනවා. ඒකත් විකාරයක්. ඒ දෙන මුදල් රෙදි ගන්න ප්‍රමාණවත් නැහැ. දෙවන කාරණය සිංහල, දෙමළ, මුස්ලිම් සිසුන්ට අසමාන ගණන් සහිත වවුචර් දීම. මුස්ලිම් ගැහැණු ළමයින් හැර අනිත් අයට අසමාන ගණන්වල වවුචර් දීමේ පදනම කුමක්ද? නිකම් ජාතිවාදය ඇවිස්සීමක් විතරයි එතන තියෙන්නේ. වවුචරයේ ජනාධිපති, අගමැති, අධ්‍යාපන ඇමති යන තුන්දෙනාගේම පින්තූර දාලා තියෙනවා. මේක ගන්න දවසට දරුවන්ට වමනය නොයන පෙත්තක් දීලා පාසල් යවන්න දෙමාපියන්ට සිදු වෙලා තියෙනවා. දැන් පෙළ පොත් ගන්නත් වවුචරයක් දෙන්න යනවා. ඒ වවුචරය සියලු පෙළ පොත් මිල දී ගන්න ප්‍රමාණවත් නැහැ. අද මේ ආණ්ඩුව නිදහස් අධ්‍යාපනය කනවා. අනවශ්‍ය විකාර කරනවා.

‘රට වළට ඇද දැම්මා. ගම දුන්නොත්…’

අද රටට සිදු වෙමින් තිබෙන විපත පටු පක්ෂ කණ්නාඩිවලින් බලන්න එපා. 2015 ජනවාරි 08 වැනිදාට කලින් අපි මේ රටේ ජනතාවට අනතුරු ඇඟවීමක් සිදු කළා. එය එදා ඇතැම් අය පිළිගත්තේ නැහැ. නමුත් අද ඒ කියූ දේවල් එලෙසම සිදු වන බව කාටත් පෙනෙනවා. එදා රතු අලි පැටව් කැටයම් දාලා කියපු විකට කතාවලට මේ රටේ ඇතැම් ජනතාව රැවටුණා. එදා අනුර දිසානායක කීවා ‘පෝට්සිටිය හදන්න ලංකාවෙම තිබෙන කළුගල් මදි. ජා – ඇල, හලාවත, හික්කඩුව දක්වා මුහුදු තීරය විනාශ වෙනවා’ කියලා. නමුත් රනිල් ඇවිත් තවත් වැඩිපුර අක්කර දෙසීයක් සමඟ පෝට්සිටිය හදන්න අවසර දුන්නා. දැන් රතු අලි පැටියා ඒ ගැන කටක් අරින්නේ නැහැ. චම්පික රණවක එදා කිව්වා, ‘පෝට්සිටිය මහා විනාශයක්’ කියලා. නමුත් අද කියනවා, ‘පෝට්සිටිය මේ රටේ ආර්ථිකයේ මූලයයි’ කියලා.

එදා අනුර දිසානායක කිව්වේ ‘හම්බන්තොට වරාය කියන්නේ ගලක්. ඒක තමයි නාමල් බේබිලාට නාන්න හදපු ‘ස්විමිං පූල් එක’ කියලයි. දැන් ඒ කටින්ම කියනවා, ‘හම්බන්තොට වරාය වැනි ජාතික සම්පත් විකුණා දැමීම ජාතික අපරාධයක්’ කියලා. ‘ස්විමිං පූල් එකක්’ නම් චීනා කීයක් හරි දීලා ගත්තාම මොකද වෙන්නේ? ඒ නිසා තේරුම් ගන්න, ‘මේ අය තමයි ජාතියේ ඇස්වලට වැලි ගැහුවෙ’ කියා. මෛත්‍රීපාල සිරිසේන බලයට ගෙනල්ලා මේ රට වළට ඇදලා දමපු මේ රතු අලි පැටව් අද කියනවා ‘ගම අපට දෙන්න’ කියලා. ජනවාරි 08 වැනිදා රට වළට ඇද දමපු අයට ගම දුන්නොත් ගමත් වළටම ඇද දමයි.

‘අගුපිල්වල ලගින්නේ නැහැ’

දැන කටකතා පතුරනවා. ‘අරයා යනවා. මෙයා යනවා’ කියනවා. මමත් යනවලු. මමත් සද්ද නැතුව අහගෙන ඉන්නවා යනවානම්නේ කලබල වෙන්න ඕනේ. අපි යන පාර තමයි මේ පාර. ජනතා විමුක්ති පෙරමුණේ සිටියදීත් අපි ගියේ ජාතිකවාදී පාරේ, අධිරාජ්‍ය විරෝධී පාරේ. ජනතා විමුක්ති පෙරමුණ ඒ දෑහිතකාමී පාරෙන් ඉවත් වෙලා කියලා අද ඕනෑම කෙනෙකුට පෙනෙනවා. අපි එදා ගියපු පාරේම තවමත් ඉදිරියටම යමින් සිටිනවා. බෙදුම්වාදයට, අධිරාජ්‍යවාදයට, ඉන්දියානු ව්‍යාප්තවාදයට එරෙහි මාවතේ, මේ රටේ ස්වෛරීභාවයට, නිදහසට පක්ෂපාතී මාවතේ තමයි හෙටත් අනිද්දාත් අපි ගමන් කරන්නේ. ‘ඒ මාවතේ මිස අගුපිල්වල ලගින දේශපාලන ගමනක් අපි ගාව නැහැ’ කියා අපි මේ රටේ ජනතාවටට අවධාරණය කරනවා. දේශද්‍රෝහී හතුරු කල්ලිවල අගුපිල්වල ලගින්න සමහර ඇම්බැට්ටයන්ට පුළුවන් වුණාට අපට එහෙම කරන්න පුළුවන්කමක් නැහැ. අපිට විකිණෙනවා නම් හත්මුතු පරම්පරාවම ගොඩ යන ගණනකට විකිණෙන්න පුළුවන්.

‘ජයග්‍රහණයෙන් පසුව මිස කොඩිය අත හරින්නේ නැහැ’

අපි විකිණෙනවානම් විකිණෙන්න තිබුණේ මීට කලින්. මේ ආණ්ඩුව බලයට ආපු ගමන් පළමුව අත්අඩංගුවට ගත්තේ තිස්ස අත්තනායක මහත්තයාවයි. දෙවනුව අත්අඩංගුවට ගත්තේ මගේ බිරිඳ. පසුව සහෝදරයා අත්අඩංගුවට ගත්තා. මාව අත්අඩංගුවටට අරන් මාස 3ක් රඳවා ගෙන සිටියා. එතැනදී බැලුවා මම මානසිකව වැටිලා ද කියා. ඒ කවර තර්ජන, කුමන්ත්‍රණ ආවත් අපි දේශද්‍රෝහී හතුරු කල්ලිවල අගුපිල්වල ලගින්න ගියේ නැහැ. මේ සියල්ලෙන් පෙනෙන්නේ සතුරාට අපව අභියෝගයක්, තර්ජනයක් බවයි. ඒක නැවත නැවතත් මතක් කර දීම පිළිබඳව අපි සතුරාට ස්තුතිවන්ත වෙනවා. ‘ඒ නිසා සතුරු කඳවුරේ මහත්වරුනි, නුඹලා කවර ආයුධවලින් පහර දුන්නත් අපි අතට ගත්තු කොඩිය ජයග්‍රහණයෙන් පසුව මිස අත් හරින්නෙ නැහැ’ කියා සහතික වෙනවා.

එස්. බී. දිසානායක කියනවා, මමත් ළඟදීම ඒවිලු. එයා හිතාගෙන ඉන්නේ අපිත් එයා වගෙයි කියලයි. එස්.බී.ට වගේ බඩගිනි වුණාම අපිට අසූචි කන්න බැහැ. ඒ නිසා එස්.බී.ලා දැනගන්න ඕනෑ තමන්ගේ මට්ටමින් අනුන් ගැන නොසිතන්න. මේ ඡන්දය ‘පුංචි ඡන්දය’ ලෙස සැහැල්ලුවට ගන්න එපා. මේක තමයි මේ දේශද්‍රෝහී ආණ්ඩුවට ‘නුඹලාට බහුතරයක් නැහැ. ගෙදර පලයල්ලා’ කියා රතු සංඥාව දෙන ඡන්දය. ඒ රතු සංඥාව ලබා දීම සඳහා පටු වාද භේද අතහැර වෙහෙස වෙමු! කැපවෙමු!”

2 Responses to “ෆ්‍රී වයි-ෆයි, වොක්ස්වැගන් වෙනුවට තරුණයන්ට ‘කොන්ඩම්’.. රට පුරා මැෂින් පන්සියයක්…”

  1. Charles Says:

    සිබීට චන්දයෙන් පාර්ලිමෙන්තුවටවත් එන්න බැරි උනා. සිබීයි රජිතයි ජයසිරි යි මහින්ද සමරසින්ඝයි කට ඇරියම සිරිසෙන් ගේ ශ්‍රී ලංකා නිදහස්පක්ෂයට තියෙන චන්ද ටිකත් නැතිවෙනවා.

  2. Christie Says:

    Sinhalese unite and stand up to Indian imperialism and colonialism.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress