දේශපාලනීකරනය වූ ස්ත්‍රීත්වය සහ ජනතාව සතු වගකීම
Posted on December 27th, 2017

තේජා ගොඩකන්දෙආරච්චි

නව වසරේ පෙබරවාරි මාසයේදී පැවැත්වෙන ශ්‍රී ලංකාවේ පලාත් පාලන මැතිවරණය දෙස දැන් සියල්ලෝම ඉතා උනන්දුවෙන් බලා සිටිති. එක අතකට හිටපු ජනාධිපතිවරයා සඳහන් කල පරිදිම එය තෙවසරක් වයසැති යහපාලන රජයේ ජනප්‍රියත්වය උරගා බැලෙන ජනමත විචාරණයක්ද වනු ඇත. මෙවර නව සීමා නිර්ණයන් යටතේ, වැඩි කාන්තා අපේක්ෂක ප්‍රතිශතයක්ද සහිතව පැවැත්වීමට නියමිත මෙම පලාත් පාලන මැතිවරණය එක එක අයට එක එක ආකාරයෙන් වැදගත් වේ. දේශපාලන පක්ෂවලට මෙය තම ශක්තිය උරගා බලන්නට ලැබෙන අවස්ථාවක් වන අතර නාම යෝජනා අපේක්ෂා කරන අයට මෙය තම ජීවිතයත් මරණයත් අතර කාරණාවක් බවට පත්ව ඇති සෙයක් පෙනෙන්නේ නාම යෝජනා නොලැබුන තැන ඒ අය නටන නැටුම් දුටු කල්හිය. සමහරු පක්ෂය සමග තරහවී වෙනත් පක්ෂ වෙතට පැන ගනිති. පුවත්පත් සාකච්ඡා පවත්වති. මේ පුවත්පත් සාකච්ඡා, විරෝධතා අතර කාගේත් අවධානය යොමුවුන තැනක් වූයේ මධූෂා රාමසිංහ නම් රංගන ශිල්පිනියක් සම්බන්ධ සිදුවීමයි. මෙවර සෑම නාම යෝජනා ලැයිස්තුවකම කාන්තා අපේක්ෂකත්වය 25% ක් වීම අනිවාර්ය කර ඇති නිසා කාන්තාවක් ලෙස ඇයටද මෙම මැතිවරණයට ඉදිරිපත් වීමට සිතෙන්නට ඇත. මුලදී තම ‘උත්තරීතර පෙම්වතාට’ අනගි සහායක් දෙමින් යහපාලන රජය බලයට ගෙනෙන්නට තම මහන්සිය කැප කලද, ඇය අපේක්ෂකත්වය ලබා ගන්නට ගියේ පොදුජන එක්සත් පෙරමුණෙනි. පසුව ඇය විරෝධතාවයක නිරත වුනේ, නාම යෝජනා ලබාදීම සඳහා ඇගෙන් පක්ෂයේ වගකිවයුත්තෙකු ලිංගික අල්ලසක් ඉල්ලා සිටි බව කියමිනි. මේ පිලිබඳව පොදුජන එක්සත් පෙරමුණට පක්ෂ සහ විපක්ෂ අය, විශේෂයෙන් සමාජ ජාලා මාධ්‍යයන් තුල විවිධාකාරයෙන් අදහස් පලකර තිබිනි. සමහර අදහස්වල තාර්කික බවක් තිබුනද බොහෝ අදහස්වල තිබුනේ පහත් ගණයේ වචන හා රූප පාවිච්චි කරමින් මධූෂාට හෝ අනිත් පාර්ශ්වයනට ගරහන ආකාරයේ ප්‍රවනතාවයකි.

මෙසේ නිශ්චිත කාන්තා අපේක්ෂක ප්‍රතිශතයක් සහිතව මැතිවරණය පිලිබඳ ප්‍රකාශයට පත් කරත්දීම මැකෝ හෙවත් මහින්ද දේශප්‍රිය මාධ්‍ය සාකච්ඡාවක් ඔස්සේ ප්‍රකාශකර සිටියේ කාන්තා අපේක්ෂිකාවනට එරෙහිව ඔවුන්ගේ ස්ත්‍රී භාවය පදනම් කරගත් නින්දා අපහාස කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බවය. එවන් අපහාස තුල බොහෝ දුරට රැඳී ඇත්තේ ලිංගිකත්වය පදනම් කරගත් කතන්දරයි. අද මධූෂා සම්බන්ධවද සිදුව ඇත්තේ එවැන්නකි. කෙසේ වුවද එවන් කතා තුල මෙවර මැතිවරණයට ඉදිරිපත්වන සමස්ත කාන්තා අපේක්ෂිකාවන්ටම අපහාසයක් සිදුවිය. එය සිදුවූයේ මෙවන් අදහස් දැක්වීම් තුල පමනක් නොවේ. මධූෂාගේ රංගනය තුලින්ද අපහාසයට ලක්වුනේ නාම යෝජනා ලද සියලු අපේක්ෂිකාවන්ය. උදාහරණයක් ලෙස එසේ දුටු එක අදහසක් ගැන පවසමි. කාටූන් චිත්‍රයෙන් සිතුවම් වූ එහි ඇත්තේ ‘අයියෙ මට නාම යෝජනා දෙනවද?’ කියා අසන තරුණියකි. ‘ඔයාට මොනවද තියෙන සුදුසුකම්?’ අනිත් පස සිටින පුද්ගලයා අසයි. තරුණිය පසුපස හැරී, ඇඳිවත ඔසවා නිරුවත් පශ්චාත් භාගය පෙන්වයි. ‘හරි, අපි ඔයාට නොමිනේෂන් දෙනවා’ යි ඇයට පිලිතුරු ලැබෙයි. මෙම කෙටි චිත්‍ර කතාවට පොහොට්ටුවක්ද ඈඳා ඇත. මේ කාටූනය ඉදිරිපත්කල අයගේ අපේක්ෂාව වනුයේ හිටපු ජනාධිපතිවරයාට අපහාස කිරීම වුවද එයින් ගම්‍ය වනුයේ පොහොට්ටුවෙන් නාම යෝජනා ලබාගත් කාන්තාවන් සියලු දෙනා මේ ක්‍රමවේදය අනුගමනය කල බවද? නොඑසේ නම් අනිත් පක්ෂවලින් නාමයෝජනා ලද අපේක්ෂිකාවනුත් මේ ගණයටම වැටීමට ඉඩ ඇත්තේ මහින්ද රාජපක්ෂ පමනක් නොව අනිත් පක්ෂවල සිටින උදවියද කෙළෙසුන් ප්‍රහීනකල අය නොවන නිසාය.

මෙසේ දේශපාලනයේ නියැලෙන කාන්තාවන්ට සිදුකරන ස්ත්‍රී භාවය පදනම් කරගත් අපහාස සිදුවූයේ අද ඊයෙක සිට නොවේ. මේ පිලිබඳව ලිපියක් මවිසින් 2016 ජනවාරි මාසයේදීද ලියා ඇත්තෙමි. ඒ ‘පාර්ලිමේන්තුවෙන් ඇසෙන කාන්තා හිංසන’ නමිනි. 1994 දී චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිවරණයට ඉදිරිපත් වන දිනවල, ගාල්ලේ පැවති මැතිවරණ ප්‍රචාරක රැස්වීමකදී එක්සත් ජාතික පක්ෂ වේදිකාවක ඇසුන කතාවකි. ‘කණවැන්දුම් ගෑණියෙක් මුලිච්චි වෙලා ගමනක් යන්නවත් නරකයි කියලයි කියන්නෙ. ඔබ එහෙව් ගෑණියෙකුට රට භාර දෙනවද?’ එදා ජනතාවට අන්තයටම එපාවී තිබූ එජාපයේ පලකයන් අත තිබූ අන්තිම තුරුම්පුව එය වුනා විය හැක. නමුත් දෛවයේ සරදම වූයේ ඊට දින කිහිපයකට පසු එල්ටීටීඊ සංවිධානය විසින් ඔවුන්ගේ අපේක්ෂකයා ඝාතනය කල පසුව ඔවුන් සතු විකල්පය වූයේද මියගිය ගාමණී දිසානායකගේ වැන්දඹු බිරිඳ වීමය. මේ අනුව මෙවන් කතා වුවද ඔවුන් යොදා ගන්නේ ජනතාවගේ හැඟීම්, මති මතාන්තර අවභාවිත කිරීමක් ලෙස බව පැහැදිලිය. 1999 පැවති ජනාධිපතිවරණ සමයේදී, එවකට එජාපයට පැනගෙන සිටි එස්. බී. දිසානායක අපූරු කතාවක් කීවේය. ‘දෙසැම්බර් හය වෙනිදට බලාගන්න පුලුවන්, චන්ද්‍රිකා පිස්සියක් වගේ යන හැටි. කොණ්ඩෙ කඩාගෙන, ‘ලංකට්’ එක පිටින්’ මේ අසන්නාගේ සිතේ ඇඳෙන පරිදි පැවසූ පහත් ගණයේ කතාවට විචක්ෂණ පිලිතුරක් දෙනු වෙනුවට චන්ද්‍රිකාගේ සොහොයුරා අනුර බණ්ඩාරනායක පැවසුයේ ‘ආ! එස්බීලගෙ ගෙවල්වල ගෑණු අඳින්නෙ ලංකට් වෙන්න ඇති’ කියායි. මේ අපේ දේශපාලනය තුල ස්ත්‍රීත්වයට හිමිව ඇති තැනයි. වරක් නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට ඉදිරිපත් වූ විමාලි කරුණාරත්න ප්‍රමුඛ කාන්තා කණ්ඩායමට එස්. බී. තර්ජනය කලේ ‘මේ ස්ටේජ් එක උඩ පැදුරක් එලා ගත්තනම් මම උන්දැලාට කියල දෙනව චන්ද කරනහැටි’ කියමිනි. 

මේ වනවිට ගුණාත්මක පැත්ත කෙසේ වෙතත්, ප්‍රමාණාත්මකව තාක්ෂණය දියුණු වී ඇති නිසා මැතිවරණ වේදිකාවල පමනක් නොව සමාජ වෙබ් අඩවි තුලද කාන්තා අපේක්ෂිකාවන් වෙත එල්ලවන මෙවන් ප්‍රහාර ගැන විමසුමෙන් සිටීමට මැකෝ ඇතුලු පිරිසට සිදුවනු ඇත. පසුගිය දිනවල තවත් රංගන ශිල්පිනියක වූ ගයේෂා පෙරේරාට එරෙහිව මෙන්ම, ජනතා විමුක්ති පෙරමුණෙන් ඉදිරිපත් වූ මුස්ලිම් ජාතික අපේක්ෂිකාවන් දෙදෙනෙකුට එරෙහිව පලවූ පෝස්ටරද කෙසේවත් අනුමතකල නොහැකිය. එම මුස්ලිම් ජාතික අපේක්ෂිකාවන් දෙදෙනාට පහර වැදුනේ ඔවුන්ගේ ස්ත්‍රී භාවය පමනක් නොව සංස්කෘතියද යොදාගනිමිනි.

2015 දී යහපාලන රජය බලයට පත්විය. පලාත් පාලන ආයතනවල නිළ කාලය අවසන් වූයේ 2015  මාර්තු මාසයේදීය. ඒ සඳහා යලිත් මැතිවරයක් පැවැත් වෙන්නේ එතැන් සිට වසර තුනක් ආසන්න වෙත්දීය. එසේ වසරින් වසර චන්ද කල් දැමූයේ තම තමන් කල කී දෑහි හරි වැරැද්ද ගැන නායකයන්හට අකමැත්තෙන් වුවත් පිලිගන්නට සිදුව තිබූ නිසාත්, මොන හවුල් හදාගෙන සිටියත් තම අස්ථිර බව තමන්ටම දැනී තිබුන නිසාත් විය යුතුය. දැන් දැන් මැතිවරණ වේදිකාවල කෙරෙන කතා ඇසෙනවිට මේ දෙපාර්ශ්වයටම දැනෙන තම හවුල්කාර දීගයේ ඇති නීරසකම ගැන ජනතාවට වටහාගත හැකිවේ. හරීන් ප්‍රනාන්දුට තමා යට ඇඳුම නැතිව ඉන්නවාක් මෙන් දැනෙන බව කියැවෙන්නේ ඒ නිසාය. දුමින්ද දිසානායක පැවසුයේ ජනාධිපති ප්‍රමුඛ රජයෙන් ගමට වැඩක් කරගන්නට නම් ගමේ බලයත් තම පක්ෂය ප්‍රමුඛ සන්ධානයට ලැබිය යුතු බවයි. එම කතාව විග්‍රහකල විට වටහාගත හැක්කේ වෙනත් කණ්ඩායමක් දිනෙව්වොත් අපි ගම සංවර්ධනය සඳහා ප්‍රතිපාදන නොදෙන බව කීම නොවේද?

කෙසේ වුව අවසානයේ කාගෙ කාගෙත් අවශ්‍යතාව තම තනි බලය තහවුරු කරගැනීම මිස පලාත් පාලන ආයතන බල ගන්වා, දැනට අඩාලව ඇති ප්‍රදේශීය සංවර්ධනය යථාවත් කිරීම නම් නොවන බව පැහැදිලිය. ඒ අනුව මොවුන් අපේක්ෂක අපේක්ෂිකාවනට නාම යෝජනා ලබා දෙන්නේද ‘බලය තහවුරු කරගැනීම’ උදෙසා වන අතර මෙසේ ඉදිරිපත්වන බහුතරයක්ද ‘ජනතා මිත්‍රයෝ’ බව කීවත් එය එසේ නොවන බව ජනතාව වටහා ගතයුතුය. එබැවින් තම පුද්ගලික අභිලාෂයන් සපුරා ගනුවස් අපේක්ෂකත්වය ඉල්ලා එය ලැබුනා නම් එකිනෙකාට මඩ ගසා ගන්නවුන්ද,  නොලැබුන තැන ඩෙඟා නටන සොකරිලාද දෙස බලාගෙන කාලය නිකරුණේ වැය නොකර තම චන්දය, මනාපය දිය යුතු කාටද යන්න පාට කණ්නාඩිවලින් තොරව විග්‍රහ කරන්නේ නම් වඩා ඵලදායි වනු ඇත. 

මේ පලාත් පාලන ආයතන හරහා ඉටුකල හැකි කාර්යභාරයන් පිලිබඳව තක්සේරු කිරීම සඳහා උදාහරණ සපයාගත හැකි රටවල් ලොව තුල හිඟ නොවේ. ඒ අතරින් බ්‍රිතාන්‍යයේ පලාත් පාලන ආයතන සිදු කරන කාර්යභාරයත්, එම ආයතන සඳහා අපේක්ෂකයින් තෝරාගන්නා ආකාරයත් වැදගත් වන්නේ විශේෂයෙන් බ්‍රිතාන්‍යය යහපාලකයන්ගේ හොඳ මිත්‍රයෙකු වන බැවිනි. දරුවෙකු පාසලට ඇතුලත් කරගැනීමේ සිට වයෝවෘද්ධ වැඩිහිටියෙකුගේ සුභසාධනය දක්වාද, ජලය, විදුලිය, නිවාස, මාර්ග වැනි යටිතල පහසුකම් සංවර්ධනය උදෙසාද, විශේෂයෙන් කසළ කළමණාකරනය වැනි සේවාවන් සඳහාද එහි පලාත් පාලන ආයතන මගින් විධිමත්ව කෙරෙන කාර්යභාරය අතිමහත්ය. ඊට පක්ෂ භේද නැත. අපේක්ෂකත්වය ලබා ගැනීමට සපුරා ඇති කොන්දේසි තිබේ. ප්‍රධානම දේ තම පදිංචිය අදාල බල ප්‍රදේශයේ වීමයි. එමෙන්ම තම ජීවන වෘත්තිය හෝ වෘත්තීන් කිහිපයක් ඇතිනම් ඉන් ප්‍රධාන එක අදාල බල ප්‍රදේශය පදනම් කරගෙන තිබීමද අවශ්‍ය වන අතර එය, එම පලාත් පාලන ආයතනය සමග කිසිදු සම්බන්ධතාවක් නොමැති වීම අත්‍යවශ්‍යය.

තම තමන්ට අපේක්ෂකත්වය ලබා ගැනීම සඳහා තමන්ගේම හේතු කාරණා තිබුනත් ඉන්, එම ප්‍රදේශයේ ජීවත්වන මිනිසුන්ගේ ජීවිතවල ගුණාත්මකව විශාල වෙනසක් කිරීමේ හැකියාව ඇති බව සාධාරණීකරනය කර පෙන්විය යුතුයි. එය ජනතාව හමුවේ මෙන්ම ප්‍රාදේශීය මැතිවරණ දෙපාර්තමේන්තුව හමුවටද ඉදිරිපත්කර අනුමැතිය ලබාගත යුතුය. පක්ෂයක් නියෝජනය කරනවා නම් සැලකිය යුතු භාරයකින් එම ප්‍රදේශය තුල පක්ෂය සමග සම්බන්ධව කටයුතු කර තිබීම අවශ්‍යවන අතර පෙර වාක්‍යයක කියවුන කාරණය එනම් ප්‍රදේශයේ මිනිස් ජීවිතවල ගුණාත්මකබව වැඩි කිරීමට තමන් තුල ඇති ධාරිතාව පක්ෂය විසින්ද පිලිගත යුතුය. ස්වාධීන අපේක්ෂකයකු නම් ප්‍රදේශයේ තමා හඳුනාගත් ප්‍රශ්නද, ඊට දැනට යෙදෙන විසඳුම්ද, දේශපාලන පක්ෂ සතුව ඇති විසඳුම් තමන්ගේ මතයට වඩා වෙනස් වනුයේ කෙසේද යන්නත් කරුණු සහිතව ප්‍රාදේශීය මැතිවරණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත්කල යුතුයි. අපේක්ෂකත්වය ලබා දීමේදී, දේශපාලන පක්ෂ විසින් මේ කරුණු රැගත් ඉල්ලුම්පත්‍ර සාධාරණව සමාලෝචනය කර අපේක්ෂකත්වය ලැබුනු, නොලැබුනු සැම වෙත විනිවිදභාවයෙන් යුතුව තීරණය ප්‍රකාශ කිරීම මෙහි පවතින ක්‍රමවේදයයි. 

තව බොහෝ දේ කීමට ඇතත් මේ නිර්ණායක කිහිපය අනුව කිරා මැන බැලුවොත් ඔබේ මනාපය ලබන්නට සුදුසු කී දෙනෙක්  ඔබ ප්‍රදේශයේ අපේක්ෂකයන් අතර හිඳීවිද? එමෙන්ම කිරි කැකිරි න්‍යාය අනුව ගත්කල අපේ රටේ දුර බැහැර ගම්බදව ඇති ප්‍රශ්න අපමනය. ඉතින් මේ වන තාක් මෙම පලාත් පාලන ආයතන බොහොමයක් හරහා ඉටුවී ඇති සේවයද තක්සේරු කල හැකිය. දැන් දැන් දේශපාලනය තුල සියලු ඉසුරු සදන කප්රුක වන බලය තහවුරු කරගැන්ම මිස මහජන සේවය ගෑවිලාවත් ඇතිද කියා බහුතරයක් දනිති. අද අතකොටා, සාරුවා සුනිල් වැනනවුන් හිරගෙදර නිසා ඔහුගේ බිරින්දෑවරුන්ට නාම යෝජනා ලැබෙන්නේ එහෙයිනි. හිර ගෙදර සිට පාතාල කටයුතු මෙහෙයවන වාතාවරණයක හිර ගෙදර සිට ප්‍රාදේශීය සභාවක් මෙහෙයවීම කජ්ජක්ද? අප රටේ දේශපාලනයේ කාන්තා නියෝජනය සම්පූර්ණ වන්නේ මෙසේ නම් මධූෂලා ගැන පමනක් කතා කිරීම, නිකම්ම කාලය අපතේ හැරීමකි. 

එබැවින් මේ වැඩකට නැති ප්‍රශ්නවල එල්ලී සිටීම නුවණට හුරු නැත.

ලිංගික අල්ලස් ගෙන නාම යෝජනා ලබා දීම මෙන්ම, ලිංගික අල්ලස් දී වෙනත් පක්ෂවලට මඩ ගැස්සවීමද දේශපාලනික වශයෙන් ගෝචර නොවේ. මෑත අතීතය මතක අයට ඊට උදාහරණද මතක් වනු නියතය. කෙසේ වුවද දේශපාලනයේ කාන්තා අපේක්ෂකත්වයේ ප්‍රතිශතය වැඩිකිරීම යනු ගැහැණුකම අලෙවි කිරීම නොවන බව සියලුදෙනා වටහා ගත යුතුය. 

2016 ජනවාරියේදී, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියූ කතාවක් මතකයට නැගේ. ‘මැතිවරණ සඳහා කාන්තා අපේක්ෂිකාවන් ප්‍රමානය වැඩිකරන්න කියල ඉල්ලීමක් තියෙනව. ඒත් එතන ගැටලුවක් තියනව. මේ කාන්තාවො කැමති නැහැනෙ කාන්තාවන්ට චන්දෙ දෙන්න’. මෙතැන දිග කතාවක් ඇතද, සිතීම ඔබටම භාර කරමි. 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress