අනුන්ගේ ළමයින්ට උප්පැන්න දීමේ කලාව හා බොරුව පුරුද්දට යෑම
Posted on December 28th, 2017

උපුටාගැණීම  මව්බිම

පසුගිය සතියේ මුහුණු පොතේ දක්නට ලැබුණු ඡායාරූපයකින් කියවුණේ තවත් එක් අප්‍රසන්න පුවතකි. එහි දක්නට ලැබුණේ 2014 සැප්තැම්බර් 17දා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හා චීන ජනාධිපති ෂී ජින් පින් මහත්වරුන් විසින් කොළඹ පෝර්ට් සිටි ව්‍යාපෘතියට මුල්ගල තැබූ අවස්ථාවේ පිහිටුවන ලද සමරු ඵලකය ගලවා ටිපරයක දමාගෙන යන ආකාරයයි. අද මුහුණු පොතට පින්සිදු වන්නට මෙවැනි අකටයුතුකම් ජනතාවගෙන් සඟවන්නට ආණ්ඩුවට නොහැකිය.

ඉතිහාසය විකෘති කරන්නට උත්සාහ කරන්නේ අයහපත් අදක්ෂ පාලකයන්ය. පෝට් සිටියේ සමරු ඵලකය ඉවත් කරන්නේ එයට වත්මන් පාලකයන්ගේ නම් දා ගැනීමට බව පැහැදිලිය. පසුගියදා මහින්ද යුගයේ සාදන්නට පටන් ගත් රාජගිරිය ගුවන් පාලමටද වත්මන් ආණ්ඩුවේ පාලකයන් උප්පැන්න සහතික දෙනවා දුටිමු.

මහින්ද යුගයේ සාදන්නට පටන් ගත් මොරගහකන්ද ව්‍යාපෘතියටද අද හිමිකරුවෙක් සිටී. හෙට අනිද්දා වැඩ අවසන් වන නෙලුම් කුලුනටද මොවුන් උප්පැන්න සහතිකය දෙනු ඇත. ඉතිහාසය වෙනස් කරමින් අනුන්ගේ නිර්මාණවලට තම නම් දුන් දූෂිත පාලකයෝ අතීතයේද ඕනෑ තරම් සිටියහ. එහෙත් එවන් පිරිසක් සියැසින් දකින්නට තරම් වර්තමානයේ අප අවාසනාවන්ත වූයේ ඇයි?

පසුගියදා රාජගිරිය ගුවන් පාලම අධීක්ෂණයට අගමැතිවරයා සමඟ ගිය නියෝජ්‍ය ඇමැතිවරයකු රූපවාහිනි නාළිකාවලට කළ ප්‍රකාශය වත්මන් ආණ්ඩුවේ කෙරුවාව වටහා ගැනීමට හොඳ උදාහණයකි. ගුවන් පාලම මත සිටගෙන මේ ඇමැතිවරයා තම සුපුරුදු අවඥාසහගත විලාසයෙන් මෙසේ ඇසුවේය. “සමහරු කියනවා මේ ආණ්ඩුවට බෝක්කුවක් වත් හදා ගන්න බැහැ කියල. මේක බෝක්කුවක්ද?”

රාජගිරිය ගුවන් පාලම කිසිසේත්ම බෝක්කුවක් නොවේ. නමුත් එය සෑදුවේ වත්මන් ආණ්ඩුවද නොවේ. එම පාලම සැලසුම් කළේ මහින්ද රාජපක්ෂ යුගයේදීයි. ඒ සඳහා මුදල් වෙන්කළේ මහින්ද රාජපක්ෂ යුගයේදීයි. එහි ටෙන්ඩර් කැඳවා මූලික කොන්ත්‍රාත්කරුවන් තෝරාගෙන වැඩ ආරම්භ කළේ මහින්ද රජපක්ෂ යුගයේදීයි. ඒ වැඩ අරඹා තිබූ ව්‍යාපෘතිය නිම කරන්නට වත්මන් ආණ්ඩුවට වසර 3ක් ගත විය. මාවිල්ආරුවලින් පටන් ගත් කොටි සංහාරය අවසන් කරන්නටවත් මහින්ද රාජපක්ෂට එතරම් කලක් ගත නොවිණි.

මීළඟට නියෝජ්‍ය ඇමැතිතුමා මෙසේ කීවේය.

“විවේචනය කරන්න. ඒකට ප්‍රශ්නයක් නැහැ. නමුත් කරපු දේ නොකළකියල කියන්න එපා”

පසුගිය ආණ්ඩුව කළ දේවල් ජනතාවට අමතක කරවීම සඳහා සමරු ඵලක පවා ගලවා ඉවත් කරන තරම් පහත් තත්ත්වයකට වැටුණු ආණ්ඩුවක ඇමැතිවරයකුට මෙසේ කීමට සදාචාරාත්මක අයිතියක් ඇත්ද?

බොරු කීම වත්මන් රජයට අත්හැරගත නොහැකි පුරුද්දක් බවට පත්වී ඇත. දිගින් දිගටම බොරු කියන පුද්ගලයන් අවසානයේ එම බොරු තමුන්ද විශ්වාස කරන්නට පටන් ගන්නා බව මනෝ විද්‍යාඥයෝ කියති. වත්මන් ආණ්ඩුවේ නායකයන් අද පත්ව සිටින්නේ එවන් මානසික තත්ත්වයකට දැයි සමහරවිට ඔවුන් කරන කියන දේවලින් ප්‍රශ්නයක් මතුවේ.

පසුගිය ආණ්ඩුව සෑම ව්‍යාපෘතියකටම අත ගැසුවේ ඒවා කඩිනමින් නිම කරන බලාපොරොත්තුවෙනි. එම ආණ්ඩුව විසින් කඩිනමින් නිම කළ ව්‍යාපෘති ලැයිස්තුව ලියන්නට පුවත්පත් පිටුවකුදු මදි නිසා ඒවා මෙහි සඳහන් නොකෙරේ. හමුදා මූලස්ථානය බත්තරමුල්ලේ අකුරෙගොඩදී සාදා නිම කිරීමට නියමිතව තිබුණේ 2015දීය. නමුත් 2017 අවසානයේදීත් අප තවමත් මේ ගැන කතා කරමින් ඉන්නේ කාගේ වරදින් දැයි ඇසිය යුත්තේ 2015 ජනවාරි මස වෙනසකට ඡන්දය දුන් ඡන්ද දායකයන්ගෙනි.

ත්‍රිවිධ හමුදා මූලස්ථානයක් එක් ස්ථානයක පිහිටුවීමේ සැලැස්ම මුලින්ම සකස් කරනු ලැබුවේ පසුගිය ආණ්ඩුව විසින් නොවේ. මේ සඳහා බත්තරමුල්ලේ අකුරෙගොඩ ඉඩම වෙන් කළේද 2005ට පෙරයි. ත්‍රිවිධ හමුදා මූලස්ථානය එක් තැනක පිහිටුවීම ආරක්ෂාවට තර්ජනයක් කියා මෙතෙක් කිසිදු ආරක්ෂක විශේෂඥයෙක් කියා නැත.

පසුගිය ආණ්ඩුව සෑම ව්‍යාපෘතියක්ම කළේ මනා සැලස්මකට අනුවය. ඔවුන්ගේ සැලස්ම තිබුණේ 2015 අග වනවිට ත්‍රිවිධ හමුදා මූලස්ථානයේ මූලික වැඩ අවසන් කරන්නට හා කොටස් වශයෙන් විවිධ හමුදා අංශ ගාලු මුව‍ෙදාර සිට බත්තරමුල්ල අකුරෙගොඩට ගෙනයන්නටය. මේ සැලසුම යටතේ විවිධ හමුදා දෙපාර්තමේන්තු ස්ථානගත කරන්නට දීර්ඝ කාලීන කුලියට ගොඩනැඟිලි ගන්නට වන්නේ නැත. හමුදා මූලස්ථානය සාදා නිම කරන්නට ෂැංගි්‍රල්ලා සමාගමෙන් ලබාගත් රුපියල් බිලියන 18ක් ලංකා බැංකුවේ ආරක්ෂක අමාත්‍යාංශයට අයත් ගිණුමක දමා තිබිණි. නමුත් වත්මන් ආණ්ඩුව බලයට ආ විගස එම රුපියල් බිලියන 18ක මුදල හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික ගිණුමක දමා තිබෙනවා කියා බොරුවක් සමාජ ගත කරන ලදී.

පසුව නව ආණ්ඩුවේ පළමු ආරක්ෂක ලේකම් බී.එම්. බස්නායක මහතා ඉදිරිපත් වී එම බොරුව නිවැරැදි කරමින් පෙන්වා දුන්නේ එය රජයේ ගිණුමක් බවයි. ඉන්පසු ඒ මුදල ආරක්ෂක අමාත්‍යාංශ ගිණුමෙන් මහා භාණ්ඩාගාරයට මාරු කරන ලදී. නව ආණ්ඩුවේ අධික වියදම නිසා මේ මුදල සුළු කලකින් ආගිය අතක් නැතිව ගිය නිසා ත්‍රිවිධ හමුදා මූලස්ථානයේ ඉදිකිරීම් වැඩ මුදල් නැතිව අඩාල විය. ඉන් සිදුවූයේ ෂැංගි්‍රල්ලා හෝටලයට ඉඩම් නිදහස් කිරීම සඳහා විවිධ හමුදා පරිපාලන අංශ කුලී ගොඩනැඟිලිවලට ගෙනියන්නට සිදුවීමයි.

කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් යම් ගොඩනැඟිල්ලකට අතිවිශාල කුලියක් අසාධාරණ ලෙස ගෙවන බව අද මුළු රටම දන්නා නිසා මෙසේ කුලියට ගොඩනැඟිලි ගැනීම කාට කාට හෝ හොඳ ව්‍යාපාරයන් වී ඇති බව පෙනී යයි. ඒ අනුව 2015 අවසන් කළ යුතුව තිබූ ව්‍යාපෘතිය මෙතෙක් අවසන් නොකර මෙතරම් මුදල් නාස්තියක් කිරීම ගැන ජනාධිපති කොමිසමක් දමා කරුණු සෙවීම නම් නරක අදහසක් නොවේ.

ෂැංගි්‍රල්ලා හෝටලය යනු 2009 යුද්ධය අවසන් වීමෙන් පසු ලංකාවට මුලින්ම ආ පළමු විශාල පරිමාණයේ ආයෝජනයයි. ලෝකයේ ඉතා ප්‍රසිද්ධ සමාගමක් වන ෂැංගි්‍රල්ලා ව්‍යාපාරයේ සභාපතිවරයා 2011දී ලංකාවට පැමිණියේය. ලංකාවේ දින කිහිපයක් ගත කළ ඔහු ආණ්ඩුවේ ප්‍රධානීන් හමුවී ඉඩමක් මිලදී ගැනීමට කැමැත්ත පළ කළේය. ෂැංගි්‍රල්ලා හෝටලය වැනි සුප්‍රකට වෙළෙඳ නාමයක් ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ දියුණුවට විශාල රුකුලක් වන නිසා මේ සම්බන්ධව ආණ්ඩුවේ නිලධාරීන්ට ඒ අවස්ථාවේ තිබුණේ ඉතා විශාල උනන්දුවකි.

මහා භාණ්ඩාගාරයේ සෘජු මැදිහත්වීමෙන් රජයට අයත් සංවර්ධනය සඳහා සුදුසු ඉඩම් රැසක් ඔහුට පෙන්වන ලදී. අවසානයේ මෙම ව්‍යාපාරිකයා තෝරා ගත්තේ ආරක්ෂක අමාත්‍යාංශය පිහිටා තිබූ ගාලු මුව‍ෙදාර ඉඩමයි. මෙම ඉඩමින් ආරක්ෂක අමාත්‍යාංශය ඉවත් කොට එය බත්තරමුල්ලේ අකුරෙගොඩට ගෙන යන්නට සැලස්මක් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක ආණ්ඩුව කාලයේ සකස් වී තිබුණද එය ක්‍රියාත්මක නොවී තිබුණේ එයට අවශ්‍ය විශාල මූල්‍ය සම්පාදන වෙන් කිරීමේ අපහසුව නිසයි.
රජයේ තක්සේරුකරු විසින් අනාගතය ගැනද කල්පනා කොට කොළඹ නගරයේ පැවැති අනෙක් ඉඩම්වල මිල ගණන්වලට වඩා අතිශයින් ඉහළ මිලකට මෙම ඉඩම තක්සේරු කරන ලද අතර අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් මහා භාණ්ඩාගාරය අක්කර 10ක ඉඩම සඳහා ඩොලර් මිලියන 125ක් (රුපියල් කෝටි 1800ක්) ගෙවන්නට කැමැති දැයි ෂැංගි්‍රල්ලා සභාපතිවරයාගෙන් ඇසූවිට ඔහු එයට එකඟ විය.

දැන් අපි මේ ඉඩම අවුරුදු 99කට බදු දීමේ හා සින්නක්කර විකිණීමේ වෙනස සොයා බලමු. ඉඩම් සින්නක්කර නොවිකුණා බදු දීම සාමාන්‍ය රාජ්‍ය ප්‍රතිපත්තියයි. එය ගැන විවාදයක් නැත. ෂැංගි්‍රල්ලා ඉඩමේ පළමු අක්කර 6 මහා භාණ්ඩාගාරයේ අනුමැතිය යටතේ සින්නකර විකුණා ඇති බව දැනගත් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා මැදිහත් වී ඉතුරු අක්කර 4 එම මුදලටම බදු දෙන ලෙස නියෝග කළේ එබැවිනි. නමුත් ප්‍රායෝගිකව බලන කල මුල් අක්කර 6 සින්නක්කර දීමෙන් රජයට විශේෂ අවාසියක් වීද? උත්තරය නැත යන්නයි. ඒ මන්ද කියා මඳක් විමසා බලමු.

ලංකාවේ පවතින නීතිය අනුව යම් ගොඩනැඟිලි ඉදිකිරීමේ ආයතනයක් රජයෙන් 99 අවුරුදු බද්දකට ඉඩමක් ගෙන එහි නිවාස සංකීර්ණයක් සාදා එහි එක් එක් නිවෙස විකුණන විට නිවාස හිමියාට ලැබෙන්නේ සින්නක්කර ඔප්පුවකි. ඒ නිසා එම ගොඩනැඟිල්ල පවතින තුරු වසර 200ක් ගතවුණත් රජයට යළිත් එම ඉඩම් හිමි නොවේ. වසර 99කට පසු සිදුවන්නේ රජය විසින් එම ව්‍යාපෘතිය සඳහාම ඉඩම තවත් වසර 99කට ඉතා සුළු මුදලකට බදු දීමයි. මෙය ලංකාවේ පමණක් නොව අන් රටවලත් පවතින නීතියකි. ඒ නිසා වසර 99කට පසු ඉඩම රජයට හිමිවනවා යන්න මිථ්‍යාවකි.

ෂැංගි්‍රල්ලා ඉඩමේ සුපිරි මහල් නිවාස 400ක් ඉදිවේ. ඒ සියල්ලටම ලැබෙන්නේ සින්නක්කර ඔප්පුය. මුල් ඉඩම දුන්නේ සින්නක්කර වුවත් 99අවුරුදු බද්දට වුවත් එහි වෙනසක් නැත. ෂැංගි්‍රල්ලා සමාගම ඇමෙරිකානු ඩොලර් මිලියන 800ක (රුපියල් කෝටි 120,000ක) පමණ ආයෝජනයක් ලංකාවට ගෙන එන අතර ලාංකිකයන්ට රැකියා අවස්ථා 1000කට වඩා ජනිත කරයි.

වෙනත් රටක නම් මෙවැනි මහා පරිමාණ ආයෝජනයක් සඳහා ඉඩම නොමිලේම ලැබෙන්නට ඉඩ තිබිණි. ලංකාවම උදාහරණයක් ලෙස ගතහොත් ගාලු මුව‍ෙදාරම ෂැංගි්‍රල්ලා හෝටලය අසලම පිහිටි ටාජ් සමුද්‍රා හෝටලයට එදා හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතා ඉන්දියානු සමාගමට ඉඩම ලබා දුන්නේ නොමිලයේ දෙන්නාක් වැනි කුඩා බදු මුදලකටය. වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් ගොඩනැඟිල්ල සෑදීමට ෂැංගි්‍රල්ලා හෝටලයට ආසන්නයේ ඉඩමක් හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතා සිංගප්පූරු සමාගමකට ලබාදුන්නේද නොමිලයේ දෙන්නාක් වැනි කුඩා බදු මුදලකටය.

වර්තමාන ආණ්ඩුව හම්බන්තොට වරාය ඇමෙරිකානු ඩොලර් මිලියන 1,200ක ණයකට හිලව්වන්නට චීන සමාගමකට පවරන විට වරාය ආශි්‍රත අක්කර 3,000ක ඉඩම එම සමාගමට දෙන්නේ නොමිලයේය. මෙවැනි තත්ත්වයක් යටතේ කොහොමටත් ආපසු නොලැබෙන අක්කර කිහිපයක ඉඩමකට රුපියල් කෝටි 1,800ක මුදලකුත් අයකොට රුපියල් කෝටි 120,000ක ආයෝජනයකුත් ලංකාවට ගෙන්වා ගැනීම මහා අපරාධයක් වන්නේ කෙසේද? මෙසේ අනුන්ට ඇඟිලි දික්කරන්නේ බැඳුම්කර මංකොල්ලයෙන් රටට කෝටි ලක්ෂයකට වඩා පාඩු කළ අයම නොවේද?

කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුය. ඒ නිසා ජනතාව රවටන්නට දේශපාලනඥයන් කියන කතා තර්කානු බුද්ධියෙන් විමසා බලන්නට ජනතාව දැන්වත් පුරුදු විය යුතුය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress