ජනාධිපති කොමිසමේ නිගමන රටට හෙළි කරනු
Posted on January 1st, 2018

උපුටාගැණීම  මව්බිම

මහ බැංකු බැඳුම්කර විමර්ශනය සඳහා වූ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ වාර්තාව ඉකුත් 30 වැනිදා ජනාධිපතිවරයාට භාර දෙන ලදී. අදාළ වාර්තාව ඉදිරි කටයුතු සඳහා නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කරන බව ජනපති නිල වශයෙන් ප්‍රකාශ කර තිබිණි. මේ අතර පාර්ලිමේන්තුවේ විපක්ෂයේ සංවිධායක ජ.වි.පෙ. නායක අනුර කුමාර දිසානායක යථෝක්ත වාර්තාව ජනතාවට හෙළි කරන මෙන් ප්‍රසිද්ධ ඉල්ලීමක් කර තිබේ. ඔහු පෙන්වා දෙන්නේ බරපතළ මූල්‍ය අපරාධ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හරහා මේ වනවිට වාර්තා 17ක් ඉදිරිපත් කොට ඇති නමුත් ඒවා සම්බන්ධව කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් ගෙන නැතුවාක් මෙන්ම එකී වාර්තා මහජනතාවට ඉදිරිපත් කිරීමටද කටයුතු කර නැති බවය.

ඒකාබද්ධ විපක්ෂය ආණ්ඩුවට අවධාරණය කරන්නේ මහ බැංකු බැඳුම්කර නිකුතුව සම්බන්ධ ජනාධිපති විමර්ශන කොමිසමේ වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කළ යුතු බවය. මහ බැංකු බැඳුම්කර නිකුතුවේ සිදුකළ මූල්‍ය වංචාව මෙරට ඉතිහාසයේ විශාලතම මූල්‍ය වංචාව බව අවිවාදිතය. එකී වංචාව වසර 30ක කාලයක් රටේ මූල්‍ය තත්ත්වයට හානි පමුණුවන අතර වාර්ෂික අලාභය රු. කෝටි 1,500 කැයි හෙළිවී ඇත. යට කී මූල්‍ය අවභාවිතාවට දායක වූවන් විසින් වංචා කර තිබෙන්නේ රාජ්‍ය බැංකුවල හා සේවක අර්ථසාධක අරමුදලේ තිබූ මහජනතාවට අයත් මුදල්ය.

එබැවින් සිදුවූයේ කුමක්ද යන්න දැන ගැනීමට ජනතාවට ශුද්ධ වූ අයිතියක් තිබේ. 2017 ජනවාරි 21 දින සිට 2017 දෙසැම්බර් 30 දක්වා වර්ෂයක කාලයක් තුළ කොමසාරිස්වරු පස් කට්ටුවක් විසින් කරන ලද විමර්ශනය දෙස මුළු ලොවම දැඩි අවධානයක සිටියේය. කොමිසමේ නිගමනය සම්බන්ධවද පවතින්නේ ජාත්‍යන්තර මට්ටමේ උනන්දුවකි. එබැවින් සියල්ල අවසන් අවස්ථාව දක්වාම
විනිවිද භාවයෙන් යුතුව සිදුවිය යුතුය. පසුගිය වර්ෂයක කාලයක් ජනාධිපති පරීක්ෂණ කොමිසමේ සියලු විමර්ශන වාර්තා මාධ්‍යයට ලබාදී කොමිසමේ අවසන් නිගමන මාධ්‍යයට හෙළි නොකිරීම තේරුම් ගත නොහැකි අපභ්‍රංශයකි.

ලංකාවේ ආණ්ඩු කොමිෂන් දමන්නේ ආන්දෝලනාත්මක සහ අභියෝගාත්මක අවස්ථාවන්ගෙන් පැන යෑමේ තක්කඩි උපක්‍රමයක් වශයෙන් බව සමාජයේ තහවුරු වූ මතය වේ. එය ගලක් තබා මඩ වළකින් එගොඩ වීමට සමානය. චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනිය පත්කළ බටලන්ද කොමිසම, ජෙනරාල් කොබ්බෑකඩුව ඝාතන විමර්ශන කොමිසම, ලලිත් ඇතුළත්මුදලි ඝාතන විමර්ශන කොමිසම, විජය කුමාරතුංග ඝාතන කොමිසම ආදී කිසිදු කොමිසමකින් වැරැදිකරුවෙක් වී දඬුවම් ලැබූ කිසිවකු නැත.
ලංකා ඉතිහාසයේ කොමිෂන් සභාවකින් වරදකරුවන් කර පුද්ගලයන්ට දඬුවම් දෙනු ලැබූ ප්‍රථම අවස්ථාව වූයේ 1972දී සිරිමා බණ්ඩාරනායක අගමැතිනිය පත්කළ අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභාවය. එමඟින් රෝහණ විජේවීර ඇතුළු ජවිපෙ නායකයන්ට දඬුවම් පමුණුවනු ලැබීය. ජනාධිපති ජේ. ආර්. ජයවර්ධනද ජනාධිපති කොමිසමක් පවත්වා සිරිමා බණ්ඩාරනායක, ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක සහ
ඒ.එච්.එම්. ෆවුසි යන තිදෙනාගේ ප්‍රජා අයිතියද අහෝසි කළේය.

ජනාධිපතිවරයා මහ බැංකු බැඳුම්කර නිකුතුව පිළිබඳ පරීක්ෂණ කොමිසමේ වාර්තාව සම්බන්ධව ගනු ලබන තීන්දුව මත රටේ අනාගතය මෙන්ම ජනාධිපතිවරයාගේ දේශපාලන අනාගතයද තීරණය වනු ඇත. බරපතළ මූල්‍ය අපරාධ විමර්ශනය පිණිස පත්කළ ජනාධිපති කොමිසම ජනාධිපතිට භාරදුන් වාර්තා 17ක් අට්ටි පිට අට්ටි ගසා පුස්කමින් තිබේ. එකී ඉරණම බැඳුම්කර වංචා විමර්ශනයට අත්වීමට ඉඩ දිය යුතු නැත.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress