කවුරු කොහොම කිව්වත්…
Posted on January 7th, 2018

කතු වැකිය උපුටා ගැන්ම දිවයින

Insider Trading යනුවෙන් යෙදුමක්‌ ඉංග්‍රීසි භාෂාවෙහි තිබේ. මෙහි තේරුම බැංකුවක, මූල්‍ය ආයතනයක හෝ වෙන්දේසියක අභ්‍යන්තර මූල්‍ය තොරතුරු පිටතට විකිණීම යනුය. එම තොරතුරු මිලට ගන්නා තැනැත්තාට එම තොරතුරු පාවිච්චි කර මූල්‍ය වෙළෙඳපළ තුළ වාසි ලබාගත හැකිය. මෙය භයානක වරදකි. මෙවැනි තොරතුරුවලින් ප්‍රයෝජන ගෙන කෝටිපතියකු වූ ශ්‍රී ලාංකික සම්භවයක්‌ ඇති රා- රාජරත්නම් නමැති ඇමරිකානු ආයෝජකයා එම වරදට, අවුරුදු බර ගණනක සිර දඬුවමක්‌ ලැබ ඇමරිකාවේ හිර ගෙදරක කූරු ගණන් කරයි. 1995 දී නික්‌ලීසන් නමැති Insider Trader කෙනකු විසින් සිංගප්පූරුවේ කොටස්‌ වෙළෙඳ පොළේදී කළ මෙවැනි වංචාවක්‌ නිසා එංගලන්තයේ සුප්‍රකට බාරිංග්ස්‌ බැංකුව නැට්‌ටටම බංකොලොත් වී වසා දමන ලදි. “බාරිංග්ස්‌” යනු සූවස්‌ ඇළ කැපීම සඳහා අතේ සතේ නැතිව එංගලන්තය ළතවෙද්දී ඒ සඳහා මුළු මුදලම ණයට දුන් බැංකුවය. අන්තිමේදී නික්‌ ලීසන් හිරේ ගියේය. පසුගිය වකවානුවේදී එළියට ආ බැඳුම්කර වංචාව පිළිබඳ කියෑවුණ කරුණුවලට අනුව අර්ජුන මහේන්ද්‍රන් මහ බැංකු අධිපතිව සිටි කාලයේදී සිදුවී තිබුණු Insider Trading වැඩකි. මෙහිදී බයර් ලෙස කටයුතු කළේ පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමය. බැඳුම්කරය හරහා එම සමාගම උපයාගත් මුදල්වලින් සෑහෙන කොටසක්‌ මේ වන විට බැංකු කොටස්‌ සහ වෙනත් ව්‍යාපාරවලට ආයෝජනය කෙරී සමාජ ගතවී අවසන්ය. ඒ නිසා එම මුදල් කෙසේ ආපසු ලබාගත හැකිද යන ප්‍රශ්නය මතුවෙයි. බැඳුම්කරය නිසා ලොකුම අවුල සිදුවී ඇත්තේ සේවක අර්ථසාධක අරමුදලටය. එයට සිදුවූ පාඩුව නිසා එම අරමුදලේ සාමාජිකයන්ට ගෙවන පොලී ප්‍රතිශතය පවා අඩුවී තිබේ. අර්ථසාධක අරමුදලෙන් කොල්ලකා ගත් මුදල ආපසු එම අරමුදලටම ලබාදීමේ වගකීම ආණ්‌ඩුව සතුව ඇත. එම මුදල් ලබාගැනීම සඳහා විශේෂ පනතක්‌ සම්මත කරගත යුතු බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙයට දින කිහිපයකට පෙර බැඳුම්කරය සම්බන්ධයෙන් කරන ලද විශේෂ ප්‍රකාශයක සඳහන් විය. පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ බැංකු ගිණුම් දැනටමත් තහනම් කර තිබේ. එහෙත් බැඳුම්කර කොල්ලයෙන් උපයාගත් මුදලින් සියයට දහයක්‌වත් එම ගිණුම්වල නැති බව අපට විශ්වාසය. හේතුව බැඳුම්කර කොල්ලකෑම් සහ Insider Trading සිදුකරන සමාගම්වල මෝඩයන් නොසිටීමය. ඔවුන් යමක්‌ කරන්නේ එහි ඊළඟ ඵලයද සලකා බලාය. ඒ අනුව ඉතිරි මුදල් සෙවීම සඳහා ඩුබායි බැංකුවලට යැමට ලක්‌ රජයට සිදු වූවොත් පුදුම විය යුතු නැත. 
 
 කවුරු කොහොම කිව්වත් බැඳුම්කර සිද්ධියේ අභ්‍යන්තරය රටට හෙළි කිරීමේ ගෞරවය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට හිමිය. එම වංචාවට එරෙහිව ජනමතයක්‌ ගොඩනැඟීමේ මූලාරම්භය ඇති කිරීම පිළිබඳ ගෞරවය ජනතා විමුක්‌ති පෙරමුණට හිමිය. කොමිසමේ සාක්‍ෂි මෙහෙයවීමේදී දප්පුල ද ලිවේරා සහ යසන්ත කෝදාගොඩ යන මහත්වරුන් කළ මෙහෙවර ඉතා අගනේය එහෙත් අන්තරාදායකය. මෙවැනි දූෂකයන් ගැන සෙවීමට ගිය ලලිත් අඹන්වල නමැති රජයේ නිලධාරියා වසර 2002 දී ඇසිඩ් පහරක්‌ කෑවේය. ඔහුගේ ඇස්‌ අන්ධ විය. තත්ත්වය එය නම් දප්පුල ලිවේරා සහ යසන්ත කෝදාගොඩ මෙතැන් සිට ජීවත් විය යුත්තේ ඉතා පරෙස්‌සමිනි. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊටත් වඩා පරෙස්‌සම් විය යුතුය. රුපියල් 5000 ට මිනීමරන, බෝම්බ ගසන අපරාධකරුවන් ගෙන් අද සමාජය පිරී ඉතිරී ගොස්‌ ඇති බව අප අමතක කළ යුතු නොවේ. සෑම මරාගෙන මැරෙන්නෙක්‌ම කොටියෙක්‌ නොවේ. එහෙත් මරාගෙන මැරීම සිදුවූ පසු එය සිදු කළ එකා කොටියකු බව කී විට ඔහුගේ මළකඳ එයට විරුද්ධ වන්නේ නැත. ලලිත් ඇතුලත්මුදලි ඝාතනය මතක ඇති අය අප අතර බොහෝය. 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress