අගමැති නිල නිවස අරලියගහ මන්දිරය ‘දේශපාලන කටයුතු සදහා යොදා ගැනීම’ ට අධ්‍යාපන අමාත්‍යාංශය මැතිවරණ නීතීයේ කණෙන් රිංගීමට උත්සහ කරනවා.
Posted on January 8th, 2018

පුවත්පත් නිවේදනය  මාධ්‍ය ඒකකය කැෆේ සංවිධානය

පසුගිය රජය සමයේ කුප්‍ර‍කට ‘අරලියගහ දන්සල’ සිදු කළ ලෙසම, පළාත් පාලන ඡන්ද විමසීම සමයේ ද, අගමැති නිල නිවස දේශපාලන කටයුතු සදහා යොදා ගැනීම ආරම්භ වී ඇත.

2018 ජනවාරි 4 දින (බ්‍ර‍හස්පතින්දා) දින පාසල් සදහා ජංගම විද්‍යාගාර බෙදාදීම’ නම් උත්සවයක් සදහා යැයි කියමින් අධ්‍යාපන අමාත්‍යාංශයේ විද්‍යා අංශය විසින් දුරකතන ඇමතුම් ලබාදී දේශපාලන රැස්වීමක් සදහා 3000 ක පිරිසක් කැදවා තිබුණි.  ඒ සදහා කිසිදු ලිඛිත දැනුම්දීමක් සිදු නොකිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය උපක්‍ර‍මශීලී වී තිබුණි.

අධ්‍යාපන අධ්‍යක්ෂ එම්.පී.විපුලසේන මහතා විසින් සංවිධානය සිදුකළ එම උත්සවය සදහා 2018 ජනවාරි 2 දාතමින් කැදවීමේ ලිපිය ද, ජනවාරි 4 දාතමින් සහභාගිවීම සහතික කිරීමේ ලිපියක් ද නිකුත් කර ඇත.  ඒ අනුව, මෙම දේශපාලන රැස්වීම සදහා සහභාගි වූ රාජ්‍ය නිලධාරීන්ට රාජකාරි නිවාඩු ලබාගැනීමේ අවස්ථාව හිමිවේ.

මැතිවරණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති සියලු චක්‍රලේඛ, උපදේශ, නිර්දේශ හා උපමාන උල්ලංඝනය කිරීමේ භාවිතයක් පසුගිය රජය සමයේ අරලියගහ මැදුර ආශ්‍රිතව ක්‍රියාත්මක විය.  ‘අරලියගහ දන්සල’ රටේ ඉහලම දේශපාලන නායකත්වය මැතිවරණ නීතියට විවෘත අභියෝගයක් ලෙස ක්‍රියාත්මක විය.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ‘ජංගම විද්‍යාගාර දැනුවත් කිරීම’ නාමයෙන් පැවති දේශපාලන රැස්වීම හා දන්සල වත්මන් මැතිවරණ කොමිෂන් සභාවේ කනෙන් රිංගා, මැතිවරණ නීතිය උල්ලංඝනය කර අවමන් සහගත ලෙස සීනාසීමකි.  කීචොක් දැමීමකි! රැස්වීම් පැවැත්වෙන තෙක් ලිඛිත සාක්ෂි සැගවීම සිදු කළ හැකි නමුත්, ව්‍යවහාරික භාවිතය එදා ‘අරලියගහ දන්සල’ ලෙසම බැවිනි.

2010 සිට 2015 දක්වා පැවති සෑම මැතිවරණයක දීම එවකට පැවති රජයේ රාජ්‍ය දේපල අයාථා පරිහරණය සම්බන්ධයෙන් එවකට පැවති රජයට චෝදනා කළ, මැතිවරණ නීරීක්ෂයකයින්ට පැමිණිලි කළ එම සංස්කෘතිය වෙනස් කිරීමට පොරොන්දු වූ අකිල විරාජ් කාරියවසම් මහතා ගේ අමාත්‍යාංශය යටතේ මෙවැනි තත්වයක් මතුවීම අවසනාවන්ත තත්වයකි. අනෙක් අතට, මෙවැනි උත්සව සංවිධානය කරන රාජ්‍ය නිලධාරීන් ලලිත් වීරතුංග – අනූෂ පැල්පිට සිදුවීමෙන් පාඩම් ඉගෙන නොගැනීම කණගාටුවට කරුණකි.   

අරලියගහ මන්දිරය දේශපාලන කටයුතු සදහා යොදා ගැනීම නවතා දමන ලෙස කැෆේ සංවිධානය ගරු අග්‍රාමාත්‍යවරයාට, අග්‍රාමාත්‍ය ලේකම්වරයාගෙන් විවෘත ඉල්ලීමක් සිදු කරයි.

මාධ්‍ය ඒකකය

කැෆේ සංවිධානය

2018 ජනවාරි 8  

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress