ඉසුරුමත් නිවහනක් නිවාස ආධාර මුදල අයකර ගැනීම
Posted on January 9th, 2018

ජනමාධ්‍ය නිවේදනයයි. Samurdhi Development Officers Union

ඉසුරුමත් නිවහනක් නිවාස ආධාර මුදල අයකර ගැනීම වහා අත්හිටුවන බව ජනාධිපති විසින් ගත් තීරණය මැතිවරණ වාසි ගැනීම සදහා කරන ලද ජනතාව රවටන හුදු ප‍්‍රකාශයට අපගේ විරෝධය.
2015 ජනාධිපතිවරණයේ මැතිවරණ වාසි ලබා ගැනීම වෙනුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉසුරුමත් නිවහනක් යටතේ නිවාස අලූත් වැඩියා කර ගැනීම සදහා සෑම සමෘද්ධිලාභී පවුලක් වෙත ලබා දුන් රු. 2500.00 බැගින් වු සමෘද්ධිලාභීන්ගෙන් නැවත අය කර ගත් නිවාස ආධාර මුදල අය කර ගැනීම අත්හිටුවන බව ජනාධිපතිවරයා විසින් දෙන ලද නියෝගය හුදෙක් පළාත් පාලන මැතිවරණයේ දේශපාලන වාසි ලබා ගැනීම සදහා සිදු කරන ලද හුදු ප‍්‍රකාශයක් පමණක් බව අප මෙයින් අවධාරණය කරන්නෙමු.
2014.11.30 දිනැති සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල්ගේ හදිසි තීරණයකට අනුව සමෘද්ධි සහනාධාර ලබන පවුල් 1,197,111 දෙනෙකු වෙත නැවත ප‍්‍රතිපුරණය කිරීමේ පදනම මත සමෘද්ධි බැංකුව සතු මුදලින් රු.2,992,777,500.00 මුදලක් ගෙවීම් කර තිබුනි. එහෙත් මෙම මුදල් වත්මන් ආණ්ඩුව විසින් ප‍්‍රතිපුර්ණය කර ලබා දෙනවා වෙනුවට සමෘද්ධි ලාභීන් හට ලබා දෙන සමෘද්ධි සහනාධාරයෙන් අය කර ගන්නා මෙන් සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල් නීල් හපුහින්න මහතාගේ අත්සනින් යුතු 2016.11.30 දිනැති ලිපිය මගීන් සියලූම සමෘද්ධි කළමණාකරුවන් වෙත උපදෙස් ලබා දී තිබුනි.
සමෘද්ධිලාභීන් හට ලබා දෙන සමෘද්ධි සහනාධාරයෙන් කිසිදු මුදලක් කිසිදු කාරණයකට හිලව් කිරීමට අනුමැතියක් නොමැති බව පැහැදිලිව චක‍්‍රලේඛ උපදෙස් තිබියදී රු.500.00 බැගින් වාරික 05 කින් මේ වන විටත් අයකර ගෙන අවසන් වී ඇත. ඒසේ තිබියදී 2018 ජනවාරි මස 07 වන දින ජනාධිපතිවරයාගෙන් ලද නියෝගයක් මත මෙම මුදල් අය කර ගැනීම අත්හිටවු බවට නිවේදනයක් ජනමාධ්‍ය ඔස්සේ දැකීම අප පුදුමයට පත් කරවන පුවතක් මෙන්ම ජනතාව නොමග යවන දේශපාලන වාසි ලබා ගැනීම වෙනුවෙන් සිදු කරන ලද හුදු ප‍්‍රකාශයක් බව මෙයින් පෙන්නා දෙන්නෙමු.
මෙම මුදල් අයකර ගැනීම අත්හිටුවන ලෙස අප සංගමය විෂයභාර අමාත්‍යවරයාගෙන් ඇතුලූ බලධාරීන්ගෙන් ලිඛිත ඉල්ලීම සිදු කර ඇති අතර මෙම මුදල් අයකර ගැනීමට වාරණයක් ඉල්ලා අප සංගමය විසින් මානව හිමිකම් කොමිෂන් සභාවේ ගොණු කරන ලද පැමිණිල්ලක් පවා මේ වන විටත් විභාග වෙමින් පවතින බව මෙයින් දැනුම් දෙන්නෙමු.
තවද සමෘද්ධිලාභීන්ගෙන් මෙම අය කර ගැනීම තුල සමෘද්ධි සහනාධාරලාභීන් මහත් පීඩාවට පත්ව සිටි අතර ජනාධිපතිවරයාට සැබෑ උවමනාවක් අත්නම් අයකරගත් මුදල් නැවත සමෘද්ධිලාභීන් හට ලබා දෙන මෙන් නියෝගය ලබා දිය යුතු බවත් එම නියෝගය කඩිනමින් නිකුත් කිරීමට පියවර ගන්නා මෙන් අප සංගමය මෙයින් ඉල්ලා සිටින්නෙමු.
ස්තූතියි. 
 
චාමර මද්දුම කලූගේ.
ප‍්‍ර‍්‍රධාන ලේකම්,Samurdhi Development Officers Union

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress