බුදු අම්මේ, බොන්න එපා!
Posted on January 14th, 2018

වරුණ චන්ද්‍රකීර්ති 

“සිංහල රජ කාලේ නොවෙයි දැන් මේ කාලේ – ගෑනුන්ටත් සිදාදියේ නටන්න ලැබුණේ” කියලා සිංදුවක් තියෙනවානේ. මේ සිංදුව මතක්වුනේ ඊයේ පෙරේදා අපේ ආණ්ඩුව ගත්ත අභීත තීරණයක් ගැන ඇහුවාට පස්සේ. ඒ තීරණය හින්දා ගම්වල ඉන්න අපේ අම්මලාටත් මත්පැන් මිල දී ගැනීමේ සහ විකිණීමේ නිදහස ලැබිලා තියෙනවා. ඉතින් මේ ගැනත් සෑහෙන්න කතාබහක් අපේ සමාජයේ ඇතිවෙලා. සමහරු කියන විදිහට මේ ඉතා දියුණු කාලයක්. ඉස්සර රජ කාලේ වගේ නෙවෙයි. ගැහැනුන්ට පිරිමින්ට තියෙන තැන ම ලැබෙන්න ඕන. තව කට්ටියක් මේක අහලා කම්පාවෙලා. ඒත් සම අයිති තර්කය ඉදිරියේ ඒ අය අසරණ වෙලා. ඒ අය ගේ හිතට හරියාකාර උත්තරයක් නැගෙන්නේ නෑ. මොකක්ද මහා අවුලක් තියෙන බව නම් ඒ අයට තේරෙනවා. ඒත් දෙන්න පුළුවන් හරියාකාර උත්තරයක් නෑ.
ඇත්තට ම මොකක්ද මේ අවුලේ මුල? අපේ රටේ ගැහැනුන්ට සම අයිතියක් නැති බව ඇත්ත. ඇත්තෙන් ම අපේ සිංහල සමාජයේ ගැහැනුන්ට තියෙන්නේ පිරිමින්ට නැති තැනැක්. ගෙදර බුදුන් වෙන්න පුළුවන් අම්මාට මිසක් තාත්තාට නෙවෙයි. පවුලකට කුළුඳුලේ ගැහැණු දරුවෙක් ලැබෙන එක වාසනාවක්. මහ ලොකුවට පුරාජේරු කීවාට ගෑණු නැතිනම් පිරිමින්ට වැලේ වැල් නෑ. ඉතින් අපේ රටේ ඉහළ ම පට්ටම දරන එකා පවා දන්නවා ගෙදර ගෑනි ගේ අගේ. ඒ හින්දා කාට පාට් දැම්මත් ගෙදර ගෑනිට පාට් දාන එවුන් හරි ම අඩුයි. සමාජයට මොනවා පෙන්නුවත් අපේ හැම හස්බන්ඩ් කෙනෙක් ම වගේ වයිෆ්ට බයයි. මොකද ඒ අය දන්නවා වයිෆ් අවුල් වුනොත් පවුල ම අවුල් කියලා. ඒ හින්දා ද දන්නේ නෑ ගෙදර ගෑනිට පවුල කියලා කියන්නත් අපි පුරුදුවෙලා තියෙන්නේ.
මේ රටේ කරන තරමක් ජඩ, පජාති වැඩ කරන්නේ පිරිමි. මොන තරම් උජාරුවෙන් වැනුවත් බොන එකත් ඒ පජාති වැඩවලින් එකක්. බොන එක දුර්වලකමක් විදිහටයි අපේ සමාජය ඇතුළේ සැළකෙන්නේ. යමක් හොඳයි ද නරකයි ද කියන එක සමාජයක් ඇතුළේ අගය කෙරෙන්නේ ජාත්‍යන්තර මිනුම්දඬුවලට ගැලපෙන විදිහට නෙවෙයි. අවුරුදු දහස් ගණනක් තිස්සේ සමාජයක් විසින් හදා වඩාගත්ත සංස්කෘතික අගය පද්ධතියක් තියෙනවා. සමහර අගයන් බොහෝ සමාජවල එක විදිහට පිළිගන්නවා. අම්මා ගැහැණියක් වුනාට පුතෙක් අම්මා එක්ක බුදියගන්නේ නෑ. අම්මා ගැහැනියෙක් – පුතා පිරිමියෙක්. ඉතින් උන් දෙන්නා නිදිවැද්දාම මොකද වෙන්නේ කියලා ලිබරල් ධර්මයේ ඉහළ ම මාර්ග ඵලයට පත්වෙච්ච කෙනෙක්වත් අහන්නේ නෑ.
බලු මස් කන එක ගැන විරෝධයක් බොහෝ සමාජවල තියෙන්නෙත් මේ කාරණය හින්දාමයි. කුකුල් මස් කන්න පුළුවන් නම් බලු මස් කන එකේ වැරැද්ද මොකක්ද කියලා අහන්නේ මේ සංස්කෘතික අගයන් ගැන දන්නේ නැති අය. අපේ සමාජයේ හරක් මස් කන්නේ නැත්තෙත් මේ වගේ සංස්කෘතික මැනීමක් ඇතුළේ. හරක් මස් කන්න එපා කියලා අපේ ආගමෙන් නීතියක් පනවලා නෑ. අපිට එළකිරි දෙන හින්දා, අපේ සමාජයේ වැඩට හරකා සෑහෙන්න දායක වෙන හින්දා හරකා මරාගෙන කන එක ගුණමකුකමක් කියලා අපි හිතනවා. ඉතින් ඒක සංස්කෘතික අගයකිරීමක්. ඒ හරකා මරාගෙන වෙන එකෙක් කෑවත් අපිට තදවෙන්නේ ඒ හින්දා.
ගෑණු බොන එක ගැනත් අපි අපුලෙන් කතාකරන්නේ මේ වගේ සංස්කෘතික අගය පද්ධතියක් ඇතුළේ. උත්තම මව් පදවියකින් පිදුම් ලබන්න පුළුවන් කාන්තාවක් කොහොම ද පිරිමි කරන පජාති වැඩවලට පෙළැඹෙන්නේ? මේක අපේ සංස්කෘතික මනසට තේරුම්ගන්න බැරි එකක්. “බුදු තාත්තේ බොන්න එපා” කියන සිංදුව අපිට තේරුම්ගන්න පුළුවන්. ඒත් දෙයියනේ, “බුදු අම්මේ, බොන්න එපා” කියලා කියන්න වුනොත්? අපේ කට්ටිය අවුල්වෙලා තියෙන්නේ මේ හින්දා.
ඒ කොහොම වුනත්, අපේ ආගමෙන් මේවා තහනම්කරන්න කියලා නෑ. මත්පැන් පානයෙන් වළකිනවා කියන්නේ අපි රකින්න ඕන ශික්‍ෂා පදයක්. ඒක තමන් ම හිතලා ස්වෙච්ඡාවෙන් සමාදම්වෙන්න ඕන එකක්. සමාජයේ මත්පැන් තියෙන බව දන්න හින්දා තමයි ඒ වගේ සිල් පදයක් අපි සමාදම්වෙන්නේ. ඒ සිල් පදය රැකගන්න බැරි එවුන් බොනවා. දැනුම් තේරුම් නැති ළමයි අනවබෝධයෙන් බොන්න පුරුදුවෙයි කියලා හිතන හින්දා තමයි අපි ඉස්කෝල කිට්ටුව තැබෑරුම් අරින්න දෙන් නැත්තේ. අපේ සමාජය බේබදුකම අගය නොකරන එකක් හින්දා තමයි පෝය දවස්වලට සංකේතාත්මක විදිහට තැබෑරුම් වහන්නේ.
ඇත්තෙන් ම කොච්චර පොර ටෝක් දුන්නත් අපේ එවුන් බොන්න දන්නවා ද කියන එක ගැන නම් මේ ලේඛකයාට ටිකක් සැකයි. අපේ එවුන් බොන්නේ හිස් බඩට. ඒත් මේ ලේඛකයා දැකලා තියෙන විදිහට හුඟක් සමාජවල එවුන් බොන්නේ කෑවාට පස්සේ. චීනේ එවුන් බොන්නේ කෑම කන ගමන්. ඒත් අපේ එවුන් මගුල් ගෙදරක ගිහිල්ලා හිස් බඩට බීලා වමනේ දාගෙන මහා අවුල් ඇතිකරනවා. චීනයේ තියෙන හුඟක් මත්පැන්වල මධ්‍යසාර ප්‍රතිශතය සියයට පනස් හයක්, පනස් අටක් තරම් ඉහළයි. ඒත් කොකාකෝලා, සෝඩා වගේ සැන්ඩි නැතුව අමුවට ම තමයි චීන්නු බොන්නේ. කෑම කන ගමන් බොන හින්දා බොන එකේ සැර පාලනය වෙනවා වෙන්න පුළුවන්. ඒත් අපේ එවුන් කියන්නේ කාලා බීවා ම බීපු එකෙන් වැඩක් නෑ කියලා.
මත්පැන් ටිකක් බොන එක ශරීර සෞඛ්‍යයට හොඳයි කියලා පර්යේෂකයෝ හොයාගෙන තියෙනවා කියලාත් කියනවා. උන් හොයාගෙන තියෙන්නේ හිස් බඩට බොන එක හොඳයි කියලා ද, එහෙම නැති නම්, කෑවාට පස්සේ බොන එක හොඳයි කියලා ද, එහෙමත් නැති නම්, කන ගමන් බොන එක කියලා ද කියන එක අපේ කට්ටිය කියන්නේ නෑ. බොන්නේ නැති අපිට ඒ ගැන හොයන්න ඕනකමකුත් නෑ.
බොන එක හොඳයි, දුම්බොන එකයි හොඳ නැත්තේ කියලාත් බොන්නෝ කියනවා. ඒත් සිගරට් බීලා පවුල් කඩාගත්ත එවුන්, වාහන හප්පාගත්ත එවුන් අපි දැකලා නෑ. ඒත් ආත්මාර්ථකාමිකම අගයන අලුත් කට්ටිය හිතන්නේ තමන් ගේ ශරීර සෞඛ්‍යය ගැන විතරයි. සමාජයට හෙන ගැහුවාත් උන්ට කමක් නෑ. ඉතින් ඒ විදිහට ගත්තාම දුම් බොන එක තමයි නරක. ඒත් දුමක්වත් බොන්නේ නැති මේ ලේඛකයා ඒ ගැන යමක් කියන්නේ කොහොම ද? “සුරාවේ අගයත්  – එහි ඇති මහා ගුණයත් – බොන සුදනෝ දනිත් – නොබොන අනුවණ දනෝ නොදනිත්” කියලාත් කියනවානේ. ඒ කොහොම වුනත් කමක් නෑ. බුදු අම්මේ බොන්න එපා!
වරුණ චන්ද්‍රකීර්ති 

One Response to “බුදු අම්මේ, බොන්න එපා!”

  1. Christie Says:

    ගිහියන්ට `සුරාමේරය මජ්ජපමා දට්ටානා`. සුරා ටිකක් බිව්වට කමක් නැත. කුනුවෙන්න ඝහන්න එපා.

    අපේ කෑම බීම වල සුරා කොහොමත් තියෙනව. අරිස්ට කාලක් ගහල බලමුද පනේ? .

    ඉස්සන් පිසාපිය
    රාකලයක්ම බීපිය
    මෙතුන අඹුවාපිය
    මෙතුන කරලා මාව කාපිය.
    මෙතුන කරලා මාව කාපිය

    මේකයි අපේ හැදියාව. මම පුන්චිකාලෙ ගහෙන් බාපු රා ගෙදෙට්ට ගෙනාවෙ. අපි කවුරුත් කන ගමන් රා කට්ටක් ගැහුව. මගෙ පොල්කට්ට පොඩියි.

    සුද්දත් ඉන්දියන් කාරයත් අපිට ඉස්සෙල්ලම ගහපු බද්දක් තමයි සුරා බද්ද. (Excise)

    සින්හල අපි එකතුවෙලා සුද්ද බදු එකතු කරන්න ඉන්දියාවෙ මලබාර් වලින් ගෙනාපු උන්ව පන්නල දැම්මෙ. 1792-1796.

    සින්හලයිනි එක්වන්න.රාමත් සීතාව ආපහු අරන්ගියෙ අපි පොඩි අඩියක් ගහල ජොලියෙ ඉන්න අතරෙ.

    ඉන්දියානු ගැතිකමෙන් මිදෙන්න.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress