පොලිසිය කතා ගොතයි හිටපු කොටියා ඇත්ත කියයි
Posted on January 14th, 2018

මනෝඡ් අබයදීර  උපුටා ගැන්ම දිවයින

මාස දහයකට ආසන්න කාලයක්‌ නිරපාරදේ රිමාන්ඩ් ගත කර සිටි කොමදෝරු ඩී. පී. කේ. දසනායකට සහ කමාන්ඩර් සුමිත් රණසිංහ ඇතුලු නාවික හමුදා විරුවන්ට පසුගියදා ඇප ලැබුණි. යහපාලනයේ ඊලාම්ගැති ප්‍රතිපත්තිය රට ඉදිරියේ තබමින් නාවික හමුදාවේ වීර පිරිස මාස දහයක්‌ පුරා හරිහමන් හේතුවක්‌ නොමැතිව රිමාන්ඩ්ගත වී සිටියේය. 
 
 දෙසැම්බර් 4 වෙනිදා සිට 14 වෙනිදා දක්‌වා ලංකාවේ සංචාරයක නියුතු එක්‌සත් ජාතීන්ගේ බලහත්කාරයෙන් රඳවා ගැනීම් පිළිබඳ නිළධාරීන් මේ පිළිබ`දව විමසා බැලීම සඳහා බන්ධනාගාරයෙන් බන්ධනාගාරයට ගියේය. එපමණක්‌ නොව හමුදා කදවුරු ඇතුලේ පවා ඇවිද්ද නමුත් දසනායක හෝ සුමිත් රණසිංහ බලහත්කාරයෙන් සිරගත කර තිබෙන ආකාරය පිළිබඳව සොයා බලන්නට නොගියේය. දසානායකගේ දියණිය සිය පියාට සිදු වී ඇති අසාධාරණය පිළිබඳව දැනුවත් කිරීම සඳහා එම කණ්‌ඩායම හමුවීමට උත්සාහ කළ ද අවම තරමින් ඇය කියන්නට උත්සාහ දරන්නේ කුමක්‌දැයි අසන්නටවත් එක්‌සත් ජාතීන්ගේ එම කණ්‌ඩායමට වුවමනා නොවීය.

dasa500

 2009 මැයි 28 දින තමන්ගේ ප්‍රධාන ආරක්‍ෂක නිලධාරි ලුතිනන් කමාන්ඩර් සම්පත් මුණසිංහ විසින් පිරිසක්‌ පැහැරගෙන රඳවා තබා කප්පම් ලබාගෙන ඇතැයි යන චෝදනාව පිළිබඳව මුලින්ම පැමිණිල්ලක්‌ සිදුකරන්නේ හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ විසිනි. මේ චෝදනාව පිළිබඳ විමර්ශනය ඇරඹෙන්නේ ඊට වසර හතකට පසුවය.
 
 විමර්ශනය සම්පූර්ණයෙන්ම උඩුයටිකුරු වෙමින් එදා චෝදනාලාභියා වූ සම්පත් මුණසිංහ වෙනුවට දසනායක සහ සුමිත් රණසිංහ වෙත පුද්ගලයන් එකොළොස්‌ දෙනෙකු රඳවා තබාගෙන කප්පම් ලබාගෙන ඇතැයි යන චෝදනාව එල්ල කරන්නට පොලිසිය ඉදිරිපත් විය. එසේ වෙතත් ඒ සඳහා වන හරිහමන් චෝදනා පත්‍රයක්‌ පොලිසිය අත තිබුණේ නැත. මානව හිමිකම් සහ ත්‍රස්‌තවාදයට එරෙහිව කරන මෙහෙයුම් සම්බන්ධයෙන් කටයුතු කරන බ්‍රිතාන්‍ය ජාතික බෙන් එමර්සන් 2017 ජුලි 14 වැනි දින කොළඹදී මෙම පැහැර ගැනීම් සම්බන්ධයෙන් පැහැදිලි ප්‍රකාශයක්‌ කළේය. එනම් යුද සමයේ සිදුවූ පැහැර ගැනීම් 11 ක්‌ සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නාවික හමුදා කමාන්ඩර්වරයකු රජය අත්අඩංගුවට ගෙන ඇති බවය. එමර්සන් ඒ පිළිබඳව තම සතුට ප්‍රකාශ කළේය. එමර්සන් වැඩිදුරටත් එහිදී ප්‍රකාශ කළේ රජය දැනට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව එක්‌සත් ජාතීන් සතුටු වන නමුත් එම යහපාලන රජයට තව බොහෝ දුරක්‌ යැමට ඇති බවත් ය.
 
 මේ චෝදනාව එල්ල වනුයේ මුහුදු කොටි නායක සුසෙයි ගේ බිරිඳ සහ දරුවන් ඇතුළු පිරිස අත්අඩංගුවට ගෙන නිය පහරක තරමේවත් හානියක්‌ නොකර ඔවුන්ට අභය දානය ලබා දුන් මිනිසාටය. යුද්ධයේ අවසන් දින කිහිහිපය අතිශය සංකීර්ණ විය. කුඩා බෝට්‌ටු 700 පමණ පැමිණි සිවිල් වැසියන් 13000 ආසන්න ප්‍රමාණයක්‌ නාවික හමුදා ආරක්‍ෂක වළල්ලට ඇතුළු වූහ. මේ පිරිස නිරුපද්‍රිත කිරීමේ වගකීම දැරුවේ දසනායකය. එහෙව් දසනායකට කප්පම් පතා මිනිස්‌ ඝාතන කළා යෑයි චෝදනා එල්ල වී තිබේ. රටක ඇති බරපතළම අපරාධය අපරාධකරුවන් රිසිසේ හැසිරීම නොවේ. අවංක මිනිසුන් ඒ දෙස නිසොල්මනේ බලා සිටීමය. කොමදෝරු දසනායක වැනි විරුවන් දඟගෙට යන විට, ඇති වේදනාව එයය. එක්‌ නාවික හමුදා නිලධාරියෙක්‌ දසනායකට සිරගෙය ප්‍රාර්ථනා කරන්නේ, දසනායකට ලැබීය යුතු ශිෂ්‍යත්ව ඔහුට දිනා ගැනීමටය. කාලය, දේශය ඒ තරමටම නපුරු වී ඇත. 

දසනායකට එල්ල වී ඇති චෝදනාව සරල ලෙස ගත් කල මෙසේය. 
 
 පොලිස්‌ වාර්තා අනුව මෙම පැහැරගැනීම සිදුවන්නේ වර්ෂ 2008 සැප්තැම්බර් මස 17 දිනය. මෙම සමූහ ඝාතනයේ පළමු සැකකරු මේ වනවිට ඉන්නේ ඇප පිට නිදහස්‌වය. ඔහු එවකට සිටි නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩගේ ප්‍රධාන ආරක්‌ෂක නිලධාරියාය. එවකට ලුතිනන් කමාන්ඩර්වරයෙක්‌ වන ප්‍රධාන සැකකරු සම්පත් මුණසිංහ නමැත්තෙකි. ඔහුගේ උපදෙස්‌පිට අලි අන්වර් නමැති ඔත්තුකරුවකුගේ තොරතුරු මත දෙහිවල ප්‍රනාන්දු මාවතේ පිහිටි නිවසකදී රජීව් නාගනාදන්, ප්‍රදීප් විශ්වනාදන්, තිලකේෂ්වරම් රාමලිංගම්, මොහොමඩ් තිලාන්, මොහොමඩ් සාජිත් යන අය පැහැර ගෙන තිබිණි. ප්‍රධාන සැකකරුගේ උපදෙස්‌ පිට ඔවුන් පැහැර ගන්නේ එල්.ටී.ටී.ඊ සංවිධානයට මුදල් උපයන ත්‍රොaනන් අන්නා නමැති පුද්ගලයෙක්‌ හා සම්බන්ධව ව්‍යාජ ක්‍රෙඩිට්‌කාඩ් ඇසුරින් කොළඹ අවට ප්‍රදේශයේ මුදල් කොල්ලකන බවට ලද තොරතුරු අනුව බව අධිකරණ වාර්තාවල සඳහන් වේ.
 
 මෙසේ පැහැරගත් පුද්ගලයන් කොළඹ චෛත්‍ය පාරේ නාවික හමුදා මූලස්‌ථානය පිහිටි ස්‌ථානයකට රැගෙන ගොස්‌ ඇත. අනතුරුව 2008 අගෝස්‌තු මාසයේ සිට 2009 මාර්තු මාසය තෙක්‌ ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ හා 2009 අප්‍රේල් මාසයේ සිට ජුනි මාසය දක්‌වා ශ්‍රී ලංකා නාවික තාටාකාංගන ආයතනය තුළ හා ශ්‍රී ලංකා නාවික සාගරික විද්‍යා ආයතනය තුළ පිහිටි ගන් සයිඩ් නමැති ස්‌ථානයේ රඳවා තබාගෙන ඇතැයි එම වාර්තා දක්‌වයි. මේ පුද්ගලයන් අතුරුදන් වී ඇත්තේ ඉන් අනතුරුවය. මේ පිළිබඳ සැලවූ පසු නාවික හමුදාව සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවා පිළිබඳව පරීක්‍ෂා කළ බවත්, එහිදී අතුරුදන් කළ තවත් පුද්ගලයින් පස්‌දෙනකුගේ ජාතික හැඳුනුම්පත් හා වෙනත් සාක්‍ෂි හමුවූ බවත් මේ අනුව අතුරුදන් කර ඇති මුළු පුද්ගලයන් ගණන 11 බවත් නාවික හමුදාව වාර්තා කර තිබුණේය.
 
 මේ පුද්ගල අතුරුදන් වීම සම්බන්ධව මුලින්ම රහස්‌ පොලිසියට පැමිණිලි කරන්නේ එවකට නාවික හමුදාපති රියර් අද්මිරාල් වසන්ත කරන්නාගොඩය. ඔහු පැමිණිල්ල ගොනු කරන්නේ පුද්ගලික ආරක්‍ෂක නිලධාරියාට එරෙහිවය. ඒ වර්ෂ 2009.05.28 දිනය. නාවික හමුදාපතිවරයා ලෙස කරන්නාගොඩ විසින් එම පැමිණිල්ල කරන්නේ කොළඹ අපරාධ කොට්‌ඨාසය වෙතය. පැමිණිල්ල ගොනුකරන විට නාවික හමුදාවෙන් පැන ගොස්‌ සිටි මේ තැනැත්තා රහස්‌ පොලිස්‌ අත්අඩංගුවට පත්වන්නේය. පුරා වසරක්‌ රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමෙන් අනතුරුව රහස්‌ පොලිසිය විසින් වර්ෂ 2011 මාර්තු මස 30 දා අධිකරණයට වාර්තා කරන්නේ මේ අපරාධයට මෙම සැකකරු සම්බන්ධ බවය. 
 
 එහෙත් අධිකරණ ක්‍රියාවලිය වෙනත් මඟක්‌ ගන්නේ තමන් මේ අපරාධයට සම්බන්ධ නැති බවත්, තමන් සමඟ වූ පුද්ගලික ආරවුලක්‌ මත මේ අපරාධයට තමන් පැටලවීම සඳහා හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ හා ඩී. කේ. පී. දසනායක එක්‌කළ සැළසුමක්‌ බවත් ප්‍රකාශ කිරීමෙන් අනතුරුවය. ඩී. කේ. ප.දසනායකට චෝදනා එල්ලවන්නේ ඉන් අනතුරුවය.
 
 අධිකරණය හමුවේ ඇති බී වාර්තා අනුව ඔහු සැකකරුවෙක්‌ බවට ඉදිරිපත් වී ඇති චෝදනා තුනකි. එක්‌ චෝදනාවකින් කියෑවෙන්නේ පැහැරගත් පුද්ගලයන් දෙදෙනෙක්‌ පැහැර ගැනීම පිළිබඳව ඔහු දැනුවත්ව සිටි බවය. ඒ සම්බන්ධව ඔහු ක්‍රියාත්මක නොවූ බවය. අනෙක්‌ චෝදනාවෙන් කියැවෙන්නේ මේ පැහැර ගැනීම සිදුකළ වකවානුවේ එම සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගෙන සිටින නිලධාරීන් දෙදෙනකුගේ ප්‍රධානියා ලෙස කොමදෝරු දසනායක කටයුතු කර ඇති බවය. තුන්වැනි චෝදනාව එල්ලවන්නේ නඩුවේ ප්‍රධාන සැකකරුගෙනි. ඔහු අධිකරණයට කියන්නේ මෙම ඝාතන වැල සිදුවන්නේ එවකට නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ හා ඩී. කේ. පී. දසනායකගේ මෙහෙයවීම යටතේය.
 
 මේ චෝදනා සම්බන්ධව ඩී. කේ. පී. දසනායක විසින් දිවුරුම් ප්‍රකාශයක්‌ මගින් අධිකරණයට කරුණු දක්‌වා තිබේ. සාක්‍ෂි සහිතව ඉදිරිපත් වූ එම දිවුරුම් ප්‍රකාශය ප්‍රකාරව පුද්ගලයන් පැහැර ගැනීම ගැන දැනුවත් කළා යෑයි කියන වකවානුවේ ඔහු ලංකාවේත් සිට නැත. ඒ වනවිට ඔහු සිටින්නේ කොරියාවේ විශේෂ පාඨමාලාවක්‌ හදාරමිනි. එමෙන්ම හිටපු නාවික හමුදාපතිවරයාගේ හා චූදිත නිලධාරීන්ගේ සාක්‍ෂි උපුටා දක්‌වමින් දිවුරුම් ප්‍රකාශයට අනුව ඔහු කිසිම විටෙක උක්‌ත නිලධාරීන් දෙදෙනාගේ ප්‍රධානියා ලෙස කටයුතු කර නැත. 
 
 එමෙන්ම වර්ෂ 2016 ඔක්‌තෝබර් 05 දින රහස්‌ පොලිසිය හමුවේ සාක්‍ෂි දෙන හිටපු හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ දීර්ඝ ප්‍රකාශයක්‌ කරමින් තමන්ට එල්ල වුණ චෝදනා මෙන්ම කොමදෝරු ඩී. කේ. පී දසනායකට එරෙහිව ඇති චෝදනා තර්කානුකූලව ප්‍රතික්‍ෂේප කරයි.
 
 ඩී. කේ. පී. දසනායක දැනට නාවික හමුදාවේ සිටිනා විශිෂ්ටතම නිලධාරීන් අතලොස්‌ස අතරින් කෙනෙකි. 
 
 වර්ෂ 1992 වන විට එල්.ටී.ටී.ඊ යට යාපනය සම්බන්ධ කරනා එකම සැපයුම් මාර්ගය පිහිටි කිලාලි කලපුවේ නව අනුඛණ්‌ඩ පිහිටුවා එම මාර්ගය අවහිර කරනු ලැබීම, රිවිරැස මෙහෙයුම ඇරඹී තිබූ වර්ෂ 1995 දී එල්.ටී.ටී.ඊ හමුදා සෙබලුන් 250 ක්‌ සමඟ එල්.ටී.ටී.ඊ බෝට්‌ටු 12 කට කොටු වූ රණගජ නෞකාව මුදා ගැනීමට 486 ඩෝරා යාත්‍රාවේ අණ භාර නිලධාරියා ලෙස කටයුතු කිරීම, වර්ෂ 1995 – 96 කාල වලදී කොළඹ වරාය ආශ්‍රිත මුහුදු මංකොල්ලකෑම් වැළැක්‌වීම, වර්ෂ 1997 පරාක්‍රමබාහු නෞකාවට එල්ල වූ ත්‍රස්‌ත ප්‍රහාර වළක්‌වා එය බේරා ගැනීමට කටයුතු කළ පී 440 ඩෝරා යාත්‍රාවේ අණ භාර නිලධාරියා ලෙස කටයුතු කිරීම, එම යාත්‍රාවේම අණ බාර නිලධාරියා ලෙස කොටි වෛද්‍ය අංශ ප්‍රධානී දොස්‌තර ඩෙස්‌ ඇතුළු සිව් දෙනෙක්‌ යාත්‍රාවක්‌ සමඟ අත්අඩංගුවට ගෙන එල්.ටී.ටී.ඊ බෝට්‌ටු විනාශ කිරීම, ඇතුළු ක්‍රියාන්විත ගණනාවක්‌ ඔහුගේ නාවුක හමුදා සංග්‍රාම ජීවිතයේදී දසනායක විසින් සිදුකර තිබිණි. යුද සමයේ නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලෙස ඔහු කටයුතු කළේය. ඒ අවසන් මහා සටනේ දී මුලතිව් මුහුදේ නාවුක වළල්ලේ අණ දෙන නිලධාරියා ලෙස කටයුතු කරමිනි.
 
 ජනාධිපතිවරයෙක්‌ විසින් ලිතව ප්‍රශංසාවට ලක්‌කළ, දැනට නාවික හමුදාවේ සිටිනා එකම නිලධාරියා දසනායකය. ඒ රෙකමදාරුව ඔහුට ලැබෙන්නේ හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග ගෙනි. නාවික හමුදාපතිවරුන් සිවුදෙනෙක්‌ යටතේ ප්‍රශංසා ලේඛන 10 ක්‌ ලද නිලධාරියා ඔහුය. හෙතෙම රණවික්‍රම පදක්‌කම් 04 ක්‌ දිනා ගත්තේය. රණ සූර පදක්‌කම් දිනා ගත්තේය. ඩී. කේ. පී. දසනායක එවැනි නිලධාරියෙකි. 
 
 හරියාකාර චෝදනා ගොනු කිරීමකින් තොරව, එක්‌සත් ජාතීන්ගේ නිලධාරීන් සතුටු කිරීම උදෙසා හෝ ඊළාම්වාදීන්ට තුටු පඬුරු ලබාදීම උදෙසා දසනායක සහ සුමිත් යන වීරයන් දෙදෙනාට කප්පම් චෝදනා එල්ල කර දස මාසයක්‌ සිරගත කර සිටියදී ඔවුන්ට ඇප ලබන්නේ අමුතු ආකාරයටය. එල්.ටී.ටී.ඊ.යේ හිටපු සාමාජිකයකු විසින් අධිකරණයට දන්වා සිටින්නේ, තමන් පොලිසියේ කියමන අනුව අසත්‍ය ප්‍රකාශයක්‌ කළ බවත් ඒ අනුව තමන්ට අධිකරණය හමුවේ විශේෂ සාක්‌ෂියක්‌ ලබා දීමට වුවමනා බවත්ය. සිය සාක්‌ෂියේදී හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජික විජයකාන්ත සඳහන් කරන ලද්දේ, රහස්‌ පොලිසිය විසින් තමන්ට සාක්‌ෂි ලබා දිය යුතු ආකාරය කියා දී එය ලියා ගත් බවය. 
 
 විජයකාන්තන්ගේ සාක්‌ෂියෙන් පසුව දසානායක සහ සුමිත් රණසිංහ ඇතුළු හයදෙනා තවදුරටත් රිමාන්ඩ් ගත කර තබා ගැනීමට නොහැකි තත්ත්වයක්‌ උදා විය. පස්‌වැනි හා හයවැනි සැකකරුවන්ට ඇප දීම සම්බන්ධයෙන් අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව විරුද්ධත්වයක්‌ නොදක්‌වන බව මෙම අවස්‌ථාවේ අධිකරණයට දැනුම් දුන්නේය. එසේම ඩී. කේ. පී. දසනායක හා සුමිත් රණසිංහ ඇතුළු සෙසු සැකකරුවන්ට ඇප ලබාදීම සම්බන්ධයෙන් තමන් විරුද්ධ වන බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව දැනුම්දී ඇතැයි ද රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා එහිදී අධිකරණයට දැනුම් දුන්නේය.
 
 එකම සිද්ධිය සම්බන්ධයෙන් රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටින හයදෙනා අතරින් දෙදෙනකුට ඇප ලබාදීමට විරුද්ධත්වයක්‌ දැක්‌වීමත් සෙසු සැකකරුවන් හතර දෙනාට ඇපදීමට විරුද්ධත්වයක්‌ නොදැක්‌වීමත් අධිකරණයට උභතෝටික ප්‍රශ්නයක්‌ වන බව ප්‍රකාශ කළ ප්‍රධාන මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා නාවික හමුදා රණවිරුවන් සියලුදෙනාටම ඇප ලබා දුන්නේය.
 
 
 මනෝඡ් අබයදීර 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress