ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 06ක් කියමින් නීතීපති විසින් ඇති කරන්නට ගිය “ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අර්බුදයක්” ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 05ක් බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කිරීමෙන් වැළකී ගිය ආකාරය……..
Posted on January 16th, 2018

නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col)

වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2015 ජනවාරි මස 08 දින පැවති ජනාධිපතිවරණයෙන් ජයගෙන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුව සිටි කේ. ශ්‍රීපවන් මහතා ඉදිරියේ 2015 ජනවාරි 09 දින සවස් යාමයේ නිදහස් චතුරශ්‍රයේ දී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස දිව්රුම් දෙන ලදී.

ජනාධිපතිවරයා ලෙස දිව්රුම් දුන් අවස්ථාවේ සිට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කළ අවස්ථා 1 හෝ 2ක් නොව බොහොමයකි. ඒ සියලු අවස්ථාවන් වලදී ශ්‍රී ලංකා නීතීඥ සංගමය කිසිත් සිදු නොවුණා ලෙස සිය කටයුතු කරගෙන යාම ජනතාව උපේක්ෂාවෙන් බලා සිටියේ ය.

2015 ජනවාරි 09 දින ජනාධිපතිවරයා ලෙස දිව්රුම් දී ඉතා සුළු මොහොතකින් එවකටත් පාර්ලිමේන්තුවේ 2/3ක මන්ත්‍රීවරුන්ගේ කැමැත්තෙන් අගමැතිව සිටි දි.මු. ජයරත්න අගමැති ධුරයෙන් ඉවත් කිරීමක් හෝ නොකර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 42ක ගේ කැමැත්ත තිබූ රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ලෙස පත් කර ගත්තේ ය.

ඒ ආකාරයට තමන්ට අභිමත සහ අධිපති පාලන ක්‍රමයක් ආරම්භ කළ ජනාධිපතිවරයා එවකටත් වලංගුව ක්‍රියාත්මකව තිබූ 18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන්  බලාත්මකව වූ 41අ.(1) ව්‍යවස්ථාව අනුව පිහිටුවා තිබූ “පාර්ලිමේන්තු සභාවේ” නිරීක්ෂණ ලබා ගැනීමෙන් පසු පත් කර සිටි අගවිනිසුරු මොහාන් පීරීස් මහතා අගවිනිසුරු ධුරයෙන් පමණක් නොව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධුරයෙන්ද නෙරපා හරිනු ලැබීය. ඉන්පසු “පාර්ලිමේන්තු සභාවේ” නිරීක්ෂණ ලබා ගැනීමක් පවා සිදු නොකර 2015 ජනවාරි 09 දින සවස් යාමයේ නිදහස් චතුරශ්‍රයේ දී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස දිව්රුම් ලබා ගත් කේ. ශ්‍රී පවන් මහතාව අගවිනිසුරු ලෙස 2015 ජනවාරි 30 දින 44වන අගවිනිසුරු ලෙස තමන් ඉදිරියේ දිව්රුම් දීමට සළස්වන ලදී.

ඒ ආකාරයට සිය පාලනය ආරම්භ කළ ජනාධිපතිවරයා 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් අමාත්‍යවරු සංඛ්‍යාව 30කට සහ නියෝජ්‍ය අමාත්‍යවරු සංඛ්‍යාව 40කට සීමා කිරීමට හදුන්වාදුන් විධිවිධානය මගහැර යාම සදහා එනම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46 ව්‍යවස්ථාවේ දැක්වෙන “ජාතික ආණ්ඩුව” නම් ව්‍යුහය තනා ගත්තේ පාර්ලිමේන්තුවේ කථානායකවරයා හරහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථනිරූපණය කර ගනිමින් ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 125 ව්‍යවස්ථාව අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථනිරූපණය කිරීමේ තනි සහ අනන්‍ය අධිකරණ බලය ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයට මිස කථානායකවරයාට නොවේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 125 ව්‍යවස්ථාව මෙසේ ය…..*

  1. (1)ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීම පිළිබඳ යම් ප්‍රශ්නයක් විභාග කොට තීරණය කිරීම සඳහා තනි හා අනන්‍ය අධිකරණ බලය ශ්‍රේෂ්ඨාධිකරණයට ඇත්තේ ය. ඒ අනුව වෙනත් යම් අධිකරණයක හෝ විනිශ්චය අධිකාරයක හෝ යුක්තිය පසිඳලීම සඳහා හෝ අධිකරණ කාර්ය නැතහොත් අර්ධ අධිකරණ කාර්ය ඉටු කිරීම සඳහා හෝ නීතියෙන් බලය පැවරී ඇති වෙනත් යම් ආයතනයක හෝ නඩු කටයුත වලදීඑවැනි යම් ප්‍රශ්නයක් උද්ගත වුවහොත් ඒ ප්‍රශ්නය තීරණය කිරීම සඳහා නොපමාව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කළ යුත්තේ ය. ඒ ප්‍රශ්නය සම්බන්ධයෙන් තීරණයක් කරන තෙක් වැඩිදුර නඩු කටයුතු අත්හිටුවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විධාන කළ හැක්කේ ය. 

(2) යොමු කරනු ලැබූ දින සිට මාස දෙකක් ඇතුළත ශ්‍රේෂ්ඨාධිකරණයවිසින් එම ප්‍රශ්නය තීරණය කොට අවස්ථානුකූලව අවශ්‍ය විය හැකි යම් ආනුෂංගික ආඥා ද කළ යුත්තේ ය.*

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් අමාත්‍යවරු සංඛ්‍යාව 30කට සහ නියෝජ්‍ය අමාත්‍යවරු සංඛ්‍යාව 40කට සීමා කිරීමට හදුන්වාදුන් විධිවිධානය මගහැර යාම සදහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46.5 ව්‍යවස්ථාවේ දැක්වෙන “ජාතික ආණ්ඩුව” යන්න කථානායකවරයා මගින් අර්ථනිරූපණය කරගෙන් අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු සංඛ්‍යාව සීමාකරන විධිවිධානය මගහැර ගියේ ය.

එකී ජාතික ආණ්ඩුව පිහිටුවා දින කීපයක් ඇතුළත එහි නීතිවිරෝධී ක්‍රියාව සම්බන්ධව මෙම ලිපියේ කර්තෘ විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරා සහන අයද සිටියද, පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද වලට මුවා වී ජනාධිපතිවරයා විසින් අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු පත්කර ගෙන තීබීමෙන් එකී නඩු සාර්ථක කර ගැනීමට නොහැකි විය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46.5 ව්‍යවස්ථාවේ දැක්වෙන “ජාතික ආණ්ඩුව” යන්න කථානායකවරයා මගින් අර්ථනිරූපණය කර ගන්නවා වෙනුවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 129.1 ව්‍යවස්ථාව අනුව “ජාතික ආණ්ඩුව” යන්න කුමක්ද යන්න පිළිබද අර්ථනිරූපණයකට ශ්‍රේෂ්ඨාධිකරණයට යාම ඒ අවස්ථාවේ ජනාධිපතිවරයා ක්‍රියා කරනු නො ලැබීය.

අමාත්‍යවරු සංඛ්‍යාව 30කට සහ නියෝජ්‍ය අමාත්‍යවරු සංඛ්‍යාව 40කට සීමා කිරීමට ඇති විධිවිධානය මගහැරයාමට අවශ්‍යව තිබූ හෙයින්”ජාතික ආණ්ඩුව” යන්න සම්බන්ධව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 129.1 ව්‍යවස්ථාව අනුව අර්ථනිරූපණයකට ශ්‍රේෂ්ඨාධිකරණයට නොපැමිණි ජනාධිපතිවරයා තමන්ගේ ධුර කාලය වසර 06ක්ද යන්න තීරණය කිරීම සදහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 129.1 ව්‍යවස්ථාව අනුව අර්ථනිරූපණයකට/ මතය විමසීමකට ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණියේ ය.

තමන් 2015 ජනවාරි 09 දින පැවති නීතිය අනුව ජනාධිපති ධුරයේ දිව්රුම් දෙන ලද හෙයින් එදින සිට වසර 06ක කාලයක් ජනාධිපති ධුරයේ දැරීමට යම් නො හැකියාවක් තිබේද? යන්න ඉන් ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසා තිබුණි.

නීතිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අර්බුදයක් නිර්මාණය කිරීම….

2015 ජනවාරි 09 දින පැවති නීතිය අනුව ජනාධිපති ධුරයේ දිව්රුම් දෙන ලද හෙයින් එදින සිට වසර 06ක කාලයක් ජනාධිපති ධුරයේ දැරීමට යම් නො හැකියාවක් තිබේද? යන්න ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ 2018 ජනවාරි 11 වැනි දින සමාලෝචනයට ලක් කළ අතර ඒ අවස්ථාවේ නීතිපතිවරයාගේ තර්කය වූයේ 2015 ජනවාරි 09 දින පැවති නීතිය අනුව සහ ජනවරම අනුව ජනාධිපතිවරයාගේ  ධුර කාලය 2015 ජනවාරි 09 දින සිට ඉදිරියට වසර 06ක් බවයි….

  • 2015 ජනවාරි 09 දින ජනාධිපති ධුරයේ දිව්රුම් දෙන අවස්ථාවේ ධුර කාලයට අදාල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30.2 ව්‍යවස්ථාව මෙසේ ය.**

“ජනරජයේ ජනාධිපතිවරයා ජනතාව විසින් තෝරා පත්කර ගත යුත්තේ ය. ජනාධිපතිවරයා සාවුරුදු කාලයක් ධුරය දරන්නේ ය.”**

ජනාධිපතිවරයාගේ ධුරකාලය 2015 ජනවාරි 09 දින සිට ඉදිරියට වසර 06ක් බවට නීතිපතිවරයාගේ ස්ථාවරය සමග බරපතල “ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අර්බුදයක්” හටගෙන තිබුණි. එකී ඉල්ලීමෙන් නීතිපතිවරයා ඉල්ලා සිටින ලද්දේ 2015 මැයි 15 වැනි දින කථානායකවරයා විසින්සහතික කරන ලද 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනතේ විධිවිධාන නොතකා සිටීමට ජනාධිපතිවරයාට හැකි බවත් වසර 06ක් ධුර දැරීමට ජනවරමක් ඇති බවත් ය.

එනම් 2015 මැයි 15 වැනි දින කථානායකවරයා විසින් සහතික කරන ලද 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනතේ 3 වැනි වගන්තියමගින් ජනාධිපතිවරයාගේ ධුර කාලය සම්බන්ධව පෙර පැවති 30.2 ව්‍යවස්ථාව සංශෝධනය කර ඇති;

“ජනරජයේ ජනාධිපතිවරයා ජනතාව විසින් තෝරා පත්කර ගත යුතු අතර පස් අවුරුදු කාලයක් ධුරය දරන්නේ ය.”

යන විධිවිධානය 2015 ජනවාරි 09 දින දිව්රුම් දුන් ජනාධිපතිවරයාට අදාල නොවන බව නීතිපතිවරයාගේ  ස්ථාවරය විය.

2015 මැයි 15 වැනි දින කථානායකවරයා විසින් සහතික කරන ලද 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනතේ ජනාධිපතිවරයාගේ ධුරයට අදාල 3 වැනි වගන්තිය එනම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සංශෝධිත 30.2 ව්‍යවස්ථාව ජනාධිපතිවරයාට අදාල නොවන්නේ නම් සම්පූර්ණ 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ම ජනාධිපතිවරයාට අදාල වන්නේ කෙසේද? යන ව්‍යවස්ථා අර්බුදය නීතිපතිවරයා විසින් ඇති කරනු ලැබීය. ඒ අවස්ථවේ ජනතාවට සිහි වූයේ  “වැටත් නියරත් ගොයම් කා නම් කාට කියනුද ඒ අමාරුව” යන්න ය.  

නීතිපතිවරයාගේ එකී ස්ථාවරය සමග 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ජනාධිපතිවරයාගේ ධුර කාලයට අදාල අවුරුදු 05 සීමාව 2015 ජනවාරි 09 දින දිව්රුම් දුන් ජනාධිපතිවරයාට අදාල නොවන්නේ නම් 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇති ජනාධිපතිවරයාට අදාල වෙනත් විධිවිධාන 2015 ජනවාරි 09 දින දිව්රුම් දුන් ජනාධිපතිවරයාට අදාල වන්නේ කෙසේද? යන්න ජනතාවට විසදා ගත ප්‍රශ්න විය.

එනම්.

  1. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වග කිවයුතුය යන්න;
  2. ජනාධිපතිවරයාට වසර 4 ½ක් යන තුරු පාර්ලිමේන්තුව විසිරුවිය නොහැකි බව;
  3. ජනාධිපතිවරයාගේ බලතල, කාර්ය සහ කර්තව්‍ය සම්බන්ධව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 ව්‍යවස්ථාවේ දැක්වෙන
  • ජාතික ප්‍රතිසන්ධානය හා ඒකාබද්ධතාවය ප්‍රවර්ධනය කිරීම.
  • ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සහ VIIඅ  ව්‍යවස්ථාවේ සඳහන් ආයතනවල නිසි ක්‍රියාකාරීත්වය පහසුකරලීම සහ
  • මැතිවරණ කොමිෂන් සභාවේ උපදෙස් මත, නිදහස් හා සාධාරණ ඡන්ද විමසීම් සහ ජනමත විචාරණ පැවැත්වීම සඳහා උචිත වාතාවරණ නිර්මාණය කිරීම  තහවුරු කිරීම;

  1. අග්‍රාමාත්‍යවරයා සහ විරුද්ධ පක්ෂයේ නායකවරයා අයත් දේශපාලන පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් හෝ නොවන පාර්ලිමේන්තුවේ නියෝජනය ඇති අනෙකුත් දේශපාලන පක්ෂවල සහ ස්වාධීන කණ්ඩායම්වල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ බහුතරයේ එකගත්වය මත නාම යෝජනා කොට ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් පත් කිරීම;

  1. ස්වාධීන කොමිෂන් සභාවලට සභාපතිවරු සහ සාමාජිකයන් පත් කිරීම

උදා….

අ) මැතිවරණ කොමිෂන් සභාව

(ආ) රාජ්‍ය සේවා කොමිෂන් සභාව

(ඇ) ජාතික පොලිස් කොමිෂන් සභාව

(ඈ) විගණන සේවා කොමිෂන් සභාව

(ඉ) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව

(ඊ) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය කිරීමේ කොමිෂන් සභාව

(උ) මුදල් කොමිෂන් සභාව

(ඌ) සීමා නිර්ණය කොමිෂන් සභාව

(එ) ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව.

  1. පහත ධුර සදහා පත් කිරීම

           

(අ) අග්‍රවිනිශ්චයකාරවරයා සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරයන්

(ආ) අභියාචනාධිකරණයේ සභාපතිවරයා සහ අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරයන්

(ඇ) අධිකරණ සේවා කොමිෂන් සභාවේ සභාපතිවරයා හැර අනෙකුත් සාමාජිකයන්.

            (ඈ) නීතිපතිවරයා

(ඉ) විගණකාධිපතිවරයා

(ඊ) පොලිස්පතිවරයා

(උ) පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස්වරයා (ඔම්බුඩ්ස්මන්)

(ඌ) පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා.

  1. ජාතික ආණ්ඩුවේ අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු පත් කිරීම

  1. ජනාධිපතිවරයාට එරෙහිව නඩු පැවරීම

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට බලපාන්නේ 2015 ජනවාරි 09 දින ජනාධිපතිධූරයේ දිව්රුම් දුන් අවස්ථාවේ  පැවති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විධිවිධාන වන්නේ නම්  2015 මැයි 15 වැනි දිනකථානායකවරයා විසින් සහතික කරන ලද 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනතේ 7 වැනි වගන්තිය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35 ව්‍යවස්ථාව ඉවත් කරමින් ආදේශකර ඇති ව්‍යවස්ථාව මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කර ඇති “ජනාධිපතිවරයා විසින් ඔහුගේ නිල තත්වයෙහි ලා කරන ලද හෝ නොකර හරින ලද කිසිවක් සම්බන්ධයෙන් නීතිපතිවරයාට විරුද්ධව 126 වන ව්‍යවස්ථාව යටතේ ඉල්ලීමක් කිරීමට යම් තැනැත්තකුට ඇති අයිතිය සීමා කරන ලෙස මේ අනුව්‍යවස්ථාවේ කිසිවක්, කියවා තේරුම් නොගත යුත්තේ ය” යන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විධිවිධානය වලංගු නොවේ.

මන්ද යත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට බලපාන්නේ 2015 ජනවාරි 09 දින ජනාධිපතිධූරයේ දිව්රුම් දුන් අවස්ථාවේ පැවති නීතිමය තත්ත්වය නම් එවැනි ආකාරයේ ජනාධිපතිවරයාට එරෙහිව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 126 ව්‍යවස්ථාව යටතේ නඩු පැවරීමක් (මූලික අයිතිවාසිකම් නඩු) සදහා ජනතාවට අයිතිය පිරිනමා නොතිබූ හෙයින් ඔහුට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩු පැවරීමේ නොහැකියාවක් හටගෙන ඇත.

ඉහත කාරණා සම්බන්ධව සැළකීමේ දී ජනාධිපති ධුරය සදහා 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ විධිවිධාන අදාල නොවී ජනාධිපතිවරයා විසින් සිදු කළ යුතු අනෙක් ක්‍රියා වලංගු වීමට ඇති නීතිමය තත්ත්වය පටලවා ගැනීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අර්බුදයක් බවට පත්වේ.

මෙවැනි අර්බුද අවස්ථාවක් වළක්වන ඉතා වැදගත් නීතිමය ප්‍රතිපාදනයක් 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනතේ සැක දුරුකිරීම සදහා දක්වා ඇති බව නීතිපතිවරයාගේ අවධානයෙන් ගිලිහී තිබුණි. එනම් 49.1.ආ වගන්තිය වන සැක දුරු කිරීම දක්වා ඇති වගන්තියයි.

19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනතේ දක්වා ඇති 49.1.ආ වගන්තිය මෙසේ ය.

“2015 අප්‍රේල් මස 22 වන දිනට පෙර පිළිවෙලින් ජනාධිපති ධුරය සහ අග්‍රාමාත්‍ය ධුරය දරන තැනැත්තන් එම දිනෙන් පසු, මෙම පනත මගින් සංශෝධිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට යටත්ව එම ධුර දැරිය යුතු වන්නේ ය”

ඇතිවන්නට ගිය ව්‍යවස්ථා අර්බුදයක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වැළක්වීම

කෙසේ වෙතත් ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ල නීතිපතිවරයාගේ තර්ක පිළිනොගෙන 2015 ජනවාරි 09 දින දිව්රුම් දුන් ජනාධිපතිවරයාට පවා 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනතේ ජනාධිපති ධුර කාලයට අදාල වසර 05 සීමාව අදාල බවට සිය අධිකරණ මතය ජනාධිපතිවරයාට දක්වා ඇත.

නීතිපතිවරයා ජනාධිපතිවරයාගේ ධුර කාලයට පමණක් ලඝු වී 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත විග්‍රහ කිරීමට ගොස් සිදු කරන්නට ගිය බලවත් දෝෂයක්, ව්‍යවස්ථා අර්බුදයක් ශ්‍රේෂ්ඨාධිකරණයේ විසින් වළක්වනු ලැබුයේ ඒ ආකාරයටය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වැනි ව්‍යවස්ථාවේ දක්වා ඇත්තේ ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍යය ජනතාව කෙරෙහි පිහිටුවා ඇති බවයි. එකී ජනතාව සතු පරමාධිපත්‍යය අංග වන ජනතාවගේ විධායක බලය, ජනතාවගේ ව්‍යවස්ථාදායක බලය සහ ජනතාවගේ අධිකරණ බලය භාරයක් විලස පිළිවෙලින් ජනාධිපතිවරයාත්, පාර්ලිමේන්තුවත්, ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ විසිනුත් ක්‍රියාත්මක කරන බව ජනතාව නිරන්තරයෙන් සිහි කිරීම ඒ අනුව වැදගත් ය.

මෙවැනිම  ව්‍යවස්ථා අර්බුදයක් එනම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ නීතියක් අතර ඇති වන්නට ගිය අවස්ථාවේ ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයද තීරණාත්මක නඩු තීන්දුවක් ජෝන් මාර්ෂල් අගවිනිසුරුවරයා Marbury vMadison, 5 U.S. (1 Cranch) 137 (1803) ලබා දෙමින් එකී ව්‍යවස්ථා අර්බුදය වළක්වනු ලැබීය. එකී නඩුව සම්බන්ධව සිංහල භාෂාවෙන් පුළුල් විග්‍රහයක් ඉදිරියේදී කිරීමට බලාපොරොත්තු වන හෙයින් ඒ සම්බන්ධව මෙහි විස්තර කර නැති බව සළකන්න.

වැඩි විස්තර දැනගැනීම සදහා කියවන්න

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට බලපාන්නේ 2015 ජනවාරි 09 දින ජනාධිපති ධුරයේ දිව්රුම් දුන් අවස්ථාවේ පැවති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විධිවිධාන වන්නේ නම් ඔහු ක්‍රියා කළ යුතු සහ යටත් විය යුතු සහ පිළිපැදිය යුතු නීතිය සහ තත්ත්වය………..?

http://www.lankaweb.com/news/items/2018/01/13/%E0%B6%B8%E0%B7%9B%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD-%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%9A%E0%B6%B1-%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0-3/

නීතීඥ අරුණ ලක්සිරි උණවටුන

B.Sc(Col), PGDC(Col)

2018.01.15

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress