“ගුරුවරිය දණගැස්වීමෙන් ඌව මහ ඇමතිවරයා සිදු කර තිබෙන්නේ අපරාධමය වරදක් – අධ්‍යාපන ඇමතිකමින් අස්වීම පමණක් අපරාධමය වරදට දඩුවමක් නොවෙයි.”
Posted on January 21st, 2018

මාධ්‍ය ඒකකය ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය

මහ ඇමතිවරයාට සහ මෙම ක්‍රියාවට සහය දැක්වූ පිම්පි ” රාජ්‍ය නිලධාරීන් වහා අත් අඩංගුවට ගත යුතුයි – ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ කීර්ති  තෙන්නකෝන් කියයි.

බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනියක දණගැස්වීම සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙන තුරු අධ්‍යාපන අමාත්‍ය ධුරයෙන් ඉවත්වීම පමණක් අපරාධ වරදකට දඩුවමක් නොවන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය අවධාරණය කරයි. එහි විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා පෙන්වා දුන්නේ අපරාධමය වරදකින් ගැලවී යාමට අධ්‍යාපන ඇමතිකම පමණක් බිල්ලට දීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවයි.

ඌව පළාත් මහ ඇමති චාමර සම්පත් දිසානායක මහතා පමණක් නොව එම අපරාධමය වරදට සහය දක්වමින් අදාල විදුහල්පතිනියට තර්ජනය කොට, බලපෑම් මඟින් අතවර කරමින් බොරු ප්‍රකාශ ලබාගත් “පිම්පි” රාජ්‍ය නිලධාරීන්ද වහාම අත් අඩංගුවට ගත යුතු බවයි. ඌව පළාත් සභාවෙන් වැටුප් ලබන මාධ්‍යවේදීන් යැයි කියාගන්නා පිරිසක් යොදාගනිමින් එම තර්ජනය කොට ලබාගත් ප්‍රවෘත්තිය මාධ්‍ය වෙත යොමු කර ඇති බවත්, එම පුද්ගලයින් සම්බන්ධයෙන්ද සියලු කරුනු තමන් සතුව පවතින බවත් ඒවා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සහ අදාල ජනමාධ්‍ය ආයතන වෙත ලබාදී ඇති බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.

මේ සම්බන්ධයෙන් මේ වනවිට අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් වරයා වෙත, පොලිස්පති වරයා වෙත මෙන්ම ජාතික පොලිස් කොමිසම වෙත ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය විසින්  පැමිණිලි 3ක් ඉදිරිපත්  කර ඇති බවද තෙන්නකෝන් මහත මෙහිදී පෙන්වා දුන්නේය.

මෙම මාධ්‍ය හමුව සඳහා ලංකා බැංකු සේවක සංගමයේ රුසිරිපාල තෙන්නකෝන් මහතා සහ අචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා ද සහභාගි වූහ.

සම්පූර්ණ හඩ පටය  මෙතැනින් 

 https://soundcloud.com/livemediasl/presss

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress