දේශපාලන ගැට වලට හසුව ඇති සාක්ෂරතාවය
Posted on January 22nd, 2018

තේජා ගොඩකන්දෙආරච්චි

රටේ හැම තැනකම කලබලය. දේශය පාලනය කිරීමට ජනතාව විසින්ම තෝරාපත්කර, උත්තරීතරයට යැවූ උත්තමයින් සභාව මැද ඇඳිවත ඔසවාගෙන ගුටි ඇනගනිති. ඒ අතර ඌව පලාතේ මහඇමති විසින්, විදුහල්පතිවරියක තම නිළ නිවාසයට ගෙන්වා, දණ ගස්වා, තමන්ට වැඳ නමස්කාරකර, සමාව ගන්නට සලස්වා ඇත්තේ ඈ විසින් පාසලට සිසුන් ඇතුලත් කරගැනීමේ නීත්‍යානුකූල පටිපාටියට වැඩකල වරදටය. මෙවන් සිදුවීමක් සිදුවූ ප්‍රථම අවස්ථාව මෙය නොවේ. එදා වයඔ පලාතේදී, එවන් ක්‍රියාවක් කල දේශපාලකයාට ආසන සංවිධායක තනතුරක් ලබාදී ඇගයීමක් කලේ, ඊයේ, ජනවාරි 12 වනදා දෙබරවැවදී, තමන් ශ්‍රී ලංකාව අංග සම්පූර්ණ යහපත් රටක් බවට පත්කරන්නට සිහින මවන බව කී ජනාධිපතිවරයාය.
 
එපමනක් නොව ඌව පලාතේ මහඇමතිට එම රජ පුටුව හිමි කරදුන්නේද ජනාධිපතිමය. තමා ලඟ කඩුවක් ඇති බවට වහසි බස් දෙඩුවත්, කඩුවක් තබා තම දබර ඇඟිල්ලවත් මොවුන්ට එරෙහිව එසවුන බවක් නොපෙනේ.
 
නමුත් ඔහු ලඟ රටේ අනාගතය වෙනුවෙන් ඇති හීන නම් අපමනය. මේ රැස්වීම් භූමි වෙත රජයේ බස්රථ වලින් ගෙනැවිත් බා ඇති ජනතාව, ජනාධිපති ප්‍රමුඛ ගෝලබාලයින්ගේ මෙවන් උද්වේගකාරී කතාවලට අත්පොලසන් දෙමින් ඔල්වර හඬ නගති. කුමන පක්ෂයක් හෝ වෙනුවෙන් මෙසේ එක්රොක්වන ජනතාවගෙන් කීයෙන් කී දෙනෙකුට, තමන් මෙසේ මෙතැනට පැමිනියේ ඇයිද කියා තම බුද්ධියට හෝ අඩුතරමින් හදවතට එකඟව පවසන්නට හැකි අයුරින් ශ්‍රී ලංකාවේ දේශපාලනය ගැන අවබෝධයක් ඇතිද?
 
පාලකයින් තෝරාගන්නේ ජනතාව විසිනි. මේ තෝරාගැනීමේ නිර්ණායක බිහිවනුයේ ඒ ඒ පුද්ගලයාගේ අභ්‍යන්තරය විසින් ඔහු හෝ ඇය මෙහෙයවන අරමුණ ඔස්සේය. මෙය ආත්මාර්ථය පිනිසමද නැතහොත් ඊට වඩා පුලුල් පරාසයක විහිදී යන්නක්ද දන්නේ තමන් පමනි. ජනතාවගේ මනාපය ඉල්ලන අයටද මේ පිලිබඳ අවබෝධයක් තිබිය යුතු බවට සැක නැත.
 
වරින්වර මුහුණු පොතේ සංසරණයවන කියමනක් දකිමි. ‘වරද ඇත්තේ අමන පාලකයන් අත නොව ඔවුන්ව තෝරා පත්කරන අමන ජනතාව අතේය’ යනු ඒ කියමනයි. එය සැබෑවකි. අනිකුත් දිනවල කෙතරම් විවේචනය කලත්, මැතිවරණයක් පැමිනි වහාම එම පිරිසටම යලි කතිරය ගසා රජගෙට යැවීමට මුල් තැන ගන්නේද ජනතාවමය. සමහර දේශපාලකයන් ජනතාව අතින් ප්‍රතික්ෂේපවන අවස්ථාද නැත්තේ නොවේ. නමුත් සෑමවිටම ජනතාව විසින්ම අති විශාල මනාප ප්‍රමානයක් ලබාදෙන පක්ෂයක නායකයා විසින්ම, ජනතාවගේ අකමැත්ත නොසලකා, තමන්ගේ මනාපය පරිදි මෙසේ ප්‍රතික්ෂේපිත පුද්ගලයන් යලි බලයට පත්කරන බවද දුලභ කරුණක් නොවේ. එබැවින් ජනතාවගේ කැමැත්ත තීරණය කරන නිර්ණායක යම් වෙනසකට භාජනය විය යුතුය.
 
ඒ වෙනස කුමක් විය යුතුද? මට නම් සිතෙන්නේ ඒ පදනම් විය යුත්තේ අධ්‍යාපනය මත කියායි. අධ්‍යාපනයේ ප්‍රගතිය මනින එක් ප්‍රධාන සාධකයක් වනුයේ සාක්ෂරතාවයි.
 
සාක්ෂරතාව ගැන කතාකරනවිට, ශ්‍රී ලංකාව සිටිනුයේ ලෝකයේ සහ කලාපයේ ප්‍රමිතීන්ට ඉහලිනි. 96.3% ක් වන ඉහල සාක්ෂරතා අගයක් අපේ රටට ලැබී ඇත. නමුත් එවන් ඉහල සාක්ෂරතාවක් සහිත ජනතාවක් සිටින රටක් මෙසේ දිනෙන් දින ආපස්සට ගමන් කරන්නේ ඇයි? ‘ආපස්සට’ යන වචනය සම්බන්ධව ඔබ මා සමග අමනාප නොවනු ඇතැයි සිතමි. අද රටේ සිදුවෙමින් යන සියලුම විනාශයන්ට මුල රටේ සෑම සියලු දෙයක්ම දේශපාලනීකරනය වීමය. උදාහරණයක් ලෙස 2014 දී, ජනාධිපතිවරනය ප්‍රකාශයට පත්කලදා සිට අන්තර්ජාල සමාජ ජාලාවන් ඔස්සේ ගෙනගිය ප්‍රචාරයන් මගින් ජනතාවගේ ඉස්මොළ අපූරුවට සෝදාලන්නට එක්තරා කොටසක් සමත් වූහ. මා කතා කරන්නේ පසුගිය රජය පිලිබඳව ගෙනගිය ඒ ප්‍රචාරයන් වැරදිද නිවැරදිද යන්න නොවේ. දෙකෙන් කොයික වුනත්  තමන්ට අවශ්‍ය ඉලක්කය කරා යාමට එම පිරිස සමත්වූ අතර අවසානයේ රැවටී සිටින්නේ ජනතාව බව අද පැහැදිලිව පෙනේ. හිටපු ජනාධිපතිවරයා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් පිලිබඳව නැගී ඇති චෝදනා ඔප්පු කර පෙන්වන්නට මේ රජයේ කිසිවෙකුට අවශ්‍යතාවක් ඇති බවක් දක්නට නැත. හැමදාම පරිදි සිදුවන්නේ මේ ‘කතන්දර’ කාලයේ අවශ්‍යතාවයට අනුව ගොඩ ගැනීම පමනි. පසුගිය දිනවල මහා ඝෝෂාවක් නගමින් කරලියට ගෙනා මහ බැංකු බැඳුම්කර කොමිසම් වාර්තාව පිලිබඳව ජනාධිපතිගේ කතාව විශ්ලේෂණය කර බලන්නේ නම් ඔහු රැවුලත්, කැඳත් දෙකම බේරාගෙන වැඩකල අයුුරු පැහැදිලි වියයුතුය. ඉතාම ලස්සනට අගමැතිවරයා මේ චෝදනාවලින් නිදහස් කරන ඔහු, වැරදිකරුවන්ට දඬුවම් දෙන බව පවසන්නේ පලාත් පාලන මැතිවරණ වේදිකා මතදීය. ඒ සමගම මේ වසරේ කරලියට ගෙනෙන්නට අදහස්කරන එයාර් ලංකා කොමිසමක් ගැනද පවසයි.
 
ඒ සමගම සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න වෙත, රාජපක්ෂලා සතුය කියූ විදේශ ගිණුම් ඇත්තේ මොන මොන රටවලද, ඒවායේ තිබෙන මුදල් ප්‍රමානයන් ගැනද සවිස්තර වාර්තාවක් ලැබී ඇති බව පෙනෙයි. මොහු මේ ගැන බලා සිටියා සේ කට මැත දොඩවනවිට මාධ්‍යවේදීන්ද ඔහේ අසාසිට, ලියාගන්නේ කිසිදු හරස් ප්‍රශ්නයක් නොඅසාය. 2010 ජනාධිපතිවරණ සමයේ ඔහු මහින්ද රාජපක්ෂ ගැන කියූ දේවල්වල සිට ඔහුගේ දේශපාලන ගමන්මග පුරාම ඇත්තේ මෙසේ අන්‍යයන්ගේ බුද්ධිය අවතක්සේරු කිරීමේ ස්වභාවයයි. නමුත් මීලඟ මැතිවරණයේදීද නිසැකවම ඔහුගේ නම ඉදිරියේ ලක්ෂ ගණන් මනාප පූජා කෙරෙනු ඇත. මේ දේශපාලකයන්ට මෙතරම් පහසුවෙන් මිලියන 10ක පමන මිනිසුන් පිරිසක් පාවිච්චි කලහැකිව ඇත්තේ කෙසේද යන්න සිතන විට පුදුම සිතෙයි. මන්ද වැරදි පාලන ප්‍රතිපත්තීන් නිසා ඇතිවන භයානක ප්‍රතිඵල භුක්ති විඳින්නේ දේශපාලකයා නොව සාමාන්‍ය ජනතාවය.
 
මේවා මෙසේ සිදුවුනේ මෙවර පමනක් නොවේ. චන්ද්‍රිකා බලයට එන්නට කටයුතු කෙරීගෙන යන අවධියේ සිදුකල සමූහ මිනීවලවල් හෑරීමේ ප්‍රතිඵලය මෙන්ම, බලයට පැමිනි පසුව විභාගකල බටලන්ද කොමිසමේ වාර්තාවද විටින් විට කරළියට පැමිනියේ පසුව පැවැත්වූ මැතිවරණ සමයේදී ජනතාවගේ අවධානය දිනා ගැනීමට භාවිතාකල මෙවලමක් වශයෙනි. ඒ අනුව මහබැංකු බැඳුම්කර වංචාව පිලිබඳ වාර්තාවෙන්ද ඊට වැඩි යමක් අපේක්ෂාකල නොහැක. එයාර් ලංකා තබා තව මොන කොමිසමක් පත්කලත් එයද මේ මැතිවරණය දිනාගනු පිනිස ඉදිරිපත් කරන දෙයකට වැඩි යමක් නොවනු ඇත.
 
මේවා මෙසේ වන්නට අධ්‍යාපනය කොපමන දුරට බලපානු ඇතිද කියා විශ්ලේෂණය කර බැලීම වටී. අධ්‍යාපනයේ ප්‍රශස්ථ භාවය මනින එක මිම්මක් නම් සාක්ෂරතාවයයි. සාමාන්‍යයෙන් සාක්ෂරතාව මනින්නේ ලිවීමට සහ කියවීමට ඇති හැකියාව ඔස්සේය. එහිදී, යම් යම් වයස් මට්ටම්වලදී, ඉගෙනගෙන ඇති වචන සංඛ්‍යාව, ලිවීමට හැකි ප්‍රමානය, මතකයෙන් කිව හැකි සහ ලිවිය හැකි ප්‍රමානය ආදී වශයෙන් ප්‍රමිතිගතකර තිබේ. අපේ රටේ 96.3% ක් සාක්ෂරතාවයෙන් යුතුය කියන්නේ මේ ප්‍රමිතියට අනුව කාරණා සම්පූර්ණ වී ඇති නිසාය.
 
ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනය ස්ථාපිත වූයේ 1938 දී ය. ඒ අනුව දේශීය භාෂාවන්ගෙන් ඉගෙන ගැනීමේ අවස්ථාව ශ්‍රී ලාංකික ළමා පරපුරට ලැබුනි. සමාජය තුල ලිවීමේ සහ කියවීමේ හැකියාව වර්ධනය වූයේ ඒ තුලිනි.
 
මේ වනවිට ශ්‍රී ලංකාව තුල රජයේ පාසල් 10,012 ක් ඇති අතර ඊට ජාතික පාසල්, පලාත් පාසල්, සහ පිරිවෙන් ද ඇතුලත් වේ. ඊට අමතරව පුද්ගලික පාසල් සහ ජාත්‍යන්තර පාසල්ද වශයෙන් තවත් පාසල් කොටසක් ඇත. ශ්‍රී ලංකාවේ සාමාන්‍යයෙන් පාසල් ළමුන්ගේ සංඛ්‍යාව දෝලනය වන්නේ මිලියන 4.2 ක ප්‍රමානයක් වටාය. කෙසේ වුවද අවසානයේ ජාත්‍යන්තර පාසල් හැර අනිකුත් සියලුම වර්යේ පාසල්වලින් අධ්‍යාපනය ලබන සිසුන් අතරින් විශ්ව විද්‍යාලයට යාමට වරම් ලබන සංඛ්‍යාව 16,000 ක් පමනි. එය උසස් පෙල විභාගයෙන් විශ්ව විද්‍යාල අධ්‍යාපනය සඳහා සුදුසුකම් ලබන ප්‍රමානයෙන් 10% ක් පමන වේ. විශ්ව විද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලබාදෙන ඉසෙඩ් ස්කෝර් ක්‍රමය අනුව සිසුන් අතර ඒ සඳහා දැඩි තරගකාරී බවක් පවතී. සුදුසුකම් ඇතිව සිටියද එම තරගයෙන් ඉවත්වන සිසුන් අතරින් 8% ක් පමන පිටරටවල විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබා ගනිති. නමුත් ඊට අති විශාල මුදල් කන්දරාවක් අවශ්‍යය. එයට සරිලන වත්කම් නොමැති නම් ඊලඟට තිබෙන අවස්ථාව ගණකාධිකරනය, තොරතුරු තාක්ෂණය, ව්‍යාපාර කළමනාකරනය වැනි විෂයයන් ඉගෙනීම සඳහා ජාත්‍යන්තරව පිලිගත් මහ පරිමානයේ ආයතනයන්හි පාඨමාලාවනට බැඳීමය.
 
කෙසේ වුවද රජයේ පාසල්10,012 අතරින් 350 ක් පමන වන ජාතික පාසලකට තම දරුවා ඇතුලත් කර ගැනීම ඕනෑම දෙමාපියකුම වෙත පාහේ ඇති තදබල අවශ්‍යතාවකි. මෙම අවශ්‍යතාව නිසාම දරුවකු පාසලකට ඇතුලත් කිරීම මුදල් වැය කලයුතු ව්‍යාපාර ජාලයක කොටසක්ව ඇත. එයටද සරිලන මුදල් ප්‍රමානයක් තමන් වෙත නැතිනම්, ඊලඟ විසඳුම පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්වයයි. එය වෙනත් වියදමකින් තොරව දරුවකු පාසලට ඇතුලත්කර ගැනීමට ඇති එක් අවස්ථාවකි. විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන් පසුව වුවද සැලකිය යුතු සමාජ තත්වයක් හා වැටුපක් ලැබෙන රැකියා අවස්ථා හිමි වන්නේ සීමිත පාඨමාලාවන් කිහිපයකටය. එම පාඨමාලා හැදෑරීමට උසස් පෙල විභාගයෙන් ඉහලම ලකුණු ලබාගත යුතුවෙයි. එබැවින් අද වනවිට අප රටේ දරුවන්ට ඉගෙනීමේ කර්තව්‍ය සඳහා නිම නොවන තරගයකටද, මීට සමගාමීව මව්පියන්ට මුදල් සෙවීමේ තරගයකටද අවතීර්ණ වන්නට සිදුව තිබේ. කෙසේ වුවද මේ ආකාරයෙන් ළමා පරපුර පොතපතේ ඉගෙනුමට තල්ලු කරන ප්‍රමානය අනුව, ලිවීම සහ කියවීම පදනම් කරගත් සාක්ෂරතාව යටතේ නම් ශ්‍රී ලංකාව ඉහල අගයක සිටීම පුදුමයක් නොවේ. නමුත් මේ තරගකාරිත්වය තුල ශ්‍රී ලංකාවේ තව දුරටත් නිදහස් අධ්‍යාපනයක් කියා යමක් ඉතිරි වී තිබේද යන ප්‍රශ්නය මෙහිදී මතුවේ. අද පවතින ක්‍රමය තුල පළමු වසරේ සිට යාන්ත්‍රිකව ඉගෙනුමේ යෙදුනද ඊට එපිටින් ගිය විචාර බුද්ධිය සහ නිර්මාණශීලීත්වය, තාර්කික සහ විශ්ලේෂණ කුසලතා දරුවකු තුල වර්ධනය වීමේ ඉඩකඩ අල්පය. ඒ හැර පවතින තරගකාරී ක්‍රමය තුල ඉස්මතුවන ආත්මාර්ථකාමී බව, සමාජයක් තුල ඇති සාමූහික වගකීම කරා යොමුවීමේ ඉඩකඩ අහුරාලයි.
 
ස්ටෙෆාන් බී. කූචර් නම් අධ්‍යාපන විශේෂඥයාගේ පර්යේෂණයන්ට සහ නිගමනයට අනුව, සාක්ෂරතාව යන්නට, ලිවීමට සහ කියවීමට ඇති හැකියාවට එපිටින් යන මිණුම්දඬු කිහිපයක් තිබේ. ඒ අනුව සාක්ෂරතාවෙන් පරිපූර්ණ වීමට පියවර 4 ක් ඇත. ඒ,
 
අර්ථවත් සන්නිවේදනය; එක ක්‍රමයකට වඩා ක්‍රම කිහිපයක්, භාෂාව, කලාව, සංගීතය, ගණිතය
 
උපාය මාර්ගිකව යමක අර්ථය අන් මනසක් තුල ස්ථාපනය කිරීමේ ක්‍රමවේද; කෙනෙකු නිකම්ම යමක් විස්තර කිරීම සහ අනෙකා එය පිලිගැනීමකට වඩා එතැන නිර්මාණය ඉස්මතු වේ,
 
සමාජ සංස්කෘතිකමය කුසලතා, එනම් විවිධ සමාජ කණ්ඩායම් අතර එකඟතාව සහ විචාර බුද්ධිය තුලින් යහපත් අන්තර් ක්‍රියාවන් ඇතිකිරීම සඳහා ලිවීමේ සහ කියවීමේ හැකියාව යොදා ගැනීම,
 
ඉහත කී අංගයන් වැඩි දියුණු කිරීමට අන්‍යොන්‍ය වශයෙන් භාෂාමය, සංස්කෘතිකමය සහ පුද්ගලික මට්ටමින් අවබෝධය ගොඩ නැගීමයන කරුණුය.
 
මේ සියලු ප්‍රතිමානයන් සලකා බැලූ කල්හි අප සමාජය තුල එවන් සාක්ෂරතාවක් පවතිනවාද යන්න සැක සහිතය.
 
අප රටේ අද පවතින වහල් අධ්‍යාපන රටාව මේ අයුරින් දිගින් දිගටම පවත්වාගෙන යත්නම්, නිවැරදි දේශපාලනයක් සඳහා අපේක්ෂාවක්වත් අප තුල තබාගත නොහැකිය. එය එසේ වන්නේ බහුතරයක්ගේ දේශපාලන නැඹුරුව පටු ආත්මාර්ථකාමී බවක් ගෙන තිබීමයි. එම තත්වය දේශපාලනයේ පමනක් නොව සෑම දිශාවකින්ම ප්‍රකට වේ. හොඳම උදාහරණය පසුගිය සමයේ මුහුණු පොත පුරා පැතිරී ගිය ‘I am proud to be a ……….’ යනුවෙන තමන් ඉගෙනුම ලද පාසලේ නම සඳහන් කිරීමයි. මේ සියලු පෝස්ටරවල අප දුටුවේ ලොකු ලොකු පාසල්වල නම් පමනි. මා අර කලින් සඳහන්කල රජයේ පාසල් 10,012 අතරින් 350 ක පමන පිරිස මෙසේ ප්‍රකාශකලත් ඉතිරි පාසල් 9962 ට අයත් සිසුන් කුමක් කියන්නද? ඇස් කන් ඇරගෙන රටේ සංචාරය කල හෝ තොරතුරු කියැවූ අයෙකුට එකම රටේ විවිධ පලාත්වල පාසැල් අධ්‍යාපන මට්ටම්වල ඇති    ඉතාම අසාධාරණ වූ වෙනස අවබෝධ විය යුතුය. එසේ අවබෝධයක් තිබියදී මේ අයුරින් උජාරු කතා කියවයි නම් ඒ ආත්මාර්ථකාමී බවයි. අනිත් කාරණය නම්, හොඳම පාසල තම නිවස ලඟ තිබුනා නම් හෝ පහ වසර ශිෂ්‍යත්වය සමත් වුනානම් හෝ හැරුනුකොට ඔවැනි පාසලකට තමන්ව ඇතුලත් වුනේ කෙසේද යන්න අවබෝධයක් නිකමට හෝ තිබේ නම් කල යුත්තේ ඒ ගැන ආඩම්බර වෙනු වෙනුවට ලැජ්ජා වීමයි.
 
කලින් කලට එන මෙවැනි විගඩම් දකිනවිට අපේ ශ්‍රී ලාංකික සමාජය කූචර්ගේ සාක්ෂරතා ප්‍රතිමාන අසලින්වත් ගොස් ඇතිදෝ කියා සැක සිතේ. මෙවැනි සමාජයකින් දුරදිග බලා දේශපාලකයන් තෝරා පත්කර ගැනීමක්  අප කෙසේ අපේක්ෂා කරමුද?
 
පාර්ලිමේන්තුවේ සිටින අයගෙන් 94 දෙනෙක් සාමාන්‍ය පෙල සමත් නැතැයි කියුවද, සම්මත උගතුන් යොදාගෙන බහුතර ජනතාවගේ ඉස්මොල සෝදා ගැනීමේ කලාව නම් ඔවුන් අපූරුවට ඉගෙනගෙන තිබේ. අද දේශපාලන වේදිකාවේ කියැවෙන බොහෝ කතා තුලින් ජනතාවගේ විචාර බුද්ධිය ප්‍රශ්න කරන අයුරු ජනතාවට නොපෙනේද? ජනාධිපති නම් සුද්ධවන්තයා විසින් අවලංගු කෙරුන මංගලගේ බාර් පනත වැනි නාඩගම්ද එවැනිමය. පනතක් ප්‍රකාශයට පත් කරන්නට පෙර කැබිනට් මණ්ඩලය තුල කතාබහට ලක්වේ. ඉතින් මේ පනත ජනාධිපති නොදැන අනුමත වූයේ කෙසේද? නිදහසින් පසු ඇතිවූ විවිධ දේශපාලන ප්‍රවාහයන්ට හසුවූ නිදහස් අධ්‍යාපනය සෝදාපාලුවට ලක්ව ගොසිනි. එම බොරදියේ මාලු බාන්නේ අවස්ථාවාදී වත්මන් දේශපාලකයන්ය. ජනතාව අවබෝධ කරගත යුත්තේ එයයි.
 
එක අතකින් ශ්‍රී ලංකාව සාක්ෂරතාව අතින් ඉහලම තැනක සිටින බව පවසා ආඩම්බරවන මේ දේශපාලක ගොල්ල නම් කූචර්ගේ ප්‍රතිමාන අනුව සාක්ෂරතාව තමන් ලඟ ඇතැයි සිතනු වැනිය. ඔවුන් මේ විවිධ භාෂා විලාෂයන්, නාටකීය ක්‍රමවේද හරහා ජනතාවගේ මනසට බලපෑම් කරන්නට තැත් කරන්නේ එහෙයිනි.
 
කලකට පසු තමන් සතු ප්‍රජාතාන්ත්‍රික අයිතිය පාවිච්චි කරන්නට ලැබෙන මේ අවස්ථාවේ තම විචාර බුද්ධිය මෙහෙයවා කටයුතු කිරීමේ වගකීම පිලිබඳව වටහා ගතයුතු වන්නේද චන්දදායකයාමය. විශේෂයෙන් කුලුඳුලේ චන්දය ප්‍රකාශ කරන ඔබය.

2 Responses to “දේශපාලන ගැට වලට හසුව ඇති සාක්ෂරතාවය”

  1. Senerath Says:

    Good friend Wiggie knows how to do it.

    උතුරේ උ. පෙළ සිසුන් 274 කට විෂයන් තුනටම A

    දිනසේන රතුගමගේ

    2017 වර්ෂයේ අපොස උසස්‌ පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව උතුරු පළාතේ සිසුන් 274 දෙනකු විෂයන් තුනටම ” ඒ” සාමාර්ථ ලබාගෙන ඇත. විභාගය සඳහා සිසුන් 11,591 දෙනකු උතුරු පළාතෙන් පෙනී සිට තිබේ.

    විෂයන් තුනම සමත් ශිෂ්‍ය සංඛ්‍යාව 8956 ක්‌ වන අතර විභාගය අසමත් සංඛ්‍යාව 816 කි.

    උතුරු පළාතේ උ. පෙ. විභාගය සමත්වීමේ ප්‍රතිශතය පෙනී සිටි සමස්‌ත අපේක්‍ෂකයින්ගෙන් 68.37% ක්‌ වන අතර දිස්‌ත්‍රික්‌ක අනුව වර්ග කිරීමේදී ඉහළම සමත් වීමේ ප්‍රතිශතයක්‌ වාර්තා වෙන්නේ මන්නාරම දිස්‌ත්‍රික්‌කයෙනි.

    දිස්‌ත්‍රික්‌ක අනුව විභාගය සමත්වීමේ ප්‍රතිශතයන් අනුව මන්නාරම 68.41% කි. මුලතිව් 66.47% ක්‌ වන අතර යාපනය 65.88% ක්‌ වෙයි. එම ප්‍රතිශතය වවුනියාව සඳහා 64.51% ක්‌ වන අතර කිළිනොච්චියේ සමත්වීමේ ප්‍රතිශතය 62.31% කි.

    කෙසේ වෙතත් උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරනුයේ කාලාන්තරයක්‌ තිස්‌සේ යුද්ධය පැවැති උතුරු පළාතේ උසස්‌ පෙළ ප්‍රතිඵල ඉතා ඉහළ මට්‌ටමක පවතින බවයි.

  2. Senerath Says:

    Where is this country going ?

    මියගිය තරුණයාගේ බිරිඳ වන චතුරිකා සඳමාලි (22) මහත්මිය මෙසේ කියා සිටියාය. මගේ මහත්තයාව වෙඩි තියලා මරන්න කරපු වරද මොකක්‌ද? රටේ අපරාධකාරයෝ නිදහසේ ඉන්නවා. නිරායුධ මිනිසුන් මරණ එකද පොලිසියේ රාජකාරිය. මගේ දරුවට තාත්තා නැති කරපු උන්ට කතරගම දෙවියෝම බලන්න ඕනි. අපි කාටවත් වරදක්‌ කරලා නැහැ. රටේ ජනාධිපතිවත් මේ ගැන සොයා බලා වෙඩි තියපු උන්ට නීතිය ක්‍රියාවට නංවන්න කියලා මම ඉල්ලනවා.

    Not only this innocent man , there are big shots who made children to loose their fathers to satisfy their low desires hanging around freely in luxary. උන්ටත් කතරගම දෙවියෝම බලන්න ඕනි

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress