ජාතිකත්වය සඳහා මිස මැතිවරණ සඳහා එකතුවෙලා වැඩක් නැහැ
Posted on January 23rd, 2018

සාකච්ඡා කළේ: නාමල් උඩලමත්ත අද ජනවාරි 22 වැනි දා රිවිර පුවත්පතේ පළ වී ඇති සාකච්ඡාවකි.

පිළිමතලාවෙ සහ මඩුගල්ලෙ, සිංහල රජු ගැන මතභේදයක් ඇති කර ගෙන  කැප්පටිපොළ නිළමෙතුමාට එකතු නොවූ නිසා 1818 වෙල්ලස්සෙන් ඇරඹි නිදහස් සටන පැරදුණා.  අදත් ඒ වගේ දෙයක් සිද්ධ වෙන්න අරිනවා ද?

ජාතිකවාදය, සිංහල බෞද්ධ භික්ෂුවගේ කාර්යභාරය සහ වර්තමාන දේශපාලනය හා සම්බන්ධ ඇතැම් කරුණු අලළා ආචාර්ය නලින් ද සිල්වා මහතා සමග රිවිර කළ සාකච්ඡාවකි.

ජාතිකවාදය, ජාතිවාදය, වර්ගවාදය වැනි වචන නිතර භාවිත කළත් බොහෝ දෙනාට ඒවායේ අර්ථය පිළිබඳ එතරම් අවබෝධයක් නෑ. මේ වචන කෙටියෙන් පැහැදිලි කළ හැකිද?

ලංකාවේ ඇති එකම ජාතිය සිංහල. සිංහල ජාතිය වසර දහස් ගණනක් තිස්සේ මේ රටේ පවතිනවා. රටක ජාතියක් ලෙස පවතින පිරිසකට විතරයි ජාතිකවාදයක් තියෙන්න පුළුවන්. ඒ නිසා ලංකාවේ සිංහල ජාතිකවාදයක් තියෙනවා. සිංහලයා තමන්ගේ ජාතිය සහ සංස්කෘතිය අනුව ප්‍රශ්න දෙස බලලා ඒවා විග්‍රහ කිරීම ජාතිකවාදය කියලා කියන්න පුළුවන්. ජාතිකවාදය කියන්නේ අන් ජන වර්ග පාගා දමා දැමීම නෙමෙයි. දෙමළ මුස්ලිම් කියන්නේ මේ රටේ ජීවත් වන ජනවර්ග. ඔවුන් අතර දෙමළ මුස්ලිම් ජාතිවාදයක් සහ වර්ගවාදයක් තියෙන්න පුළුවන්.

නමුත් සිංහල ජාතිවාදීන් සෙසු අයගේ අයිතිවාසිකම් නොදෙන බවට චෝදනාවක් තියෙනවා?

ඔබ කියන්නේ ජාතිවාදීන් ගැන. ජාතිකවාදීන් ජාතිවාදීන් නො වෙයි. ඒත් ජාතිවාදය/වර්ගවාදය කියන්නෙ මොකක් ද කියලා දැනගන්න ඕන.

කිසියම් ජාතියකට හෝ ජන වර්ගයකට හිමි විය යුතු තැන නොදීම තමා ජාතිවාදය/වර්ගවාදය. මේ රටේ හැමදාම දෙමළ, මුස්ලිම් ජන වර්ගවලට, ඔවුන්ගේ උප සංස්කෘතියට දිය යුතු තැන ලැබුණා. අද කොළඹ පමණක් ඉස්ලාම්, ක්‍රිස්තියානි පල්ලි, හින්දු කෝවිල් කෙතරම් තිබෙනවාද? අද මේ රටේ නත්තල සඳහා කෙතරම් තැනක් ලබා දීලා තිබෙනවාද? අද මේ රටේ මුස්ලිම් පාසල්, මුස්ලිම් නිවාඩු තිබෙනවා. මුස්ලිම් නොවන කිසිම රටක එහෙම අයිතිවාසිකම් ලබා දීලා නෑ. මේ රටේ සෙසු ජන වර්ගවලට වෙනම කිසිම රටක නොමැති තරම් අයිතිවාසිකම් ලබා දීලා තියෙනවා. සිංහලයන් ජාතිවාදී ලෙස හැසිරුණා නම් එහෙම අයිතිවාසිකම් ලැබෙනවාද?

මේ රටේ සිංහල බෞද්ධ සංස්කෘතියට වසර දහස් ගණනක් තිස්සේ සුවිශේෂ තැනක් තිබුණා. නමුත් ඉංගිරිසි පාලකයන්ගේ අනුග්‍රහය සහ ආශීර්වාදය ලබපු දෙමළ මුස්ලිම් ජන වර්ග සිංහල බෞද්ධ සංස්කෘතියට හිමි ඒ සුවිශේෂ තැන අහිමි කළා. අදටත් ඒක දිනාගෙන නෑ. ඒක තමා සැබෑ ප්‍රශ්නය. සිංහලයන් ලබා දී ඇති අයිතිවාසිකම් භුක්ති විඳින අතර සිංහලයාගේ සහනශීලිත්වය දුර්වලකමක් විදිහට සලකන සෙසු ජන වර්ග අදත් සිංහල බෞද්ධ සංස්කෘතියට පහර දෙමින් ඊට හිමිවිය යුතු සුවිශේෂත්වය ලබා දීමට එරෙහිව වර්ගවාදී ලෙස කටයුතු කරනවා. මේ රටේ සිංහල බෞද්ධ සංස්කෘතියට හිමිවිය යුතු තැන ලබා දීමට එරෙහි වන පිරිස තමා වර්ගවාදීන් නැත්නම් ජාතිවාදීන් ලෙස හැඳන්විය යුත්තේ.

ඇතැම් ජාතිකවාදීන්ගේ පසුබිම ව්‍යාජ සමාජවාදය” කියලා ඔබ නිතර කියනවා. සමාජවාදය ව්‍යාජ සමාජවාදය කියලා අඳුන්වන්නේ ඇයි?

සමාජවාදය කියන්නේ පට්ටම පට්ටපල්  බොරුවක්. ඒක කාල් මාක්ස්ගේ හිතේ පහළ වෙච්චි හිතලුවක් විතරයි. නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණයත් හිතළුවක් තමයි. නමුත් නිකමට හරි කෙනෙකුට කියන්න පුළුවන් පොල් වැටෙන්නේ ගුරුත්වාකර්ෂණය නිසා කියලා. නමුත් මාක්ස්ගේ හිතලුවෙන් මෙලෝ දෙයක් කියන්න බෑ. ඒ නිසායි මම සමාජවාදය පට්ටම පට්ටපල්  බොරුවක් කියන්නේ. ලෙනින්ගේ හිටං විජේවීර දක්වා සමාජවාදීන් කළේ මේ විකාර ඔළුවට අරන් මිනි මරපු එකයි.

මේ ලෝකය ක්‍රියාත්මක වන්නේ පන්ති පදනමක් මත නෙමේ. ඒ සඳහා සංස්කෘතිය ඇතුළු විවිධ හේතු බලපානවා. අද සමස්ත ලෝකය පාලනය කරන ජාත්‍යන්තර සංස්ථාපනයක් තියෙනවා. ඊට විරුද්ධව මේ වන විට ඇමරිකාව, එංගලන්තය, ජර්මනිය, ප්‍රංශය වැඩ කරනවා. ඒ සටන කෙරෙන්නේ පන්ති පදනමකින් නෙමේ ජාතික පදනමකින්. නමුත් අපේ රටවල ව්‍යාජ සමාජවාදීන්ට නඩත්තු කරන්නෙත් මේ රටවල් තමා. ඒ අපේ රටවල ජාතිකවාදය පාගා දමන්න ව්‍යාජ සමාජවාදය යොදා ගැනීම සඳහායි. ඔවුන් දන්නවා තමන්ගේ අභිලාෂයන්ට තර්ජනයක් විය හැක්කේ ව්‍යජා සමාජවාදීන්ට නෙමේ, ජාතිකවාදය බව.

මේ රටේ බොහෝ දෙනා ජාතිකවාදය වෙත පැමිණියේ සමාජවාදය ඔස්සේ නේද?

මේ සමාජවාදීන් අතර ට්‍රොක්කිවාදීන්, ලෙනින්වාදීන්, ස්ටැලින්වාදීන් සහ මාවෝවාදීන් ටිකක් හිටියා. චීන මාවෝවාදීන් අතරින් පිරිසක් තමා ජාතිකවාදයට නැඹුරු වෙන්නේ. අද බොහෝ ජාතිකවාදීන් එසේ සෘජුව හෝ වක්‍රව හෝ මාඕවාදයෙන් පැමිණි අය. විජේවීරලා අයිති මේ කොටසට. ඔවුන් ව්‍යාජ සමාජවාදය සහ ජාතිකවාදය අතර දෝලනය වෙනවා. විමල්, වසන්ත බණ්ඩාර වැනි අය අදත් එහෙමයි.

එතකොට ඔබේ පසුබිම කුමක්ද?

මම  එකල ට්‍රොස්කිවාදියෙක්. මම ට්‍රොස්කිවාදය ඔස්සේ ජාතිකවාදය ආවා නෙමේ, ට්‍රොස්කිවාදයෙන් සම්පූර්ණයෙන් කැඩිලා ඒක ප්‍රතික්ෂේප කරලා ජාතිකවාදයට ආවා කියන එකයි ඇත්ත. මම මාක්ස්වාදය ප්‍රතික්ෂේප කරමින් මාක්ස්වාදයේ දරිද්‍රතාව කියලා පොතකුත් ලීවා. නමුත් බොහෝ දෙනා තවම ජාතිකවාදය සහ ව්‍යාජ සමාජවාදය අතර දෝලනය වෙනවා.

භික්ෂුව රජ දවස සිටි එකම උගත් පිරිස ලෙස රජුට අනුශාසනා කිරීමේ කාර්ය කළත් දැන් සමාජයේ බොහෝ උගතුන් සිටින නිසා භික්ෂුවගේ කාර්ය අහෝසි වී ඇතැයි සමහර උගතුන් කියනවා?

මේ රටේ සංස්කෘතිය, සම්ප්‍රදාය, ඉතිහාසය නොදන්න මිනිහෙක් උගතෙක් වෙන්නේ කොහොමද කියලා මම නම් දන්නේ නෑ. රජුට අනුශාසනා කිරීමේ වගකීම භික්ෂුවට පැවරුණේ උගත්කම නිසා නෙමේ කියලා මේ උගතුන් යැයි කියා ගන්නා නූගතුන්ට තමන්ගේ නූගත්කම නිසා තේරෙන්නේ නෑ.

මෙතන තියෙන්නේ උගත් නූගත්කම පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. ගැමුණු රජ දවස ඉඳලා නැත්නම් ඊටත් ඔබ්බේ ඉඳලා මේ රටේ සිංහල බෞද්ධ සංස්කෘතිය රැකගත්තේ හාමුදුරුවෝ. අපේ සමාජය ක්‍රියාත්මක වුණේ පුරුක් දෙකක් යා වූ කරුවක් මත. එක පුරුකක් රජ්ජුරුවෝ සහ රාජ සභාව. අනික සංඝ සමාජය. ඒ දෙකෙන් එකක් හෝ කඩා වැටුණොත් සමස්ත සමාජය කඩා වැටෙනවා.

භික්ෂුවගේ කාර්ය සිංහල බෞද්ධ සංස්කෘතිය රැක ගැනීම සහ ඒ සඳහා රජුට උපදෙස් දීම. ඒකට උගත්කම අදාළ නෑ. එදා කවුරුවත් කඩහපොළ හෝ වාරියපොළ හාමුදුරුවරුන්ගේ උගත්කම විමසන්න ගියේ නෑ. ත්‍රිපිටකය මුල සිට අගට කියවලා තියෙනවාද කියලාවත් ඇහුවේ නෑ. කියවපු අය ඉන්න පුළුවන්. නමුත් ඒක අපට අදාළ නෑ.

සියලු සංස්කාර අනිත්‍ය යැයි කියලා නිවන් දකින්න පැවිදි වන භික්ෂූන් වහන්සේලා රට රකින්න හදන්නේ ඇයි?

සියල්ල අනිත්‍ය තමයි. ඒ ගැන විවාදයක් නෑ. බෞද්ධ සංස්කෘතියත් අනිත්‍යයයි. බුදු දහම පවතින්නේ අවුරුදු පන්දාහයි. එයින් මතු පැවැත්මක් නෑ. ලෝකේ වැඩි අබුද්දස්ස කාල මිස බුද්ධෝත්පාද කාල නෙමේ. දැන් ප්‍රශ්නය තියෙන්නේ බුදු දහම පන්දාහක් පවත්වා ගෙන යාමයි. අද ඉන්න පඬියෝ කියා ගන්න බෞද්ධ විරෝධීන් ඒකටත් විරුද්ධයි. ඒකයි මේ වගේ මුග්ධ තර්ක නගන්නේ.

ගැමුණු රජ දවස ඉඳලා මේ රටේ සම්ප්‍රදාය අනුව පිරිසක් මහණ වෙන්නේ හුදෙක් නිවන් දැකීම සඳහාම නෙමෙයි. ඒ භික්ෂූන් වහන්සේලාගේ ප්‍රධාන කාර්යක් තමයි සිංහල ජාතිය සහ සිංහල බෞද්ධ සංස්කෘතිය රැක ගැනීම. බුදුන් වහන්සේ පිරිනිවන් පාන අවස්ථාවේ ශ්‍රකයාට විෂ්ණු දෙවියන් එවලා මේ රට රකින්න දේශනා කළා කියලා මහාවංසයේ ලියන්නේ ඒ සම්ප්‍රදාය අනුවයි. රට ජාතිය රකින්නේ බුදු දහම රැක ගන්නයි. පුස්තකාලවල බෞද්ධ පොත් ටික රැකුණා කියලා අභිධර්මය කට පාඩම් කරලා කාටවත් නිවන් දකින්න බෑ. ඒ සඳහා බෞද්ධ සංස්කෘතිය රැකගත යුතුයි.

සිදුහත් කුමාරයාත් උපදින්න කලින් පස්මහ බැලුම් බැලුවා. පස්මහ බැලුම්වල සංස්කෘතිය කියන වචනය නොතිබුණත් අවසාන වශයෙන් විමසලා තියෙන්නේ සංස්කෘතිය. ඒක බෞද්ධ සංස්කෘතිය නොවුණත් ඒ බුද්ධත්වය කරා යා හැකි සංස්කෘතියක්. ඒ තුළ සිට නිවන් දැකිය හැක්කේ බුදු කෙනෙකුට හෝ පසේ බුදු කෙනෙකුට පමණයි. බුදු කෙනෙක් පහළ වූ පසු නව සංස්කෘතියක් ගොඩනැගෙනවා. රහතුන් බිහිවෙනවා. ගෞතම බුදුන් වහන්සේ ඇති කළ සංස්කෘතිය තමා අපේ රටේ භික්ෂූන් වහන්සේලා අවුරුදු දහස් ගණනක් තිස්සේ රකින්නේ.

ඒ විදිහට බුදු දහම බෞද්ධ සංස්කෘතිය රැක ගත්තේ නැත්නම් කිසිවකුට මේ බුද්ධ කාලය තුළ නැවත නිවන් දකින්න බෑ. නිවන් දකින්න තියා සෝවහන් වෙන්නවත් බෑ. අද හෝ තව අවුරුදු 500න් හෝ 1000න් කිසිවකුට නිවන් දකින්න උවමනා නම් ඒ සංස්කෘතිය ආරක්ෂා වී තිබිය යුතුයි. අපි ඒ අවස්ථාව ආරක්ෂා කරලා තියන්න ඕන. මේ පඬියෝ කියන්නේ ඒකටවත් ඉඩ තියන්න එපා කියලා. මිනිසා සසරින් එතෙර කිරීමට යමක් කිරීම වරදක්ද? ඒක ක්‍රිස්තියානි සංස්කෘතිය අනුව නම් වරදක් විය හැකියි.

මේ රටේ නූතන භික්ෂූන් වහන්සේගේ කාර්යභාරය කුමක්ද?

අදත් මේ රටේ හාමුදුරුවන්ට පැවරී ඇති ඓතිහාසික කාර්යභාරය සිංහල ජාතිය සහ බෞද්ධ සංස්කෘතිය රැක ගැනීමයි. අද අපට රජෙක් නෑ, ඉන්නේ දේශපාලකයෝ. ඔවුන්ට අනුශාසනා කිරීම තමා හාමුදුරුවන්ගේ වගකීම. කිසිම දේශපාලනඥයකුට හාමුදුරුවෝ ගරු කළ යුතු නෑ. ඔවුන්ගේ වරද දුටු තැන බණින්න ඕන. එසේ නොකිරීම ගැටලුවක්. පන්සලේ කටයුතුවලට ප්‍රධාන අමුත්තා ලෙස දේශපාලකයන්ට ආරාධන කළ යුතු නෑ. ඒ සඳහා ඔවුන් සහභාගී වුණාට කමක් නෑ. නමුත් ප්‍රධාන අමුත්තා ලෙස නායක භික්ෂූන් වහන්සේ නමකට ආරාධනා කළ යුතුයි. දේශපාලකයන් ඔවුන්ට හිමි විය යුතු නියම තැන තැබීමත් ඔවුන්ගේ කාර්යභාරය පැහැදිලි කර දීමත් අද භික්ෂූන් වහන්සේගේ මූලික කාර්යයක් විය යුතුයි.

අද රට හමුවේ ඇති ප්‍රධාන ප්‍රශ්නය කුමක්ද?

අද රටට ඇති විශාලතම අභියෝගය රනිල්. ඔහු බලයේ සිටීම සිංහල බෞද්ධ සංස්කෘතිය දැඩි හානියක්. රටේ සංස්කෘතියට තර්ජනයක් වන ඒ බලවේගය පරාජය කිරීමට භික්ෂූන් වහන්සේලා ජාතියට මගපෙන්විය යුතුයි. උන් වහන්සේලා අනිත් පක්ෂවල දේශපාලනඥයන්ට පමණක් නෙමේ එජාප දේශපාලනඥයන්ටත් ඒක කියලා දෙන්න ඕන. ඒ සඳහා උපාය මාර්ග සෙවීම තමා අද කළ යුත්තේ.

ජාතික බලවේග රටේ යහපත වෙනුවෙන් ගත යුතු හොඳම විකල්පය ගැන සංවාදයක ඉන්නවා. ඒ ගැන ඔබේ මතය කුමක්ද?

මැතිවරණයක් කටේ තියා ගෙන ඒවා කතා කරලා වැඩක් නෑ. දැන් මොනවා කතා කළත් අපි කතා කරන්නේ මැතිවරණය ඉලක්ක කර ගෙන. ඒක භයානකයි. හැමෝම කතා කරන්නේ එකතු වෙන්න ඕන. බෙදිලා ඉල්ලන්න ඕන වගේ ඡන්දය ඉලක්ක කර ගත් කතා. මම කතා කරන්නේ ජාතිකත්වය සඳහා එකතු වීමක් ගැන මිස මැතිවරණ සඳහා එකතු වීමක් ගැන නෙමේ.

මම මහින්දයි මෛත්‍රීපාලයි එකතු වෙනවාට අකමැති නෑ. මෛත්‍රීපාල ද්‍රෝහීකම් කළා තමයි. බොහෝ දෙනා බනිනවා. නමුත් රනිල් ඉවත් කළ හැකි එකම පුද්ගලයා මෛත්‍රීපාල. මෛත්‍රීපාලයි රනිලුයි ගත්තාම රනිල් කෝටි ගුණයක් භයානකයි. ඒක බොහෝ දෙනාට තේරෙන්නේ නෑ. කැප්පෙටිපොළ නිළමෙත් 1815 ගිවිසුම අත්සන් කරලා සුද්දන්ට සේවය කළා. එහෙත් එතුමා සුද්දන්ට විරුද්ධ වුණා ම අපි ඔහු පිළිගත්තා. මෛත්‍රිපාල රනිල්ට විරුද්ධ නම්  රනිල් ඉවත් කිරීමට ඔහු සමග  එකතු වීම වරදක් නො වෙයි.  පිළිමතලාවෙ සහ මඩුගල්ලෙ, සිංහල රජු ගැන මතභේදයක් ඇති කර ගෙන  කැප්පටිපොළ නිළමෙතුමාට එකතු නොවූ නිසා 1818 වෙල්ලස්සෙන් ඇරඹි නිදහස් සටන පැරදුණා.  අදත් ඒ වගේ දෙයක් සිද්ධ වෙන්න අරිනවා ද?

මේ අවස්ථාවේ ජනතාවගේ වගකීම කුමක්ද?

ජනතාවටත් මේ වෙලාවේ මුකුත් කියලා වැඩක් නෑ. ජනතාව දැන් බලා ඉන්නේ කාට හරි කතිරේ ගහන්න. මට කියන්න බෑ අහවලාට කතිර ගහන්න, අහවලාට ගහන්න එපා කියලා. නමුත් සිංහල බෞද්ධ සංස්කෘතියේ හතුරාට  එරෙහිව කතිර ගහන්න. ඒ වගේම ජාතිකවාදීන්ට, ව්‍යාජ සමාජවාදියෝ වුණත් ඡන්දය දෙන්න. ජාත්‍යන්තරවාදියෝ කියා ගෙන එන අයට නම් මොන පක්ෂයකින් ආවත් ඡන්දය දෙන්න එපා.

One Response to “ජාතිකත්වය සඳහා මිස මැතිවරණ සඳහා එකතුවෙලා වැඩක් නැහැ”

  1. Senevirath Says:

    වසර 5000 ක් පමණක්ප වතින බුදුසසුන ඒ ටිකවත් පවත්වාගෙනයාමට බික්ෂුන් උරදීමගැන සමහර පඬියෝ විරුධ්ධය්

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress