ඌව ප්‍රධාන අමාත්‍ය වරයාට පක්ෂපාතීව අසත්‍ය තොරතුරු වාර්තා කළ මාධ්‍යවේදීන් සම්බන්ධ ‘මාධ්‍යවේදීන්
Posted on January 23rd, 2018

කීර්ති තෙන්නකෝන් විධායක අධ්‍යක්ෂ/කැෆේ සංවිධානය හා ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍ය

ඌව ප්‍ර‍ධාන අමත්‍යවරයා විසින් බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය දන ගස්සා, අතවර කිරීමේ සිද්ධිය වසන් කිරීම සදහා ඇයට තර්ජන කර ප්‍ර‍කාශයක් සටහන් කර එය මාධ්‍ය මගින් ප්‍ර‍චාරය කිරීමට සම්බන්ධ ‘මාධ්‍යවේදීන්  ලෙස හඳුන්වාගත් පිරිස සම්බන්ධයෙන් සුදුසු පියවරක් ගන්නැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයාගෙන් ඉල්ලයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් ලබාගත් මාධ්‍ය හැඳුනුම්පත් අවභාවිත කරමින් අසත්‍ය තොරතුරු වාර්තා කාරීමට මෙම පිරිස කටයුතු කර ඇති බව එම ලිපියේ සඳහන් කර තිබේ.

එම ලිපිය පහතින් දැක්වෙයි

යාවත් කාලීන කරන ලද පැමිණිල්ල

2018 ජනවාරි 22

සුදර්ශන ගුණවර්ධන මහතා,

රජයේ ප්‍ර‍වෘත්ති අධ්‍යක්ෂ, ප්‍ර‍වෘත්ති දෙපාර්තමේන්තුව,

නාරාහේන්පිට.

ප්‍රිය අධ්‍යක්ෂතුමනි,

ඌව ප්‍ර‍ධාන අමත්‍යවරයා විසින් බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය දන ගස්සා, අතවර කිරීමේ සිද්ධිය වසන් කිරීම සදහා ඇයට තර්ජන කර ප්‍ර‍කාශයක් සටහන් කර එය මාධ්‍ය මගින් ප්‍ර‍චාරය කිරීමට සම්බන්ධ ‘මාධ්‍යවේදීන් සම්බන්ධයෙනි.

2018 ජනවාරි 9 දින කැෆේ සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍යේ විධායක අධ්‍යක්ෂවරයා ලෙස මම ‘ඌව ප්‍ර‍ධාන අමත්‍යවරයා විසින් බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය දන ගස්සා, අතවර කිරීමේ සිද්ධියක්’ සම්බන්ධයෙන් කරුණු අනාවරණය කළෙමි.  ඒ පිළිබද අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් වෙත ලිඛිත පැමිණිල්ලක් සිදු කළෙමි.

ඌව පළාත් අධ්‍යාපන ලේකම් සන්ධ්‍යා අඹන්වල හා ඌව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ පියදාස රත්නායක විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් කටයුතු කළ ආකාරය පිළිබද  කරුණු අප විසින් අධ්‍යයානය කොට ඇත.  මේ පිළිබද විමර්ශනයේ දී අතරවරයට පත් විදුහල්පතිනිය විසින් ලබා දිය යුතු කටඋත්තරය ලියා දී, තේරුම් කර දී, එම ප්‍ර‍කාශය මාධ්‍යවේදීන් යැයි කියා ගන්නා නමුත් ඌව පළාත් සභාවෙන් වැටුප් ලබන සේවකයින් විසින් විඩියෝ ගත කොට ‘දෙරණ’ හා ‘හිරු’, ස්වර්ණවාහිනී නාලිකා මගින් විකාශනය කොට ඇත.  පළාත් ප්‍ර‍ධාන අමාත්‍යවරයා විසින් ‘ගුරුවරිය දණ ගැස්සවූයේ නැත’ යන්න සමාජ ගත කිරීමට  මෙම විඩියෝ පටය යොදා ගන්නා ලදී. 

එය මාගේ දැනුම අනුව දෙරණ, හිරු හා ස්වර්ණවාහිනී නාලිකා මගින් ප්‍ර‍චාරය කොට ඇත්තේ  ප්‍ර‍වෘත්තිමය වටිනාකම සලකා යැයි මම සිතමි.  මුළු බදුල්ලම දන්නා කරුණක්, ලොග් සටහන් සාධක ඇති කරුණක්, බදුල්ල නගරයේ උද්ඝෝෂණ දෙකකට හේතු වූ කරුණක්, සිවිල් සංවිධාන මැදිහත්වී ඇති කරුණක් අදාල සිද්ධියට ලක්වූ පුද්ගලයා විසින් ප්‍ර‍තික්ෂේප කරන්නේ නම් එහි ප්‍ර‍වෘත්තිමය වැදගත්කම විශාලය.

නමුත්, සත්‍යය නම් බලහත්කාරයෙන් ඇය බිය වද්දා, මෙම මාධ්‍යවේදීන් යැයි කියා ගන්නා පුද්ගලයින් විසින් ඇයට ‘වචන කියා දී – ඇයගේ කැමැත්තට පරිබාහිරව විඩියෝගත කරන ලද ප්‍ර‍කාශයක්’ බව මේ වන විට හෙළිදරව් වී ඇත.

මෙම සිද්ධියට සම්බන්ධ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් යැයි කියාගන්නා පුද්ගලයින් තිදෙනෙකුට රජයේ ප්‍ර‍වෘත්ති දෙපාර්තමේන්තුවේ මාධ්‍යවේදී හැදුණුම්පත් නිකුත් කර ඇත. ඔවුහු ඌව පළාත් සභාවේ තනතුරු දරමින් වැටුප් ලබති.  එපමණක් ද නොව, මෙම බලහත්කාරී පටිගත කිරීම සදහා පළාත් සභාව සතු මහජන දේපල, (විඩියෝ කැමරා, බැටරි, පටිගත කිරීමේ උපකරණ සහ තවත් දේ) භාවිත කර ඇත.  සියල්ලටම වඩා මෙම බලහත්කාරී පටිගත කිරීම සිදු කරන වේළාව සදහා මෙම මාධ්‍යවේදීන් තිදෙනා රජයේ බදු මුදලින් වැටුප් ලබන ඌව පළාත් සභාවේ සේවයට වාර්තා කර සිටි පුද්ගලයින් වෙති.

විදුහල්පතිනියක් දණ ගැස්වීම පිළිබද අසික්කිත සිදුවීමක් පිළිබද පරීක්ෂණයක් ඉල්ලා සිටි විට එම පරීක්ෂණය සිදු කළ යුතු නිලධාරීන් විසින්  ‘මරණ බිය ඇති කොට, ඌව පළාතේ ඈත කෙරවලට මාරු කරන බවට තර්ජනය කර, වාර්ගික ගැටුම් ඇති කරන්නේ යැයි චෝදනා කොට, ඇය විසින් ප්‍ර‍කාශ කළ යුතු වචන කියා දී ඒවා පටිගත කිරීමේ කාර්යයකට සහභාගි වූ, දායක වූ , අනුබල සැපයූ අය සැබෑ මාධ්‍යවේදීන් විය නොහැකිය.  රජයේ ප්‍ර‍වෘත්ති දෙපාර්තමේන්තුවේ ‘හැදුණුම්පත් දරන මාධ්‍යවේදීන් ලෙස තවදුරටත් ඔවුන්ට කටයුතු කළ හැකි ද යන්න පිළිබද නිගමනය කිරීම අතිශයින්ම වැදගත් වේ.

මෙම සිද්ධියට සම්බන්ධ ප්‍රාදේශීය මාධ්‍යවේදීයා, විදුහල්පතිනියට දණ නොගැස්සු බවට වචන කියා දී හිරු, දෙරණ මයික් අල්ලා සිද්ධිය විඩියෝ ගත කරන ලද්දේ  ප්‍ර‍සන්න පත්මසිරි (ඌව පළාත් සභා මාධ්‍ය ඒකකයේ  කැමරා ශිල්පී) විසිනි. ඔහුගේ සහායකයා ලෙස කටයුතු කර ඇත්තේ ප්‍ර‍වෘත්ති දෙපාර්තමේන්තුවේ මාධ්‍යවේදී හැදුණුම්පතක් දරන පළාත් සභාවේ පරිගණක දත්ත ක්‍රියාකරු අමිල ක්‍රිෂාන්ත රත්නායක විසිනි. 

මෙම විඩියෝ පට හිරු සහ දෙරණ නාලිකා සදහා ලබා දී ඇත්තේ මාධ්‍යවේදී පාලිත ආරියවංශ විසිනි.  ඔහු ඌව පලාත් ප්‍ර‍ධාන අමාත්‍ය මාධ්‍ය උපදේශක හෝ වෙනත් තනතුරු නාමයකින් පළාත් සභාවේ වැටුප් ලබන්නෙකි.

තෙවන මාධ්‍යවේදී හැදුණුම්පත් ධාරියා ද, පළාත් සභාවේ වැටුප් ලබන සේවකයෙකු බව පැවසෙන නමුත් එය තහවුරු කර ගත නොහැකි විය.

රජයේ ප්‍ර‍වෘත්ති අධ්‍යක්ෂතුමනි,

  1. මෙම පුද්ගලයින් ඔබගේ අත්සන සහිතව රජයේ ප්‍ර‍වෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ ‘මාධ්‍යවේදී හැදුණුම්පත් දරන බැවින් එම හැදුණුම්පත් වහා ආපසු කැදවන ලෙස ද,
  2. මෙම සිද්ධිය පිළිබද රජයේ ප්‍ර‍වෘත්ති දෙපාර්තමේන්තුව මගින් විධිමත් පරීක්ෂණයක්  පවත්වන ලෙස ද,
  3. මෙම මාධ්‍යවේදීන් ජාතික රූපවාහිනිය, හිරු, දෙරණ, ස්වර්ණවාහිනී යන රූපවාහිනී නාලිකා ද ලංකාදීප පුවත්පත ඇතුළු මාධ්‍ය ආයතන 30 කට වැඩි සංඛ්‍යාවක බදුල්ල වාර්තාකරුවන් ලෙස කටයුතු කරති.  එබැවින් ඔවුන්ට මෙම සිද්ධිය පිළිබද බලහත්කාරී, විනාශකාරී වාර්තාකරණයකට ඇති ඉඩ අවම කිරීම සදහා සුදුසු වෙනත් ක්‍රියා මාර්ග ගන්නා ලෙස ද, කාරුණිකව ඉල්ලමි.

මෙයට විශ්වාසී,

කීර්ති තෙන්නකෝන්

විධායක අධ්‍යක්ෂ/කැෆේ සංවිධානය හා ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍ය

පිටපත්

  1. ලේකම්තුමා – ජනමාධ්‍ය අමාත්‍යාංශය මේ පිළිබද පරීක්ෂණයක් පැවැත්වීම පිළිබද ඔබගේ කාරුණික අවධානය සදහා
  2. ලේකම්තුමා – අධ්‍යාපන අමාත්‍යාංශය – මාගේ 2018 ජනවාරි 9 දිනැති පැමිණිල්ලට අමතරව ය
  3. චන්ද්‍ර‍සිරි මහත්මා, අධ්‍යක්ෂ/විමර්ශන අංශය. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව
  4. ප්‍ර‍ධාන විධායක නිලධාරී – දෙරණ, හිරු, ස්වර්ණවාහිනී, ජාතික රූපවාහිනිය
  5. ප්‍ර‍ධාන කර්තෘ – ලංකාදීප
  6. සියලුම ජනමාධ්‍ය 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress