හබකෙන් බැරිනම් කෙමනෙන් !!!
Posted on January 28th, 2018

තේජා ගොඩකන්දෙආරච්චි

මේ දිනවල ශ්‍රී ලංකා වාසීන්ගේ කතාබහට ලක්වන වැදගත්ම මාතෘකාව වනුයේ පෙබරවාරි 10 වන දිනට එලඹෙන පලාත් පාලන මැතිවරණය බවට විවාදයක් නැත. වෙනදාට වැඩියෙන් මෙවර මැතිවරණ ප්‍රචාරක කටයුතු සම්බන්ධව දැඩි නීති රීති පැනවී ඇත. ඒ මැකෝගේ පාර්ශ්වයෙනි. නමුත් රජය පර්ශ්වයෙන් එම නීති තුල ඇති සිදුරු තුලින් රිංගා යමින් තම තමන්ගේ ප්‍රචාරණ කටයුතු කරන්නට උත්සාහ කරනු පෙනේ. ඒ තම තමන් සිදුකරනවාය කියන සංවර්ධන ව්‍යාපෘති අධීක්ෂණය ආදී කටයුතු ඔස්සේය. සාමාන්‍ය වශයෙන් බැලූකල මේවා සාමාන්‍ය රාජකාරි කටයුතු වන මේවා යට රැඳී ඇති සැබෑ දේශපාලනික අරමුණු වෙන කිසිවෙකුගේවත් නොව තමන්ගේම පැවැත්ම වෙනුවෙනි.
ජනවාරි 17 වන දින, අගමැතිවරයා මේ ආකාරයට හදිසියේ චාරිකාවක නිරත වූයේ හොරණ, වගවත්ත ප්‍රදේශයේ ආරම්භ කිරීමට නියමිත ටයර් කර්මාන්තශාලාවක කටයුතු නිරීක්ෂණය කිරීමටයි. අමාත්‍ය අජිත් පී. පෙරේරා ඇතුලු ගෝලබාලයන් පිරිවරාගෙන එම භූමියට ගිය ඔහු දුර දක්නයෙන් එම කටයුතු නිරීක්ෂණය කලේය. මෙම කර්මාන්තශලාවට මුල්ගල තැබුවේ 2017 ජනවාරි 5 වන දා ය. දක්නට තිබුන ආකාරයට නම් පැතිරී ගිය හිස් භූමියක් මිස මේ වසරක කාලය තුල සැලකිය යුතු යමක් සිදුව ඇති බවක් නොපෙනුනි. කෙසේ වුවද අක්කර 100 ක් වන මේ භූමියේ තිබූ රබර් වගාව නම් කපා, එලිපෙහෙලි කර ඇත. හැබැයි මට මේ ඉදිකිරීම් ක්ෂේත්‍රය ගැන හසල දැනුමක් නැති නිසා මෙම ඉදිකිරීමේ වේගය ගැන යමක් පැවසීම අසීරුය. බැකෝ යන්ත්‍ර ඒ මේ අත යමින් වැඩ කරනු පෙනුනි. මෙවැනි සන්දර්ශන මවා පෑම නම් එතරම් අසීරු නැත. එය අපේ රටට අලුත් දෙයක්ද නොවේ. රුවන්මැලි සෑය තනා නිමකර ඇතැයි, දුටු ගැමුණු රජුට පෙන්වන්නට සුදු පැහැයෙන් වටතිර ඇද නිමකලේ ඉතිහාසයේය. මරණාසන්න මොහොතේ සිටි රජතුමා සැබෑව නොදැන සිටියද, අද ඇති වෙනස නම් දැන් සිටින රජතුමාලා කතන්දරය දැන සිටීමයි. වත්මන් රජ ගොල්ල විසින් තම රජයේ පැවැත්ම පිලිබඳ ජීවිතය සහ මරණය අතර බඳු තැනක සිටින මේ මොහොතේ මෙවන් සන්දර්ශන පවත්වනු ලබන්නේ ජනතා සිත් පහන් කිරීමට වන්නට ඇත.
කුලියාපිටියේ වොක්ස්වැගන් කර්මාන්ත ශාලාව පිලිබඳව ගැසූ බේගලය අතේ පත්තුවීමෙන් පසු ඊලඟට කරලියට ආවේ මේ ටයර් කර්මාන්තශාලාව පිලිබඳ කතාවයි. හොරණ, ගෝනපොල, වගවත්ත නම් ප්‍රදේශයේ ඇති අක්කර 100 ක භූමිය මේ ආයෝජනය සඳහා ලබා ගත්තේ නන්දන ලොකුවිතාන නම් ප්‍රධාන පෙලේ ව්‍යාපාරිකයෙකි. මේ පිලිබඳව මුලින්ම ප්‍රකාශයට පත්කලේ කැබිනට් ප්‍රකාශක ගයන්ත කරුණාතිලක අමාත්‍යවරයාය. ඒ, 2016 ජුනි මස 17 වනදා යි. මේ ඉඩමේ වටිනාකම සහ යටිතල පහසුකම් සඳහා යන වියදම ආයෝජකයා වෙතින් ලබා ගන්නා බව එදා ඔහු විසින් සිදුකල ප්‍රකාශය තුල අඩංගුව තිබුනි. ඒ අනුව 2017 ජනවාරි මස 5 වන දින අගමැතිවරයා විසින් මෙම කර්මාන්තශාලාවට මුල්ගල තබන ලදී. මෙම ඉඩම ආයෝජකයාට ලබාදී තිබුනේ 99 අවුරුදු බද්දකටයි. මුලු අක්කර සියයම සඳහා වසරකට ගෙවිය යුතු වූයේ රුපියල් 10,000 කි. ආයෝජන මණ්ඩලයේ ප්‍රතිපත්තිවලට අනුකූලව ආයෝජනයක් සඳහා ඉඩමක් ලබාදෙන විට සීමාව අවුරුදු 50 ක උපරිමයක් තබාගත යුතුවෙයි. එමෙන්ම මෙම ඉඩමේ වටිනාකම, ආයෝජන මණ්ඩලය නියමකල පරිදි නොව රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව නියමකල වටිනාකමට අනුව තීරණය වී තිබුනි. මෙම අතිවිශාල වට්ටම සම්බන්ධව ආර්ථික කළමණාකරනය පිලිබඳ කැබිනට් අනුකමිටුවේ විරෝධය පලවී තිබිනි. ඒ අනුව සාධාරණ මිලක් ගෙවන තෙක් මෙම භූමියේ ඉදිකිරීම් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් අත්හිටුවනු ලැබීය. පසුව රුපියල් මිලියන 40 ක මූලික ගෙවීමක් සිදුකල පසුව එම පුද්ගලයාට ඉදිකිරීම් කටයුතු ඇරඹීමට අවසර ලැබුනත් එම මුදල, මෙම කලාපයේ ඉඩමක් වෙනුවෙන්  සාමාන්‍ය වශයෙන් ආයෝජන මණ්ඩලය අපේක්ෂිත සීමාවට ලඟාවී නොතිබුන අතර ආයෝජකයා විසින් වාර්ෂිකව ගෙවිය යුතු රු. 10,000 සොච්චම් බද්ද කිසිසේත් වෙනසක් වෙනසක් වූයේ නැත.
ඉතින් එදා අර ගයන්ත කරුණාතිලක වෙතින් කියැවුනු ‘ආයෝජකයා විසින් අපට ගෙවන ‘ඉඩමේ වටිනාකම’, ‘ අක්කර සියය සඳහාම රුපියල් කෝටි 4 ක මූලික ගෙවීම හැරුනකොට වසරකට රුපියල් 10,000 කි. සාමාන්‍යයෙන් මෙවන් ඉඩමකට ආයෝජන මණ්ඩලය විසින් මූලික ගෙවීම ලෙස අවම වශයෙන් රුපියල් මිලියන 6 ක් අයකරන අතර වාර්ෂික බද්ද රුපියල් 578,000 ක් පමන වෙයි. මෙම ආයෝජනයේ මෙවන් සැබෑ තත්වය ජනතාව නොදන්නා බව පැහැදිලිය.
ජනවාරි 17 වනදා ක්ෂේත්‍ර චාරිකාව නිමකල අග්‍රාමාත්‍යවරයා, තමා කැටුව ගිය මාධ්‍යවේදීන්ට, එම ආයෝජනය නිසා ඇතිවන රැකියා අවස්ථා, රටේ ආර්ථිකයට ඇතිවන ලාභය ආදී දේ පිලිබඳව විස්තර කලේය. එය පැහැදිලිවම මේ මැතිවරණ කාලසීමාවේදී නීති උල්ලංඝනය කිරීමකි. මැකෝ උපදෙස් දී තිබෙන්නේ අඩු තරමින් මැතිවරණ ප්‍රචාරණයට හසුවන පරිදි බඩු භාණ්ඩ බෙදීමක්වත් සිදු නොකරන ලෙසයි.
1977 සිට 1994 දක්වා කාලය තුල එජාප පාලන සමයේදී ආයෝජන මණ්ඩලය හරහා පැමිනි නිදහස් වෙළඳ කලාපවල තත්වය අමතක නොවුන පිරිසක් අදද සිටිනු ඇත. එකල රටට පැමිනි සේවායෝජකයන් ශ්‍රී ලංකාවෙන් ලාභ ශ්‍රමය ලබාගත්තා මදිවාට ශ්‍රමය සූරාකෑමද නිර්ලෝභීව සිදුකලහ. ඒ මත වෙළඳ කලාපීය සංස්කෘතියක් බිහිවූ අතර සමාජය දැඩිව ඍණාත්මක වෙනසකට ලක්වූවා මිසෙක ජනතාවට වුන සෙතක් නැත. දුරබැහැර ගම්වලින් වෙළඳ කලාපයේ රැකියා සොයා පැමිනි තරුණ තරුණියන් තම දහඩිය මහන්සිය තුට්ටු දෙකට විකුණමින් යම් වැටුපක් උපයා ගත්තත්, එම මුදල සූරා කන්නටම සැදී පැහැදී සිටින තවත් පිරිස්ද ඒ හා සමගාමීව බිහිවූවද ඒ වෙනුවෙන් කලහැකි යමක් රජයට නොවීය. ඇත්ත කතා කලොත් කරන්නට අවශ්‍යතාවක්ද නොවීය. අවසානයේ සිදුවූයේ මේ තුල ග්‍රාමීය කෘෂි ආර්ථිකය මුලුමනින්ම පාහේ බිඳවැටීමයි.
මෙම ටයර් කර්මාන්තශාලාවේ තත්වය ඊට දෙවනි නොවන බව පෙනෙන නිසා, මේවා ජනතාවට මතක්වුනොත් නම් අතට යටින් සිදුකරන චන්ද ප්‍රචාරණය යකාට යන්නත් ඉඩ තිබේ. ටයර් කර්මාන්තශාලාවේ ආරම්භක පියවරයන් රජය හා සම්බන්ධ වූ ආකාරය විමසා බලන කල්හි එය වඩාත් තහවුරු වේ.
2001 දී එජාපයේ ආර්ථික ප්‍රතිපත්තිය විස්තරකල ‘යලි පිබිදෙමු ශ්‍රී ලංකා’ තුලද වූයේ මෙවැනිම කෘෂිකර්ම විරෝධී පිලිවෙතකි. බෙල් බොටම් ඇඳ බ්‍රේස්ලට් බැඳි සරුවපිත්තල ගොවි ප්‍රතිරූපයක් සමාජය තුල ගොඩනගන්නට ගියද මොවුනට අවශ්‍ය ගොවිතැනක් නැත. එය කලින් පාලන සමයේදී සිදුකල කඩිනම් මහවැලිය තුලින්ද පිලිබිඹු විය. 30 අවුරුදු සැලසුමක් වූ එය කඩිනම් කිරීමේදී මතුවූ ප්‍රශ්නවලට එය කඩිනම් කලවුන් අත පිලිතුරු තිබිනිද? බැලූ බැල්මට නම් යෝධ ව්‍යාපෘති, යෝධ සංවර්ධන කාර්යයන් සේ පෙනුනත් අවසානයේ රටට සිදුවූ දේ, අද පවතින සහල් මිල පොල්මිල දකිනවිටම තේරුම්ගත හැක. රනිල් වික්‍රමසිංහට නම් ඇත්තේ අනාදිමත් කාලයක් තිස්සේ පැවත ආ කෘෂිකාර්මික ආර්ථික ක්‍රමය පිටුදැකීමේ පුදුම හදිස්සියකි. කුඹුරු කෙටීම සහ වගා කිරීම නවීන ලෝකයට නොගැලපෙන අශීලාචාර දේ ලෙස ඔහු සිතන්නාසේය. ඊටම හරියන පරිදි දැන් ඉතින් ගොවියාට සලකන ආකාරය ගැන හරියටම දැකගත හැක්කේ රජයේ අනිත් පාර්ශ්වකරුවා වන එක්සත් ජනතා නිදහස් සන්ධානය නිසාය.
යහපාලන රජයේ කෘෂිකර්ම අමාත්‍යවරයා වන්නේ දුමින්ද දිසානායක ය. ඔහු මෙම තනතුරට පත්ව වසර 3 ක ගතවීමට ආසන්න වන අතර ඔහුගෙන් කෘෂිකර්මාන්තයට සිදුවී ඇති සේවය වඩා හොඳින්ම දන්නේ ගොවි ජනතාවයි. කෘෂිකර්මයට සිදුකරන ප්‍රථම සේවාව වශයෙන් ඔහුු කලේ සිනමා නිලි සබීතා පෙරේරාට අයත් ගොඩනැගිල්ලක් අධික කුලී පදනමක් මත අමාත්‍යංශයට ලබා ගැනීමයි. මේවා ජනතාවට අලුත් කතා නොවන අතර අද වන තුරුත් වසා තිබෙන එම ගොඩනැගිල්ල ගැන කීම වනාහි බීරි අලින්ට වෙණ වැයීමක් බඳුය. ‘කන්න දෙකම කොටලා යන්න’ බලා සිටින ගොවි පුතා වන ජනාධිපතිවරයා මේ ගැන කල කෙං ගෙඩියක් නොමැත. මොහු මෙතරම් මුදලක් කාබාසිනියා කර දමද්දී, 2016 සිටම ගොවීන් විඳි දුක් ජනතාවට අමතක නොවනු ඇත්තේ අද වනවිට සහල් මිලට සිදුව ඇති දේ තමන්ට ඍජුව බලපාන බැවිනි.
මුලදී පොහොර ලබා ගැනීමට රු. 25,000 ක් ලබාදීමට බැංකු ගිණුම් විවෘත කරන ලෙස බලකරනු ලැබූ ගොවීහු සති ගණන් පාරක් ගණනේ රස්තියාදු වූහ. ඊලඟට ගබඩා පහසුකම් නැතිකමින් තම වී තොග අලවි කරීම සඳහා කුලියට ගත් ට්‍රැක්ටර්වල පටවාගෙන දිවා රෑ නැතිව රස්තියාදු වූහ. දැන් ගොවිතැනට පොහොර ඇත්තේම නැත. ජලාශවල දියවර නිකුත් කලොත් මීලඟ පියවර ලෙස පොහොර දීමට සිදුවන නිසා දියවර නිකුත් කිරීමක්ද නැත. අලුත් වැවක් හෝ කෘෂි ව්‍යාපෘතියක් විවෘත කරන සෑම විටෙකම පවා ජනාධිපතිවරයා පම්පෝරි ගසන්නේ තමන් ‘එක ටෙලිෆෝන් කෝල් එකෙන් පිටරටින් හාල් ගෙන්නා’ ගන්නා ආකාරයයි.
මෙවන් වාතාවරණයක් තිබෙද්දී, හදිසියේම ජනවාරි 22 දා මොරගහකන්ද මංගල දියවර නිකුත් කලාය කියමින් වතුර කලයක්ද ඔසවාගත් දුමින්ද දිසානායක, මාධ්‍යයන්ද පිරිවරාගෙන ශ්‍රී මහ බෝධියට ගියේය. ඒ හරියට තමන් තනිවමම ගොවි ජනතාව වෙනුවෙන් මහා ජලාශයක් ඉදිකර දීමේ නිහතමානී ප්‍රීතියකින් ඔදවැඩී ගියාක් මෙනි. එකවර බැලුකල චාරිත්‍ර ඉටු කිරීමක් මෙන් පෙනුනත් එයද එක්තරා ආකාරයක නීති විරෝධී මැතිවරණ ප්‍රචාරනයක් සේ පෙනෙයි. එනම් මෙයින්ද තමන් කලාය කියන යම් සේවාවන්ද, ඉන් ජනතාව ලබන ප්‍රතිලාභද උලුප්පා දක්වන හෙයිනි.
මැතිවරණ ප්‍රචාරක රැලි වලදී දේශපාලකයන් කරන කතා ඇසූ කල ඔවුන් ගැන හඬන්නටද, ජනතාව ගැන හඬන්නටද කියා නොවැටහේ. රජයේ සන්ධාන පාර්ශ්ව පිල කතා කරනුයේ තමන් පිරිස මේ ලොව වෙසෙන අති ශුද්ධවන්තයන් පිරිස මෙනි. ගලමත පැහැරූ බළලාගේ භූමිකාව ඉටුකරන එක්සත් ජාතික පක්ෂයේ උදවිය දැන් දැන් හොඳින් හෝ නරකින් බලය ලබා ගන්නා බවට කෙලින්ම කියති. මේ බව මුලින්ම ප්‍රකාශ වුනේ ජෝන් අමරතුංග අමාත්‍යවරයා අතිනි. ඊලඟට සුජීව සේනසිංහ එජාපයේ යටගිය චණ්ඩිකම් ජනතාවට මතක්කර දුන්නේය. ජනවාරි 21දා නිකවැරටියේදී හෙක්ටර් අප්පුහාමි නම් එජාප මන්ත්‍රීවරයා පැවසූ කතාවට ඔබ සවන් දෙන්නට අැත.
‘අපි ජනාධිපතිවරය පත්කලා. කලවං ආණ්ඩුවක් හැදුව. අවුරුදු 20 ක් දුක් වින්දට පස්සෙ පොඩි චූන් එකක් ගත්ත.මොන නීති තිබුනත් බලය අපේ ලඟ. පාරට බැහැල ශ්‍රී ලංකා කාරයන්ට කියන්න යකෝ අපෙයි ආණ්ඩුව. අපි මොන ක්‍රමේකින් හරි ආණ්ඩුව ගෙනියනව තව අවුරුදු 20 ක්’ මේවා පවසන්නේ නායක රනිල් වික්‍රමසිංහ ඉදිරිපිටය. මේ මොවුන් තම පාක්ෂිකයන්ට කෙලින්ම දෙන උපදේශයයි. ගහල හරි ගනිං!
මේ චණ්ඩි කතා අනුව වඩාත්ම රිදී තිබෙන බව පෙනෙන්නේ ෆුට් නෝට් කල්ලියටයි. මේවා අනුමත කරන ස්වරයෙන් ඉවසා සිටින නායකතුමා තව දුරටත් මිස්ට ක්ලීන් නොවේ.
මොවුන්ගේ මේ චණ්ඩිකම් යට පැහැදිලිව පෙනෙන්නේ තම තමන් පෙලන අනාරක්ෂිත බව සම්බන්ධව තම හද පත්ලෙන් නැගෙන දුක්ඛාලාපයයි. මොවුන් ජනතාවට පවසන්නේ ‘අනේ අරුංට ගහල හරි අපිව බේරල දීපල්ලා’ කියාය. සන්ධාන පිරිස පවසන්නේ ‘අපි අන්තිමේ එක හොඳ වැඩක් හරි කලා’ කියා ජනතාව ඇන්දවීමය. එසේ කියා, දැන දැනම හොරු රැලකට රට භාර කරමින් කල අපරාධය කෙසේ වසංගන්නද?
ජනාධිපතිවරයාට හරිනම් පොදු අපේක්ෂකයා ලෙස පාර්ශ්වයක් ගත නොහැක. ඔහු පත්වුනේ යූඇන්පී චන්දවලිනි. මාතරදී සැමරූ එක්සත් ජාතික පක්ෂයේ  70 වන සංවත්සරයේදී, තමන් බලයට ගෙනාවාට එජා පාක්ෂිකයන්ට මුව පුරා ස්තුතිකල ඔහු අද හැසිරෙන ආකාරය සිතාගන්නත් අමාරුය. මේ සියල්ල ඉතා දුර්වල රඟපෑම් මිස වෙන කුමක්ද?
මධ්‍යස්ථ ජනතාව මේ සියල්ල සම්බන්ධව කුමක් කරනු ඇතිද කියා බලන්නට පෙබරවාරි 10 දා වන තෙක් ඇඟිලි ගනිමින් සිටිමු.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress