රවටන්නේ කවුද? රැවටෙන්නේ කවුද?
Posted on February 3rd, 2018

ආචාර්ය නාලක ගොඩහේවා  උපුටාගැණීම  මව්බිම

බොහෝ විට රාජ්‍ය පාලකයන්ට වරදින්නේ වැරැදි උපදේශකයන් නිසාය. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවා තම දෙවැනි ඉනිමේදී වැරැදි උපදේශකයන්ගේ ගැටවලට අසුවූ බවට යම් මතයක් ජනතාව තුළ ඇත. ඔහුගේ අනුප්‍රාප්තිකයා වූ වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙය වටහා ගත් නිසාදෝ බොහෝ දුරට උපදේශකයන් වටකර නොගෙන තනිවම තීරණ ගන්නා බවක් ජනාධිපතිවරයාට සමීප ආරංචි මාර්ගවලින් පසුගිය කාලයේ කියැවුණා. එය බුද්ධිමත් පරිස්සම්කාරී හැසිරීමකි.

එහෙත් මොනම පාලකයකුටවත් නිලධාරීන්ගේ සහායෙන් තොරව කටයුතු කළ නොහැකිය. විශේෂයෙන්ම රාජකාරියට අදාළ විවිධ කරුණු සම්බන්ධයෙන් දත්ත ලබාගැනීමේදී නිලධාරීන්ගේ සහාය පතන්නට සිදුවේ.

මෑත කාලයේ ජනාධිපතිතුමාගේ යම් ප්‍රකාශවල තිබුණු අඩුපාඩුවලින් පෙනී යන්නේ නිලධාරීන් රටේ ජනාධිපතිවරයාට පවා වැරැදි දත්ත සපයන බවයි. මෙයට හොඳම උදාහරණයක් නම් පසුගිය සතියේ විශේෂ මාධ්‍ය හමුවකදී ජනාධිපතිවරයා විසින් රටේ ණය බර ගැන කරනා ලද ප්‍රකාශයයි. එහිදී එතුමාට රාජ්‍ය ණය සම්බන්ධව ලබාදී ඇති තොරතුරු නිවැරැදි නොවන බව මේ සම්බන්ධයෙන් මනා අවබෝධයක් ඇති මාධ්‍යවේදීන් වටහාගත් නිසා ඔවුහු බොහෝ දෙනෙක් අදාළ කොටස ප්‍රචාරය නොකිරීමට ප්‍රවේසම් වූහ. නමුත් ගුවන්විදුලි නාළිකා කිහිපයක් එම වැරදුණු කොටස ප්‍රකාශ කළේ ඔවුන්ටද ඒ ගැන නිසි අවබෝධයක් නොතිබුණු නිසා විය යුතුය. රටේ පාලකයාට ඇති ගෞරවය නිසා අපද මෙහි එම වැරදුණු සංඛ්‍යා ලේඛනවලට ප්‍රසිද්ධියක් ලබා දෙන්නට ඉදිරිපත් නොවුණද රාජ්‍ය ණය පිළිබ¼ද සත්‍ය තොරතුරු ජනතාවට ලබාදීම වගකීමක් ලෙස දකිමු.

රාජපක්‍ෂ ආණ්ඩුව විසින් ගත් ණය ගෙවන්නට ඇති නිසා තමන්ට ආර්ථිකය කළමනාකරණය කිරීමට අපහසු බව වර්තමාන අගමැතිවරයා නිතර කියන කතාවකි. ඒ අතර ඔහු විටින් විට කියන තවත් කතාවක් නම් රාජපක්‍ෂ ආණ්ඩුව සැබැවින්ම ගත් මුළු ණය ප්‍රමාණය පොත්වල සඳහන් වී නැති බවය. දැන් අපට සැක පහළ වන්නේ අගමැතිතුමාගේ මේ අදහස් කරුණු නිසි ලෙස සොයා නොබලන කම්මැළි නිලධාරීන් හරහා ජනාධිපතිතුමාටද යනවාද කියායි.

පොත්වල සඳහන් නැති ණය තිබෙනවා නම් ඒ ගැන කවුරුවත් කලබල විය යුතු නැත. නිසි පරිදි ලිපි ලේඛන සකස් නොකර එවැනි සුවිශාල ණයක් කවුරු හෝ දුන්නා නම් ඒ ආපසු ගැනීමේ කිසිදු බලාපොරොත්තුවකින් විය නොහැකිය.

අපි බි්‍රතාන්‍යයෙන් නිදහස ලැබුවේ 1948දීය. ඉන්පසු බලයට ආ සෑම රජයක්ම සංවර්ධන කටයුතු සඳහා ණය ගත් අතර ණය ගෙවීමද කරගෙන ආවේය. බොහෝ විට ආණ්ඩුවක් විසින් ගනු ලබන්නේ දීර්ඝකාලීන ණයය. ඒ නිසා යම් රජයකින් ගත් ණය ගෙවන්නට ඉන්පසු බලයට එන ආණ්ඩුවලට සිදු වීම ස්වාභාවික තත්ත්වයකි.

2014 අවසන් වන විට රටේ සමස්ත රාජ්‍ය ණය බර රුපියල් බිලියන 7,400ක් පමණක් වූ අතර ඒ තුළ මහවැලි සංවර්ධනයට එක්සත් ජාතික පක්‍ෂ රජය විසින් ගත් ණයවලින් කොටසක් පවා ඉතුරුව තිබිණි.

2005-2014 වසර නවයක කාලය තුළ මහින්ද රජපක්‍ෂ ආණ්ඩුව විසින් මෙයට අලුතින් එකතු කළ ණය බර රුපියල් බිලියන 5,200ක් පමණ විය. ඒ කාලය තුළ මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව විසින් 1977-94 ජේ.ආර්. ජයවර්ධන, ඩී.බී. විජේතුංග හා ආර්. ප්‍රේමදාස ආණ්ඩුව විසින් ගත් ණයවලින් කොටසක්ද, 1994-2005 චන්ද්‍රිකා බණ්ඩාරනායක ආණ්ඩුව විසින් ගත් ණයවලින් කොටසක්ද ගෙවා තිබිණි. නමුත් එම රජයේ කිසිවෙක් පසුගිය රජයයන් විසින් ගත් ණය ගැන අ‍ෙ¼දා්නා කරනවා ජනතාව දැක නැත. එයට හේතුව ණය ගෙවීමට ඇති හැකියාව පිළිබඳ බියක් එම රජයට නොතිබුණු බැවිනි.

රැකියාවක් හෝ ව්‍යාපාරයක් කරන ඕනෑම අයෙක් තම ජීවිත කාලය තුළ බොහෝ හේතු මත ණය ලබාගනියි. අද සමාජයේ අප බොහෝ දෙනකු එදිනෙදා අවශ්‍යතාවන් සඳහා මුදල් වියදම් කරන්නේද කේ‍රඩිට් කාඩ් පතක් භාවිත කරමිනි. එයද තවත් ආකාරයකට බැංකුවෙන් ණය ලබා ගැනීමකි. වර්තමාන සමාජ ආර්ථික ක්‍රමය තුළ ණය යනු ජීවිතයේ කොටසකි. එහි විශේෂ වරදක් නැත. මෙහිදී වැදගත් වන්නේ ණය ගන්නා පුද්ගලයාට හෝ ව්‍යාපාරයට ඒ ණය ගෙවීමේ හැකියාව ඇත්දැයි යන්නයි.

අලුතින් රැකියාවක් ලද තරුණයකු බැංකුවට ගොස් ණයක් ඉල්ලා සිටි විට බැංකුව මුලින්ම අසන්නේ ඔහුගේ ආදායම පිළිබඳ විස්තරයයි. බැංකුවෙන්ලබාදෙන ණය ප්‍රමාණය තීරණය වන්නේ වැටුප් පත්‍රිකාවේ දැක්වෙන ආදායම අනුවය. මන්ද, ණය දෙන්නා ණය ලබා ගන්නාට ණය ආපසු ගෙවීමට ඇති හැකියාව ගැන සැලකිලිමත් වන බැවිනි.

නමුත් මේ පුද්ගලයම ඉන් වසර 10කට පසු පොහොසත් ව්‍යාපාරිකයකු හෝ ඉහළ නිලධාරියකු ලෙස බැංකුවට ගොස් ණයක් ඉල්ලූවිට එදා අඩු ණය මුදලක් අනුමත කළ බැංකුව කිසිදු පැකිළීමකින් තොරව විශාල ණය මුදලක් අනුමත කරන්නේ දැන් ඔහුට ණය ආපසු ගෙවීමේ හැකියාව වැඩි නිසාය.

එදා සමහර විට රස්සාවට යන්නට බයිසිකලයක් ගන්නට ණයක් ඉල්ලූ තරුණයා අද ණයක් ඉල්ලන්නේ තමන්ගේම ව්‍යාපාරය වැඩිදියුණු කරන්නට විය හැකිය. ජීවිතයේ සාර්ථකත්වය නිසා අද ඔහුගේ මුදල් අවශ්‍යතාව එදාට වඩා බෙහෙවින් වැඩි විය හැකිය. මන්ද, ඔහු මේ මුදල ලබා ගන්නේ වැඩි සාර්ථකත්වයක් සඳහා ආයෝජනය කරන්නට නිසාය.

දැන් බැංකුව ඔහුට පහසුවෙන්ම ණය ලබා දෙනවා පමණක් නොව තව තවත් ණය ගන්නා ලෙස ඔහුට යෝජනා කරයි. ඒ වෙනුවෙන් පොලිය අඩු කිරීමටද බැංකුව සූදානම්ය.

මේ ක්‍රියාවලියේ කිසිදු වරදක් ඇත්ද? නැත.
මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා 2005 බලයට එනවිට රටේ සමස්ත රාජ්‍ය ණය බර රුපියල් බිලියන 2,200ක් පමණ විය. ඒ වනවිට යුද්ධයක පැටලී ආර්ථික වශයෙන් දුර්වලව සිටි ලංකා රජයට ණය දෙන්නට බොහෝ ණය දෙන ආයතන අකැමැති විය. දුන්නා නම් ඒ ඉතා ඉහළ පොලියකටය. මහින්ද රාජපක්‍ෂ බලයට පැමිණි මුල් කාලය සඳහාවත් ණය ලබා ගැනීම ඉතා දුෂ්කර කාර්යයක් විය.

නමුත් කාලයත් සමඟ මේ තත්ත්වය වෙනස් විය. යුද්ධය අවසන් විය. රට සාමකාමී විය. විශාල පරිමාණ සංවර්ධන ව්‍යාපෘති ආරම්භ වූ අතර ඒවා කලට වේලාවට නිම විය.

රටේ සංවර්ධනයට අත්‍යවශ්‍ය මූලික යටිතල පහසුකම් කෙටි කාලයක් තුළ ඉදිවිය. විදේශ ආයෝජන රට තුළට ගලා එන්නට පටන් ගත්තේය. වසර 9 අවසන් වනවිට රටේ ආර්ථිකය සිවු ගුණයකින් ප්‍රසාරණය වී තිබිණි. 2005 දී ඇමෙරිකානු ඩොලර් බිලියන 20ක් වූ ලංකාවේ ආර්ථිකය මහින්ද රාජපක්‍ෂ යුගය අවසන් වනවිට ඇමෙරිකානු ඩොලර් බිලියන 80 දක්වා වර්ධනය වී තිබිණි.

එවැනි තත්ත්වයක් තුළ රටේ සංවර්ධනය සඳහා ණය ගැනීමේ අපහසුතාවක් රාජපක්‍ෂ රජයට නොතිබිණි. ගත් ණය යෙදවුණේ සංවර්ධන කටයුතු සඳහාය.

වඩාත් වැදගත් වන්නේ මේ කාලය තුළ ණය ගෙවීමේ හැකියාවට සාපේක්‍ෂව ගත් ණය ප්‍රමාණය වැඩි වූවාද අඩු වූවාද යන්නයි.

2005 මහින්ද රාජපක්‍ෂ බලයට එන විට රාජ්‍ය ණය රටේ දළ ජාතික නිෂ්පාදනයෙන් 90.6%ක් විය.

එහෙත් ඔහු බලයෙන් ඉවත් වන විට රාජ්‍ය ණය බර රටේ දළ ජාතික නිෂ්පාදනයෙන් 70.7%ට අඩු වී තිබිණි.

එසේ නම් වටහා ගත යුතු කරුණ වන්නේ රාජපක්‍ෂ යුගයේ ණය රටට බරක් නොවූ අතර එය ඉතා හොඳින් කළමනාකරණය වූ බවයි.

නමුත් වත්මන් රජය බලයට ආ පසු සිදු වී ඇත්තේ කුමක්ද?

පසුගිය ආණ්ඩුවේ ණය ගැන චෝදනා කරන අය වසර 3ක් තුළ රාජ්‍ය ණය සම්පූර්ණයෙන්ම අවකළමනාකරණය කර ඇත.

මහ බැංකු වාර්තා අනුව 2017 අවසන් වනවිට රාජ්‍ය ණය ආසන්න වශයෙන් රුපියල් බිලියන 10,400ට ඉහළ ගොස් ඇත. මෙය 2014ට සාපේක්‍ෂව 40%ක වැඩි වීමකි.

වර්තමාන රජය වසර 3ක් තුළ රුපියල් බිලියන 3,000කින් පමණ රටේ ණය බර ඉහළ දමා ගෙන ඇත. මහින්ද රාජපක්‍ෂ සමයේ වසර 9ක් තුළ රාජ්‍ය ණය ඉහළ ගිය ප්‍රමාණයට සාපේක්‍ෂව මෙය 57%ක පමණ වැඩිවීමකි.

2005-2014 වසර 9 තුළ ලංකාවේ ආර්ථිකය සිවු ගුණයකින් ප්‍රසාරණය විය. අවසාන වසර කිහිපයේ 7%ක පමණ ආර්ථික වර්ධන වේගයක් දකින්නට ලැබිණි.

නමුත් අද ආර්ථික වර්ධන වේගය අතිශයින්ම මන්දගාමීය. ගන්නා ණයවලින් කරන්නේ කුමක්ද කියා ජනතාව මවිතව බලා සිටිති. වර්තමාන රජයේ නායකයන්ට එක්කෝ නිලධාරීන් බොරු දත්ත සපයන බව හෝ එක්කෝ පාලකයන් හිතාමතා බොරු කියන බවට තවත් හොඳ උදාහරණයක් නම් බැඳුම්කර කොමිෂන් වාර්තාවෙන් හොරුන්ගේ කිහිපදෙනකු හෝ හෙළිදරව් වූ පසු එය වසාගන්නට පසුගිය රජය කාලයේ වූ බැඳුම්කර වංචා සම්බන්ධයෙන් කරන චෝදනාවයි.

අගමැතිවරයා සහ ඔහුගේ ගෝල බාලයන් බැඳුම්කර කොමිෂන් වාර්තාවෙන් පසු කියන්නේ 2008-2015 කාලයේ බැඳුම්කර නිකුතුවන්හි රුපියල් බිලියන 4,000ක පමණ වංචාවක් සිදුවී ඇති බවයි.

මේ රුපියල් බිලියන 4,000ක අගය මඳකට සලකා බලමු. මෙය ප්‍රායෝගිකව විය හැකිද?

2015 රජය වෙනස්වන විට මහ බැංකුව විසින් නිකුත්කොට වෙළෙඳපොළේ ගනුදෙනු වෙමින් පැවැති සමස්ත බැඳුම්කර ප්‍රමාණයේම අගය ආසන්න වශයෙන් රුපියල් බිලියන 4,000කි.

හැමදාමත් ජනතාව මෝඩයන් යැයි සිතාගෙන කටට එන සංඛ්‍යාවක් කියා ඔවුන් රවටන්නට උත්සාහ කරන පිරිස 2008-2015 කාලයේ රුපියල් බිලියන 4,000ක බැඳුම්කර වංචා සිදුවූවායැයි කීම ප්‍රායෝගිකව සිදුවිය නොහැක්කක් බව යාන්තමට හෝ අංක ගණිතය තේරෙන කෙනකුට දැන් වැටහිය යුතුයි.

ඔවුන් කියනා කතාව ඇත්ත නම් 2014 දෙසැම්බර් වනතෙක් මහ බැංකුව නිකුත් කළ අද වෙළෙඳපොළේ සංසරණය වෙමින් පවතින සෑම බැඳුම්කරයක්ම ප්‍රෝඩාවකි.
කතාව ඇත්ත නම් ලංකාව ලෝකයේ තිබෙන දූෂිතම රජයයි. මන්ද මහ බැංකුව නිකුත් කළ සෑම බැඳුම්කරයකම අවසාන වගකීම දරන්නේ ශ්‍රී ලංකා රජය බැවිනි. මේ කියන විදිහට ලංකාව රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් ආයෝජකයන් රවටන රටකි.

මේ බැඳුම්කරවල ආයෝජනය කළ පිරිස අතර දේශීය මෙන්ම විදේශීය ආයෝජකයෝද සිටිති. හුදෙක් දේශපාලන අවශ්‍යතා සඳහා ඡන්ද දායකයන් රවටන්නට මෙවැනි අමන කතා කීමේ ප්‍රතිඵලය වන්නේ සිටින ආයෝජකයන් හැකි ඉක්මනින් ලංකාවේ ආයෝජනවලින් ඉවත්වීම හා ඉදිරියේ කිසිදු වැදගත් ආයෝජකයෙක් මෙහි ආයෝජනය නොකිරීමය. අවුරුදු 3ක් පුරා කළ මෙවැනි වගකීමෙන් තොර ප්‍රකාශ නිසා රටට කළ හානිය මදිද කියා තවදුරටත් මෙවැනි විනාශකාරි ප්‍රකාශ කරන්නන්ගෙන් ප්‍රශ්න කිරීමට දැන් කාලය පැමිණ ඇත.

ආචාර්ය නාලක ගොඩහේවා

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress