හංස සේනාව ගෙනාපු ආණ්‌ඩුවේ වගකීම ඒ අයවත් බාරගන්නේ නෑ – හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ කියයි
Posted on February 3rd, 2018

සාකච්ඡා කළේ – මනෝඡ් අබයදීර උපුටා ගැන්ම දිවයින

පෙබරවාරි දහවෙනිදාට මේ රටේ ඉරණම පොහොට්‌ටුව බාර ගන්නවා

කාලයකට පසු එළඹෙන ඡන්දයක්‌ සඳහා රටම සූදානම් වෙමින් සිටියි. තවමත් ආරම්භක අවධියේ සිටියත් මෙම මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිටින්නේ සෙසු පක්‌ෂවලට තියුණු සටනක්‌ ලබා දෙමිනි. එහි නායකත්වය සඳහා නිල වශයෙන් නම් නොවුණ ද එම පක්‌ෂයේ නායකයා මහින්ද රාජපක්‌ෂ බව රටට රහසක්‌ නොවේ. පෙබරවාරි දහවැනිදා ඡන්දය පිළිබඳව දිවයින ඉරිදා සංග්‍රහය ඔහු සමග කරන ලද සාකච්ඡාවයි මේ.

mahinda555

ප්‍රශ්නය – පසුගිය වසර ඔබ ආරම්භ කළේ ඒ වසරේදී ආණ්‌ඩුව පෙරළන බව කියමින්… නමුත් තවම ඔබට ආණ්‌ඩුව පෙරළන්න බැරි වුණා. එදා අපරාජිතව සිටි මහින්ද රාජපක්‌ෂ මේ වන විට ඡන්ද දෙකකින් පැරදිලා ඉන්නේ… දැන් ඔබ ඉන්නේ අලුත් පක්‌ෂයක… මෙවර පළාත් පාලන ඡන්දයේදී ඔබේ බලාපොරොත්තු වූ ආණ්‌ඩු පෙරළියට මුල පුරන්න පුළුවන් වෙයිද…? 

පිළිතුර – මුලින්ම කියන්න ඕනේ, මම පරාද වුණේ එක මැතිවරණයි. මම විශ්වාස කරපු සමහර ඇමැතිවරු, පක්‌ෂයේ ප්‍රධාන ලේකම් මට විරුද්ධව, දේශීය වශයෙන් එජාපය, ජවිපෙ, සහ දෙමළ සන්ධානය එක්‌ක සහ විදේශීය වශයෙන් එල්ටීටීඊ ඩයස්‌පෝරාව සහ තවත් පිරිස්‌ එක්‌ක කරපු කුමන්ත්‍රණයක්‌ නිසා අපි ජනාධිපතිවරණය පැරදුණා. ඊට පස්‌සේ තිබ්බ මහ මැතිවරණයට නායකත්වය දුන්නේ මම නෙමෙයි. මෛත්‍රීගේ නායකත්වයෙන් තමයි එදා අපි තරග කළේ. පක්‌ෂයේ නායකයා ලෙස එදා ඔහු අපේ වේදිකාවකට නැග්ගේ නැහැ. එයා කළේ එජාපයේ වුවමනාව ඉටුකරන්න අපිව පාවිච්චි කරපු එක විතරයි. එදා පාර්ලිමේන්තුව විසිරුවා හැරියෙත් බැඳුම්කර වංචාවෙන් රනිල් වික්‍රමසිංහව බේරාගන්නයි. ඒ පිළිබඳව මෛත්‍රී තමන්ගේ කතාවේම පැහැදිලිව සඳහන් කළා. 

ඩිව් ගුණසේකරගේ කෝප් වාර්තාවෙන් බැඳුම්කර හොරු හෙළි වෙන කොට, ඒ අයට අපි විශ්වාස භංගයක්‌ ගේන්න හදන බව කියමින් එජාප නායකයා බේරා ගන්න තමන් පාර්ලිමේන්තුව විසිරුවා හැරිය බව ජනාධිපතිතුමා එදා ජාතිය අමතමින් ප්‍රකාශ කළා. එහෙම කරපු මෛත්‍රී දෙවැනි වරටත් රනිල්ව අගමැති කරන්න මහ මැතිවරණයේදී අපේ කකුලෙන් ඇද්දා… මේ තමයි ලෝක ඉතිහාසයේ පක්‌ෂ නායකයෙක්‌ තමන්ගේ පක්‌ෂය පරාජය කරන්න එළිපිටම කකුලෙන් ඇදපු ප්‍රථම වතාව. ඒ විතරක්‌ නෙවෙයි මෛත්‍රී එදා රනිල්ව බැඳුම්කර වංචාවෙන් බේරා ගත්ත නිසා තමයි, දෙවැනි බැඳුම්කර වංචාවකුත් සිද්ධ වුණේ. මෛත්‍රී අපිට කරපු දේවල් අපි එයාට කරන්න ගියේ නැහැ. මම කවදාවත් යටිකූට්‌ටු වැඩ කරපු කෙනෙක්‌ නෙමෙයි. අපි ආණ්‌ඩු පෙරළන්නේ ඡන්දයෙන් මිස ඒ ගොල්ලෝ කළා වගේ කුමන්ත්‍රණයකින් නෙමෙයි. 2017 අවුරුද්දේ ඡන්දයක්‌ තිබ්බා නම් අපි ඒ ඡන්දයෙන් දිනලා ආණ්‌ඩුවට අභියෝග කරනවා. හැබැයි ඒ අය ඡන්දයට බයනේ… අපිට බයනේ… ඒ නිසා ඡන්දය කල් දාලා, කල් දාලා, බැරිම තැන තමයි තිබ්බේ. ඡන්ද කල් දාලා ප්‍රජාතන්ත්‍රවාදයට හානි කළා විතරක්‌ නෙමෙයි, ශ්‍රීලනිපයට තිබ්බ පළාත් පාලන බලය දිය කළේත් ඒ ඡන්ද කල් දැමිල්ලෙන්… අපේ පළමු පෙරළිය පටන් ගන්නේ පෙබරවාරි දහවැනිදා… එදාට බලමු ආණ්‌ඩුවට මොකද වෙන්නේ කියලා… මේ රටේ ජනතාව ජනවාරි අට වැනිදා කරපු වැරැද්ද හදා ගන්න පෙබරවාරි දහවැනිදා වෙනකං බලාගෙනයි ඉන්නේ…

ප්‍රශ්නය – පොහොට්‌ටුව ලකුණින් එන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන්නේ අලුත් පක්‌ෂයක්‌… ඒ පක්‌ෂයට මේ රටේ ජනතාව සලකයිද කියන අඩමානය තවම තියෙනවා…

පිළිතුර – ඒ ගැන කිසිම අඩමානයක්‌ නැහැ. එදා බණ්‌ඩාරනායක ශ්‍රීමතාණන් සමඟ මගේ පියා, ශ්‍රී නිශ්ශංක වැනි දේශප්‍රේමී නායකයෝ ශ්‍රීලනිපය බිහි කළේ ජනතාවගේ වුවමනාව අනුව. 56 මහ විජයග්‍රහණය නිර්මාණය කළේ පක්‌ෂයක්‌ නෙමෙයි… ජනතාව… මෙදා වෙන්නෙත් ඒකම තමයි… පක්‌ෂය අපෙන් කොල්ල කාලා, පක්‌ෂයේ උරුමය එජාපයට ලියලා දෙන කොට මේ රටේ ජනතාව තමයි, පොහොට්‌ටුව කියන පක්‌ෂය ඇති කළේ. ජනතාව අදත් මට කියන්නේ, එදා මහ මැතිවරණයේදී මෛත්‍රීට රැවටෙන්නේ නැතුව අපි පොහොට්‌ටුවෙන් තරග කෙරුවා නම් මේ රටේ ජාතික සම්පත් ටික ආරක්‌ෂා කර ගන්න තිබ්බා කියලයි… අද ඒ අය ඇඳුමක්‌ ඇඳගෙන ශ්‍රීලනිපයෙන් තරග කරන්නේ කොහොමද කියලයි මම අහන්නේ… පක්‌ෂය පාවලා දීලා, එජාපයත් එක්‌ක යටි ඩීල් දාගෙන, පක්‌ෂයට විරුද්ධව කුමන්ත්‍රණ කරලා පක්‌ෂය පැරැද්දුවේ මම නෙමෙයි. මම තමයි මේ පක්‌ෂ ඉතිහාසයේ වැඩිම පාර්ලිමේන්තු බලයක්‌, පළාත් සභා බලයක්‌, ප්‍රදේශීය සභා බලයක්‌ පක්‌ෂයට අරන් දුන්නේ. පක්‌ෂයට බහුතර බලයක්‌ තියෙද්දී, එජාපයේ සුළුතර බලයට අගමැති තනතුර දුන්නේ එයානේ. මහ මැතිවරණය වෙලාවේ එයාම කිව්වනේ, අගමැතිකමට පක්‌ෂයේ ජ්‍යෙෂ්ඨයෝ ඉන්නවා කියලා. එයා ජනාධිපති වුණහම, ඒ එක්‌කෙනකුට අගමැතිකම දෙන්න තිබුණනේ. එහෙම තියෙද්දී, අගමැතිකම දුන්නේ, සුළුතර බලයක්‌ තිබුණු එජාපයට. එහෙම කරපු කෙනා අද පක්‌ෂය ගැන කතා කරන්න එනවා. පක්‌ෂයේ සහ සන්ධානයේ ලේකම්ලා අස්‌කරලා පක්‌ෂය පරද්දලා කොහොමද මේ අය පක්‌ෂයට අයිතිවාසිකම් කියන්නේ. 

ශ්‍රීලනිපය කියන්නේ අපිනේ. ඒ පක්‌ෂය බලෙන් අල්ලගෙන, ලකුණයි කාර්යාලයයි ගත්ත පළියට එතැන පක්‌ෂයක්‌ නැහැනේ. පක්‌ෂය කියන්නේ ප්‍රතිපත්තියට මිසක්‌ බෝඩ් එකකට හරි බිල්ඩිමකට හරි නෙමෙයි. මාව බලෙන් පක්‌ෂයෙන් තල්ලු කරලා දාලා, පක්‌ෂ නායකත්වය මගෙන් උදුරා ගත්තට පක්‌ෂයේ අයිතිය ඒගොල්ලන්ට ලැබෙන්නේ නැහැනේ. ඒ නිසා ගමේ ශ්‍රී ලංකාකාරයා ඉන්නේ අපි එක්‌කයි. අද මේ කරන්නේ පක්‌ෂයට නිග්‍රහ කරන එකනේ… කවුරු හරි ඇත්තටම පක්‌ෂයට ආදරේ නම් ඒ අය කළ යුත්තේ පක්‌ෂය මේ අයගෙන් බේරා ගන්න පොහොට්‌ටුව දිනවන එකයි. පෙබරවාරි දහවැනිදායින් පස්‌සේ ශ්‍රීලනිපය බේරා ගන්න එක අපි බලා ගන්නම්… අද ඔය ශ්‍රීලනිපයෙන් සහ පොදු පෙරමුණෙන් ඉල්ලන අය ජනවාරි අටවැනිදා මට ඡන්දය දීපු අයනේ… ඒ අයගේ පවුල් වල අය මට කතා කරලා කියන්නේ, අපේ ඡන්දයත් සර්ට කියලයි. 

ප්‍රශ්නය – එදා ඔබට එල්ල වුණු දූෂණ චෝදනා අද ආණ්‌ඩුවට එල්ල වෙලා තියෙනවා. ඒ වගේම ජනාධිපතිවරයා පවසන්නේ ප්‍රභූ හොරු එකට එකතුවෙලා අද තම තමන් බේරෙන්න කුමන්ත්‍රණය කරනවා කියලා… වෙනකක්‌ තබා බැඳුම්කර විවාදය කල් දාගත්තෙත් ඔබ හා එජාපයේ සමහරු එකතුවෙලා කියලා ජනාධිපතිවරයා ප්‍රකාශ කළා…

පිළිතුර – අපේ කාලේ කරපු හොරකම් කියන්නේ සිල් රෙදි බෙදා දීම වගේ දේවල්නේ… ජනාධිපති කොමිසමක්‌ පත් කළේ, මම ස්‌වාධීන රූපවාහිනියට සල්ලි ගෙව්වේ නැහැ කියලයි. මේ සොච්චම් චෝදනා අපිට ඉදිරිපත් කරනවා. ඒවායේත් ඇත්ත නැත්ත දැන් ඔප්පු වෙලා ඉවරයි. බැඳුම්කරයේ වංචාව කියන්නේ, අදටත් ගාණ හදාගන්න බැරි තරම් සුවිශාල හොරකමක්‌… අද මුළු රටම එකම හොර ගුහාවක්‌වෙලා ඉවරයි. රටේ ජනාධිපතිවරයා කියනවා මේ අවුරුදු තුන තුළ මේ ආණ්‌ඩුව කෝටි ගණන් මහජන සල්ලි මංකොල්ල කාලා තියෙනවලු. කවුද මේ කියන්නේ. මේ රටේ ජනාධිපතිවරයයි මේ කියන්නේ. ජනාධිපතිවරයා මේ ආණ්‌ඩුව කියලා කියන්නේ වෙන කාටවත්ද. එයාගේ ආණ්‌ඩුවනේ මේ තියෙන්නේ. කවුද මේ ආණ්‌ඩුව කරන්නේ. ජනාධිපතියි එයා පත්කර ගත්ත අගමැතියි එයාලගේ ගෝලයෝ රොත්තයිනේ, මේ ආණ්‌ඩුව කරන්නේ. එතකොට මේ රටේ මහජන මුදල් මේ ආණ්‌ඩුව කොල්ලකෑවා, හරියට අපි කෑවා වගෙයි කියන්නේ. එයාට අමතක වෙලා මේ රටේ ජනාධිපතිවරයා ඔහු බව. මේ තියෙන්නේ ඔහුගේ ආණ්‌ඩුවක්‌ බව. ආණ්‌ඩුවක්‌ කියන්නේ ජනාධිපතිවරයා ඇතුළු කණ්‌ඩායමනේ. නමුත් දැන් මේ අය කියන්නේ අගමැති ඇතුළු කණ්‌ඩායම හොරකම් කළා කියලයි. මේ රටට ජාතියට ආදරයක්‌ නැති නායකයෝ ආවම වෙන්නේ මේ රට පිරිහීමට ලක්‌වෙන එකයි. අගාධයට යන එකයි. අද මේ රටට වෙලා තියෙන්නෙත් ඒකම තමයි.

අද මේ ආණ්‌ඩුවේ ඉන්න අයම ඒ ඒ අයට අත දිගු කර ගන්නවා. බැණගන්නවා. මේකේ ඉන්න ඇතැම් කැබිනට්‌ ඇමැතිවරුම කියනවා මේක මහා කාලකණ්‌නි ආණ්‌ඩුවක්‌ලු. මේක පාණ්‌ඩු ආණ්‌ඩුවක්‌ලු. අපිට බණින්න දෙයක්‌ නෑ. ඒ ඒ අයටම ඒ ඒ අය බැණ ගන්නවා. අපිට තියෙන්නේ මුන් දෙගොල්ල තුන්ගොල්ල බැණ ගන්න එක අහගෙන ඉන්න විතරයි. අද මේ රටේ විනය නැති වෙලා තියෙනවා. මේ අය හිතන් ඉන්නේ කවුරු හරි හෙන්චයියලා ටිකක්‌ දමා ගත්තම ඔක්‌කොම හරි කියලා. එහෙම ආණ්‌ඩු කරන්න පුළුවන් කමක්‌ නෑ. මේ අය වැඩ කරන්නේ කිසිදු සැලැස්‌මකට අනුව නෙමෙයි. දැන් බලන්න මේ ආණ්‌ඩුව හම්බන්තොට වරාය විකුණන්න. ඒ සල්ලි වලින් නැවක්‌ ගෙනාවලු. මොකද්ද මේ විහිළුව කියලා බලන්නකෝ. රටට තිබුණු සම්පත විකුණලා කිසිදු වැඩකට නැති දෙයක්‌ ගේනවා. මේ තත්ත්වයට අද රට පත්වීම ගැන අපිට තියෙන්නේ කනගාටුවක්‌. දුකක්‌. එහෙම තියෙද්දී අපිට හොර ලේබල් අලවන්න තාමත් හදනවා. බැඳුම්කර විවාදය කල් දා ගත්තේ එජාපයේ සහ ශ්‍රීලනිපයේ පාර්ලිමේන්තු කණ්‌ඩායම් නායකයන් එකතුවෙලා… අපේ කණ්‌ඩායම් නායකයා විදිහට ඉන්න දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමා බැඳුම්කර විවාදය ඉල්ලා සිටින කොට ශ්‍රීලනිපයෙන් පාර්ලිමේන්තු කණ්‌ඩායම් නායකයන් විදිහට ඉන්න මහින්ද සමරසිංහ සහ මහින්ද අමරවීර දෙන්නා එජාපයේ අයත් එක්‌ක එකතුවෙලා ඒක කල් දා ගත්තා…

ප්‍රශ්නය – ඔබගේ ආණ්‌ඩුව විසින් ගත්ත ණය කන්ද නිසා රට සංවර්ධනය කරන එක අභියෝගයක්‌ බව ආණ්‌ඩු පක්‌ෂය කියනවා. ජනාධිපතිවරයා පසුගියදා ප්‍රකාශ කළ විදිහට ඔබගේ ආණ්‌ඩුව ගත්ත ණය කන්ද සුළුපටු නැහැ…

පිළිතුර – මේ ආණ්‌ඩුව දවසකට මොන තරම් බොරු කන්දරාවක්‌ කියනවාද…? මේ අයට ආර්ථිකය ගැන කිසිම දැනුමක්‌ නැහැ… අඩුම ගාණේ අංක ගණිතයවත් බැහැ. අපි මේ රටේ ගොවි ජනතාව නඟාසිටුවන්න පොහොර මිටිය රුපියල් 350 ට දුන්නා. මේ ආණ්‌ඩුව ආව ගමන් මොකද කළේ ඒ සහනාධාරය කපා දැම්මා. ඉන් නැවතුනේ නෑ මේ ආණ්‌ඩුව. හෙක්‌ටයාර ලක්‌ෂයක කුඹුරු ගොවිතැන් නතර කරන්න කියලා නියෝගයක්‌ දුන්නා. වතුර දෙන්න එපා කිව්වා කුඹුරු කරන්න. අපි අපේ කාලේ රට සහලින් ස්‌වයංපෝෂිත කළා. ගොවියා නඟාසිටුවන්න කටයුතු කළා. නමුත් අද මොකද වෙලා තියෙන්නේ. ගොවියා වළපල්ලට ඇදලා දමලා. හාල් ටික පොල් ටිකත් අද පිටරටිනුයි. ශ්‍රී ලංකාවට ගේන්නේ. මේකට ආණ්‌ඩුවක්‌ ඕනේ නෑ. මේ විදියට ගියොත් අපිට රටක්‌ නම් ඉතුරු වන්නේ නෑ. අද ගම්මිරිස්‌ ටික විකුණ ගන්න බැහැ. රබර් මිල කොහොමද? හැබැයි ගණන් නම් ගියා පොල් ගෙඩිය. ලුණු කට්‌ටේ ඉඳලම ගණන් ගිහින්. පරිප්පු අඩුවට දෙනවා කිව්වා නේද? අඩුවට කන්න දෙන්නම් කිව්වා නේද? හැබැයි බියර් නම් අඩු කළා. ඒ විතරක්‌ නෙමෙයි තැබෑරුම්වල කාන්තාවන්ටත් වැඩ කරන්න දුන්නා. රටේ සංස්‌කෘතිය, සමාජය විනාශ කරන වැඩපිළිවෙළක තමයි ආණ්‌ඩුව නිරතව සිටින්නේ. ව්‍යවස්‌ථාවත් වෙනස්‌ කරලා රට බෙදන්න හදනවා. ඒක නිසා අපි තවදුරටත් මේ ගැන අවබෝධ කරගත යුතුයි. අවුරුදු තුනක්‌ ගිහිල්ලා ණය බරයි ණය බරයි. තාමත් ණය බරයි. පොඩි එකාට මොකක්‌ද බරයි වගේ. මම භාර ගත්තේ ආර්ථිකය කඩා වැටුණ, යුද්ධයත් තිබ්බ රටක්‌. නමුත් එදා මම ණය බරයි, ණය බරයි කිය කිය හිටියද? මට ඊට වඩා බරක්‌ භාර දුන්නේ. ණය බර තිබ්බේ සියයට 90 ට. මම සියයට 70 ට අඩු කරලා දුන්නේ. ඒක පුද්ගල ආදායම ඩොලර් 1300 ට තිබ්බ එක භාර දෙන විට 3800 ක්‌ දක්‌වා ගොඩනඟලා තිබ්බා. 

ප්‍රශ්නය – සංවර්ධන කටයුතු සඳහා මේ ආණ්‌ඩුවට ප්‍රමුඛතාවයක්‌ දෙන්න නොහැකි වී තිබෙන්නේ පසුගිය ආණ්‌ඩුව විසින් ගත්ත ණය බර තවම ගෙවන්නට තිබෙන නිසා බව එජාප නායකයන් ප්‍රකාශ කරනවා…

පිළිතුරු – අපේ ණය බර තිබ්බා නම් රට බාර ගන්නකොට ඒ ගැන කල්පනා කරන්න තිබුණානේ… මම දිගටම ජනාධිපති තනතුරේ හිටියා නම්, රටේ ආර්ථිකය අද කොතැනද කියලා ජනතාව දන්නවා… අද ඉන්නේ ආර්ථිකයක්‌ පාලනය කර ගන්න බැරි පාලකයන්. එක එකාට බැණගෙන, ක්‍රෝධයෙන් වෛරයෙන් ඉන්නේ. ඉතින් කොහොමද රටක්‌ පාලනය කරන්නේ. රාජ්‍ය දේපළ සම්පත් විකුණමින් සිටිනවා. මුළු රටම හොර ගුහාවක්‌. හොරකම් කියලා අපිට තමයි චෝදනා කළේ. නමුත් හොරු කවුද කියලා දැන් හෙළිවලා.

2015.01.01 සිට 2017.06.30 දක්‌වා, වත්මන් රජය යටතේ වැඩිවූ ණය, මෙතෙක්‌ අප රටේ ඉතිහාසය පුරාවටම වසර දෙක හමාරක්‌ තුළ වැඩි වූ උපරිම ණය ප්‍රමාණය වුණා. එම ණය ප්‍රමාණය වන රුපියල් බිලියන 2,773, අපගේ රජය 2009 අවසානයේ සිට 2014 අවසානය දක්‌වා, දැවැන්ත වැඩ කොටසක්‌ ඉටු කළ, අවුරුදු 5 ට ලබා ගත් ණය ප්‍රමාණයෙන් 86%යි. 

අද අප රටේ සියලු දෙනා දන්නා පරිදි, මෙපමණ විශාල ණය ප්‍රමාණයක්‌ මෙම රජය අරගෙන තිබ්බත්, මහ ජනතාවට පෙනෙන, දැනෙන කිසිදු යටිතල පහසුකමක්‌ රටේ නැහැ. මහා පරිමාණයේ සංවර්ධන කටයුතු පමණක්‌ නෙමේ, පියවි ඇසට පෙනෙන ග්‍රාමීය මට්‌ටමේ හෝ සංවර්ධනයක්‌වත් රටේ නැහැ. 

රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා සහ එයාගේ ගෝලයන් අපට චෝදනා කළේ, අපි රුපියල් බිලියන ගණනක්‌ ණයට අරගෙන, හම්බන්තොට වරාය, නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය සහ මත්තල ගුවන්තොටුපළ ඉදිකළා කියලයි. මේ අයට ලොකු ගණන්වලට විකුණන්නට හෝ ඒවා අද මහ පොළවේ පෙනෙන්නට තියනවා. මේ ආණ්‌ඩුව ගත්ත ණය කන්දෙන් මහ පොළවේ පුංචි පිහිනුම් තටාකයක්‌වත්, පොඩි ජෙනරේටරයක්‌වත්, අඩි පාරක්‌වත් හදලා තියනවද? එහෙ නම්, අපට දැන් අහන්න තියෙන්නේ, මේ ණයට ගත් සල්ලිවලට මොකද වුණේ? බැඳුම්කර මගඩියේ මුදල් ගිල්ලා වගේ, කවුරු හරි ඒ මුදල් ගිලගත්තද? 

ප්‍රශ්නය – පෙබරවාරි දහවැනිදාට පොහොට්‌ටුව ඉදිරියේ ජනතාව කතිරය ගැසිය යුත්තේ ඇයි කියලා ඔබට කියන්න පුළුවන්ද…?

පිළිතුර – මේ දූෂිත, වැඩ බැරි ආණ්‌ඩුව, ශ්‍රී ලංකාව භයානක උගුලකට ඇද දමලා ඉවරයි. රජයේ සමහර නායකයන්ගේ පෞද්ගලික වාසිය සඳහා, අප රටේ සමස්‌ත පොලී අනුපාතය වැඩි කළා. රුපියලේ අගය අවප්‍රමාණය කරමින් ණය බරතාවය සීග්‍ර ලෙස වැඩි කළේ මේ ආණ්‌ඩුවයි. මේ ණය උගුලෙන් ගොඩ ඒම සඳහා කියමින්, රටේ බැංකු මත සෑම රුපියල් 10,000 කම ගනුදෙනු සඳහා රුපියල් 2 ක නව බද්දක්‌ හඳුන්වා දුන්නා. අප රටේ බැංකු ක්‌ෂේත්‍ර ප්‍රවීණයන්ට අනුව, මෙම බද්ද හරහා සියලුම රාජ්‍ය බැංකු දුර්වල වනු ඇතැයි ද, එම දුර්වලවීම ඉස්‌මතු කරමින්, බැංකු පුද්ගලීකරණයට යොමු කරන්නට රජයේ යටි අදහසක්‌ තියෙනවා ද කියන සැකය දැන් අපිට තියෙනවා. එම බද්දෙන් වසරකට එකතු කරන්නට බලාපොරොත්තු වන රුපියල් බිලියන 20 මුළුමනින් වෙන් කළත්, එම ණය පමණක්‌ ගෙවීමට අවුරුදු 139 ක්‌ ගත වෙනවා. ඒ නිසයි අපිට මේ සැකය ඇතිවෙන්නේ… අද වෙන කොට, සියලු දෙනාම පිළිගෙන ඇති ආකාරයට මෙම මගඩිය නිසා, රටේ පොලී අනුපාත සියල්ලම කෘතිම ලෙසත්, වංචාකාරී ලෙසත්, දැවැන්ත ලෙසත් වැඩිවෙලා තිබෙනවා. 

මේ මගඩිය නිසා රජයට සහ ජනතාවට සෘජු සහ වක්‍ර ලෙස සිදුව ඇති සමස්‌ත පාඩුව රුපියල් බිලියන 1,000 ක්‌ ඉක්‌මවා ඇති බව ලක්‌ෂ්මන් යාපා අබේවර්ධනම කිව්වනේ. අපේ ආණ්‌ඩුව 2014 දී සමස්‌ත බදු හරහා ජනතාවගෙන් අය කර ගත්තේ රුපියල් බිලියන 1,050 ක්‌ විතරයි. ඒ මුදල් වලින් අපි කරපු සංවර්ධනය මම ආයේ ආයේ කියන්න ඕනේ නැහැනේ. 2018, දී මේ ආණ්‌ඩුව එම මුදලට සමාන මුදලකට අමතරව, තවත් රුපියල් බිලියන 984 ක්‌, එනම් දෙගුණයකින් පමණ වැඩි මුදලක්‌ වන රුපියල් බිලියන 2,034 ක්‌, ජනතාවගෙන් අයකර ගන්න බලාපොරොත්තු වෙන බව අය වැයේ සඳහන් වුණා. ඒ කියන්නේ ඒ දැවැන්ත බදු මුදලටත් වැඩි මුදලක්‌ මේ ආණ්‌ඩුව බැඳුම්කරෙන් හොරා කාලා කියන එකනේ. 

එහෙම ආණ්‌ඩුවකට තව දුරටත් මේ රටේ ජනතාව ඉඩ දෙනවාද…?

ප්‍රශ්නය – එජාපය, ජවිපෙ සහ ශ්‍රීලනිපය මෙවර වෙනම තරග කරනවා… ඒ තුළ ආණ්‌ඩුවේ දූෂණයට එරෙහිව ඒ සියලු දෙනාත් කතා කරනවා…ඒ නිසා පොහොට්‌ටුවට විතරක්‌ නොවෙයි ආණ්‌ඩු විරෝධී කණ්‌ඩායම් ගණනාවක්‌ මෙවර මැතිවරණයට ඉදිරිපත් වෙනවා…

පිළිතුර – ඒ ඔක්‌කොම හංස සේනාවනේ… මේ අය එකතුවෙලා ගෙනාපු ආණ්‌ඩුවේ වගකීම දැන් ඒ අය ගන්නේ නැහැ… එකත් දාන්න හදන්නේ අපේ පිට… මේ සියලු දෙනාම පොහොට්‌ටුවට බය වෙලා, දැන් විපක්‌ෂය වෙන්න උත්සාහ කරනවා. ඔය බොරුවලට ජනතාව රැවටෙන්නේ නැහැ. පසුගිය සතියේ ලක්‌ෂ්මන් කිරිඇල්ල ඇමතිතුමා කියලා තිබ්බ දේ මතකනේ… පෙබරවාරි දහවැනිදායින් පස්‌සේ අගමැතිතුමා සහ ජනාධිපතිතුමාගේ මිත්‍රකම තවත් වැඩිවෙයි කියලා එයා කියලා තිබ්බා. අද මෛත්‍රී එජාපයට බැණ බැණ යන්නේ තමන්ගේ පක්‌ෂයට වැටෙන ඡන්ද ගොඩ වැඩිකර ගන්න මිසක්‌ වෙන දේකට නෙමෙයි. සිල් රෙදි බෙදුවාට නඩු දාලා, ජනාධිපති ලේකම්ව හිරේ දාපු ආණ්‌ඩුව, මේ රටේ විතරක්‌ නෙමෙයි, ලෝකයේම ලොකුම වංචාව වුණු බැඳුම්කරේ කාටද දඬුවම් දුන්නේ… එහෙම දඬුවම් දෙන්න තමන්ව ශක්‌තිමත් කරන්න කියලා ජනාධිපතිවරයා අගමැතිගෙන් ශක්‌තිය ඉල්ලන රටක්‌ මේක… හොරකම්වලට දඬුවම් දෙන්න හොරා උදව් කරයිද…? එදා මෛත්‍රී අපේ ආණ්‌ඩුවෙන් ගිහිල්ලා කිව්වේ, එයාට ඇමතිකම් කරන්න අපි ඉඩ දෙන්නේ නැහැ කියලා… අද එයා ජනාධිපති වෙලා රට වටේම කෑ ගහ ගහ යන්නේ, මට වැඩ කරන්න දෙන්න කියලා. මෙයා වගේ කෙනෙක්‌ කලින් ජනාධිපති වුණා නම් යුද්දේ කරන්න වෙන්නේ, ප්‍රභාකරන්ගෙන් උදව් අරන් තමයි. 

ප්‍රශ්නය – ඔබේ ප්‍රජා අයිතිය නැති කරන බවට අගමැතිවරයා ප්‍රකාශ කර තිබුණා… ඒ නිසා පෙබරවාරි දහවැනිදා ඔබේ දේශපාලනයට තීරණාත්මක දවසක්‌… ඔබේ දේශපාලන ඉරණම එදාට විසඳෙනවා නේද…? තව දුරටත් ඔබ දේශපාලනය කරනවාද නැද්ද කියලා එදාට තීරණය වෙන බව පැහැදිලියි… 

පිළිතුර – මට තාම නොකළේ ඒ ටික විතරයි. ඡන්දයක්‌ කිට්‌ටු වෙනකොට තාජුඩින්ගේ මිනිය ගොඩ අදිනවා… මගේ මිත්‍රයා වුණු ලසන්ත වික්‍රමතුංගගේ මිනිය ගොඩ ගන්න හදනවා… මගේ දරුවෝ හිරේ දැම්මා… බැසිල්ව හිරේට දැම්මා… මේ රටේ ඇමතිකම් මන්ත්‍රීකම් කරපු විමල්, ජොන්ස්‌ටන්, මහින්දානන්ද, ගම්මන්පිල වගේ අය ඇතුළුව අපිට වැඩ කරපු අය හිරේ දැම්මා. අපි ඒවායින් වට්‌ටන්න පුළුවන් මිනිස්‌සු නෙමෙයි… මගේ අම්මගේ මිනිය බලන්න මම ආවේ හිරේ ඉඳලා, මාංචු පිටින්… එජාපය අපිට එදා සැලකුවේ එහෙමයි… අපි ඔය තර්ජනවලට බය නම්, ලෝකයේ ප්‍රබල රටවල් එක පැත්තක ඉද්දි ප්‍රභාකරන් එක්‌ක හැප්පෙන්නේ නැහැනේ…

පෙබරවාරි දහවැනිදාට විසඳෙන්නේ අපේ ඉරණම නෙමෙයි. රටේ ඉරණම… මේ රටේ අනාගතයේ ඉරණම. සිය අඹු දරුවන් අමතක කරලා, මේ රට වෙනුවෙන් යුද්ධ කරපු රණවිරුවන් හිරේ දාන්න තව දුරටත් දෙනවාද…? රටේ ජාතික සම්පත් තුට්‌ටුවට විකුණලා, අත යටින් සල්ලි ගන්න දෙනවාද…? මේ රටේ වැදගත්ම දේ වන පවුල කඩා වට්‌ටන්න කාන්තාවන්ට අරක්‌කු පොවන්න හදන එකට කැමැත්ත දෙනවාද…? ජීවත් වෙන්න බැරි තරමට කඩා වැටුණු ආර්ථිකය තවත් කඩාවැටෙන්න ඉඩ දෙනවාද…? මේ රටට විශාල සේවයක්‌ කරපු ආරක්‌ෂක ලේකම් ගෝඨාභය රාජපක්‌ෂ අත්අඩංගුවට ගැනීමට ආණ්‌ඩුව ලැහැස්‌ති වෙලා ඉන්න බව රාජිත කියලා තිබ්බා. මේ රටේ ජනතාව ඒකට ඉඩ දෙනවාද…? අපේ ආණ්‌ඩුව ජනතාවට දුන්න සහන සේරම දැනටමත් කප්පාදු කරලා ඉවරයි. ඒක නවත්වනවා ද…? නැද්ද…? සේවක අර්ථ සාධක අරමුදල ගසාගෙන කාලා, හොරකම් කරපු හොරුන්ට දඬුවම් දෙනවාද…? නැද්ද…? අපේ ප්‍රජා අයිතිය නැති කරන්න හදන අයට ඉඩ දෙනවා ද නැද්ද කියන එක ජනතාව පෙබරවාරි දහවැනිදාට තීරණය කරයි. 

One Response to “හංස සේනාව ගෙනාපු ආණ්‌ඩුවේ වගකීම ඒ අයවත් බාරගන්නේ නෑ – හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ කියයි”

  1. ranjit Says:

    Well replied Sir. People knows everything what you mentioned here in this article and if they love this nation and believes in you then nothing to worry definitely they will vote for pohottuwa 100%. We know only you can save us from hell. We know your capabilities and strength and we hope and pray that you will be back in the helm soon and rescue the citizens of this country from so many hardships this evil government has brought upon us. We cannot tolerate anymore of their lies and bogus promises therefore we need a new beginning with you as our beloved leader and a new symbol pohottuwa to take us forward and make our Motherland great again. We are with you as long as you are there to guide us for a better future and a better country to live in with our children. May lord Buddha protects you and the country we love so much.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress