පෝස්ට්මෝර්ටම්!!!
Posted on February 17th, 2018

තේජා ගොඩකන්දෙආරච්චි

මාස එකහමාරක් තිස්සේ බලා සිටි පලාත් පාලන මැතිවරණයත් අවසන් වූයේය. දැන් ඉතින් මෙහි ප්‍රතිඵල ගැන සමාජ ජාලා තුල විවිධ පිරිස් විවිධාකාරයෙන් අදහස් හුවමාරු කරගනිති. තමන් අගය කරන පක්ෂයට චන්දය නොදී, වෙනත් පක්ෂවලට චන්දය දුන් අය ‘බත් කන මී හරකුන්’ ලෙස හඳුන්වන්නට යම් පිරිසක් ඉදිරිපත් වීමද අනුමත කිරීම අසීරු, මේ කතා කරන්නේ තමන්ගේම ජනතාව ගැන බැවිනි. මට නිකමට සිතෙන ආකාරයට ශ්‍රී ලාංකික දේශපාලනයේ අැත්තේ කොටස් දෙකක් පමනයි. ඒ දේශපාලකයා සහ චන්දදායකයාය. කණගාටුවට කරුණ වන්නේ ‘දේශපාලකයා’ යන වචනයෙහි ‘පාලකයා’ යන කොටස ඇතුලත් වුවද, එම පාලකයාගේ පැවැත්ම පිලිබඳ වැඩි වගකීමක් තිබෙන්නේ තමන් අත බව චන්දදායකයාටම වැටහීමක් නොමැති වීමයි.    බැලූ බැල්මට පවතින රජයට අනතුරු ඇඟවීමක් කර ඇති නමුදු පාලකයන් තෝරා ගන්නට වැනිලද, චොකලට්ද ක්‍රමවේදයට එහා ගිය යමක් ජනතාවගේ විඥානයේ ඇතිවනු ඇත්තේ මේ ගැන හරිහැටි වටහා ගත් දිනෙකයි.

 මේ අතර නොසිතූ විරූ ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බහුතර බලයක් ලැබුනේය. එහි ප්‍රධාන චන්ද තුරුම්පුව වූයේ හිටපු ජනාධිපතිවරයාය. එක්සත් ජාතික පක්ෂයට තනි පක්ෂයක් ලෙස දෙවන ස්ථානය ලැබුනමුත්, ඒ විශාල පරතරයක් ඇතිවය.

චන්ද ප්‍රතිඵල නිකුත්වී අවසන් වූ පසුව තම කට ඇරිය අමාත්‍ය රාජිත සේනාරත්න පවසන්නේ මෙම මැතිවරණ ප්‍රතිඵල මගින් 2015 ජනවාරි 08 වනදා ලැබූ ජනවරම ශක්තිමත් වූ බවයි. ඒ 2015 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ ලබාගත් 47.58% ක චන්ද ප්‍රතිශතය මෙවර 44.65% දක්වා අඩුවී ඇති බව කියමිනි. ඔහුට අනුව ඉතිරි 55.35% ම තමන්ටය. මෙසේ ගණන් හිලව් පෙන්වමින් මාධ්‍ය ඉදිරියේ තර්ක කිරීම රාජිතගේ ඉතාම සුලභ පුරද්දකි. පසුගිය වසරේ ඩෙංගු වසංගතයක් ලෙස පැතිරෙමින් ජනතාව පීඩා විඳිත්දී, මියයත්දී මොහු මේ අයුරින්ම සංඛ්‍යා ලේඛණ පෙන්වමින් තර්ක කලා ඔබට මතක ඇති. -පසුගිය රජය සමයේ ජනගහනයෙන් 1% ක් වූ ඩෙංගු ආසාදිත සංඛ්‍යාව, තමන්ගෙ පාලන සමයේදී 0.3%ක් දක්වා අඩුවී ඇත… – ආදී වශයෙනි. තමන් මේ කතා කරන්නේ මනුෂ්‍ය ජීවිත බව සෞඛ්‍ය ඇමතිවරයා ලෙස ඔහුට අමතකය. තම අමාත්‍යංශයේ කටයුතු මෙලෙස සංඛ්‍යා ලේඛණ විජ්ජා මගින් මවා පෙන්වන ඔහු අදද කරන්නට හදන්නේ ඒ දෙයමය.

මෙම පලාත් පාලන මැතිවරණයත්, 2015 ජනාධිපතිවරනයත් සංසන්දනය කිරීම අසීරුය. මෙහිදී ඇමතිවරයා, ජනතා විමුක්ති පෙරමුණ ඇතුලු අන් සියලුම පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් සියල්ල රජයට පක්ෂපාතීය යන මතයක සිටින බව පෙනේ. නමුත් මීට සමගාමීව, ජනතාව විසින් රජය ප්‍රතික්ෂේප කර ඇති බව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක පවසා ඇත.

මෙවැනි පැහැදිලි කිරීම් සහ එජාප හිතවාදී හෝ පොහොට්ටුවට විරුද්ධ සියලු දෙනා විසින් ජනතාවගේ තීරණය දකින ආකාරයේ ඇති පරස්පර විරෝධතාවන් සැබැවින්ම ගැටලු සහගතය. කෙසේ වුවත් මෙම මැතිවරණය, 2015 අගෝස්තුවේ පැවති පාර්ලිමේන්තු මැතිවරණය සමග සන්සන්දනය කරනවා නම් වඩා සුදුසුය. 2015 ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපතිවරයාට එරෙහිව සියලු පාර්ශ්වයන් පාහේ එක් වුනත්, මැතිවරණයේදී ඔවුන් තරගකලේ වෙන වෙනම පක්ෂ වශයෙනි. අද වනවිට ආර්.සම්බන්ධන් විපක්ෂ නායක වන්නේද, අනුර කුමාර විපක්ෂයේ ප්‍රධාන සංවිධායකයා වන්නේද ඒ නිසාය. ඒ අනුව බැලූ කල්හි නම් එක්සත් ජාතික පක්ෂයට අත්ව තිබෙන පසුබෑම, රාජිතගේ ගණන් ගැට සහිත මොළයට නොවැටහී නොයා යුතුය. අනික චන්දයෙන් එජාපයට ලැබෙන ‘විජයග්‍රහණයෙන්’ පසු තනි ආණ්ඩුවක් පිහිටුවන බවට වහසි බස් දෙඩුවේද එජාප මැති ඇමතිවරුන්මය. එසේම තනි ආණ්ඩුවක් ගැන අදහස තවමත් අතහැර නොමැති සේ පෙනෙන බැවින් ගණන් හිලව් සසැඳිය යුත්තේද තනිවමය.

2015 අගෝස්තුවේදී. එජාපය මුලු දිවයිනෙන්ම චන්ද 5,098,916 (45.66%) ක් දිනා ගත්හ. එක්සත්  ජනතා නිදහස් සන්ධානයට ලැබුනු චන්ද සංඛ්‍යාව 4,732,664 (42.38%) කි. එකල සන්ධානයේ අභ්‍යන්තර බෙදීම තිබුනද තරගකලේ එකටය. මෙවර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ චන්ද 4,941,952 ක් ලබාගෙන තිබේ. ප්‍රතිශතයක් ලෙස එය 44.65% කි. නමුත් පෙනෙන්නට තිබූ ආකාරයට කොටසක් කැඩීගියේ සන්ධානයෙනි. මැතිවරණයට පෙර, පැහැදිලිව ප්‍රකටව තිබූ එම බෙදීම මත එජාපය තමන්ට පහසු ජයක් අපේක්ෂා කලේය. නමුත් එජාපය ලද මුලු චන්ද සංඛ්‍යාව 3,612,259 කි. එනම් 32.63% කි. මේ චන්දයේදීම සන්ධානයත්, සමහර ස්ථානවල ශ්‍රීලනිපයත් එක්ව ගත්කල තවත් චන්ද 1,481,656 ක් ද ඉතිරි විය. ඒ හැර ඒ ඒ පක්ෂ විසින් සහය ලබා දුන් ස්වාධීන කණ්ඩායම් නිසා මෙම ගණන් හිලව්වල මඳ වෙනසක් විය හැකිය. මේ සියලු කරුණු සලකා බැලූ කල්හි එජාපයේ පසුබෑම රාජිතට නොපෙනුනාට පැහැදිලිව දිස්වේ.

ජවිපෙහි චන්ද ප්‍රතිශතය පැහැදිලිව වැඩිවී ඇත. බෙදීමක් දක්නට ලැබුනේ සන්ධානය සහ පොහාට්ටුව අතර බැවින් මෙවර එම පක්ෂවලට ලැබුනු චන්ද සංඛ්‍යාවල එකතුව සහ පසුගියවර සන්ධානයට ලැබුනු මුලු චන්ද සංඛ්‍යාව සසඳා බැලූවිට 2015දී එජාපයේ තිබූ යම් චන්ද ප්‍රමානයක් අනිත් පක්ෂ වෙත බෙදී ගිය බව පැහැදිලිය. බොහෝවිට එසේ වනුයේ පාවෙන චන්ද වන අතර ප්‍රථම වරට චන්දය භාවිතා කරන යෞවනයන්ගේ කැමැත්තද මේ සඳහා බලපෑමක් කරන්නට ඇත. එසේ නම් තමන්ගේ පාලන ක්‍රමයේ කොතැන හෝ වරදක් ඇති බව රජය පිලිගත යුතුය. මෙම මැතිවරණ ප්‍රතිඵල නිසා ආණ්ඩු පෙරලීමක් නොවන නමුදු, එයින් රජයට යම් අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ. 

ඒ බව එජාප ඇමතිවරු කිහිප දෙනෙක් නම් නිහතමානීව පිලිගත්තත්, රාජිත වැනි, තමන්ගේ කතා අසා සිටින අය බත් කන මී හරකුන් ලෙස ගණන් දමා සිටින අය උත්සාහ කරන්නේ තමන්වම රවටා ගැනීමට නොවේද?

 සන්ධානයට අත්වූ ඉරණම නම්! පසුගිය වතාවේ සන්ධානයට චන්දය ප්‍රකාශකල ජනතාව අනාථ කරන්නට හේතු වූ කරුණු කිහිපයකි. ලෝකයට ආදර්ශයක් දෙන්නටය කියමින් තනාගත් හවුල් ආණ්ඩුවට සහයෝගය දෙමින් එජාපය හා අත්වැල් බැඳගත් සන්ධාන පිරිස එක හේතුවකි. ජනතා මනාපය නොලද පිරිස ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගෙන ඇමතිකම් ලබාදීම දෙවැන්නයි. මෙය තම පක්ෂය වෙනුවෙන් චන්දය ප්‍රකාශකල ජනතා අභිලාෂයන්ට කෝචොක් කිරීමය. ඊලඟට ජනතාවට බරක් වන පරිදි ගෙනා අය වැය ආදී සෑම තැනකදීම මොවුහු රජය වෙනුවෙන් අත ඉස්සූහ. මේ සියල්ල මැද සන්ධානය වෙනුවෙන් පෙනී සිටි ජනතාව අතරමං වූවා වැනිය.

මේ වන විට ජයග්‍රහණය කල පක්ෂයට චන්දය ප්‍රකාශකල ජනතාවට ගරහන පිරිස් පලකරන අදහස් සමාජ ජාලාවල වැසි වැස තිබේ. නමුත් යම් පක්ෂයකට කොනකු කැමති වන්නේ හෝ අකමැති වන්නේ ඇයිද කියා විමසුමක් කරනවා නම් බැන බැන ඉන්නවාට වඩා යහපති.

පසුගිය කාලය පුරාම එජාපයේ පිරිස මහින්දටද, සන්ධානයේ පිරිස මහින්දටත්, එජාපයටත්, විශේෂයෙන් රවි කරුණානායක සහ අගමැතිටත්, මහින්දගේ පිරිස එජාපයටත් ජවිපෙ මේ හැමෝටමත් චෝදනා කලේ එකම මන්තරය මතුරමිනි. එනම් හොරු! හොරා කෑවා! යන මන්තරයයි ඒ. නමුත් අවසානයේ හොරකම, පවුල් පාලනය, සුදු වෑන්, මිනී මැරුම් අාදී වැඩිම චෝදනා එල්ල වූ පුද්ගලයා පලමුවැනියා විය. එජාපයේ නම් බැඳුම්කර වංචාවට ඍජුවම හසුවී, ඇමතිකම පවා අතහරින්නට සිදුවූ රවි කරුණානායක තම උතුරු කොළඹ ප්‍රදේශයේ සියලුම පලාත් පාලන ආයතන ජය ගනිමින් පිටියේ වීරයා විය. රෝසි සේනානායකගේ පුත්‍රයාගේ නමද බැඳුම්කර කතාවට ගෑවී තිබියදීද කොළඹ පුරපතිනිය ලෙස අති විශාල චන්ද සංඛ්‍යාවකින් තේරී පත්වුන ඈ, මේ බැඳුම්කර වංචාව තවම චෝදනාවක් පමනකැයි පවසන්නේ ඇලෝසියස් සහ පලිසේන රිමාන්ඩ්කර සිටියදීය. කොටින්ම පසුගිය අලුත් අවුරුදු දා කසල කන්ද ඉහට කඩා වැටුන පසු, එකෙකුටවත් චන්දය නොදෙමුය කියා රජය සමග මරා ගන්නට ගිය කොළොන්නාවේ නගර සභාවද එම ඛේදවාචකයෙන් වසරක් යන්නට පෙර එජාපයට ගොසින්ය.

මේ කිසි දෙයකට නොගෑවුන ජනතා විමුක්ති පෙරමුණ තවමත් පිටුපසිනි.

 

එසේ නම් කොතැන වරදක් සිදුවිනිද? එජාපය තමන් දුටු රතු එලිය ගැන සැලකිලිමත් වෙනවාසේම චන්දදායකයාට බත් කන මී හරක් කියන්නට ඉක්මන් නොවී ජවිපෙද මේ ගැන සොයා බැලිය යුතුය. ජනතාව එසේ මී හරක් වැඩ කරන්නේ තමන් කියන දෙය නොතේරෙන අන්දමට සන්නිවේදනයේ ඇති යම් වරදක් නිසාවත්ද?

තම චන්ද රැස්වීම්වලදී, මුදල් ඇත්තේ අගමැති ලඟ බැවින්   වෙනත් පක්ෂයක් දිනෙවුවොත් බෝක්කුවක්වත් හදන්නට මුදල් නොදෙන බව ලක්ෂ්මන් කිරිඇල්ල කීවේය. පලාත් පාලන ආයතන ක්‍රියාත්මක වන්නේ තම අමාත්‍යංශය යටතේ බැවින් වෙනත් පක්ෂයකට බලය දුන්නොත් මුදල් නොලැබෙන බව ෆයිසර් මුස්තාපා ඇමතිවරයා තර්ජනයක් දැම්මේ හිනැහෙමිනි. දුමින්ද දිසානායක පමනක් නොව ජනාධිපතිවරයා පවා කීවේ පලාත් පාලන ආයතන රජයේ කොටසක් නොවෙතොත් සංවර්ධන කටයුතු සඳහා මුදල් නොදෙන බවය. ඒ අතර අමාත්‍යවරුන් වන සුජීව සේනසිංහ, ජෝන් අමරතුංග ආදීහු තම රජයේ අතීත චණ්ඩි පාට් ගැන මතක් කලහ. මේ සියල්ල හොර මැර වංචා දූෂණ කතාවලට අමතරවය.

මේ සියල්ල සාවධානව අසා සිට චණ්ඩිකමටත් බයනොවී, මුදල් නොදෙන කතාවද ගණනකට නොගත් ජනතාව තම චන්දය පොහොට්ටුවට ප්‍රකාශකර රජයට රතු එලිය දැල්වූහ. මෙහි අදහස කුමක් විය හැකිද? පලාත් පාලන ආයතන තමන්ට තිබුනත් එකයි නැතත් එකයි කියා රජයට දැනෙන්නට ඉඩහැරියා වන්නට නොහැකිය. එබැවින් ජනතාව තමන්ට චන්දය නොදුන් පලියට ‘බත් කන මී හරක්’ ලෙස හංවඩු ගැසීම සුදුසු නොවේ. නමුත් තමන් මේ ආකාරයට චන්දය ප්‍රකාශ කරන්නට හේතුවක් ඔවුන් වෙත තිබෙනු ඇත. කැපුවත් අහවල් පාට යන හේතුවේ සිට තමන් ගෙවන ජීවිතය තමන්ට දැනෙන ආකාරය අනුව මේ හේතු පවතිනු ඇත. උදාහරණයක් ලෙස කිවහොත් ත්‍රස්තවාදී යුද්ධයේ බලපෑම තමන්ට දැනුන ආකාරය මත මේ හේතු පදනම් වීම මින් එකකි.

1977 සහ ඊට පෙර ජනතාවට තිබුනේ කුසගින්න පිලිබඳ හේතුය. බඩ පොත්ත පිටට ඇලෙන ප්‍රමානයට විපක්ෂය බලවත් වූ එකල හාල් සේරු දෙකකට, ඇට රාත්තල් අටකට රජයක් පෙරලීම සුලු දෙයක් විය. 1977 සිට 1994 දක්වා කාලයේ සිදුවූ සිදුවීම් සහ එම රජය අනුගමනයකල ප්‍රතිපත්තීන් තුල, දේශපාලකයාගේ දේශපාලන අභිලාෂයන් මෙන්ම ජනතාවගේ ජීවන අභිලාෂයන්ද සම්පූර්ණයෙන් වෙනස් කලේය. මෙතැනදී එක කොටසක් නිමක් නැති මුදල් හා බලය රැස් කිරීමේ සටනක නිරත වූ අතර ඒ සමගම උතුරේ සහ දකුණේ ඇවිලුන ත්‍රස්තවාදය නිසා අනිත් කොටස කෑමබීම සොයනවා වෙනුවට තම පණ කෙන්ද රැක ගැනීමේ සටනක නිරත වූහ.

මට දැනෙන අන්දමට අද සියල්ලෝම දකින්නේ පසුගිය අවුරුදු දහය පමනයි. අද ජවිපෙ හිතවතුන් මෙන්ම පුරවැසි බලයද පවසන්නේ, හිරගෙදර කූරු ගනිමින් ඉන්න නියමිත වූවන්ට එම ඉරණම අත්කර නොදීමේ පාපය රනිල්-මෛත්‍රී හවුල ගෙවන බවයි. මේ පාඨයම අතීතයටද ආදේශ කල හැකිය. බටලන්ද කොමිසම් වාර්තාව එවැන්නකි. එයටද වගකිව යුතු අයට නිසි දඬුවම් නොලැබුනෙන් අද ඔහු යෙහෙන් වැජඹෙයි. නමුත් පසුගිය දස වසර යනු දශක ගණනක් තිස්සේ පැවත ආ පාදඩ සංස්කෘතියක බලපෑම බව නොවැටහෙන්නේ ඇයි? අද ඔබ කතා කරන තාජුඩීන් හෝ ලසන්ත වික්‍රමතුංග මෙන්ම එජාප පෙර පාලන සමයේ රිචඩ් ද සොයිසා මෙන්ම ප්‍රේමකීර්ති ද අල්විස්, සාගරිකා ගෝමස්, තේවිස් ගුරුගේ ආදී මාධ්‍යවේදීන්ද විජය කුමාරතුංග ස්ටැන්ලි විජේසුන්දර, රෝහණ විජේවීර වැනි විශේෂ පුද්ගලයන්ද, චන්ද්‍රිකාගේ පාලන සමයේ මරා දමනු ලැබූ නිමලරාජන්, රෝහණ කුමාර වැනි අයද සිහිපත් කරන විට මේ ප්‍රශ්න එක දශකයක පමනක් නොව දශක කිහිපයක සිට යලි යලිත් පුනරාවර්තනය වෙමින් එන සංසිද්ධි බව පැහැදිලිය. ඒවාට අදාල මොහොතේ දඬුවම් නොකර චන්ද ගුණ්ඩු ලෙස ජනතාව ඉදිරියේ ප්‍රතිවාදීන් බ්ලැක්මේල් කරන්නට පමනක් යොදා ගන්නා විට ඔවැනි ප්‍රතිඵල අපේක්ෂා කල යුතුය.

එක වරම සමස්ත ජනතාවගේ මතය වෙනස් කරන්නට අපහසු වනු ඇත. නමුත් චන්ද කාලයට පමනක් නැතිව ඉතාම බිම් මට්ටමින් වැඩමුලු පවත්වමින් ජනතාවට යම් නිවැරදි දේශපාලන දැක්මක් ලබා දෙයිනම්! උදාහරණයට ගත හැකි කොපමන දේ ලොව තුල තිබෙනවාද? පොරොන්දු ප්‍රාකාර අනාගතයේ නොමිලේ වයිෆයිද, සෑම ළමයෙකුටම ටැබ් එකක්ද දුන්නොත්, එයින් දෙමව්පියන් දැනුවත් කරන්නට වඩා පහසු මගක් පෑදේවි. ඒවා නැතත් කල යුතු දේ දැන්ම අරඹනවා නම් සුදුසුය. මනුෂ්‍යයා තුල තම ආත්ම ගෞරවය සහ අයිතිවාසිකම් පිලිබඳ හැඟීම ඇති කල දිනට මේ තත්වය වෙනස් වනු ඇත.

කවුරු කාට චන්දය ප්‍රකාශ කලත් මේ වතාවේ සිට දෙගුණ වූ මෙම සභිකයන් ප්‍රමානය නඩත්තු කරන්නට වෙන්නේද ජනතාවටමය. අනික අද පලාත් පාලන ආයතනයට ගොඩවන පුද්ගලයාගේ අභිප්‍රාය එතැනින් නොනවතී. මේ දේශපාලන ගමන් මගේ ඉහලට යන්නට යන්නට ඔවුන්ව කර ගසාගෙන යන්නට වෙන්නේද ජනතාවටමය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress