පළාත් සභා සීමා නිර්ණය පිළිබද සර්ව පාක්ෂික සමුළුවක් වහා කැදවනු.  ඡන්දය කල් දැමීමට දරණ කුමන හෝ උත්සාහයක් පරාජයට කළ යුතුය. 2018 අප්‍රේල් ඡන්ද විමසීම පැවැත්විය යුතුයි
Posted on February 20th, 2018

මාධ්‍ය නිවේදනය විධායක අධ්‍යක්ෂ/කැෆේ සංවිධානය

නව මිශ්‍ර‍ මැතිවරණ ක්‍ර‍මයක් යටතේ පළාත් සභා මැතිවරණයට  පැවැත්වීම සදහා වන සීමා නිර්ණය කිරීමට පත් කරනු ලැබූ කමිටු වාර්තාව අවසන් කර ඇත.  වහා සීමා නිර්ණය පිළිබද සර්ව පාක්ෂික සමුළුවක් කැදවා රජය පොරොන්දු වූ පරිදි 2018 අප්‍රේල් මස සබරගමුව, උතුරු මැද හා නැගෙනහිර පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බව නිදහස් හා සාධාරණ මැතිවරණයක් සදහා වූ ජනතා ව්‍යාපාරය (කැෆේ සංවිධානය) අවධාරණය කරයි.

පළාත් සභා ඡන්දය කල් දමා ගැනීමට දරනු ලබන කුමන හෝ උත්සාහයක් පරාජය කිරීමට කැෆේ සංවිධානය පෙරමුණ ගන්නා බවත්, පොරොන්දු වූ පරිදි 2018 අප්‍රේල් මස උතුරුමැද, සබරගමු හා නැගෙනහිර පළාත් ඡන්දය පැවැත්වීමට කටයුතු කරන ලෙසත් කැෆේ සංවිධානය බලකර සිටී.

2017 අංක 17 දරණ සංශෝධිත පනත මගින් කොට්ඨාශ සහ සමානුපාතික ක්‍ර‍මය යටතේ 50% – 50% අනුපාතනය යටතේ සභිකයින් පත් කර ගැනිමට ඡන්ද ක්‍ර‍මයේ සංශෝධනයක් ඇති කරනු ලැබීය. ඒ සදහා පත් කළ පංච පුද්ගල සීමා නිර්ණය කමිටුව සිය වාර්තාව මාස 4 කින් අවසන් කර පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතාට බාර දී ඇත.

කාන්තා නියෝජනය ඉදිරියට දමා පළාත් සභා ඡන්දය කල් දමා ගැනීමට හොර පාරේ, ව්‍යාවස්ථා විරෝධී සංශෝධනයක් ලෙස එය පාර්ලිමේන්තුවේ පස්සා දොරින් සම්මත කර ගනු ලැබීය.   20 වන ව්‍යවස්ථා සංශෝධනය ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක් වු කරුණු, ජනමත විචාරණයකින් සම්මත විය යුතු වගන්ති ඒ අනුව පනතට ඇතුලත් විය.   ‘‘එජාප-ශ්‍රීලනිප රජයට එල්ල වූ දැඩි විවේචන හා ජනතා විරෝධය හමුවේ මැතිවරණ සිතියම අකුලා දැමීමට‘‘ රජය උත්සහ කරන බව කැෆේ සංවිධානය එදා චෝදනා කළේය.  පාර්ලිමේන්තු විවාදයේ දී රජය අවධාරණය කළේ 2018 අප්‍රේල් මස පළාත් සභා ඡන්දය පැවැත්වෙන බව යි.

පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශය පළාත් පාලන ඡන්දය වසර 2කට වැඩි කලක් කල් දමා ගැනීම සදහා අපකීර්තිමත්, ලැජ්ජා සහගත උත්සාහයක නිරත වූ අතර එය සමස්ථ පළාත් පාලනය අකර්මන්‍ය කිරීමට හේතු විය.  ෆයිසර් මුස්තාෆා අමාත්‍යවරයා ජනතාවගේ විරෝධය නොතකා කටයුතු කළ අතර, එහි අනිසි ප්‍ර‍තිඑල රජය ද, ජනතාව ද, මේ වන විට විදිමින් සිටී.   

ඡන්ද විමසීම් කල් දමමින්, පළාත් පාලනය ආයතන අක්‍රීයවන අයුරින් කටයුතු කළ ලෙසම, පළාත් සභා අක්‍රීය කිරීමට රජය කටයුතු කරයි නම් එය වැලැක්වීමට කැෆේ සංවිධානය සිය උපරිම ශක්තිය යොදා කටයුතු  කරනු ඇත.

කීර්ති තෙන්නකෝන්

විධායක අධ්‍යක්ෂ/කැෆේ සංවිධානය

2018 පෙබරවාරි 20

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress