“පැවති මැතිවරණයේ කාන්තා නියෝජනයේ අනුපාතය වෙනස් කිරීමට කිසිවෙකුට බලයක් නෑ “ – කැෆේ සංවිධානය 
Posted on February 20th, 2018

මාධ්‍ය ඒකකය කැෆේ සංවිධානය 

කාන්තා නියෝජනය නිසා පළාත් පාලන ආයතනවල  සභික සංඛ්‍යාව වැඩිවී ඇති බවට කෙරෙන චෝදනාව පිළිගත නොහැකි බව කැෆේ සංවිධානය පවසයි.  එහි විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා අද (පෙබරවාරි 20) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අවධාරණය කළේ දේශපාලන වුවමනාවන් පදනම් කරගනිමින්  සමානුපාතික සහ කොට්ඨාස ඡන්ද ක්‍රමයට සභිකයින් තෝරා ගැනීමේ අනුපාතය  හිතුවක්කාරී ලෙස වෙනස් කිරීම නිසා මෙම තත්වය ඇතිවී ඇති බවයි. මුලින් සමානුපාතික සහ කොට්ඨාස ක්‍රම වලට සභිකයින් තෝරා ගැනීම 70% ත් 30% ආදී වශයෙන් අනුපාත වලට සිදුකළ යුතු බවට යෝජනා වී තිබුනද පසුව මැතිවරණ ක්‍රමවේදය පිළිබඳව කිසිදු සොයාබැලීමකින් තොරව 60% ත් 40% ත් ආදී වශයෙන් අනුපාතයට වෙනස් කළ බව තෙන්නකෝන් මහතා පෙන්වා දුන්නේය.

පාර්ලිමේන්තුව වෙත පළාත් පාලන පනත ඉදිරිපත් කරන විට එහි කොට්ඨාස ක්‍රමයට 70% ක් සහ සමානුපාතික ක්‍රමය 30% ක් ආදී වශයෙන් නියෝජිතයින් තෝරාගැනීම පිළිබඳව සඳහන් වී තිබූ අතර ඊට ගැලපෙන ආකාරයට සීමා නිර්ණය කටයුතු සිදුවූ බව ඒ මහතා මෙහිදී පැවසීය.  නමුත්  පසුව පාර්ලිමේන්තු  කාරක සභා අවස්ථාවේදී මැතිවරණ ක්‍රමවේදය පිළිබඳ කිසිදු විශ්ලේෂණාත්මක විග්‍රහයක් නොමැතිව   එම අනුපාතය 60% ත් 40% ත් ලෙස වෙනස් කිරීම නිසා සභික සංඛ්‍යාව වැඩි කිරීම නිසා  සභික සංඛ්‍යාව 40%ත් 45%ත් අතර ප්‍රමාණයකින් වැඩිවී  ඇති බව තෙන්නකෝන් මහතා මෙහිදී පෙන්වා දුන්නේය. 

ලංකා ඉතිහාසය තුළ කුඩා දේශපාලන පක්ෂ හා කණ්ඩායම් විසින් වැඩිම දේශපාලන බලයක් හිමිකරගත් අවස්ථාවක් ලෙස මෙම ඡන්ද විමසීම දැක්විය හැකි බව  තෙන්නකෝන් මහතා මෙහිදී පැවසීය.එවන් අවස්ථාවන් හිමිවීම වැරදි යැයි අර්ථ දැක්වීමට උත්සහ කිරීම  දේශපාලඥයින්ගේ අතින් සිදුවූ වැරැද්දක් වසා ගැනීමට දැරූ මුග්ධ, උද්ච්ච ක්‍රියාවක්  බව  තෙන්නකෝන් මහතා මෙහිදි පෙන්වා දුන්නේය.

ඇතැම් පාර්ශව මෙහි කාන්තා නියෝජනය පිළිබඳ ගැටළුවක් ඇති බව හුවා දක්වමින් මැතිවරණ නීතිය නෙතකා කටයුතු කිරීමට ඉඩ දෙන ලෙස ඉල්ලා සිටින බවත්, එලෙස පැවැත්වූ මැතිවරණයක නීති වෙනස් කිරීමට මැතිවරණ කොමිසමට හෝ දේශපාලන නායකත්වයට කිසිදු නීතිමය බලයක් නොමැති බව ද තෙන්නකෝන් මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

මාධ්‍ය ඒකකය 

කැෆේ සංවිධානය 

2018 පෙබරවාරි මස 20 වැනිදා 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress