කවදා පායයිද ඒ සූර්යයා
Posted on February 24th, 2018

 උපුටාගැණීම  මව්බිම

අදින් පසු එළැඹෙන සියලුම දිනයන් මෛත්‍රිගෙ ආණ්ඩුවට ඉතාමත් තීරණාත්මක වන කරුණු කාරණා සැකසෙමින් පවතින මොහොතකි. එය විදෙස් මාධ්‍ය කිහිපයකද සඳහන් වීම විශේෂයකි. මෙහි ප්‍රධානම තර්කය ඔවුන් ගොඩනැඟුවේ “දේශපාලන අස්ථාවරත්වය” නිසා රට ආපස්සට යන බවක් දක්වමිනි. ඉන්දියාවේ ඊඩඥ ඩ්ඪදඤභ පුවත්පත දැක්වූ අදහස් වැදගත්ය.

“ශ්‍රී ලංකාව සැබැවින්ම මේ අවස්ථාවේදී දේශපාලන අර්බුදයකය. ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශ්වකරුවන් වූ ප්‍රධානම දේශපාලන පක්ෂ දෙක ඉකුත්දා පැවැත්වූ පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල නිසා බලය ස්ථාපිත කර ගැනීමේ දරුණු ක්‍රියාන්විතයකය. ඉනුත් ශ්‍රී ලනිප නායක සිරිසේන ජනාධිපතිවරයාත්, එජාප නායක වික්‍රමසිංහ අගමැතිවරයාත් තමන්ගේ ස්ථාවරයන්හිම රැඳෙමින්, තමන් ජයග්‍රාහී තත්ත්වයකට සමීප වීමේ දරුණු උත්සාහයකය. මේ නිසාම දෙදෙනාගේම පාර්ශ්වයන් එළැඹි, “ජාතික රජයේ” පැවැත්ම බරපතළ අර්බුදයකය.

එකට, එක්ව ආණ්ඩු කළ ගමනේ අතර මැදදී සිරිසේන ජනාධිපතිවරයා තමන්ගේ අගමැතිවරයා වෙනත් පක්ෂයක නායකයකු බව නොකියා කියමින් මැතිවරණ ව්‍යාපාරයේදී ප්‍රබල ලෙස දුර්ගුණ කියමින් ප්‍රහාරාත්මක ස්ථාවරයකින් පිටුදැකීම එජාපයට තදින් බලපා තිබිණි. එක්ව ගියත් සිරිසේන ජනාධිපතිවරයා වික්‍රමසිංහ අගමැතිවරයාගේ ආර්ථික ප්‍රතිපත්ති හා මතයට එරෙහි වූ බවක් ඇතුළතින් දැක්වීම මෙහි සැබෑ හරය ය.

මැතිවරණ ප්‍රතිඵලවලින් සිරිසේන ජනාධිපතිවරයාගේ දේශපාලන බලවේගය හිටපු ජනාධිපති රාජපක්ෂ විසින් පරාජයට පත් කරනු ලැබ තිබියදී සිරිසේන ජනාධිපතිවරයා ඒ බලවත් පරාජය හමුවේ අගමැති රනිල්ට ඉල්ලා අස්වන්නට බල කිරීමත් මේ මොහොතේ සුවිශේෂ ලෙස කැපී පෙනෙන සිදුවීමක්ව ඇත.
එහෙත් අගමැති රනිල් ව්‍යවස්ථාවේ ස්ථාවරය හොඳින් දකිමින් එසේ ඉල්ලා අස්වන්නට සූදානමක් නැති බව පෙනෙයි. සිරිසේන ජනාධිපතිවරයාගේ බල අරගලය දිනවන්නට ඔහු වටා සිටින්නවුන් කොතෙක් උත්සාහ ගත්තද බහුතර බලය ඇත්තේ තවමත් වික්‍රමසිංහ පාර්ශ්වයට බව පෙනෙන්නට ඇත. එබැවින් බොහෝ දුරට කැබිනට් සංශෝධනයක් සිදු කෙරෙන්නට ඉඩ ඇති අතර එහි නවතාවක් දකින්නට අගමැති රනිල්ද අදහස් කරන බැව් පෙනෙයි. ජනාධිපති මෛත්‍රිට ඔහු කලින් දැරූ ප්‍රහාරාත්මක ස්ථාවරයෙන්ම ඉන්නට පුළුවන් වේදැයි සැක සහිතය.

ඉන්දියාවේ ස්ථාවරයට පිටින් ගිය ආණ්ඩු හැදෙනවාට ඉන්දියාවද කැමැති නැතිවා සේම ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ ගැටලුවලට විසඳුම් ගෙනෙන දේශපාලන එකඟතා ඇති රජයක් දැකීම ඉන්දියාවේ ද ස්ථාවරය ය. එනිසාම සිරිසේන – වික්‍රමසිංහ සන්ධානය තවදුරටත් දිගට පවත්වාගෙන යා යුතුය. මේ අනුව ශ්‍රී ලංකා දේශපාලන ස්ථාවරය නැතිවී යෑම තුළින් මතුවන අස්ථාවර ආණ්ඩුවකට ඉන්දියාවද කැමැති නැත”.

(ඊඩඥ ඩ්ඪදඤභ)
මේ ශ්‍රී ලංකාවේ දේශපාලනය පිළිබඳව අසල්වාසී ඉන්දියාවේ හද ගැහෙන අයුරුය. එරට ප්‍රබලම ජාතික පුවත්පත එය දුටු හැටිය. ඉන් කියැවෙන ඉන්දියානු ස්ථාවරය පැහැදිලිය.

අර්බුදය කොතරම් බරපතළද යන්න පැහැදිලි වන්නේ ජනාධිපති සිරිසේන රනිල් හා ගොඩනැඟුණු එජාප බහුතරයත්, එම ඡන්ද දායකයනුත් පිළිකුල් කරමින් තමන්ට ඕනෑ කරන පාලනයකට හිස එසැවීමට ඉඩ හසර සපයන වැඩපිළිවෙළකට යෑම නිසාය. එහෙත් මෛත්‍රි, ඇත්තටම මෙවැනි තැනකට තල්ලු වී ගියේ රනිල්ගේ ආර්ථික ප්‍රතිපත්ති හා නොගැළපුම් තිබීමත්, මහ බැංකු මගඩි ද නිසා හටගත් කලබැගෑනිය ද නිසාවෙන්ම යැයි සිතන්නට, සැක කරන්නට ඉඩ හසර සැපයෙන කතාද, විවේචනද ඇත.
“ඡන්දෙට ඉස්සර ඉඳලා මෛත්‍රිගෙ උත්සාහය තිබුණේ, බලාපොරොත්තුව තිබුණේ. මහින්ද පරදින, ශ්‍රී ලනිපය බහුතර ආසන ගණනක් ගන්නා ප්‍රතිඵලයක්ය. මෛත්‍රි හිතුවේ මහින්ද පරාද වීම නිසා දේශපාලන වශයෙන් ද මහින්දව ඉවර කරන්නට ශක්තියක් ලබා ගන්නටයි. ඒකටම හරියන කේවට්ටයෝත් හිටියා. ලණුත් දුන්නා. ඒවා මෛත්‍රි හොඳහැටි කෑවා. ඒ නිසා ස්ථාවර දෙකකින් පහර දීලා තමන්ගේ ඡන්ද ගොඩ වැඩිකර ගන්න මෛත්‍රි හිතුවා. එක් පැත්තකින් රනිල් හොරා කියලා නොකියා කියමින් තමන් ළඟ ඉන්න හොරු රැක්කා. අනිත් පැත්තෙන් මහින්ද හොරා කියලා කෙළින්ම කියමින් ශ්‍රී ලංකා ඡන්ද කඩා ගන්න පුළුවන් කියලා හිතුවා. කොහොමද ප්‍රතිඵලය. මෛත්‍රි තමයි අන්තෙටම පැරදුණේ. එයා කියපු දේ ජනතාව ඇහුවේ නෑ. සමහර තැන්වලදී ජනතා විමුක්ති පෙරමුණටත් පිටුපසින් ඉන්න වුණු ප්‍රතිඵලයක් තමයි එයාට ලැබුණේ. හරි නම් මෛත්‍රි තමයි ඉල්ලා අස්වෙන්න ඕන”

මේ එජාප ප්‍රබලයන්ගේ ස්ථාවරය ය. ඔවුන් මේ සඳහා සියලු කරුණු රැස්කරමින් සිටියෙත් නිකමට වෙන්න බැරිය. තවත් සමහරුන් කියන්නේ…
“මේ ප්‍රතිඵලය ආණ්ඩුවක් හැටියට හරි ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන්න බැරි මෛත්‍රිට දුන්න හොඳම සංඥාවක්. එක්සත් ජාතික පක්ෂයටත් තමන්ගෙ ඊළඟ පිම්ම පනින්න ඉස්සර හදා ගන්න ඕන වෙන අඩුපාඩු ගැන මතක් කර දීමක්. තවත් පැත්තකින් කිව්වොත් කොයි තරම් “හොරා”ය කිව්වත් මහින්ද යුද්ධය දිනා ඇති නායකයාය කියා ගෞරව කිරීම මිනිස්සු අමතක කරලා නෑ. ඒ නිසා හොඳම සහ සැබෑම පරාජිතයා මෛත්‍රියි. මෛත්‍රි මේක හංගගෙන, හැංගිලා ඉන්න හදන්නෙත් ඒකයි. එයාට අවනත කට්ටියක් දාගෙන “කබල් ආණ්ඩුවක්” හරි තියාගෙන කාලය ඉවර වෙනතුරු ජනාධිපතිකම් කරන්නයි ප්ලෑන් එක”

මේ… මහින්ද පිලේ ප්‍රබලයන් වගේම එම පිලට හද බැඳ ගත්ත ජනතාව පළ කරන මතයයි. මේ සියල්ලටම නතු නොවී මධ්‍යස්ථව හිතන අය කියන්නේද
“මෛත්‍රි ගහන ඔය ගැටවලට මහින්ද අහුවෙන එකක් නෑ. මෛත්‍රිට හිතවත් ආණ්ඩුවක් හදාගෙන මහින්දලාව කොටු කර එයාගෙ ඊළඟ පියවරට හීන්සීරුවේ ශක්තියක් ලබා ගන්න මෛත්‍රි උත්සාහ ගන්නවා නම් එයාව පරද්දන්න මහින්ද හොඳම දේ කරාවි”ය කියලාය. එය බොහෝ දුරට විය හැකි යැයි සිතන්නට පුළුවන් කරුණු කාරණා පෙළ ගැසෙමින් පවතින්නේය.

තත්ත්වය මෙසේ තිබියදී තවදුරටත් මෛත්‍රිට නම් මහින්දගෙන් ගැලවී ගොස් තමන්ට ඕනෑ කරන බහුතරයක් හදාගෙන, ඔහුට “ඕනෑ කරන ආණ්ඩුවක්” හදා ගැනීම දැන් දුෂ්කරය. එජාපයෙන් සෙලවෙන එක අතක් දෙකක් තිබෙන්නට පුළුවන් වුවත් ඒකාබද්ධයෙන් මේ මොහොතේ නම් ගලවා ගන්නට පුළුවන් කෙනකු නැත. එතොත් ඒ එන්නේ මෛත්‍රිගේ හොඳකට නම් නොවේ. රනිල්ගේ පිලෙන්ද, මහින්දගේ පිලෙන්ද පිරිසක් හදා ගන්නට බැරි නම් ඉතිරිය දෙමළ සන්ධානයෙන් ගන්නට මෛත්‍රිගේ ලුණු ගොරකා මදිවනු ඇත. එසේ නම් ඉතිරි වන්නේ මහින්දවත් එපා වූ රනිල්වත් එපා වූ මෛත්‍රි වටා සිටින අතළොස්සක් වන් “ඇච්චන් බැච්චන්” කිහිප දෙනකු පමණය. ඒ නිසා මෛත්‍රිට ඕනෑ කරන ආණ්ඩු හදන සිහිනය බොඳ වන තැනකය.

මේ තත්ත්වය දැනගත් නිසාදෝ, මෙහෙයුම අසාර්ථක වූ නිසාදෝ, ශ්‍රී ලනිපය ආණ්ඩුවේ තවත් මාසයක් පමණ රැඳී සිටින කතාවක් එළියට ආවේය. තවදුරටත් ආණ්ඩුවේ සිටිමින් “වෙනම කණ්ඩායමක්” ලෙස කටයුතු කරනවා යන්න ද එතරම් ආකර්ෂණීය උත්සාහයක්ද නොවන්නේය.
“රනිල් අගමැතිකමෙන් යැව්වොත් මහින්දලා කොටු කරන වැඩේ ලේසියි” කියා මෛත්‍රි පාර්ශ්වයේ ප්‍රබලයන්ගේ මේ අදහස්වලටද වටිනාකමක් නැති වන්නේය.
රනිල් යවා, තමන්ට අවනත සිරිපාලලා ගෙන්වා ගැනීමෙන් මෛත්‍රි කරන්නට යන දේ ද දෙගිඩියාවකය. මේ මොහොතේ ඒ අනුව මෛත්‍රිට විශ්වාසය තබන්නට කිසිවකුත් ඉතිරි වන්නේ නැති තරම්ය. එසේද නොවී සජිත් හෝ කරු දාගන්නටද පරක්කු වැඩිය. බැරිම තැනකය.
“මහින්දගෙන් කට්ටිය ගත්තත් එකයි, රනිල්ගෙන් ගත්තත් එකයි. ඒ නිසා කොහෙන් ගත්තත් හිසරදයක්ම තමයි. ඊට වඩා නරකද මේ තියෙන විදිය එහෙන් මෙහෙන් හදාගෙන යන එක” ය කියා මෛත්‍රිට උපදෙස් දෙන පිරිස්ද ඇත.
මෙම දේශපාලන බල අරගලයේ ප්‍රතිඵලය නිසා දේශපාලන අස්ථාවර භාවය නිසාම හටගත් අර්ථිකයේ කඩා වැටීම්ද ඉදිරියේදී තවත් මතුවීම වැළැක්විය නොහැකිය. වත්මන් මහ බැංකු අධිපති කුමාරස්වාමි මහතා කියන විදියට ඔහු සැක පහළ කරන්නේ
“ආර්ථික ඉලක්කය බලාපොරොත්තු වූවාටත් වඩා පසුපසින්. ඉලක්කය වැරදුණොත් රජයේ ආර්ථික උපක්‍රමික ලියවිල්ලද මුළුමනින්ම පුස්සක් වේවි. ඒ අනුව 2025 ඉලක්කය ද පුස්සක් වේවි. 2018 සහ ඉන් පසු කාලය සඳහා වන මූල්‍ය ප්‍රතිපත්තිය පීලි පනින්න පුළුවන්. දේශීය මූල්‍ය තත්ත්වය අයහපත් අතට හැරී ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික මාර්ග සිතියම අවුල් වේ යැයි බියක් තියෙනවා”

යනාදී වශයෙනි. මෙය මෛත්‍රි මෙන්ම රනිල්ටත් ආණ්ඩුව භාර ගන්න ඉන්න කවරකුටත් ඒ හැටි හොඳ වන්නේ නැත.
රටක වෙළෙඳපොළ අස්ථාවර වීම බරපතළ තත්ත්වයකි. රටේ අස්ථාවර බව සෘජුවම එරට ආයෝජනයන් අඩු කරන්නට හේතු වෙයි. එම තත්ත්වය මැද ආයෝජන අරමුදල් රටින් පිටට ගලා යන්නට පටන් ගන්නේය. එසේ රටින් පිටට මුදල් ගලා යෑම ආරංචි වීමෙන් රුපියලේ අගය තවදුරටත් බාල්දු වන්නේය.
ඊට විසඳුමක් දෙන්නට මෙන් උසස් පෙළ සිසුන්ට ලබා දීමට නියමිතව තිබුණු ටැබ් පරිගණක ප්‍රදානය වහාම අත්හිටුවීම මෛත්‍රි මූලික වීමෙන් කිරීම නිෂ්ඵල දෙයකි. එහෙත් ඊට වඩා මූල්‍ය අපරාධ සිදුවන අවස්ථා බොහෝය. දිනක පාර්ලිමේන්තු රැස්වීමක් පවත්වන්නට රු. ලක්ෂ 45ක් වැය වන රටක පසුගියදා පාර්ලිමේන්තු විවාදය පැවැත්වූ විනාඩි 45 වියදම දරුණුය. සහභාගි වූ මන්ත්‍රි සංඛ්‍යාව 20කටත් අඩුය.

එහෙත් සිංගප්පූරුව 2017 වසරේදී වාර්තා කළ අය වැය අතිරික්තයෙන් එරට වෙසෙන වයස අවුරුදු 21 සහ ඊට වැඩි සියලු පුරවැසියන්ට සිංගප්පුරු ඩොලර් 300ක් දක්වා බෝනස් මුදලක් දෙන්නට තීරණය කර ඇත. එහෙව් තීන්දුවක් ගන්නට එරට රජයට හැකිවී තිබෙන්නේ සිංගප්පූරු ඩොලර් බිලියන 10ක අතිරික්තයක් වාර්තා වීම නිසාය. අතිරික්ත බෝනස් දෙන අතර සෙසු ඉතිරි මුදලින් දුම්රිය යටිතල පහසුකම් නංවන්නත්, නව දුම්රිය මාර්ග සඳහා ආයෝජනය කරන්න තරම් ඉදිරියෙන් සිටින්නේය.

එහෙත් මේ කලබැගෑනි මැද අප කවදා එතැනට යන්නද? කවදා පායයිද ඒ සූර්යයා?

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress