රනිල් මහත්තයෝ දැන් කොරපු වැරදි කිව්වනම්……
Posted on February 25th, 2018

මලින්ද සෙනවිරත්න

‘පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල වලින් පෙනෙන්නේ අපගේ වැඩපිළිවලට ජනතාව අකමැති බවයි. අපි එයාලගේ බලාපොරොත්තු බිඳදමලයි තියෙන්නේ. ඒ නිසා අපි තීරණය කෙරුව අපේ වැරදි නිවැරදි කරගෙන ඉදිරියට යන්න.’

මෙහෙම කියන්නේ අගමැතිතුමා. ඒ කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ.  නිහතමානී මනුස්සයා.  වටිනා කියන මනුස්සයා.  ආඩම්බර විය යුතුයි එහෙම කෙනෙක් අපේ රටේ අගමැති වීම ගැන, මන්ද ‘අපි වැරදි කරලා තියෙනවා’ කියල කියන්න තරම් නිහතමානිකමක්, කොන්දක් ඇති දේශපාලනඥයින් අඩු නිසා.

ඇත්තටම ‘අපි පැරදුනා’ කියනකොටම මංගල සමරවීර ට වගේම රාජිත සේනාරත්නටත් කනේ පහරක් වදින්න ඇති.
 එයාල කියන විදිහට ආණ්ඩුව පැරදිලා නැහැනේ. මහින්ද ලා නේ පැරදිලා තියෙන්නේ.  දැන් ඉතින් වෙච්ච දේ ගැන නිල නිවේදනයක් රනිල් ම නිකුත් කරලා තියෙනවා. පස්සේ රාජිතටත් මංගලටත් සොරි කිව්වද දන්නේ නැහැ. කියන්න ඇති කියල හිතෙනවා.  අපේ අගමැති තුමා නිහතමානි වගේම එඩිතරයි.  එඩිතරයි විතරක් නෙමෙයි, නියම ජෙන්ටෙක්. ඒ කිව්වේ ජෙන්ට්ල්මන් කෙනෙක්.  මහත්තයෙක්.

ආයෙත් මතක් කරමු එතුමා කියපු දේ.

‘අපි, ඒ කියන්නේ ආණ්ඩුව, පරාදයි. ජනතාව අපව ප්‍රතික්ෂේප කරලයි තියෙන්නේ. එයාල බලාපොරොත්තු වුන දේවල් අපි කරලා නැහැ. කරලා තියෙන්නේ බලාපොරොත්තු නොවුන දේවල්.’
  
රයිට්. දැන් අපි සීරියස් කතාවකට යමු.

රනිල් කියනවා වැරදි හදාගෙන ඉදිරියට යන්න තීරණය කෙරුව කියල.  ඒ කියන්නේ රනිල් පිලිගන්නවා වැරදි කෙරුව කියල.  ඒ වුනාට රනිල් කියල නැහැ අපි මේ වැරැද්ද කෙරුව, අර වැරැද්ද කෙරුව කියල. වැරදි සේරම ලැයිස්තුවකට දැම්මේ නැහැ. දාන පාටකුත් නැහැ.  බලාපොරොත්තු බිඳ දැමුවා කියල පිලිගත්තට බින්දේ මොන බලාපොරොත්තු ද කියල රනිල් විස්තර කරලා නැහැ.

නොකීව එක ගැන කලබල විය යුතු නැහැ.  කොහොමත් මේ දවස් වල මෛත්‍රිපාල ජනාධිපතිතුමා එක්ක අමනාප වෙලා ඉඳල නැත්තම් අමනාපයි කියල පෙන්නලා ආයෙත් යාලු වෙන්න නැත්තම් යාලු වුන බව පෙන්නන්න මහන්සි වෙන්න ඇතිනේ.  අනික කැබිනට් සංශෝධනය. ඒකත් බරපතල වැඩක් නේ.  ඉතින් ඔය හිසරද සුව වුනාට පස්සේ අපේ බය නැති, නිහතමානී අගමැති තුමා, රනිල් වික්‍රමසිංහ මහත්තයා, කරපු වැරදි වගේම බිඳ බලාපොරොත්තු කියයි කියල හිතුව. ඒ ගැන කිසිම සැකයක් තිබුනෙත් නැහැ.  එතුමා එඩිතරයි නේ. නිහතමානියි නේ.

දැන් ඉතින් මෛත්‍රී එක්ක තිබුන ‘ප්‍රශ්ණය’ විසඳිලා තියෙන්නේ. කැබිනට් එක සංශෝධනය කෙරුව කිව්වට මහා දෙයක් කෙරිලා නැහැ. සාගලගේ නමට තිබුන ඒ වුනාට තමන් ම බලාගත්ත ‘නීතිය සහ සාමය’ විෂය නිල වශයෙන් තමන්ටම පවරා ගැනීම හැරුන විට කයිවාරු ගහන්න තරම් කැබිනට් සංශෝධනයක් කරලා නැහැ.  ඔය ටික කරගන්න සති දෙකක් මහන්සි වෙන්න අවශ්‍ය වෙනවා කියන්නේ අපේ අගමැති තුමා එඩිතර වුනාට, නිහතමානී වුනාට සරල වැඩක් කරන්නවත් බැහැ කියන එකයි. එක්කෝ ඇඟ හොරයි.  නැත්තම් කයිවාරුව ලොකුයි කෙරුවාව අල්පයි.

පේන හැටියට අගමැති තුමාට හුස්ම ගන්න වත් ඉඩක් තිබිල නැහැ කියන එක නම් බොරු.  ඒ වුනාට දැන් එහෙම කියන්නවත් බැහැ. හොඳට හුස්ම ගන්න බවක් පේනවා. හොඳට හුස්ම ගත්ත බවත් පැහැදිලියි.  ඉතින් අපේ නිහතමානි අගමැතිතුමාට දැන් වංගු ගහන්න බැහැ. ඇල වෙන්න බැහැ. මග හරින්න බැහැ. වැඩ වැඩියි කියන්න බැහැ.

නිහතමානී අගමැති තුමා දැන් කෙලින් කතා කරන අගමැති බවට පත් වෙන්න ඕන.  මෙච්චරයි කියන්න තියෙන්නේ: මොනවාද කරලා තියෙන වැරදි? මොන බලාපොරොත්තුද බින්දේ?

දැන් අර පරණ කතා නම් බැහැ හොඳේ? ඒ කියන්නේ ‘හොරු ඇල්ලුවේ නෑ’ වගේ දේවල් ඔට්ටු නෑ. ඇත්තටම ඒවා කිව්වට ප්‍රශ්නයක් නෑ, ඒත් ඉතැනින් නවතින්න බෑ. කරනවා කියල නොකරපු දේවල්, නොකරනවා කියල කරපු දේවල්.  ඒවා තමයි කියන්න ඕන.

ෂෝට් ඇන්ඩ් ස්වීට් කියන්න තියෙන්නේ එච්චරයි.  නිහතමානී, බය නැති අගමැතිතුමෝ, අපි නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්නවා….   

2 Responses to “රනිල් මහත්තයෝ දැන් කොරපු වැරදි කිව්වනම්……”

  1. Leela Says:

    දැන් දසක කීයක් රනිල් පක්ෂ නායකද? ඒ දීර්ග කාලය තුල එජාපයට පරාජයන් කීයක් අත් උනාද? එජාපය වෙනුවෙන් පිටස්තරයන් ජනාධිපති අපේක්ෂක කොරල රනිල් චන්ද කීයක් මග හැරියද? අන්තිමට සිරිසේන දිනවල මේ කොරගන තියන වින්නැහිය ගැන අපේ ගම් වල කැපුවත් කොල උන්ට උෟරැ ජුවල්. ඉතින් පර ගැති එජාප විරෝධී අපට බය වෙන්න දෙයක් නැහැ. රනිල් මැරෙන්නෙත් පක්ෂ නායක හැටියටමය්.
    මට ප්‍රශ්ණයක් තියනවා. අැත්තටම එජාපය රනිල් අල්ලගෙනද රනිල් එජාපය අල්ලගෙනද?

  2. Dilrook Says:

    Ranil has hand-picked his henchmen who are the majority of UNP MPs. The party membership gets no opportunity to change him. There are caste problems as well. Sajith belongs to a low caste and UNPers worry losing Tamil votes on the caste matter if he becomes party leader. Same applies to Mangala, Harin, Ranjan, etc.

    UNPers motto seems to be ‘ape gona apata honda’. Funnily enough they actually sang this when Ranil faced a similar threat a decade ago! Shows the mentality of the average UNPer.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress