“මඟ නැගුම සභාපති වරයා එජාප මැතිවරණ මෙහෙයුම් ප්‍රධානියා ලෙස කටයුතු කරලා “ – කැෆේ සංවිධානය කියයි
Posted on February 28th, 2018

කීර්ති තෙන්නකෝන් විධායක අධ්‍යක්ෂ/කැෆේ සංවිධානය

මඟ නැගුම සභාපතිවරයා පසුගිය පළාත් පාලන මැතිවරණ සමයේ රාජ්‍ය  සේවයේ නිරතවන අතරතුර දේශපාලන ක්‍රියාකාරිකයෙකු ලෙස කටයුතු කර ඇති බවට කැෆේ සංවිධානය  මැතිවරණ කොමිසම වෙත පැමිණිලි කරයි. පසුගිය පළාත් පාලන මැතිවරණ සමයේ එක්සත් ජාතික පක්ෂ  මැතිවරණ මෙහෙයුම් කාර්යාල ප්‍රධානියා ලෙස කටයුතු කළ රජිව් සෙනවිරත්න නැමත්තා පිළිබඳව කැෆේ සංවිධානය මෙසේ පැමිණිලි කර තිබේ. මෙම පුද්ගලයා උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍යාංශයට අනුබද්ධ ‘මග නැගුම’ ආයතනයේ සභාපතිවරයා  ලෙස කටයුතු කරන අතරතුර එක්සත් ජාතික පක්ෂ මැතිවරණ මෙහෙයුම් කාර්යාල ප්‍රධානියා ලෙස  මැතිවරණ කොමිෂණ් සභාව සහ මැතිවරණ නිරීක්ෂණ ආයතන සහ වෙනත් ආයතන සමඟ  ලිඛිත ගණුදෙනු පවා සිදුකර ඇති බව කැෆේ සංවිධානය සඳහන් කරයි.
 
මේ බව සඳහන් කරමින් කැෆේ සංවිධානය මැතිවරණ කොමිෂන් සභාව වෙත යවන ලද ලිපිය පහත දැක්වෙයි. 
 
2018 පෙබරවාරි 27
 
ලේකම්, 
මැතිවරණ කොමිෂන් සභාව, 
රාජගිරිය, 
 
ආර්. එල්. ඒ. එම්. රත්නායක මහතා, 
කොමසාරිස් ජෙනරාල්, 
මැතිවරණ කොමිෂන් සභාව. 
 
මහත්මාණෙනි, 
 
මග නැගුම සභාපතිවරයා ලෙස කටයුතු කරන අතර එජාප මැතිවරණ මෙහෙයුම් කාර්යාල ප්‍ර‍ධානී තනතුරේ කටයුතු කිරීම – පළාත් පාලන ඡන්ද විමසීම සමයේ මහජන දේපල අයථා පරිහරණය, මැතිවරණ කොමිෂන් සභා නියෝග සහ ආයතන සංග්‍ර‍හය සහ මුල්‍ය රෙගුලාසි උල්ලංඝනය කිරීම සම්බන්ධ පැමිණිල්ල
 
එජාප මැතිවරණ මෙහෙයුම් කාර්යාල ප්‍ර‍ධානී ලෙස මැතිවරණ කොමිෂන් සභාව, මැතිවරණ නිරීක්ෂණ ආයතන සහ වෙතත් ආයතන සමග රජීව් සෙනෙවිරත්න නැමති අයෙකු 2018 පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව ලිපි සහ ලේඛනවලට අත්සන් තබා ඇත. මොහු පිළිබද සොයා බැලීමේ දී පහත කරුණු අපගේ නිරීක්ෂණයට ලක්වී ඇත. 
 
රජීව් සෙනෙවිරත්න නැමැත්තා, උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍යාංශයට අනුබද්ධ ‘මග නැගුම’ ආයතනයේ සභාපතිවරයා ය. ඒ බව එම ආයතනයේ නිල වෙබ් අඩවියේ ද දැක්වේ.  http://maganeguma.lk/about-us/  
 
ඔහු පළාත් පාලන ඡන්ද විමසීම සමයේ දී රජයේ ඒකාබද්ධ අරමුදලින් වැටුප් සහ දීමනා ලබන අතර, විධිමත් කාර්ය පටිපාටියෙන් තොරව, නියමිත අනුමැතියක් නොලබා එක්සත් ජාතික පක්ෂය ප්‍ර‍වර්ධනය කිරීමේ කාර්යයෙහි නිරත වෙමින් මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ ප්‍ර‍ධානී ලෙස කටයුතු කර ඇත. තවද, මැතිවරණ මෙහෙයුම් කාර්යාල ප්‍ර‍ධානීවරයා ලෙස මැතිවරණ කොමිෂන් සභාව, මැතිවරණ නිරීක්ෂණ සංවිධාන, පොලිස් දෙපාර්තමේන්තුව සහ වෙනත් ආයතන වෙත ලිපි  ලේඛන ලියා ඇත. රජයේ සේවකයෙකු ලෙස කටයුතු කරමින්, පක්ෂ ප්‍ර‍වර්ධනය සදහා කටයුතු කිරීම මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර ඇති නියෝග/උපමාන පමණක් නොව ආයතන සංග්‍ර‍හයේ විධි විධාන හා රජයේ මුල්‍ය රෙගුලාසි උල්ලංඝනය කිරීමකි.   
 
මැතිවරණ කොමිෂන් සභාව වෙත ලිපි දුසිම් ගණනක් යොමු කළ මේ පුද්ගලයා පසුගිය ඡන්ද විමසීම අතරතුර මහජන දේපල අයථා පරිහරනය, මානව සම්පත් අයථා පරිහරණය, රාජ්‍ය සේවකයින් විසින් දේශපාලන පක්ෂ ප්‍ර‍වර්ධනය පිළිබද ජීවමාන සාක්ෂිය කි.  රජීව් සෙනෙවිරත්න, මැතිවරණ කටයුතු සදහා භාවිත කළ දුරකතනය, වාහන, සහ වෙනත් ද්‍ර‍ව්‍ය බහුතරයක් මේ රටේ බදු ගෙවන ජනතාව විසින් දරා ඇති ද යන්න විධිමත් විමර්ශනයක් මගින් තහවුරු කර ගත හැකිය. 
 
2008 සිට 2015 දක්වා පසුගිය රජය යටතේ මහජන දේපල අයථා පරිහණය සම්බන්ධයෙන් විශාල වශයෙන් පැමිණිලි කළ මෙම පුද්ගලයා අද එම ව්‍යවහාරයම සිදු කරමින්  සෘජුව මැතිවරණ කොමිෂන් සභාව සමග ගණුදෙනු කරන බව මේ දක්වාම රහසක් වශයෙන් පැවතීම පුදුමයට කරුණකි.  
එබැවින්, මේ සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් පවත්වන ලෙසත්, එහ ප්‍ර‍තිඑල මා වෙත දන්වා එවීමට කටයුතු කරන ලෙසත්  ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි. 
 
සටහන – මෙම ලිපියේ පිටපතක් එජාප මහ ලේකම් කබීර් හෂිම් මහතා වෙත ද, රජීව සෙනෙවිරත්න මහතා වෙත ද යොමු කර ඇත.  ඔවුන් 2018 මාර්තු 5 දිනට පෙර මේ පිළිබද විධිමත් පැහැදිලි කිරීමක් සිදු නොකරන්නේ නම්, මෙම ලිපිය/පැමිණිල්ල ජනමාධ්‍ය වෙත නිකුත් කිරීමට කටයුතු කරන බව ද කාරුණිකව සටහන් කර ගන්නා මෙන් ඉල්ලමි. 
 
මෙයට හිතවත්, 
 
 
කීර්ති තෙන්නකෝන්
විධායක අධ්‍යක්ෂ/කැෆේ සංවිධානය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress