ලිප ගිනි මොලවන තෙක් දිය සැලියේ….
Posted on March 11th, 2018

තේජා ගොඩකන්දෙආරච්චි

පුද්ගලිකව සිදුවන සිද්ධීන් දේශපාලනික දෘෂ්ඨි කෝණයෙන් දකින්නට තැත් කරනවිට මෙවැනි විනාශයන් සිදුවේ. මෙය එක ජන කොටසකට පමනක් අදාල නොවේ. සෑම ජනවර්ගයකටම අයත් දේශපාලකයන් තම තමන්ගේ බලය තහවුරු කරගන්නට දරන උත්සාහය තුල සැම විටම අපයෝජනය වනුයේ ‘තමන්ගේ වරිගයේ’ සාමාන්‍ය මිනිසුන්ය. ප්‍රභාකරන් ඇතුලු ඔහුගේ සගයන් ඉදිරියට ගෙන ආවේ එකල රාමනාදන්ලා, චෙල්වනායගම්ලා විසින් සාමකාමී විරෝධතාවන් තුලින් ගෙනගිය සටනය. ශ්‍රී ලාංකික ජනතාවට සර්වජන චන්ද බලය ලැබුනහොත් තමන් සුලු ජාතියක් ලෙස කොන්වනු ඇති බව පවසමින් එය වැලැක්වීමට එංගලන්තයේ රජු හමුවූ ශ්‍රීමත් පොන්නම්බලම් රාමනාදන් කී අනාවැකිය ප්‍රායෝගිකව තහවුරු කලේ, 1947 න් පසු ගොවි ජනපද බිහිකරද්දී, ඊට විරෝධය පෑ සහ ප්‍රථමයෙන්ම ජන වර්ගයක නමක් යොදාගෙන දේශපාලන පක්ෂයක් බිහිකල චෙල්වනායගම්ලාය. ඉන් පල නෙලාගත්තේ 1956 දී ජාතිකත්වය ඉදිරියට දමමින් මහජන එක්සත් පෙරමුණ හරහා බලය ලබාගත් බණ්ඩාරනායක රජයයි. එම ජයග්‍රහනයට,  ‘සිංහලය’ රජ බස කරන බවට ලබාදුන් පොරොන්දුව උත්තේජක සැපයීය. ඒ අනුව, සිදුවූ වරද, නිවරද කරන්නට බණ්ඩාරනායක – චෙල්වනායගම් ගිවිසුම ඉදිරියට ගෙනාවිට, ඊට විරුද්ධව ජනතාව පාරට ගෙන ආවේ ජේ. ආර්. ජයවර්ධන ප්‍රමුඛ විපක්ෂයයි. මේ හේතු මත 1958 සිංහල – දෙමළ කෝලාහල ඇතිවූ අතර යම් ජාතීන් අතර වූ සමගිය යම් ප්‍රමානයකින් ඉරි තැලිනි. ඉන් තදබල ලෙස බැටකෑ අයගේ සිත් යලි පාස්සනු නොහැකි ලෙස බිඳී යන්නට ඇත. නාරායන්සාමි විසින් ලියන ලද ප්‍රභාකරන්ගේ චරිතාපදානයෙහි සඳහන්වන ආකාරයට ඔහුගේ සිතට, ශ්‍රී ලංකාව තුල තම ජනවර්ගයට සිදුවන අසාධාරණය පිලිබඳ අදහස් මුලින්ම කවා ඇත්තේ ඔහුට සාමාන්‍ය පෙල පන්තියේදී පෞද්ගලිකව ඉගැන්වූ ගුරුවරයාය. මේ අදහස් ඔවුන් තුල තහවුරු වූයේ ‘සිංහලයාගේ කෲරත්වය’ ගැන දේශපාලන වේදිකාවල කියැවුන උද්වේගකර කතාවලිනි.
එම කතාවන් ප්‍රායෝගිකව චිත්‍රණය කරන ආකාරයේ ක්‍රියාවලියක් සඳහා සාමාන්‍ය ජනතාව පොළඹවාලන්නේද දේශපාලන හස්තයෙනි.
අද සමාජ ජාලාවල වෛරය වපුරන (මුස්ලිම් ජනතාව ගැන පමනක් නොව මේ ව්‍යසනයට විරුද්ධව කතාකරන අය ගැනද) පිරිසෙන් කී දෙනෙකු 1983 ජුලි මාසයේදී සිදුවූ සිද්ධීන් මතකයේ රැඳෙන්නට තරම් වයසක සිටියාදැයි නොදනිමි. නමුත් එදාද එවකට පැවති රජය, ඇවිලෙමින් ආ මහා විනාශය හමුවේ පවා පැය 24 ක් යනතුරු පොලිසියට එය වැලැක්වීමට කිසිදු අණදීමක් නොකලේය. ඒ කියන්නේ ඝාතක මැරයන්ට කැමති හැටියට නටන්නට ඉඩදී පොලිසිය පැය 24 ක් තම සාමාන්‍ය රාජකාරිවල යෙදී සිටියහ. ඉන්පසුව ගෙවුනු දිනවල වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි දෙමළ සිරකරුවන් 52 දෙනෙක්, දෙවතාවකට, තිරශ්චීන ලෙස ඝාතනය කරද්දීද ඇස් කන් පියාගෙන සිටියෝය. දේශපාලකයන්ට ජනවර්ග අතර සැබෑ සහජීවනයක් තිබීම අවශ්‍ය විනි නම් මේවා මෙසේ සිදුවන්නට ඉඩ නොදෙනු ඇත. ඉන්පසු ගෙවුනු දශක තුන පුරාම, එම ක්‍රියාවලියේ ප්‍රතිඵල අත්විඳ ගන්නට සිංහල, දෙමළ, මුස්ලිම් ඇතුලු සියලු ජනවර්ගයනට සිදුවිය. නමුත් හිඟන්නාගේ තුවාලය මෙන් යුද්ධය පෙන්වමින් තම පැවැත්ම වර්ධනය කර ගත්තේද දේශපාලකයන්මය.
2009 වනතෙක් තම ජීවිතයේ අනියතබව පිලිබඳ බියකින් ජීවත්වූ සිංහල ජනතාව යම් ප්‍රමානයකට, දෙමළ ජනතාව වෙත සාමයේ හස්තය දිගු කලහ. නමුත් යුද්ධය රජයේ හමුදාවන්ට ජයග්‍රහණය ලබාදෙමින් අවසන් වූ කල්හි, යලිත් වරක් ‘අපි සිංහලයා තමයි උසස්ම ජාතිය’ යන හැඟීම් ජනතාව අතර පැතිරිනි. නමුත් උතුරේ අවතැන්වූ ජනතාව වෙත තමන්ට හැකි පමනින් ආහාර, ඇඳුම් සහ ජලය ආදිය එක්රැස්කර යවන්නටද ඉදිරිපත් වූ ජනතාවක් සිටියහ. ඒ සහානුකම්පාවෙන් නොව හුදෙක් අනුකම්පාවෙන් පමනද? මෙය කියවන ඔබ නියම සිංහලයෙකු නම් ‘අනුකම්පාව’ සහ ‘සහානුකම්පාව’ යන සිංහල වචන දෙකේ තේරුම දැනගත යුතුය. සහානුකම්පාවෙන් යුක්ත කෙනෙකුට මනුශ්‍යත්වය මිස ජාතිය අදාල නොවේ. අනුකම්පාව යනු තමන්ට වඩා තත්වයෙන් අඩු කෙනෙකු සම්බන්ධව පහල වන්නකි.
වරක් කවුදෝ කී පරිදි ‘ගුණසිරියි, සෝමදාසයි ගහගත්තම සාමාන්‍ය ගෝරියක් වන ඒ ගුටිකෙලිය, ගුණසිරි සමග සිවපාලන් හෝ කාසිම් ගහගත්තම ජාතිවාදී අරගලයක් වෙයි. එමෙන්ම මේ තෙල්දෙනියේ සිදුවූ මිනීමැරුම වැනි පුද්ගලයන් අතර ආරවුල් හා එහි ප්‍රතිඵල ලෙස මිනීමැරුම් සිදුවූයේද පලමු වතාවට නොවේ. අනූව දශකයේ අගභාගයේදී රාජගිරිය ප්‍රදේශයේදී සිදුවූ ඛේදජනක සිදුවීමක් මට මතක් වෙයි. සෙනග තොගයක් පුරවාගත් ත්‍රිරෝද රථයකින් ඉස්සර කරන්නට ඉඩ ඉල්වමින් නලාව ශබ්දකල වෑන් රථයකි. සෙනග වැඩිකම නිසා ඉල්ලූ සැනින් ඉඩ ලබා දීමට නොහැකිවූ ත්‍රිරෝද රථ රියැදුරා තමාට හැකිවූ විගස ඉඩ දුන් අතර ඉස්සර කරන ගමන් ඊට වෙට්ටුවක් දමන්නට වෑන්රථ රියැදුරා වගබලා ගත්තේය. එවිට පාලනය කරගත නොහැකි වූ ත්‍රිරෝද රිය පාර මැද ඇති කුඩා ගැට්ටේ වැදී පාරේ අනිත්පසට පෙරලී යත්ම වේගයෙන් පැමිනි හමුදා ට්‍රක් රියක් තිරිංග යෙදීමට නොහැකිකම නිසා ඒ මතින් ගියේ කුඩා දරුවන් ඇතුලු පස් දෙනෙකුගේ ජීවිත බිලි ගනිමිනි. එම සිද්ධියට පැටලුනු සියල්ලන්ම සිංහල ජාතියට අයත් නිසා එය තවත් එක් බිහිසුණු මාර්ග අනතුරක් පමනක් සේ කාලයත් සමග බොහෝ දෙනෙකුගේ මනසින් මැකී යන්නට ඇත. මේ ආකාරයේ කෙනෙකුගේ නොඉවසුම් සහගත වැරදි නිසා ඇතිවන අනතුරු කොපමනද? රටේ වාර්තාවන මිනීමැරුම්? මේවා බොහෝමයක් එක කණකින් අසා අනිත් කණින් එලියට දමන්නේ ඒවා සිදුවන්නේ එකම ජාතියේ අය අතර නිසායි.
ඒ හැර කොපමන ප්‍රමානයක් මිනීමැරුම්, ළමා අපචාර සහ අපරාධ ගනයට වැටෙන සිදුවීම් ශ්‍රී ලංකාව තුල සිදුවනවාද? මේ සියලු අපරාධ සඳහා නීතිය නියම ආකාරයෙන් ක්‍රියාත්මක කිරීම බලධාරීන්ගේ වගකීම වන අතර එම අපරාධකරුවන් නීතියේ රැහැනට හසුකර දීමට අවශ්‍ය සහයෝගය ලබාදීම මහජනතාවගේ වගකීමයි. එපමනකි. ඒ හැර තම තමන්ගේ නිගමන මත වැරදිකරුවන් තීරණය කිරීම හා දඬුවම් ලබාදීමට සාමාන්‍ය ජනතාව ඉදිරිපත් වීම ශිෂ්ඨ සමාජයක් තුල සිදු නොවිය යුත්තකි. අද වනවිට රටතුල අප දකිනුයේ මේ තත්වයයි. 
තමන් තුල පහල වන ආවේගයන් ඔස්සේ යම් පිරිසක් මෙවන් සිද්ධීන් පසුපස හඔා ගියද, ඒ අනුව උද්ගතවන තත්වය තුල වාසි ලැබෙනුයේ කාටද කියා ඔබ නිකමටවත් සිතුවාද? 
1983 දී, එකල රටේ තුන්වෙනි බලවේගය ලෙස ජනතාව අතර අනිකුත් වාමාංශික පක්ෂ පරදවමින් ඉදිරියට පැමිනි ජනතා විමුක්ති පෙරමුණ, අවතීර්ණ වෙමින් සිටි නව දේශපාලන මාවත අහුරාලන්නට පාලක එක්සත් ජාතික පක්ෂය විසින් භාවිතා කරනු ලැබුවේ දෙමළ ජනතාවට එරෙහිව සිදුවූ ම්ලේච්ඡත්වයයි. සැබැවින්ම මුලින්ම දෙමළ ජනතාවගේ සිත් රිදවාලන්නට පටන් ගත්තේ 1983 දී ය කියා කියනු නොහැකිය. නිදහසින් පසු පැවති පාලන යුගයන්හිදී විවිධ අණ පනත් ඔස්සේ රිදෙන්නට පටන්ගත් ඔවුන්ගේ සිත්, 1975 දී සිදුවූ යාපනය පුරපති ඇල්ෆ්‍රඩ් දුරෛඅප්පාගේ මරණයත් සමගම වෛරයක් ලෙස පුපුරා ගියේය. ඉන්පසුව සිදුවූ විවිධ මිනීමැරුම්, බැංකු මංකොල්ලයන් තුල ඒ යටිබිම්ගත සංවිධාන විසින් පලමුවෙන් ප්‍රහාර එල්ල කලේ පවතින පාලන ක්‍රමය සමග අනුගත වූ තමන්ගේම වර්ගයා වෙතටමය. මේ ‘තමන්ගේම වර්ගයා’ යන හැඟීම ඔවුන් සිත් තුලට කා වැදෙන්නට හේතු වූ කරුණු දීඝර්‍කාලීනව පැවත ආ දේශපාලන ක්‍රියාදාමයක ප්‍රතිඵලයකි. 1977 දී, විවෘත වූ ආර්ථික ප්‍රතිපත්තීන් තුල, ප්‍රධාන වශයෙන්ම කෘෂිකර්මයෙන් ජීවත් වූ යාපනය ජනතාව වෙත වැදුනු පහරම, දිවයිනේ අනිකුත් ප්‍රදේශවල කෘෂිකර්මය ජීවිකාව කරගත් සිංහල ජනතාවටද එකසේ වැදුනු බව තේරුම් බේරුම් කරගන්නට ඉඩක් ඒ ඒ ජන කොට්ඨාශයනට තිබිනිද? එසේ සිදුවූයේ ‘බෙදා වෙන්කර පාලනය කිරීමේ’ න්‍යාය සෑම සියලු ජන කොටසක්ම නියෝජනයකල දේශපාලකයන් අනුගමනය කරන බැවිනි. එදා එල්ටීටීඊ සංවිධානය තම අරගලය විමුක්තිකාමී අරගලයක් ලෙස හැඳින්වූ අතර රජය පාර්ශ්වයට එය ත්‍රස්තවාදී අරගලයක් විය. කෙසේ වුවද ඒ තුල රැඳී තිබුනේ දේශපාලනිකමය අරමුණකි. එයද බෙදී වෙන්වූවක්ය. අදද ඒ ජනතාව තම වර්ගයා නියෝජනය කරන දේශපාලක පඹයෙකුට වුව තම මනාපය ප්‍රකාශ කරන්නේ එම අරගලයේ බලපෑම තමන්ට තදින්ම දැනුන බැවිනි.
 මෙතැනදී සෑම පාර්ශ්වයක්ම තම තමන්ගේ දේශපාලනික අරමුණු ක්‍රියාත්මක කිරීම සඳහා දඩමීමා කරගත්තේ සාමාන්‍ය ජනතාවය. තම දේශපාලනමය අරමුණ සාක්ෂාත් කරගැනීමට බාධාවක්වන අනිකුත් බලවේග ඉවත් කිරීමටද මෙම බෙදා වෙන් කිරීමේ ක්‍රියාවලිය යොදා ගැනේ. මෙම බෙදීම ජාති වශයෙන් බෙදුනත්, පක්ෂ වශයෙන් බෙදුනත් එහි වෙනසක් නැත. මැතිවරණයකට පෙර සහ පසු ඇතිවන ප්‍රචණ්ඩත්වයේදී, පක්ෂ භේදය මිසෙක ජාති භේදයක් නැති බව ඔබද පිලිගනු ඇතැයි සිතමු. 
1983 දී වර්ගවාදී ප්‍රචණ්ඩත්වය පිට දමමින් ජනතා විමුක්ති පෙරමුණ තහනම් කලාට පසුව මෙම පක්ෂය සමග සම්බන්ධව සිටි තරුණ කොටස් තුල එවකට පැවති පාලක රෙජීමයේ දරදඬු ප්‍රතිපත්තීන් නිසා වර්ධනය වූ ආතතිය තුල ඔවුන්ව අරගලයක් කරා තල්ලුකර දමනු ලැබීය. ඒ අසූව දශකයේ අග භාගයේදීය. ඉන් ඇතිවූ ඝාතන සංස්කෘතිය නිසා බැටකෑවේද සාමාන්‍ය මිනිසුන්මය. ට්‍රාන්ස්ෆෝමර කඩා බිඳ දැමීමෙන් විදුලිය විසන්ධි වීම, නල ජල සැපයුම් ඇනහිටීම, බස්රථ ගිනි තැබීම නිසා ප්‍රවාහනය අඩාලවීම ආදී තත්වයන් තුල පීඩා වින්දේද සාමාන්‍ය මිනිසුන්මය. ඒ ද තව දේශපාලනික අරගලයකි. එදාද තම පාර්ශ්වයට අයත් නොවූ අය, සෑම පාර්ශවයක් අතින්ම ඝාතනය විය. අදද ජවිපෙ විසින් ‘සිංහල මිනිසුන් මරා දැමුවාය’ කියමින් එම අරගලයට ජාතිවාදී මුහුණුවරක් දීමට උත්සාහ කරන අයද අප අතර සිටිති. නමුත් ඒ කැරැල්ලට පසුබිම සැපයූ හේතු විශ්ලේෂණය කරද්දී පැවති දේශපාලන බලවේග අතින් පීඩනයට පත්ව සිටියේද, නැගී ආ අරගලය තුල දිගින් දිගටම පීඩනයට පත් වූයේද සෑම ජනවර්ගයකටම අයත් සාමාන්‍ය මිනිසුන්මය. එමෙන්ම එකල ජවිපෙ මර්ධනය සඳහා රජය විසින් යොදා ගත්තේ පොලිසිය සහ හමුදාවයි. 2009 දී වර්ගවාදී යුද්ධය අවසන් වූ පසු ජනතාව අද ‘රණවිරුවා’ යන නම්බුනාමය හමුදාව වෙත පුදකලද, එකල විශ්වවිද්‍යාල සිසුන් ලෙස අපේ ජීවිත වඩාත්ම අවදානමට ඇද වැටුනේ මෙම හමුදාව ඉදිරියේදීය. අද යමෙකු හමුදාවට යුද අපරාධ පිලිබඳ චෝදනා කරත් නම්, කීමට ඇත්තේ එදා පැවති තත්වය මැඩපැවැත්වීමට හමුදාව ඉටුකල කාර්යභාරය තුල අපට අප ‘සිංහලය’ කියා වෙනසක් නොදැනුනු බවයි. හමුදාවේ ප්‍රධාන වගකීම පවතින දේශපාලන ක්‍රමය ආරක්ෂා කිරීම බව අපි නම් එකල වටහා ගත්තමු. ඒ අනුව ඕනෑම තත්වයකදී ප්‍රධාන වශයෙන් රැකගන්නට නියමිතව ඇත්තේ දේශපාලකයන්ගේ පැවැත්මය. 
වත්මන් රජය පැත්තෙන් බලන්නේ නම් ඔවුන්ගේ පැවැත්ම රැඳී ඇත්තේ සුලු ජාතික චන්ද පදනම මතය. රජය සැමවිටම සුලු ජන කොටස්වලට අයත් පිරිස් සතුටු කිරීමට සැදී පැහැදී සිටින්නේ එබැවිනි. මීට එක් උදාහරණයක් නම් කිලිනොච්චියේ සාප්පු සංකීර්ණයක හටගත් ගින්නෙන් පිලිස්සී ගිය දෙමළ ජනතාවට අයත් කඩ සාප්පුවලට වහාම වන්දි ලබාදුන් රජය, කොස්ගම හමුදාවට අයත් අවි ගබඩාව පිපිරීමෙන් හානියට පත් නිවාස හෝ අරණායක නාය යාමෙන් විනාශ වූ ජනතාව වෙනුවෙන් අවශ්‍ය සහන කටයුතු සඳහා අද වනතුරුත් කඹ ඇදීමයි. මේ ක්‍රමවේදය තුල එක් ජනතාවකගේ වෛරය ඉතා සූක්ෂම ආකාරයට තවත් ජන කොටසක් වෙත යොමු කිරීමටත්, තම බලය පවත්වාගනු පිනිස, එම ජාතීන් නියෝජනය කරන දේශපාලකයින්ගේ හොඳහිත තමන් වෙත තබා ගැනීමටත් රජය සමත් වෙයි. මහජාතිය පිලිබඳව ඔවුනට ගැටලුවක් නැත්තේ, ඒ අය විවිධ පක්ෂ මතිමතාන්තර ඔස්සේ කොහොමත් භේද භින්න වී ඇති බව ඔවුන් දන්නා බැවිනි. මේ බව සුලු ජාතීන් නියෝජනය කරන දේශපාලකයෝද හොඳින්ම දනිති. මෙම දේශපාලකයනට ‘තමන්ගේ මිනිසුන්’ ගැන ඔය කියන තරම් කැක්කුමක් තිබුනා නම්, මේ වනවිට එම ජන කොටස්වලට කිසිදු ප්‍රශ්නයක් නැතිවිය යුතුය. නමුත් සැවොම දන්නා පරිදි රටේ දැන් පවතින ආර්ථික පීඩනය අඩු ආදායම් ලබන සියලු දෙනාටම පොදුය. අනිකුත් ජන වර්ගයක පුද්ගලයෙකුට අයත් කඩයකින් බඩු ගැනීම නැවතූ පලියට මෙම පීඩනය අඩු වී යනු ඇතිද? අද සියලු දෙනාම හිරවී සිටින ඒක පුද්ගල ණය බර මින් ලිහිල් වනු ඇතිද?
අද වනවිටසිදුව ඇත්තේ කුමක්ද? පසුගිය කාලයේ දවල් රෑ නැතිව දේශපාලන වේදිකාවල පට්ට ගැසූ මහබැංකු බැඳුම්කර වංචාව කාටත් අමතකව ගියාසේය. එහි ප්‍රධාන විත්තිකරු වන හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් අල්ලාගත්තත් නැතත් ප්‍රශ්නයක් ඇති බවක් නොපෙනේ. සති කිහිපයකට පෙර අත්හිටුවා තිබූ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට අයත් ගිණුම් කිහිපයක් නැවත සක්‍රීය කර ඇත.ඒ හැර මෙතෙක් කතාබහට ලක්වූ සොරකම්, වංචා සහ දූෂණ පිලිබඳ කතන්දර නැත්තටම නැතිව ගොසිනි. පලාත් පාලන චන්ද ප්‍රතිඵල නිසා අස්ථාවරව තිබූ අගමැති පුටුවට මෙන්ම එජාපයේ නායක පුටුවටද ඇණගසා අලුත්වැඩියා කරන්නට මේ කලබල මැද ඔවුන්ට කල් ලැබිනි. කැබිනට් සංශෝධනය සිදුකල දා තම නායකයාට බැණ වදිමින් පැමිනි එජාපයේ මැති ඇමතිවරුන් දැන් තැම්පත්ව ඇතිවාක් මෙන් පෙනෙයි. ඊටද හේතු තිබෙනවා වෙන්නට පිලිවන. රජයේ ටෙන්ඩර එකින් එක හිමින් සීරුවේ ඉන්දියානු සමාගම් වෙත පැවරේ. රෝහල්වල රෙදි සේදීමේ ටෙන්ඩරය ඉන්දියානු සමාගමකට ලබාදීමට විරෝධය පාමින් පසුගියදා රෙදි සෝදන්නන් පිරිසක් උද්ඝෝෂණය කලද ඊට අවධානව යොමු වූයේ කාගේද? අඩු තරමින් රහසේම සිුවන මේ ඉන්දීය ආක්‍රමණය තුල ජීවන වෘත්තීන් එකින් එක ශ්‍රී ලංකා වාසීන්ට අහිමි වෙද්දී? රට තුල මතුවූ හදිසි තත්වය යොදා ගනිමින් අධික ලෙස බඩුමිල වැඩිකර ඇත්තේ මුස්ලිම් වෙළෙන්දෝ පමනක් නොවෙති. ඊලඟට මේ බඩුමිල ඉදිරියට දමමින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය කරමින් කොමිස් ගසන්නට අදාල ඇමතිවරු පිටපොට ගසති. ඉතින් මේ සිදුවීම් නිසා ඇතිවන හානිය කාටද, වාසිය කාටද යන කරුණ පිලිබඳ යතාර්ථය ජනතාව අවබෝධ කරගත යුතුය. රාජාංගනය වැව බහුජාතික සමාගමකට පවරමින් ජල සම්පත පුද්ගලිකකරණයට අත්පොත් තැබීමට එරෙහිව තඹුත්තේගමදී ගොවි ජනතාවට එල්ල වූ ප්‍රහාරය සහ මෙම ක්‍රියාවලිය දිගටම ගෙනගියහොත් තමන්ට අනාගතයේදී කුමක් සිදුවේද කියා අද වනවිට කීදෙනෙකුගේ මතකයේ රැඳී තිබේද?
මේ වර්ගවාදී ප්‍රශ්න ඇතිවූ වහාම ජාත්‍යන්තර ප්‍රවෘත්ති තුල ඒවා ඉදිරිපත්වූ ආකාරයත්, එක්සත් ජාතීන්ගේ සංගමය වහාම ශ්‍රී ලංකාවට පැමිනි අයුරුත් දෙස විශ්ලේෂණාත්මකව බැලිය යුතුය. මේ තුලින් සිදුවන්නේ අප රට වැනි ණය මුදල් මත යැපෙන  රටවල්වලට ඔවුන් පනවන කොන්දේසිවල වගන්ති සංඛ්‍යාව වැඩිවීම මිස වෙන දෙයක්නොවේ. ඉන් කිසිදු දේශපාලක පක්ෂයකට මිදෙනු නොහැකි වනුයේ එජා නියෝජිතයන් මෙන්ම චීනයේ දූත පිරිස්ද රජය පමනක් නොව රාජපක්ෂවරුන්ද හමුවීමට කටයුතුකල ආකාරය අනුව බලත්දීය.
ජනතාව විසින් දැකිය යුත්තේ සැබෑ අනතුර ඇත්තේ කොතැනද කියා දැකීමේ බුද්ධිය ඇතිකර ගැනීමයි.

One Response to “ලිප ගිනි මොලවන තෙක් දිය සැලියේ….”

  1. Christie Says:

    මෙය කියවූ මට ඇතිවුයේ සින්හලයන් හා වෙනත් ඉන්දියානු අදිරද වාදයට යටත්වූ අයට ඇතිවී ඇති ඉරනමය. ඉන්දියාවත් ඉන්දියානු පරපෝසිතයනුත් කරන දේ හා එයට එරෙහිව නැගීසිටින අයට අත්වන ඉරනමගැන්ත්ය. බුරුමයත් උගැන්ඩාවත් හොඳම උදාහරනය. බන්ඩරනායකලාත් ජේ ආරුත් ඉන්දියානු අතකොලුය. දෙමලු ත්‍රස්තයෝත් ජෙප්පෝත් ඉන්දියානු හා ඉන්දියානු පරපෝසිතයන්ගේ අතකොලුය. 1983 දී යාපනයේදී අමු අමුවේ මරාදමන ලද සින්හලයන් මිනිසුන් නොවේය. බන්ඩ සින්හලයන්ගේ බස් ජනසතු කලේය. නමුත් එකම ඉන්දියානු වියාපාරයකට අත තැබුවේ නැත. බුරුමයේ හාල් ගෙනාවේ ඉන්දියන් කාරයෝය. බුද්දරක්කිතලාට එම වියාපර තහනම්ය. සිරිසේන ආගමන් නැතිකලේ නැග එන අන්තර්ජාතික සින්හල වියාපාරිකයෙකි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress