පොලිසියේ සිහිය මහජනයා ගැනද දේශපාලකයන් ගැනද
Posted on March 15th, 2018

මතුගම සෙනෙවිරුවන්   

 දිගන ඇතිවූ ගැටුම දේශපාලන අන්තවාදී ප්‍රවණතාවයකි.එහෙත් රජය සහ ඇතැම් මාධ්‍ය මෙම සිදුවීම සිංහල අන්තවාදී ගැටුමක් ලෙසට හුවා දැක්වූහ.එම ප්‍රතිරූපයම ජාත්‍යන්තරයට නිකුත් කිරීමට වගබලා ගත්හ.අවසානයේ  දී යහපාලන රජය සැනසුම් සුසුම් හෙලුවාට සැක නැත.ඒ ඔවුන් ගේ අදක්ෂ අකාර්යක්ෂම හිරිකිත පාලනය පිළිබඳ තිබූ විරෝධය යම් තරමකින් යටපත් වූ බැවිනි.දහනව වන සංශෝධනය මගින් තොරතුරු දැන ගැනීම පිළිබඳ නීති  පැණවූ ආණ්ඩුව විසින්ම තොරතුරු වාරණය කරන්නට යෙදූහ.තොරතුරු පණතට යටත් ඇතැම් රාජ්‍ය ආයතන තොරතුරු නොදීමෙන් මග හැර යන පසුබිමක් ද මේ අතර නිර්මාණයව තිබේ.නමුත් මුස්ලිම් සහ දෙමළ අයට අවශ්‍ය තොරතුරු ඉක්මනින් ලැබේ.එවිට ස්වාධීන කොමිෂන් සභා කුමකටද.ඒවා ජාත්‍යන්තර ට්‍රෝජන් අශ්වයන් නොවේද.

          දිගන සිදුවීම් පාලනය කිරීමට අසමත් වූ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා සහ පොලිස්පති පූජිත ජයසුන්දර මේ වන විට ඉල්ලා අස්වීම කළ යුතුය.එහෙත් මේ සිදුවීම ජගත් තලයට පැතිරුණ කල්හි අගමැතිවරයාගේ ප්‍රතික්‍රියාව වූයේ කැබිනට් සංශෝධනයක් මගින් නීතිය සහ සාමය ඇමති ධූරය රංජිත් මද්දුම බණ්ඩාරට පැවරීමයි.එයින් ගම්‍ය වන්නේ ජනතාවට බය නැති අගමැති ජාත්‍යන්තරයට බය ඇති බව හොඳ හැටි පෙන්වීමයි.

       ලංකාවේ පොලිස් සේවය නිල වශයෙන් පිහිටුවනු ලබන්නේ 1865 පොලිස් ආඥා පණත බල ගැන්වීමත් සමගය. එම දෙපාර්තමේන්තුවට වසර එකසිය පණස් තුනක ආයුකාලයක් ගතව ඇති අතර අත්දැකීම් රාශියකින් එය ජව සම්පන්නව පවතී. පොලිස් (POLICE) නම් ආරක්ෂක සේවය බ්‍රිතාන්‍ය පාලනයේ දායාදයකි.එයට පෙර සිංහල රජ දවසද එවැනිව නීතිය සහ සාමය සුරකින ආරක්ෂක බල මුළුවක් පැවතුණි.එහෙත් බ්‍රිතාන්‍ය සම්ප්‍රදායට අනුව සැදුණු පොලිසිය ඉන් වෙනස් වේ.පොලිස් නම් වචනය විග්‍රහවන ප්‍රධාන අර්ථ හයක් පවතින බව පැවසෙයි. අචාර සම්පන්නබව( polite) කීකරුභාවය (obedient) රාජපාක්ෂික භාවය(loyalty) බුද්ධිමත්කම (intelligent) ප්‍රණාමය (curtsy) සහ කාර්යක්ෂමභාවයයි.(efficient)  පොලිටියා නම් ප්‍රංශ වචනයේ මූලික අර්ථ මේවා නොවන නමුත් බ්‍රිතාන්‍ය සම්ප්‍රදාය විසින් මෙම ආරක්ෂක හමුදාවට අවශ්‍ය ගෞරවය සහ වගකීම ලබා දීමේදී මෙවැනි අර්ථ ගැන්වීමක් කළ බව පැහැදිලිය.

      වසර එකසිය පණස් තුනක් පැරණි මෙම ආරක්ෂක සේවය ඔවුන් ගේම වචන වලින් ගැබ්වන අර්ථ දැක්වීම් අනුව කටයුතු කළ යුතුය.එයට හේතුව අතීත අත්දැකීම් රාශියකින් මෙන්ම විනයානුකූල පසුබිමක්ද එයට තිබෙන නිසයි. පොලිස් දෙපාර්තමේන්තුව පිහිටුවා වසර සීයක් ගත වූ දවසේ ඔවුහු පොලිස් මහජන සම්බන්ධතා අංශයක්ද පිහිටවූහ.එසේම 1974 දී එතෙක් යටත් විජිත යුගයේ පැවති නිල ඇඳුම වෙනස් කොට පොලිස් නිළධාරීන්ට ගෞරවාන්විතව සේවය කිරීමට අවස්ථාව සලසා දුන්හ.පොලිස් දෙපාර්තමේන්තුවේ නිළධාරීන්ට පැවරෙන මූලික රාජකාරි අතර කැරලි මර්ධනය විශේෂ වේ. එම දෙපාර්තමේන්තුවේ ආරම්භක අවස්ථාවට ආසන්නව එනම් 1858 දී සරදියෙල් ඇල්ලීමට ගිය අවස්ථාවේදී පොලිස් නිළධාරියෙකු මිය ගියේය.එසේම ආර්.ප්‍රේමදාස මහතා ජනාධිපතිවරයාව සිටින විට  කොටි වෙනුවෙන් අවි ආයුධ සැපයීමේ ප්‍රතිඵලයක් ලෙසට  පොලිස් නිළධාරීන් 600 ක් ඝාතනය වූ බව සිහිපත් කළ යුතුය.අතීත පොලිස් සේවයේ අපකීර්තිමත්ම අවස්ථාව වන්නේ අටවන පොලිස්පති වශයෙන් පත්වූ හර්බට් ලෙයාඩ් ඩවුබිගින් මහතා ගේ සේවා කාලයයි.

       විසිවන සියවස මුල් භාගයේ ඇති වූ ජනතා උද්ඝෝෂණ විශේෂයෙන්ම කරත්ත කරුවන් ගේ වැඩ වර්ජනය ඉන්පසු අමද්‍යප ව්‍යාපාරයේ ජනතා ඒක රාශිවීම් ආදිය පාලන කිරීමට පොලිසිය යොදවනු ලැබූහ.ඒවායෙන් ලද අත්දැකීම් හිතකාරී නොවේ.විශේෂයෙන්ම 1870 දී පමණ කොළඹ පොලිස්පති කාර්යාලයට මුස්ලිම් කැලිකරුවන් විසින් පහර දීම නිසා වඩා විධිමත් ආරක්ෂක සේවයක් ඇති කිරීමට ඉංග්‍රීසි ආණ්ඩුවට වුවමනා විය. 1912 දී ප්‍රසිද්ධ සුරා පණත මගින් ඇතිවූ කැළඹීම රට පුරා ව්‍යාප්ත වත්ම ජන විරෝධතා මර්දනය කිරීම ද අවශ්‍ය විය. එසේම 1815 වසරේ ගිවිසුමකින් රට ඉංග්‍රීසීන්ට භාර දීම සිදු වීමෙන් වසර සියයක් ගත වීමද යෙදී තිබුණි. මේ නිසා රටේ ජාතික නිදහස වෙනුවෙන් ජාතික නායකයන් නව  මුහුණුවරකින් පැවති ආණ්ඩුවට එරෙහිව වීදි බැස සිටියහ. මෙම කැළඹීම් මර්දනය කිරීමට 1913 දී ඉංග්‍රීසි ආණ්ඩුව විසින් ඩවුබිගින් මහතා පත් කරන්නට යෙදුණහ.

        මේ වන විට 1907 දී  වලහගොඩ දේවාල පෙරහැරට ගම්පොල මරක්කල පල්ලියක් ඉදිරියෙන් යෑමේදී  දැමූ තහංචිය නිසා නොසන්සුන් තාවයක් ඇතිව තිබුණි.එම සිද්දිය උසාවියට යොමු කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් මරක්කල පාර්ශවයට වාසිදායක තීන්දුවක් දීමෙන් බෞද්ධ ජනතාව කැළඹුණහ. උඩරට ගිවිසුම උල්ලංඝණය කරන ලදැයි ප්‍රකාශ විය. එසේම වෙසක් උත්සවය සඳහා දන්සැල් පැවැත්වීමට මහනුවර නාගරික කොමසාරිස් වරයා ගෙන්  අවසර ගැනීමට ගත් උත්සාහය ව්‍යර්ථ කරනු ලැබිණ. එයට හේතුව දන්සැල් නිසා මුස්ලිම් කඩවලට පාඩු සිදුවන බවට ඔවුන් පැමිණිලි කිරීමයි. කෙසේ හේ වෙසක් උත්සව දිනය යෙදුණු මැයි පස් වනදා බෞද්ධ පෙරහරකට පහර දීම නිසා කෝලාහලයක් ඇති වී රට පුරා එය පැතිර ගියේය. රජය යුද්ධ නීතිය පණවා කැරලි කරුවන් පමණක් නොව එවකට නිදහස වෙනුවෙන් හඬ නැගූ සිංහල නාකයන්ද අත් අඩංගුවට ගත්හ. බොරු චෝදනා එල්ල කරමින් ආතර් වී දියෙස් වැනි ජන හිතෛෂී නායකයන් ද මරණීය දණ්ඩනයට යටත් කළහ. එසේම කොළම නගරාක්ෂක බලකායේ හෙන්රි පේද්‍රිස් තරුණයාට යුද්ධ අධිකරණය මගින් මරණීය දණ්ඩනය නියම කර එම දඬුවම ක්‍රියාත්මක කළහ. මේ කෝලාහලය පිළිබඳව අගනා ග්‍රන්ථයක් රචනා කරන මෝර්නින් ලීඩර් පත්‍රයේ කර්තෘ ආමන්ඩ්ද සූසා මහතා කරන විවරණයේදී පැහැදිලි වන්නේ මෙම කෝලාහලයේදී පොලිසිය ක්‍රියාත්මක වූ අමනෝඥ භාවයයි.

         රාජ්‍ය මන්ත්‍රණ සභිකයකු වූ හැරී ක්‍රීසි මහතා ගේ වචනයක් එහි බහා තිබෙන්නේ මේසේය.මේ කලබල අව්සථාවේ දී පොලිස් හමුදාව  මෙහෙයවනු ලැබූවේ කනිෂ්ඨ නිළධාරීන් තිදෙනෙකු විසිනි. ජූනි 1 දින කොල්ල කරුවන් කොල්ල කමින් මිනිසුන් මරමින් කෝලාහල කරද්දී පොලිස් භටයෝ බැටන් පොලු පමණක් ගෙන වීදි සංචාරය කළහ.මිනිසුන් වීදි වල කොල්ල කද්දී ඔවුන් විසිරුවා නොහරින්නේ මක් නිසාදැයි පොලිස් භටයන්ගෙන් මා ඇසූ කල්හි ඔවුන් කීවේ ඒ සඳහා උපදෙස් ලැබී නැති බවයි.

     මෙම කෝලාහලය සම්බන්ධව කුරුණෑගල උසාවියේ පවරා තිබූ අංක 3649 දරණ නඩුව විභාග කළ ජී. ඩබ්. වුඩ්හවුස් මහතා මුස්ලිම් සිංහල දෙපක්ෂය සමගි කරලීමට බැරි වීම පිළිබඳව පොලීසිය හෙලා දැක්කේය .සමගි කරවීම වෙනුවට පොලිසිය කර තිබෙන්නේ නඩු යාමට දෙපක්ෂයම දිරි ගැන්වීමයයි ඔහු සඳහන් කළේය. 1915 දී බලවත් ජීවිත හානි වලට පසුබිම්  වූ මුස්ලිම් කෝලාහලයට ලංකා පොලිසියේ ප‍්‍රතිපත්තියෙහි පැහැදිලි දුර්වල කම හේතු වී ඇති බව ද හේ වැඩි දුරටත් ප‍්‍රකාශ කලේය.

        මෙම සිදු වීමෙන් දැන් වසර සියයක් ගතවී තිබේ. එයට පෙර 1983 වර්ෂයේ ඇතිවූ සිංහල දෙමළ ගැටුම ද මෙලෙසම පාලනය කිරීමට පොලිසිය අසමත් විය. සමාජ ජාලා නොතිබුණු එවැනි කාලයක වේගයෙන් ඕපාදූප හුවමාරු විය. රට ගිනි තැබීමට මෙන්ම මං කොල්ල කෑමට සැරසී සිටි පිරිසට පොලිසියේ ක්‍රියාකාරිත්වය මහත් පිටිවහලක් විය.2013 දී අලුත්ගම දර්ගා නගරයේ ඇතිවූ ගැටුමටද මූලික හේතුව වූයේ පොලිසිය නිසි පරිදි නීතිය සැමට පොදු ලෙස භාවිත නොකිරීමයි. මෙයින් පෙනී යන්නේ පොලිස් නම් මූලික වචනය අර්ථ ගැන්වෙන පරිදි මෙම දෙපාර්තමේන්තුව කටයුතු කිරීමට සිහි එළවා නොසිටි බවයි. වසර සියයකට වැඩි කාලයක ඇතිවූ ජාතිවාදී ගැටුම් පිළිබඳ ඉතිහාසය හැදෑරීමට පොලිසිය උනන්දු වී නොමැත. එසේ වී නම් බුද්ධිමත්ව ආචාරශීලී කමින් යුතුව කාර්යක්ෂම සේවයක් ලබා දීමට හැකිව තිබුණි. සැබවින්ම මෙම සේවය තුළ ඉතිරිව පවතින්නේ රාජපාක්ෂික බව පමණකි. ඔවුහු පවතින රජය කුමක් වුවද එයට පක්ෂපාතීව තම මූලික වගකීම් අමතක කරමින් කටයුතු කර තිබේ. දිගන සිද්දියේදී විපතට පත් කුමාරසිරි මහතාගේ පවුලට  සහ ගම් වැසියන්ට අවශ්‍ය වූයේ රැකවරණයයි.ලෙන්ගතු කමින් දුක බෙදා ගැනීමට මූලික වීමයි. මළ ගෙයක් සිදු වූ විට සිංහල බෞද්ධයන් මේ මග අනුගමනය කරති. මහජන සම්බන්ධතා අංශයකින් ශක්තිමත්ව සිටින පොලිසියට එවැනි අවස්ථාවකදී විපතට පත්වූවන් සමග බෙදා ගැනීමට දුකක් නොතිබුණි. ඔවුහු දේශපාලකයන්ගේ කීම පිට සහ ඉහළ නිළධාරීන් සමග තිබෙන ගැටුම් මත රාජකාරිය මගහැර සිටියහ.මුස්ලිම් දේශපාලකයන් මැදිහත් වීම නිසා ඝතකයන්ට ලිහිල්ව නීති ක්‍රියාත්මක කළහ.මුස්ලිම් සහ දෙමළ පුද්ගලයන් සහ සිංහලයන් අතර ඇතිවන ගැටුමකදී මේ පොලිස් නිළධාරීන් වඩාත් පරිස්සම් වෙති. නීතිය ක්‍රියාත්මක කිරීමට ගොස් තමුන්ගේ පටි ගැලවේදැයි බියකින් පසුවෙති.පසුගිය කාලය පුරාවටම උතුරේ මහ ඇමති වරයා ශිවාජිලිංගම් මෙන්ම සම්බන්ධන්ද ජාතිවාදී  ප්‍රකාශ කරමින් සිංහල ජනතාව කුපිත කළහ. මියගිය කොටි සමරමින් රජයට සහ දකුණේ ජනතාවට ඔච්චම් කළහ. මේවාට එරෙහිව පොලිසියට නීතිය ක්‍රියාත්මක කළ නොහැකි විය.

      මෙම තත්ත්වය වඩාත් ඛේදනීය වන්නේ පොලිස් නිළධාරීන් දඩ බල්ලන්ගේ තත්ත්වයට ඇද දමා ඇති විටය. දේශපාලකයන්ගේ අවශ්‍යතා මත හැසිරවෙන ඔවුහු දයාව කරුණාව පැත්තකින් තබා මහජනයාට පීඩා කරති.ඒවා පිළිබඳ නිදර්ශන රාශියක් ඉදිරිපත් කළ හැකිය. එහෙත් මේ අතර අවංක කරුණාබරිත මහජනයාගේ හඬට කන්දෙන බොහෝ පිරිසක්ද සිටින බව අප අමතක නොකළ යුතුය. අවශ්‍ය වන්නේ එවැනි පිරිස් වැඩිකර ගැනීමය. එයට සරිලන මානසික පන්නරයක් ලබාදීමය. පොලිස් නිළධාරියෙකු කලුතර අභ්‍යාස විදුහලේ හෝ වෙනත් තැනක මූලික පුහුණුව ලබන විට රටේ ජාතික ඉතිහාසය ගැන අභිමානයකින් ඉගෙනිය යුතුය.තම මුතුන් මිත්තන් කල සටන් සහ එම යුධ උපක්‍රම දැන සිටිය යුතුය.එසේම කලාව සෞන්දර්ය රසාස්වාදය ගැනද සිත පුහුණු කළ යුතුය. කලකට ඉහත ගාල්ල මහින්ද විදුහලේ ළමා අපචාර සිද්දියේදී අත්අඩංගුවට ගත් වීඩියෝ කැසට් පට අතර  මැක්බත් චිත්‍රපටය ද විය. එම පරීක්ෂණය මෙහෙය වූ පොලිස් ස්ථානාධිපතිවරයා පුවත්පතකට කියා තිබුණේ මැක්බත් නම් අසභ්‍ය වීඩියෝ පටයක් හමු වූ බවයි.

         වර්තමානය වන විට පොලිස් කොමිෂන් සභාවක් බල ගන්වා තිබේ.දේශපාලකයන්ගෙන් ස්වාධීන වීමට මෙම සේවයට හොඳටම අවස්ථාව ඇත. එසේම සිය මූලික වචන වල අර්ථය නිති සිහිකරමින් රාජපාක්ෂිකභාවයට එහා යන යහපත් මහජන ආරක්ෂක සේවයක් බිහිකරලීම මගින් නවීන සංකීර්ණ සමාජය විනය ගරුක සංස්ථාවක් බවට පත් කර ගැනීමට අවස්ථාවක් සැලසේ. එයට මේ කාලය බව සිහිපත් කළ මනාය

මතුගම සෙනෙවිරුවන්

2 Responses to “පොලිසියේ සිහිය මහජනයා ගැනද දේශපාලකයන් ගැනද”

  1. Nanda Says:

    This summerises Wahabi plan ! Thanks to ALL current parlimentarians Sinhalese will have keep mouths shut amid all Wahabi acts.

    ඇතිවුනේ සිංහල – මුස්ලිම් ගැටුමක් නොවයි තරගකාරීත්වය, ඊර්ෂ්‍යාව මත සැලසුම් කළ ‘මුස්ලිම්ෆෝබියා‘ ප්‍රහාරයක්
    -රාවුෆ් හකීම්

    අද (14) පළවූ ඉන්දියාවෙ ‘ද හින්දු‘ පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඇමති ජනාධිපති නීතීඥ රවුෆ් හකීම් පසුගියදා ශ්‍රී ලංකාවේ ඇතිවූ තත්වය ගැන විග්‍රහයක් සිදුකර තිබේ.
    ඔහු එහිදී පවසන්නේ අම්පාර හා මහනුවර දිස්ත්‍රික්කවල ඇතිවූ නොසන්සුන්කාරි තත්ත්වය සිංහල – මුස්ලිම් ගැටුමක් නොවන බවත් එය මුස්ලිම් ජනතාව ඉලක්ක කර එල්ල කළ ප්‍රචණ්ඩකාරි පහරදීමක් ලෙස හදුනාගත යුතු බවත්ය. සුළු ජනවර්ගයක් වූ මුස්ලිම් ජාතිය ලංකාවේ දිගුකලක් සමගියෙන් සිටිය නමුත් 2012 සිට ලංකාවේ තරගය ඊර්ෂ්‍යාව මතුකර ‘මුස්ලිම්ෆෝබියාව‘ නමැති මානසිකත්වයක් වර්ධනය කරවන සිදුවීම් මතුවූ බවත් අවසානයේ මෙම අවාසනාවන්ත
    තත්වය දක්වා එය ගෙනගිය බවත් ඔහු කියයි. මෙහිදී පොලීසිය වගකීම් විරහිතව ක්‍රියා කිරීම හා රජයේ දුර්වල හැසිරීම ඔහු විවේචනයට ලක්කර ඇත. ඔහු එහිදී මෙසේ කියයි.
    ‘දිවයිනේ මුස්ලිම් සුළුතරය, ජනගහනයෙන් 10% ක් පමණයි. 2009 දී සිවිල් යුද්ධය අවසන් වීමෙන් පසු තමයි මේ ප්‍රශ්න පැන නගින්නේ. ඉස්ලාම්-භීතිකාවේ ගෝලීය සන්දර්භය තුල මේවා බිහිවෙන්නේ. 2012 සිට මුස්ලිම් විරෝධී ප්‍රහාර වැඩිවුණා.

    එක් පැත්තකින් මෙය, ජාත්‍යන්තර ප්‍රශ්නයක් පිලිබඳ දේශීය ප්‍රකාශනයක්. මේක එක් අතකින් ‘මුස්ලිම්ෆෝබියාව‘ නැතිනම් ඉස්ලාම්-භීතිකාවක් විදිහට හඳුනගන්න පුළුවන්.

    විශේෂයෙන්ම යුද ජයග්‍රහණයෙන් පසුව, තවත් සතුරකු සොයා බලමින්, දැඩි ලෙස බලමුලු ගැන්වූ ඇතැම් අධි-සංඥා බලවේගයන් ඉතාමත්ම සැලසුම් සහගතව හිතාමතා සිදු කළ ක්‍රියා නිසා මෙම ගැටලුව තීව්ර වී තිබෙනවා.
    මුස්ලිම් අයෙකුට ප්‍රහාර එල්ල කිරීම සහ ඔවුන්ගේ ආර්ථිකය සහ ජීවනෝපායන් ඉලක්ක කර ගැටලු ඇතිකිරීමට මේ සැලසුමට අනුව කටයුතු සොයමින් සිටියා. ඔවුන්ගේ මෙම උත්සාහයන්ට දේශපාලන අනුග්‍රහයත් නොඅඩුව ලැබුණා.
    ඇතැම් [සිංහල-බෞද්ධ] අන්තවාදී සංවිධාන සමහරක් හිජාබ් ගැටළුව ආරම්භ කිරීමෙන් අනතුරුව, හලාල් [සහතිකය] ට උද්ඝෝෂනය ආරම්භ වුණා. මෙම “සතුරාගේ මානසිකත්වය” නිර්මාණය කිරීම ඒ අනුව සිදුවුණා.

    හලාල් ප්‍රශ්නය භාවිතා කළේ මුස්ලිම් නොවන මුස්ලිම්වරුන්ගේ සිත් තුළ අනවශ්‍ය භයක් ඇති කිරීම සඳහාය. මුස්ලිම් ජනතාවගේ ආහාර භාවිතය, හලාල් ක්‍රමවේදය, හෝ මුස්ලිම් ආහාරයට ගැනීමෙන් ආහාරයට ගන්නා ආහාරවලට පෙර අතීතයේ දී ගැටළුවක් තිබුනේ නෑ. ව්‍යාපාර තරගකාරීත්වය, ඊර්ෂ්‍යාව හා වෙනත් විවිධ හේතුන් නිසා ෆෝබියා නිර්මාණය වී ඇති බව පැහැදිලියි.

    ඉන්පසුව එය මුස්ලිම් ජනයාගේ වෙනත් ජීවන රටා පිලිබඳ ගැටළු මේ අය මතු කළා. විශේෂයෙන්ම කාන්තාවන් හිජාබ් පැළඳ සිටිම ලංකාවේ සංස්කෘතියට ආගන්තුක විදිහට හැඳින්නුවා.
    අළුත්ගම, බේරුවල 2014 සිදුවීම් වෛර කථනය මත පදනම් වූ දරුණු ප්‍රචණ්ඩකාරී සිදුවීම් අතුරින් එකක්. අම්පාර සහ මහනුවර යන සිද්ධීන් දෙක ඉතාම ප්‍රව්ශමෙන් සැළසුම් කර ඇති බව පෙනෙනවා.

    මහින්ද රාජපක්ෂ පිටුබලය ලබන ඒකාබද්ධ විපක්ෂයට විශාල ජයග්‍රහණයක් ලබා දුන් පළාත් පාලන මැතිවරණයෙන් ඉක්බිතිවම සිදු වූ මේ දේට යම් දේශපාලන පසුබිමක් ඇතිව නිර්මාණය වී ඇති බව හඳුනගන්න හැකියි. ලංකාවේ මෙවැනි සිද්ධියක යම් ආකාරයක දේශපාලන අභිප්‍රේරණ හැකියාව සම්පූර්ණයෙන්ම ඉවත් කළ නොහැකියි. මෙය අපේ සංස්කෘතියට ආවේනිකයි.

    අප කුමන දේශපාලන පක්ෂයක් වුව ද, අප අන්තවාදී කොටස් දේශපාලනික උපයෝගීතාවයට අනුබල දීමෙන් වැළකී සිටිය යුතුය. මෑත සිද්ධිය සිංහල-මුස්ලිම් ගැටුමක් නොවේ. එය මුස්ලිම් ජනයා මත පැහැදිලි ප්‍රහාරයක්.එය නැවත නැවත සිදු විම කණගාටුදායකයි. මුස්ලිම්වරුන් ආරක්ෂා කිරීමට රජය අසමත් වීම – බරපතල ප්‍රශ්නයක්.
    පොලිසියේ සාහාසික නොසැලකිල්ල නිසා මෙම ප්‍රචණ්ඩත්වය ඉහළටම ගියා.
    අවම වශයෙන්, මුස්ලිම් ජනයා ගලවා ගැනීම සඳහා ඔවුන් ක්‍රියාකර නැහැ.මේ රටේ මුස්ලිම් සුළුතරයේ ආරක්ෂාව අශෝභන ලෙස ඔවුන් නොසලකා හැර තිබුණා.
    රාජපක්ෂ රෙජීමය තුළ තිබූ දඬුවම් නොලැබීමේ සංස්කෘතිය නැවත ස්ථාපිත කිරීම මෙමගින් ආරම්භවී තිබෙනවා. මෙය ඉතා බරපතල ප්‍රශ්නයක්.‘

  2. Leela Says:

    ජාති වාදී ප්‍රශ්ණ නැති රටක් අද ලෝකෙ තියෙනවද? මුසල්මනයාට වක්‍රාකාරයෙන් වැට බැඳ අැති හෝමජිනියස් ජපානයේ නම් ජාති වාදයක් නැහැ. කුරැසයක් වත් පිළිමයක් වත් ගෙනියන්න බැරි 100% ක් මුසල්මන රට වන සවුදියෙත් අල්ලාහ් ගෙ දරෙස්සාලාම් සාමය තියනවා. නමුත් මානව හිමි කම් ගැන අපට උපදෙස් දෙන යුරෝපයේ සහ අැමරිකාවේ වෙෙරී අපරාධ (හේට් ක්‍රයිම්ස්) උතුරා යනවා. වසර ගනනාවක් තිස්සෙ දිනපතාම මුස්ලිම් පල්ලි වලට හානි කරනවා ගිනි තියනවා. මුසල්මනයන්ට හින්සා කරනවා පීඩා කරනවා. මුස්ලිම් අැඳුම් පවා තහනම් කරනවා. ලංකාවෙ එවැනි සිදුවීම් ඉතා විරල වීම ගැන අපි ඉතාම සතුටු වෙනවා. නමුත් ලංකාවෙ තව්හීද්ල IS තව්හීද්ලට වෙනස් බවක් මට නම් පෙනෙන්නෙ නැහැ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress