ආණ්‌ඩුවට අල්ලන්න බැරි උදයංග ‘දිවයින’ට හසුවෙයි
Posted on March 24th, 2018

සාකච්ඡා කළේ – මනෝඡ් අබයදීර උපුටා ගැන්ම දිවයින

අවුරුදු උත්සවවල සිටිනා සැඟවුණු අමුත්තා මෙන් වත්මන් ආණ්‌ඩුව පන්නපන්නා සොයන සැඟවුණු අමුත්තා ඔහුය. පොලිසිය විසින් මාංචු කුට්‌ටම් රැගෙන ඩුබායි යන විට, පොලිසියට වෙට්‌ටු දමා ඔහු පැන ගොස්‌ය. රතු වරෙන්තුව කොළ කෑල්ලක්‌ බවට පත්කර, ඔහු යුක්‌රේනයේ සිය නිවසට වී කාලය ගත කරයි. පවුලේ අය සමඟ ලෝකය වටේ සවාරි යයි. ඒ උදයංග වීරතුංගය. ආණ්‌ඩුවේ සමහරු උදේ ඇඳෙන් නැගිට ජනේලයෙන් එබී බලන්නේ උදයංග කුදලාගෙන ලංකාවට ගෙනැවිත් ඇද්ද කියාය. ආණ්‌ඩුවේ ඒ දුර හීනය ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට හීනයක්‌ නොවීය. යම් අයකු මාධ්‍ය සාකච්ඡාවක්‌ සඳහා යොමු කර ගැනීමට පත්තර භාෂාවෙන් කියන්නේ ‘අල්ලා ගන්නවා’ කියාය. ආණ්‌ඩුවට අල්ලන්න බැරි වූ උදයංග අපි අල්ලා ගත්තෙමු. මේ අප විසින් ඔහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීමයි.

udayanga
 
 ප්‍රශ්නය – උදයංග වීරතුංග කියන්නේ කවුද…? මේ ප්‍රශ්නයට ඔබේ පිළිතුර කුමක්‌ද…?
 
 පිළිතුර – උදයංග වීරතුංග චරිතයට අද බොහෝ දේවල් එකතු කරලා තියෙනවා. මම උපන්නේ මැදමුලනේ… මම මුලින්ම පාසල් ගියේ, මැදමුලන මධ්‍ය මහා විද්‍යාලයට. ඊට පස්‌සේ මම කොළඹ නාලන්දා විද්‍යාලයට ඇතුල් වුණා. පාසල් කාලයෙන් පස්‌සේ, වසරක කාලයක්‌ නාරාහේන්පිට, මැනුම්පති දෙපාර්තමේන්තුවේ මම සේවය කළා. ඊට පස්‌සේ මම ශිෂ්‍යත්වයක්‌ ලැබිලා, 1985 දී සෝවියට්‌ දේශයට පැමිණියා. එදා ඉදන් මම වසර තිස්‌ තුනකට ආසන්න කාලයක්‌ පදිංචිවෙලා ඉන්නේ විදේශගතව. 
 
 ප්‍රශ්නය – ඔබේ දෙමව්පියන් පිළිබඳව හැඳින්වීමක්‌ කළොත්…?
 
 පිළිතුර – මගේ අම්මාගේ නම නන්දා සමරසිංහ දිසානායක. තාත්තා, විල්මට්‌ වීරතුංග… මගේ තාත්තාගේ ගම මාතර. මගේ අම්මා, පාලටුවේ… මගේ අම්මයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාගේ අම්මයි එක කුසේ උපන් සහෝදරියන්… ඒක නිසා තමයි අපේ අම්මා මැදමුලනට පදිංචියට ගියේ… 
 
 ප්‍රශ්නය – සෝවියට්‌ දේශයේ ඔබේ ජීවිතය ගැන කතා කළොත්…
 
 පිළිතුර – මගේ අධ්‍යාපන කටයුතු සඳහා සෝවියට්‌ දේශයේ බලධාරීන් එදා මට ලබා දුන්නේ, යුක්‌රේනයේ කිව් නගරයයි. ඒ අනුව මම එම පළාතට පැමිණියා. එදා සිට මම කිහිප තැනක අධ්‍යාපනය ලැබුවා. අධ්‍යාපන කටයුතු කරන අතරේම මම ව්‍යාපාරික කටයුතු සඳහාත් යොමු වුණා. ඒ 1991 – 1993 කාලය. මේ කාලයේදී සෝවියට්‌ දේශයේ රටවල්, වෙන් වන්නට පටන් ගත්තේ. පෙරස්‌ත්‍රොයිකා වැඩපිළිවෙළෙන් පස්‌සේ, සෝවියට්‌ සමාජවාදී ජනරජය වෙනස්‌ වෙලා, එහෙ ජීවත්වන විදේශිකයන්ට සහ සෝවියට්‌ දේශයේ වැසියන්ට වෙළෙඳ ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා අවසර ලැබුණා. ඒ එක්‌කම මම වෙළෙඳ ව්‍යාපාර ආරම්භ කළා. මගේ අධ්‍යාපනයෙන් පස්‌සේ මම යළිත් ලංකාවට එන්නේ නැතුව, ව්‍යාපාර කටයුතු කරගෙන ගියා. 
 
 ප්‍රශ්නය – ඔබ සෝවියට්‌ දේශයට පැමිණියේ ශිෂ්‍යයකු ලෙස. මේ කාලය වන විට ඔබට එම රටේ පුරවැසිභාවය ලැබී තිබුණාද…? 
 
 පිළිතුර – නැහැ… මේ කාලය වන විට මට යුක්‌රේනයේ ස්‌ථිර විසා ලැබී තිබුණා. එවැනි විසා පතක්‌ සාමාන්‍යයෙන් ලැබෙන්නේ, ඒ රටේ කෙනෙක්‌ව විවාහ කරගත් විටයි. එවැනි දෙයක්‌ නොමැතිවම මට විසා ලැබුණා. මම එතකොට තනිකඩයෙක්‌… කිව් නගරයේ නගරාධිපති විසින්, මම ඒ නගරයට අවශ්‍ය කෙනෙක්‌ ලෙස නම් කරලා, මම කැමති නම් මට එහි වීසා ලබාදෙන ලෙස ඉල්ලීමක්‌ කරලා තිබුණා. 1991 වන විටත්, ඒ රටේ පරිපාලනය සමග මට තිබුණු සම්බන්ධය කොයිතරම් ද කියන එකයි, මම ඒකෙන් කියන්න හදන්නේ… එසේ විසා ලැබුණු ආසියාවේ එකම පුද්ගලයා මම. අදටත් මම ඒ විසා එක තමයි පාවිච්චි කරන්නේ…
 
 ප්‍රශ්නය – මේ වන විට ඔබ ව්‍යාපාරිකයකු ලෙස කටයුතු කරමින් සිටියා…?
 
 පිළිතුර – ඔව්… එදා සෝවියට්‌ දේශයේ පෙරෙස්‌ත්‍රොයිකා වැඩපිළිවෙළ නිසා අපට ඒ රටේ මුල්ම පුද්ගලික ව්‍යාපාරිකයන් වීමට හැකි වුණා. එවැනි අවස්‌ථාවක්‌ යළිත් ලැබෙන්නේ නැහැ. වසර හැත්තෑවක පමණ කාලයක්‌ පුරා, සෝවියට්‌ දේශයේ ජනතාවට තමන්ගේ ව්‍යාපාරයක්‌ කියන අදහස තිබුණේ නැහැ. ඒ විතරක්‌ නෙමෙයි, ඒ අයට ජාත්‍යන්තරය සමග සම්බන්ධකම් තිබුණේ නැහැ. මේ නිසා බටහිර සමග සම්බන්ධ වෙලා ව්‍යාපාර පටන් ගැනීමේ හොඳ හැකියාවක්‌, ලංකාවෙන් එහෙට ගිහිල්ලා හිටපු අයට තිබුණා. මේ අවස්‌ථාව ගොඩක්‌ ලාංකිකයන් ප්‍රයෝජනයට ගත්තා. මම තේ, සංචාරක, ආදී ව්‍යාපාර පටන් ගත්තා. මම ගෙවල් දොරවල් ගත්තා… කඩ සාප්පු ගත්තා. රෙස්‌ටුරන්ට්‌ දැම්මා… පළවැනි වතාවට යුක්‌රේනයේ සිට සෘජු ගුවන් ගමනකින් එහේ සංචාරකයෝ ලංකාවට ගෙනාවේ මම. ඒ එක්‌දහස්‌ නවසිය අනූ ගණන් වල… ඒ ගුවන් යානය සංචාරකයන් එකසිය හැත්තෑවක්‌ පමණ රැගෙන කොළඹට ආවා. ඒ ගුවන් යානය දවස්‌ ගණනක්‌ කටුනායක තියාගෙන, ආයෙත් ඒ අය අරගෙන මම ගියා… එදා මට දැනුණේ පුදුම සන්තෝෂයක්‌… මගේ රට ඒ අයට පෙන්වන්න මට පුළුවන් වුණා. පස්‌සේ කාලයක ඒ ෆ්ලයිට්‌ එක, ශ්‍රී ලංකාව මිලදී ගත්තා… ඒ විතරක්‌ නෙමෙයි, ඒ වර්ගයේ ගුවන් යානා හතරක්‌ මිලදී ගන්නට මට පහසුකම් ලබා දීමට හැකි වුණා. ඒක මම කළේ ව්‍යාපාරයක්‌ විදිහට නෙමෙයි. මට ඒවායෙන් කිසිම මුදලක්‌ ලැබුණේ නැහැ. මට තිබුණු සම්බන්ධකම් සමග මගේ රටට අවශ්‍ය දේවල්, ලබා දීමෙන් මම විශාල තෘප්තියක්‌ ලැබුවා. මුදල කියන යම් තරමකට මිනිසුන්ට ජීවත් වෙන්න අවශ්‍යයි. ඒ වුණාට, අපි හැමදේම, හැමවෙලේම මුදල් ගැන හිතන්නේ නැහැ. මුදලින් හැම දේම දකින, මනින අයට අපිව තේරුම් ගන්න අමාරුයි. 
 
 ප්‍රශ්නය – ව්‍යාපාරිකයෙක්‌ වුණු ඔබ තානාපතිවරයෙක්‌ වුණේ කොහොමද…?
 
 පිළිතුර -1991 වසරෙන් පසුව තමයි, සෝවියට්‌ දේශය වෙන්වන්නේ… ඒ වෙලාවේ අපේ තානාපති කාර්යාලය තිබුණේ, මොස්‌කව් නුවර. 1958 පෙබරවාරි 18 වැනිදා තමයි, ඒක ආරම්භ කළේ. එදා පළවැනි තානාපතිතුමා විදිහට මහාචාර්ය ගුණපාල මලලසේකර මහතාව, එස්‌. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්‌ඩාරනායක අගමැතිතුමාගේ ආණ්‌ඩුව විසින් පත් කර එව්වා… සෝවියට්‌ දේශය කැඩිලා වෙන්වෙලා, ගියාට පසුවත් අපි ඒ සියලු රටවල් සඳහා පාවිච්චි කළේ, මොස්‌කව් නුවර තානාපති කාර්යාලය. ඒ හැම කැඩිලා ගිය රටක්‌ම වෙන වෙනම රටවල් වුණත්, අපි ඒ රටවල් සඳහා පාවිච්චි කළේ එක තානාපති කාර්යාලයක්‌ විතරයි. අපේ එක තානාපති ඒ රටවලට ගිහිල්ලා, අක්‌තපත්‍ර දීලා, ඒ සියලු රටවල් සමඟ මොස්‌කව්වල ඉදන් වැඩ කළා. මේ විදිහට වැඩ කරගෙන යැම අපහසු වෙනකොට, ඒ ඒ රටවලට ගරු කොන්සල්වරු පත්කරන්න ශ්‍රී ලංකා රජයට සිදු වුණා. විශේෂයෙන්ම අනූ ගණන් වල, ලංකාවේ ත්‍රිවිධ හමුදාවන් යුක්‌රේන හමුදා සමග සම්බන්ධතා ඇතිකරගෙන තිබුණා. 1991 වසරේදී, ඩින් අයියා කියන, මටත් වඩා වසර පහකට පෙර යුක්‌රේන්වලට පැමිණි කෙනක්‌ සහ මා කැදවා, තානාපති කාර්යාලය විසින් අපෙන් ඉල්ලීමක්‌ කළා, මේ හමුදාවන්ට අවශ්‍ය සේවාවන් සලසා දෙන ලෙස. ඒ කාලයේ යුක්‌රේනය ආදී රටවල ශ්‍රී ලාංකිකයන් ලෙස හිටියේ ශිෂ්‍යයෝ… ඔවුන් සතුව වෙනත් පිරිසකට පහසුකම් සැලසීමේ හයියක්‌ තිබුණේ, නැහැ.

මම ඒ වෙනකොට වාහනයක්‌ තිබුණු කෙනෙක්‌. ඒ රටවල විදේශිකයන්ට වාහන ගන්න බැහැ. මුළු සෝවියට්‌ දේශයෙන්ම, ශිෂ්‍යයෙක්‌ ලෙස නිල වශයෙන් වාහනයක්‌ ගත්ත විදේශිකයා මම… ඒ වාහනය ලියාපදිංචි කිරීමත් ප්‍රශ්නයක්‌ වුණා. විදේශීය ශිෂ්‍යයෙක්‌ තමන්ගේ නමට වාහනයක්‌ ගත්ත පළවැනි අවස්‌ථාව තමයි ඒ… ඒ විදිහේ අවස්‌ථාවකට එහේ පොලීසිය මුහුණ දීලා තිබ්බේ නැති නිසා මගේ වාහනය ලියාපදිංචි කළේ, තානාපති කාර්යාල සඳහා ලබා දෙන ක්‍රමවේදය අනුවයි. ඒ නිසා ශ්‍රී ලංකාවෙන් එවැනි කණ්‌ඩායම් ආවාහම වාහනයක්‌ තිබ්බ කෙනෙක්‌ හැටියට, පහසුකම් සලසන්න මට හැකියාව ලැබුණා. අනෙක්‌ එක තමයි, භාෂා ප්‍රශ්නය. මම ඒ කාලයේ කටයුතු කළේ, බොහෝ වෙලාවට අපේ වියදමෙන්… අපිට ඒ සඳහා කිසිම දීමනාවක්‌ ලැබුණේ නැහැ… නමුත් අපි ඒ කටයුතු ඉතා සතුටින් ඉටු කළා. අපේ රටේ පිරිසකට කෑම ටිකක්‌ දීලා, සංග්‍රහ කරලා, ගමනක්‌ බිමනක්‌ එක්‌කන් ගිහිල්ලා අපි විශාල සතුටක්‌ ලැබුවා. මෙහෙම යනකොට එන එන හැම දූත පිරිසක්‌ සමගම මම සම්බන්ධ වීම අනිවාර්යය කටයුත්තක්‌ වුණා. මමත් ඉතාම සතුටින් ඒවා ඉෂ්ට කළා. විශේෂයෙන්ම හමුදාවේ අය සමග මට සම්බන්ධ වෙන්න පුළුවන් වුණා. විශේෂයෙන්ම ගුවන් හමුදාවේ අය තමයි වැඩිපුර ආවේ… ඒ අය රාශියක්‌ මගේ මිත්‍රයෝ වුණා. ඒ එක්‌කම මම ඒ හැම දේටම යන නිසා යුක්‌රේන් අයත් මාත් සමඟ හොඳ සම්බන්ධකමක්‌ ගොඩනඟා ගත්තා. මේ කාලයේදී විදේශ අමාත්‍ය ලක්‍ෂමන් කදිරගාමර් මහතා මට ලංකාවට එන්න කියලා, මාව සම්මුඛ පරීක්‌ෂණයට භාජනය කරලා, යුක්‌රේනයේ ගරු කවුන්සිල් තනතුරට මාව පත් කළා. ඒ තනතුරට වීසා එකක්‌වත් ලබා දීමේ හැකියාවක්‌ නැහැ. වැටුපක්‌ නැහැ. යම් දූත පිරිසක්‌ ආ විට තමන්ගේ මුදලින් ඒ දේවල් කළ යුතු වෙනවා. ඒක මා ඉතාම සතුටින් කළා. එදා ඉඳන්, තානාපති තනතුර මට ලැබෙනකම් මම ඒ තනතුරේ වැඩ කළා. 
 
 ප්‍රශ්නය – 2006 පෙබරවාරියේදී සිංගප්පූරුවේ ඩී. එස්‌. එලයන්ස්‌ අධිපති ටී. එස්‌. ලී මහතා හමුවීමට ගොස්‌ ඔහු මාර්ගයෙන් යුක්‌රේනයේ යුක්‌රේන්මාෂ් සමාගම සමඟ මිග් යානා ගනුදෙනුව සඳහා අතරමැදි කටයුතු කළ බවට ඔබට චෝදනා එල්ල වුණා. සති අන්ත ඉංග්‍රීසි පුවත් පත් මගීන් ඔබට මේ චෝදනාව එල්ල වන්නේ මිග් ගනුදෙනුව පිළිබඳව කතා බහ වන මුල් අවස්‌ථාවේදී… කවුද මේ ටී.එස්‌.ලී.කියන පුද්ගලයා…
 
 පිළිතුර – අපේ පිරිස්‌ සෝවියට්‌ දේශයට එන්න පටන් ගත්තේ 1991 ඉඳලා… එදා සිට ලාංකික දූත පිරිස්‌ සමග, හැම විටම ආවේ, සිංගප්පුරු දූත පිරිස්‌… ඔවුන් ආවේ, අතර මැදියන් ලෙස කටයුතු කිරීම සඳහායි. එවැනි කිසිම කෙනෙක්‌ එක්‌ක මම ගනුදෙනු කරලා නැහැ… සිංගප්පුරුවෙන් යුක්‌රේනයට ආපු පිරිස්‌ එක්‌ක මගේ සම්බන්ධතාවය තිබ්බේ, අනික්‌ ශ්‍රී ලාංකික දූත පිරිසට තිබ්බ සම්බන්ධතාවයම තමයි. ඊට වඩා මගේ සම්බන්ධතාවය තිබ්බේ යුක්‌රේන් අයත් සමග…
 
 ප්‍රශ්නය – ඔබ සහ යුක්‌රේන්මාෂ් කියන සමාගම අතර තිබ්බ සම්බන්ධය කුමක්‌ද…?
 
 පිළිතුර – පැරණි සෝවියට්‌ දේශයට අයත් යුධ ආයුධ නිෂ්පාදනය කරන ප්‍රධාන රටවල් වන්නේ රුසියාව, යුක්‌රේන්, කසකස්‌ථාන්, බෙලොරසියා කියන රටවල්… ඒ හැම රටක්‌ම, යුද ආයුධ විකිණීමේ ක්‍රම වේදයක්‌ ඇති කර තිබෙනවා. ආරක්‌ෂක අමාත්‍යාංශය යටතේ, අවි විකිණීම සඳහා සෙමි ගව්රන්ට්‌මන්ට්‌ ආයතනයක්‌ පිහිටුවනවා. ඒ සඳහා යුක්‌රේනයේදී තවත් ආයතන පහක්‌, මව් ආයතනය යටතේ පිහිටවා තිබුණා. ඒ ආයතන පහ බෙදාගෙන තිබුණේ, එක එක රටවල් සහ ප්‍රාන්ත සඳහා වෙළෙඳාම් කිරීමට. යුක්‌රේනය රටක්‌ ලෙස වෙන් වුණ විට, මේ මව් ආයතනයේ ප්‍රධානියා වුණේ, මාලේෆ් මහතා. ඔහු මා හොඳින් හඳුනන කෙනෙක්‌. ඔහු පසු කාලයකදී හදිස්‌සි අනතුරකින් මිය ගියා. ලංකාව සමඟ වැඩ කරන්න යුක්‌රේන්මාෂ් එක වෙන් කළේ, මාලේෆ් මහතා. එදා ඉඳලා ලංකාව යුද උපකරණ මිලදී ගත්තේ යුක්‌රේන්මාෂ් සමාගම මගින්. මුල් කාලයේදී ලංකාව භාණ්‌ඩ ගත්තේ, සිංගප්පූරු සමාගම් අතරමැදියන් කර ගනිමින්. ඇන්ටොනෝෆ් ගුවන් යානා අටක්‌ මුලින්ම ලංකාව, යුක්‌රේන්මාෂ් වලින් ගත්තා. ඒ අට ගත්තෙත් සිංගප්පූරු ජාතිකයන් හරහා. එදා ලංකාවේ නියෝජිතයා විදිහට වැඩ කළේ, දයා වෙත්තසිංහ. එදා ඉඳන් මේ බඩු ගත්ත හැම වෙලාවකම අපේ නියෝජිතයන්ට පහසුකම් සැලසීම සඳහා, අපි ගියා. ඒ වෙලාවල් වල හිටිය සිංගප්පුරු අය අපිත් අඳුර ගත්තා… ඒ වුණාට නම් කියලා, මතක තියා ගන්න තරම් සම්බන්ධයක්‌ අපිට තිබුණේ නැහැ… ඒ අය එක්‌කගෙන යන විට අපිට යුක්‌රේන්මාෂ් එකේ අය හඳුනාගන්න ලැබුණා… පසුවත් ඒ අය හමුවුණා… ඊට එහා ගිය ගනුදෙනු කරන සම්බන්ධයක්‌ අපිට තිබුණේ නැහැ…
 
 ප්‍රශ්නය – කොමිස්‌ මුදල් ලබා ගන්නා තැරව්කාර සමාගමක්‌ ඔබට තිබුණාද…? එසේ නැත්නම් එවැනි තැරව්කාර සේවයක්‌ සඳහා හෝ අතරමැදි කටයුතු සඳහා ඔබ නියෝජිතයකු ලෙස කටයුතු කළාද…? 
 
 පිළිතුර – එවැනි කිසිම කර්තව්‍යයක මම යෙදිලා නැහැ කියන එක, මම ඉතාම පැහැදිලිව කියන්න කැමතියි… ඒ ව්‍යාපාරය කළේ, යුක්‌රේන්මාෂ් ප්‍රධානියා, ලංකාවේ නියෝජිත පිරිස සහ අතරමැදි ආයතන. මම ඒ කිසිවක්‌ සමග වැඩ කළේ නැහැ. මිල මුදල් ගැනවත්, ඒ ගිවිසුම් ගැනවත් අපි දන්නේ නැහැ… අපි කළේ අපේ නියෝජිතයන්ට අවශ්‍ය දේවල් කර ගැනීම සඳහා පහසුකම් සැලසීම පමණයි. අපේ හමුදා නිලධාරීන් ආවත් ඒ කිසිවෙක්‌ ගණන් ගැන කතා කළා, අපි දැක්‌කේ නැහැ. ඒ අය කතා කළේ ඒවායේ තාක්‌ෂණික පැත්ත ගැන විතරයි. පරිවර්තන දේවල් කරපු නිසා මම ඒ ගැන දන්නවා. මට කොමිස්‌ ගන්න ආයතන තිබුණේ නැහැ. එවැනි සමාගමක්‌ සමග මම කවදාවත් වැඩ කළෙත් නැහැ. මම එවැනි කිසිම ගනුදෙනුවක්‌ කළෙත් නැහැ. මගේ ව්‍යාපාර මම කරගෙන ගියා… ඔය වැනි ව්‍යාපාර සමග මම සම්බන්ධ වුණේ නැහැ… 
 
 ප්‍රශ්නය – ඔබේ බැංකු ගිණුමේ කොපමණ මුදලක්‌ තිබෙනවාද…?
 
 පිළිතුර – දැන් ඒක ඉතාම ප්‍රසිද්ධයි… ඩොලර් මිලියන එකහමාරක්‌ මගේ ගිණුම්වල තිබෙනවා කියා මාධ්‍යවල පළවුණා…මම තරමට තමන්ගේ ගිණුම්වල තිබෙන තත්ත්වය කියපු කෙනෙක්‌ නැතුව ඇති… 2015 අප්‍රේල් 29 ඉඳන්, මට අදාළ සියලු ගිණුම් නතර කරලා තියෙනවා. ඒවා කළේ, උසාවි නියෝගයක්‌වත් නැතුව. 2017 ජනවාරි හයවෙනිදා, උසාවි නියෝගයක්‌ අරගෙන ඒ ගිණුම් අක්‍රිය කළා. මට අදාළ දේපළ විකිණීම තහනම් කරමින් නියෝගයක්‌ පනවලා තිබෙනවා. මගේ නිවස මම හදන්න පටන් ගත්තේ 1991 වසරේදී. ඒවාට පවා තහංචි පනවන තැනට ආණ්‌ඩුව පත්වෙලා තිබෙනවා. 
 
 ප්‍රශ්නය – පොලිස්‌ මූල්‍ය අපරාධ කොට්‌ඨාසය මිග් ගනුදෙනුව සම්බන්ධයෙන් මුලින්ම මහෙස්‌ත්‍රාත් උසාවියට කරුණු දක්‌වනු ලැබුවේ 2015 මාර්තු 26 වැනිදා අංක 639/15 දරන බී වාර්තාවෙන්. ඒ අවස්‌ථාවේදී අවධානයට යොමු වී තිබුණේ 2006 දී ඉංගී්‍රසි පුවත්පත් දෙකක්‌ විසින් ගෙනහැර දක්‌වා තිබිණු ප්‍රහාරක යානා වල මිල වෙනස්‌වීම පිළිබඳ සහ ගෙවීම් තුන්වැනි පාර්ශ්වයකට කර තිබීම යන කාරණා දෙකය. 2016 සැප්තැම්බර් 26 වැනිදා මූල්‍ය අපරාධ කොට්‌ඨාසය වාර්තා කර සිටියේ, මිග් 27 යානා 4 ක්‌ මිලදී ගැනීමටත් තවත් මිග් යානා 4 ක්‌ අලුත්වැඩියා කිරීමටත් 2006 දී ඇතිකර ගන්නා ලද ගිවිසුම අත්සන් කර තිබුණේ ස්‌ථාන දෙකකදී බවත් එයට යුක්‌රේන්මාෂ් හා බෙලිමීෂා හෝල්ඩිංග්ස්‌ යන පාර්ශ්වකරුවන් රුසියාවේ ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංගගේ නිල නිවසේදී අත්සන් තැබූ බවත් ඉන්පසු තානාපතිවරයා විසින් එම ගිවිසුම කොළඹට ගෙනවිත් ගුවන් හමුදාපතිවරයාගේ අත්සන ලබාගත් බවත් ය. මිග් චෝදනාව නෛතික ආකාරයෙන් කරළියට බසින්නේ මෙතැනින්… ඔබ මේ සඳහා දෙන පිළිතුර කුමක්‌ද…?
 
 පිළිතුර – ගිවිසුම ලංකාවට ගෙනහල්ලා, ගුවන් හමුදාපතිගේ අත්සන ලබා ගෙන ගෙනිච්චා කියන චෝදනාවට මම මුලින්ම පිළිතුරු දෙන්නම්… ඒ අයගේම බී වාර්තාවවල සඳහන් වෙන්නේ, ගුවන් හමුදාව ලිපි ගණනක්‌ හුවමාරු කරලා, මෙම ගිවිසුම අත්සන් කළා කියලා. ඇත්තටම ගුවන් හමුදාව විසින් යුක්‌රේන්මාෂ් සමඟ ලිපි ගණනාවකින් සාකච්ඡා කරලා, අදාළ දළ ගිවිසුම අවසන් කළා. ඊට පසුව එදා හිටපු ගුවන් හමුදාපතිතුමා, යුක්‌රේන්මාෂ් ආයතනයට වගකීමේ ලිපියක්‌ ලබා දෙනවා. එහි සඳහන් වන්නේ මේ ගිවිසුම අත්සන් කිරීම සඳහා කැබිනට්‌ අනුමැතිය වැනි ක්‍රියා පටිපාටින් අනුගමනය කරන්න තිබෙන නිසා එය අත්සන් තැබීම තව ටික කාලයකට ප්‍රමාද වෙනවා. අපේ රටේ යුද්ධයක්‌ තිබෙන නිසා, මෙම ගිවිසුම අත්සන් කළාට පසු ගුවන් යානා අලුත්වැඩියාව පටන් ගත්තොත්, තවත් කාලයක්‌ ගතවෙන නිසා, මේ ගුවන් යානා අලුත්වැඩියාව ආරම්භ කරන්න කියලා. ඒ සඳහා ලබාදෙන වගකීමේ සහතිකයක්‌ ලෙසයි, අර ලිපිය ගුවන් හමුදාපතිවරයා යවන්නේ… මේ අලුත්වැඩියා කටයුතු සිද්ධ වන්නේ අපේ නිලධාරීන්ගේ ඇස්‌ පනා පිට. ඔවුන් බලා සිටියදීම තමයි අලුත්වැඩියා කටයුතු සිදුකරන්නේ. මේ සඳහා ගුවන් හමුදා පිරිස්‌ යවන්නේ, මේ ගිවිසුම අත්සන් කරන්න කලින්… ගිවිසුම අත්සන් කරන්න කලින් අපේ නියෝජිතයෝ එහේ ගිහිල්ලා හිටියා නම්, ගිවිසුම අත්සන් තබන තෙක්‌ වගකීමේ ලිපියක්‌ දීලා තිබුණා නම්, මේ වන විට යුක්‌රේන් නියෝජිතයෝ ලංකාවට කිහිපවාරයක්‌ම ඇවිල්ලා තිබුණා. ගිවිසුම හදන්නේ, ගුවන් හමුදාව, ඒක ප්‍රින්ට්‌ කරන්නේ ගුවන් හමුදාව… ඒ සියල්ලෙන්ම පෙනෙන්නේ, මේ ගිවිසුම හැදුවේ, ගුවන් හමුදාව කියන එකයි… එහෙනම් මම මොන ගිවිසුමක්‌ හදලා අරගෙන එන්නද…? ඊට පස්‌සේ කියනවා, ඒක ගුවන් හමුදාපති ලවා අත්සන් කරවාගෙන අයෙත් අරගෙන ගියේ මමය කියලා… ඒක මත්තේ තමයි, මම සැකකාරයෙක්‌ වෙන්නේ… ඒ කාලය තුළ මම හිටියේ තානාපතිවරයා ලෙස. මම ඒ කාලයේ රාජ්‍යතාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රයකින් ආවා නම්, ඒ දින ටික, කටුනායක ගුවන්තොටුපළේ දත්තවල තිබිය යුතුයි. ඒ කාලයේ, මම එහෙම ආවා නම්, ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන්, ඒ තොරතුරු ගන්න පුළුවන්… ඔය කාලයේදී අවම වශයෙන් මම රටටවත් එන්නේ නැතුව, කොහොමද මම ගිවිසුමක්‌ ගෙනෙහල්ලා, අත්සන් කරගෙන ගියා කියන්නේ… 
 
 ප්‍රශ්නය – ගිවිසුම ස්‌ථාන දෙකකදී අත්සන් කළ බවට එල්ල වෙන චෝදනාව… 
 
 පිළිතුර – ඒක මම පිළිගන්නවා… ඒක සාමාන්‍ය දෙයක්‌… යුක්‌රේන් පැත්තේ අය තානාපති කාර්යාලයට ඇවිල්ලා ඒක අත්සන් කළා… තානාපති කාර්යාලයක්‌ තිබෙන්නේ එවැනි කටයුතු කිරීම සඳහායි… මේ ගිවිසුම පමණක්‌ නොවෙයි, එවැනි බොහෝ ගිවිසුම් තානාපති කාර්යාලවල අත්සන් තබා තිබෙනවා. ඒ ගිවිසුම ලංකාවට එව්වා… ඒකට ගුවන් හමුදාපති අත්සන් තබලා, එහෙට යෑව්වා… ඒවාට මගේ කිසිම සම්බන්ධයක්‌ නැහැ… 
 
 ප්‍රශ්නය – මේ ලියවිල්ල කූට ලේඛනයක්‌ බව තහවුරු කිරීමට යුක්‌රේන්මාෂ් සමාගමේ අධ්‍යක්‍ෂ ඩී. ඒ. පෙරුගුඩොව් මේ ගිවිසුමට තබා ඇති අත්සනත් ඔහු ශ්‍රී ලංකා රජය සමඟ හුවමාරු කරගෙන තිබුණු වෙනත් ලිපිවල තිබූ අත්සනත් අතර වෙනසක්‌ ඇති බවද මූල්‍ය අපරාධ කොට්‌ඨාසය වාර්තා කර තිබෙනවා. මේ ගිවිසුමේ ඩී. ඒ. පෙරුගුඩොව්ගේ අත්සන් වෙනත් ලිපිවල ඇති ඔහුගේ අත්සනට වඩා වෙනස්‌ බවට චෝදනාවක්‌ ඉදිරිපත්ව තිබෙනවා. මේ සාක්‌ෂි මත පදනම්ව උදයංග වීරතුංග දණ්‌ඩ නීති සංග්‍රහයේ 454 හා 457 යන වගන්තිවලට අදාළ කූට ලේඛන සැකසීමක්‌ කර තිබෙන බව මූල්‍ය අපරාධ කොට්‌ඨාසය අධිකරණයට වාර්තා කළා. පෙරුගුඩොව්ගේ අත්සන ව්‍යාජ අත්සනක්‌ වූයේ කොහොමද…? 
 
 පිළිතුර – මේ ගිවිසුමට පෙරුගුඩොව් මහතා අත්සන් තබලා නැහැ… එදා එම ලියවිල්ලට අත්සන් කළේ ඩී. ඒ. පෙරුගුඩොව් නොවේ. ඔහු වෙනුවෙන් යුක්‌රේන්මාෂ් සමාගමේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වූ ගෙනාඩි ස්‌ටුඩෙනිකින් මහතා තමයි අත්සන් කළේ… ඒ සඳහා නිල බලයෙන් ඔහුට අයිතියක්‌ ඇති… මෙතැනදී තවත් වැදගත් දෙයක්‌ තිබෙනවා… යුක්‌රේන්මාෂ් නියෝජ්‍ය අධ්‍යක්‍ෂ මේ ගනුදෙනුව ගැන සාකච්ඡා කිරීමට ලංකාවට පැමිණියා. ඒ පමණක්‌ නොව ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ රොෂාන් ගුණතිලක හා ගුවන් යානා ඉංජිනේරු අංශයේ ප්‍රධානී ඊ. ජී. අයි. පී. ද සිල්වා වැනි නිලධාරීන් යුක්‌රේනයට ගිය විට ඔවුන්ව යුක්‌රේන්මාෂ් සමාගම වෙනුවෙන් පිළිගෙන තිබුණේත් මේ ස්‌ටුඩෙනික්‌ මහතායි. මිග් 27 යානා හතර සහ අලුත්වැඩියා කරන ලද මිග් යානා හතර ලංකාවට බාර දීමේදී එකල ගුවන් කොමදෝරු ඊ. ජී. අයි. පී. ද සිල්වා සමඟ ‘භාර දීමේ සහතික’වලට යුක්‌රේන්මාෂ් සමාගම වෙනුවෙන් අත්සන් තිබ්බෙත් මේ ස්‌ටුඩෙනික්‌මයි. ඒ මහතා විසින් මේ සම්බන්ධව යුක්‌රේන් නීතිපතිවරයා වෙත කට උත්තරයක්‌ ලබා දෙනවා. ඒ කට උත්තරයේදී, ඔහු කියන්නේ, මේ ගිවිසුම අත්සන් කළේ, මම කියන එකයි. මේ පරීක්‌ෂණය සඳහා ලංකාවේ පොලිස්‌ නිලධාරීන්, යුක්‌රේනයට එනවා… ඒ කිසිම අවස්‌ථාවක මගෙන් කට උත්තරයක්‌ ගන්නේ නැහැ… ස්‌ටුඩෙනික්‌ මහතාගෙන් මේ ගිවිසුමට අත්සන් තැබීම පිළිබඳව කට උත්තරයක්‌ ගන්නේ නැහැ… රියෑදුරන්ගෙන් පවා කට උත්තර ගන්නවා… ඕනෑම කෙනාගෙන් කට උත්තර ගන්නේ නැහැ. යුක්‌රේන්මාෂ් එකේ ඉන්න රියෑදුරන්ගේ කට උත්තරය ඔවුන්ට වැදගත් ස්‌ටුඩෙනිකින්ගේ කට උත්තරයට වඩා… එයින් පෙනෙනවා, මේ කරන්නේ අපරාධ පරීක්‌ෂණයක්‌ ද දේශපාලන පළිගැනීමක්‌ සඳහා කරන ප්‍රබන්ධයක්‌ ද කියන එක…
 
 ප්‍රශ්නය – 2006 මිග් ගනුදෙනුව සම්බන්ධයෙන් ගෙවීම් කර ඇත්තේ යුක්‌රේන්මාෂ් කියන රාජ්‍ය සමාගමට නොව බෙලිමීසා හෝල්ඩිංග්ස්‌ නමැති තුන්වැනි පාර්ශ්වයකටයි. බෙලිමීෂා හෝල්ඩිංග්ස්‌ සමාගම විසින් එම මුදල් යුක්‌රේන්මාෂ් සමාගමට ලබාදී නැති බවත් එමනිසා උදයංග වීරතුංග කූට ලේඛනයක්‌ සකසා රජයෙන් මුදල් වංචා කර ඇති බවත්, මෙය දණ්‌ඩ නීති සංග්‍රහයේ 400 සහ 459 වගන්ති යටතේ අපරාධයක්‌ බවත් ව්‍යාජ ලේඛන යොදාගෙන රජයේ මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් 1982 අංක 12 දරන රාජ්‍ය දේපළ සම්බන්ධ අක්‍රමිකතා පිළිබඳ පනතේ 5 වැනි වගන්තිය යටතේ ද උදයංග වීරතුංග සම්බන්ධයෙන් විමර්ශනයක්‌ කෙරෙන බවත් මූල්‍ය අපරාධ කොට්‌ඨාසය පවසා තිබෙනවා. ශ්‍රී ලංකා රජය සහ යුක්‌රේන රජය අතර අත්සන් තබන ලද ගිවිසුමක්‌ සඳහා තෙවන පාර්ශවයක්‌ වෙත මුදල් ගෙවන්නේ ඇයි…?
 
 පිළිතුර – බෙලිමීෂා හෝල්ඩිංග්ස්‌ සමාගම කියන්නේ ණය සේවා සපයන ආයතනයක්‌… යුක්‌රේන්මාෂ් කියන්නේ රාජ්‍ය සමාගමක්‌… ගිවිසුම අත්සන් කරලා තියන්නේ යුක්‌රේනයේ රාජ්‍ය ආයතනයක්‌ සමඟ. මේ ගැන සාකච්ඡා කරලා තියෙන්නේ අතරමැදියෝ මාර්ගයෙන් නෙමෙයි… ඊට කලින් සිද්ධ වුණේ, අතරමැදියෝ හරහා යුක්‌රේන්මාෂ් එක්‌ක කතා කරපු එකයි. මේ ගනුදෙනුවේදී වැඩ කළේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ යුක්‌රේන්මාෂ්… යුක්‌රේන් නීතිය අනුව ණයට බඩු දෙන්න බැරි නිසා, අපේ ඉල්ලීම මත, අතරමැදි සමාගමක්‌ හෙවත් ආයෝජන සමාගමක්‌ ලෙස බෙලිමිෂා ආයතනය එක්‌වෙලා තියෙන්නේ… අපි බඩු ඉල්ලන්නේ ණයට නම්, යුක්‌රේනයේ නීතිය අනුව ණයට බඩු දෙන්න බැරි නම් මොකද කරන්නේ… ඒ සඳහා ණය පහසුකම් සපයන ආයතනයක්‌ ඕනේ… ඒක තමයි බෙලිමිෂා ආයතනය… ඒක යෝජනා කරන්නේ යුක්‌රේන්මාෂ්… බෙලිමිෂා ආයතනයට මුදල් යවන්න කියන එක යෝජනා කරන්නේ යුක්‌රේන්මාෂ්… අපි බඩු ගන්නවා නම්, සල්ලි ගෙවන්න ඕනේ, බඩු ගන්න කෙනාට හෝ එයා කියන කෙනෙකුට… ඒ අනුව තමයි ආයෝජන සමාගමට මුදල් ගෙව්වේ… ඒක ගිවිසුමේ තියෙනවා…. ගිවිසුමට අනුව තමයි, බෙලිමිෂා ආයතනයට මුදල් ගෙව්වේ… නමුත් ගනුදෙනුව සිදුවුණේ, බෙලිමිෂා ආයතනය සමඟ නෙමෙයි, යුක්‌රේන්මාෂ් සමඟ….එතැන තියෙන වැරැද්ද මොකද්ද…? මීට කලින් යුක්‌රේන්මාෂ් වලින් අපි බඩු ගත්තාට ඒ ගනුදෙනු ගැන කතා කළේ අතරමැදි ආයතන සමග… මෙතැනදී එහෙම නොවී කෙලින්ම යුක්‌රේන්මාෂ් එක්‌ක තමයි ගනුදෙනු කළේ… ආණ්‌ඩු දෙකක්‌ අතර ගනුදෙනුවක්‌ සහ අතිශයින්ම විනිවිදභාවයෙන් එම කටයුතු සිදුවී තිබෙනවා. 
 
 ලබන සතියේ 
 
  * ඔබ රුසියානු ඔත්තු කරුවෙක්‌ද…?
 
  * ඩුබායි වලින් පැන ගත්තේ කොහොමද…?
 
  * යුක්‌රේනයට ඔබ සොයා ආ පොලිස්‌ නිලධාරීන් සිටි හෝටලයේ වෙනත් මේසයක්‌ මත ඔබ කෑම කමින් සිටියාද…?
 
  * මේ ආණ්‌ඩුව පෙරළන්න රුසියානු ආණ්‌ඩුව සමග එක්‌ව කුමන්ත්‍රණ කරනවාද…?
 
  * ජනාධිපති පුටින්ගේ කාමරයේ දොර ඇරගෙන ඕනෑම වෙලාවක යන්න පුළුවන්ද…?
 
 උදයංග පිළිතුරු දෙයි. 

3 Responses to “ආණ්‌ඩුවට අල්ලන්න බැරි උදයංග ‘දිවයින’ට හසුවෙයි”

  1. Hiranthe Says:

    For the Yahaps who did put Ven. Uduwe Dhammaloka Thero behind bars, they can do it to anyone on earth.

    They only need “fabrications”

    Hope people realise that they are big “Game” players at least now.

  2. Nanda Says:

    * ඩුබායි වලින් පැන ගත්තේ කොහොමද…? – what a question by clever Divayina. They have betrayed the client.

    Udayanga Weeratunge arrested in Dubai
    Tuesday, March 27, 2018 – 01:04

    Camelia Nathaniel

    Former Ambassador to Russia Udayanga Weeratunge had been arrested by the Dubai authorities yesterday, Ravi Waidyalankara, the Senior DIG in charge of the FCID told the Daily News.

    He said that the Dubai authorities had arrested him based on the investigations and submissions made by the FCID.

    Currently, the FCID is in discussion with the Dubai authorities with regard to handing Weeratunga over to the Sri Lankan authorities. He had been arrested by the Dubai authorities last morning.

    Previously, a special team comprising officers from the FCID, Criminal Investigation Division (CID), Foreign Ministry (FM), Attorney Generals’ Department and Department of Immigration and Emigration was sent to Dubai to bring the former ambassador back based on a warrant obtained from the Colombo Fort Magistrate. Earlier this year Colombo Fort Magistrate Lanka Jayaratne had also ordered to suspend the transactions of 16 bank accounts with a balance of USD 1.5 million maintained by Weeratunga in connection with the inquiry conducted into the purchase of Ukraine-built MiG-27 aircraft in 2006.

  3. Nanda Says:

    So, Daily News arrested him and Daily Mirror released him whilst only Divaina caught him properly ?
    What kind of media we have these days. Good for Sirisena.

    Udayanga was not arrested: FCID
    2018-03-27 12:10:51

    Senior DIG in-charge of the FCID, Ravi Waidyalankara today rejected reports that former Sri Lankan Ambassador to Russia Udayanga Weeratunga had been arrested in Dubai.

    Media reports quoting Senior DIG Waidyalankara earlier said that authorities in Dubai had arrested Weeratunga on Monday morning based on the investigations and submissions made by the FCID.

    However, when Daily Mirror contacted Senior DIG Waidyalankara, he dismissed the report of Udayanga being arrested and concluded that he had not made such a statement to the media.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress