නව විෂයමාලා සංශෝධනය යටතේ උ/පෙළ ජීව විද්‍යා විෂය සම්බන්ධ මතුව පවතින ගැටළු සම්බන්ධව පවත්වන ලද මාධ්‍ය හමුවේදී පළවූ අදහස්
Posted on March 27th, 2018

ජනමාධ්‍ය නිවේදනයයි ලංකා ගුරුසේවා සංගමය.

අද දින (2018.03.27.) මරදාන ඞීන්ස් පාරේ පිහිටි සමාජ හා සාමයික කේන්ද්‍රයේදී (CSRලංකා ගුරුසේවා සංගමය හා අ.පො.ස. උ/පෙළ ජීව විද්‍යාව හදාරන සිසුන්ගේ දෙමව්පියන් ද එක්ව මෙම මාධ්‍ය හමුව පවත්වන ලදි. 
මෙහිදී ලංකා ගුරුසේවා සංගමයේ ප‍්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ සහෝදරයා විසින් ජීවවිද්‍යා විෂයේ නව සංශෝධන විෂය මාලාව හඳුන්වාදීම, ඒ සඳහා ගුරුවරුන් පුහුණු කිරීම ගුරුවරුන්ට අවශ්‍ය නව විෂය නිර්දේශය ලබාදීම, ගුරු මාර්ගෝපදේශ පොත් ලබාදීම සහ සියලූ කරුණුවලදී අධ්‍යාපන අමාත්‍යාංශය වගකීම් විරහිතව කටයුතු කර ඇති බව පෙන්වා දෙන ලදි.
 
නව විෂය සංශෝධන අනුව 2017 වර්ෂයේ සිට ඉගැන්වීම් කටයුතු කළයුතු බවත්, එම සංශෝධන අනුව පළමුවරට 2019 දී විභාගය පැවැත්වෙන බවත් පෙන්වා දුන් අතර එසේ වුවද විෂය සංශෝධන කි‍්‍රයාත්මක කර මේ වනවිට වසරක් ගතවුවද අදාළ විෂය නිර්දේශය, ගුරුමාර්ගෝපදේශ අත්පොත ගුරුවරුන් අතට පත්කිරීමට අමාත්‍යාංශය කටයුතු කර නැති බව පෙන්වා දෙන ලදි. මේනිසා ජීව විද්‍යාව උගන්වන ගුරුවරුන් සිසුන් ඉදිරියේ මහත් අසරණභාවයකට පත්ව සිටිති. විෂය කරුණු පිළිබඳ නිශ්චිතභාවයකින් ඉගැන්වීම් සිදුකිරීමට ගුරුවරුන්ට නොහැකිවී තිබේ. ඉගැන්වීමේදී ගුරුවරුන් පරිශීලනය කළ යුත්තේ කුමන මාර්ගෝපදේශ දැයි හෝ මූලාශ‍්‍ර දැයි පිළිබඳ නිවැරදි උපදෙස් විධිමත් පුහුණු වැඩමුළුවක් හරහා සිදුවිය යුතු වුවද එය මෙතෙක් සිදුවී නොමැත.
 
නව සංශෝධිත විශය මාලාව අනුව ඉගැන්වීම් කටයුතු කි‍්‍රයාත්මක වී වසරක් ගෙවුන ද ජීව විද්‍යාව විශයට අදාළව ඉහත අඩුපාඩු බරපතළව පැවතීම හේතුවෙන් විෂය හදාරන සිසු දරුවන් දැඩි මානසික පීඩනයකින් පසුවන බව ඔවුනගේ දෙමව්පියන් සාක්‍ෂි දරති. 
ජීව විද්‍යා නව විෂය මාලාව අනුව සැකසී තිබෙන විෂය ඒකක 10 ඉගැන්වීම සඳහා කාලච්ඡේද 600 ක් වෙන් කර ඇති අතර එමගින් විෂය නිර්දේශ වැඩිබරක් සහිත එකක් බව පැහැදිළිය. එසේ තිබියදීත් ගෙවුනු වසර තුළ සිසුන්ට ප‍්‍රමාණවත් ඉගෙනුම් ඉගැන්වීම් කි‍්‍රයාවලියකට අවතීර්ණ වීමට නොහැකිවීම හේතුවෙන් අවසන් කළ නොහැකි යථාර්තයක් මතුව තිබේ. 
සිසු දරුවන්ගේ මානසිකතත්වය බිඳ දමමින් දෙමව්පියන් හා ගුරුවරුන් අසරණ කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය සිදුකරනු ලබන මෙම අත්තනෝමතික කි‍්‍රයාව හෙලා දකින බවත්, එයට දැඩි විරෝධය පල කරන බවත් ප‍්‍රකාශ කළ මහින්ද ජයසිංහ මහතා වහාම මසක් ඇතුළත මෙම තත්වය සමනය කළ යුතු බවත්, සිසු දරුවන්ට හා ගුරුවරුන්ට සාධාරණ පිළිතුරක් ලබාදිය යුතු බවත් අවධාරණය කරන ලදි. නොඑසේ නම් සංගමය ද මැදිහත්ව ඊට එරෙහිව ඉදිරි කි‍්‍රයාමාර්ග වලට අවතීර්ණ වන බවද ප‍්‍රකාශ කරන ලදි. 
මෙහිදී දෙමව්පියන් ද අදහස් දක්වමින් කියා සිටියේ ආණ්ඩුව මීට මැදිහත්වී නිවැරදි විසඳුමක් ලබා නොදෙන්නේ නම් මීට එකතු කරගත හැකි සියලූ කණ්ඩායම් එකතු කරගනිමින් දරුවන්ට සිදුකරන පීඩනය, අසාධාරණය සම්බන්ධව ඉදිරි කි‍්‍රයාමාර්ගවලට එලැබෙන බවයි.
ස්තූතියි.
 
මෙයට
මහින්ද ජයසිංහ
ප‍්‍රධාන ලේකම්
ලංකා ගුරුසේවා සංගමය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress