සෝවියට් වෛද්‍ය විද්‍යාව
Posted on April 17th, 2018

වෛද් රුවන් එම් ජයතුංග 

සෝවියට් දේශය එක් කාලයක් විද්‍යාව සහ තාක්‍ෂණය අතින් ලෝකයේ  මුල් පෙලේ රටක් විය​. මේ කාලයේදී සෝවියට් දේශය වෛද්‍ය විද්‍යාව ජයග්‍රහණ රැසක් ලබා ගත්තේය​. උදාහරණයක් ලෙස අක්‍ෂි වෛද්‍ය විද්‍යාව සඳහා ෆියදෝරොෆ් සහ අස්ථි ශල්‍ය විද්‍යාව සඳහා එලිසාරොෆ් යන විශේෂඥයන් ලෝක පූජිත වූහ​. මෙම ජයග්‍රාහී සමයේදී සෝවියට් වෛද්‍ය විද්‍යාල ලෝක ශ්‍රේණි ගත කිරීමේදී ඉහල මට්ටමක තිබුනහ​. ලෝකයේ නන් දෙසින් සිසුන් වෛද්‍ය විද්‍යා අධ්‍යාපනය ලැබීම සඳහා සෝවියට් දේශයට ආවෝය​. 

සෝවියට් අස්ථි ශල්‍ය විද්‍යාව පිලිබඳ මා දන්නා එක් සිදුවීමක් තිබේ. 1980 දශකයේදී   ශ්‍රී ලංකා යුද හමුදාවේ නිලධාරියෙකු වූ සනත් ගුණවර්ධන මෝටර් සයිකල් අණතුරකට භාජනය විය​. මෙම අණතුර හේතු කොට ගෙන ඔහුගේ පාදයකට බරපතල තුවාල සිදු වී තිබුනේය​. ඔහුව පරික්‍ෂා කල වෛද්‍යවරු  සනත් ගුණවර්ධන ගේ පාදය කපා දමා ඔහුගේ ජීවිතය බේරා ගත යුතු බව නිර්දේශ කලහ​. සනත් ගුණවර්ධනව ශල්‍යාගාරයට යවනු ලැබීය​. නිර්වින්දනය  දීමට ප්‍රථම තමාගේ පාදය කපා නොදමන ලෙසටත් තමාගේ සොහොයුරිය අධ්‍යාපනය ලබන සෝවියට් දේශයට තමන්ව යවන ලෙසට ඔහු ඉල්ලීමක් කලේය​. මේ අනුව වෛද්‍යවරු පාදය ඉවත් කිරීමේ ශල්‍යකර්මය සිදු නොකොට ඔහුව වහ වහා මොස්කව් වෙත යවන ලදි. 

මොස්කව් හිදී සනත්ට  ප්‍රතිකාර කරන ලද්දේ අස්ථි ශල්‍ය විද්‍යාව සඳහා  සුප්‍රකට එලිසාරොෆ්   විශේෂඥයා සේවය කල රෝහලේදීය​. මෙම රෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසුව සනත් ගුණවර්ධන ගේ පාදය සුව විය​. 1993 වසරේදී මට යුද හමුදා නිලධාරී සනත් ගුණවර්ධනව කටුනායක ගුවන් තොටුපලේදී හමු විය. සෝවියට් අස්ථි ශල්‍ය විද්‍යාව විසින් සුවපත් කල සනත් කිසිදු වාරුවකින් තොරව දෙපයින් ගමන් කරන අයුරු මම නිරීක්‍ෂණය කලෙමි.  වර්තමානයේදී සනත් ගුණවර්ධන විශ්‍රාමික හමුදා නිලධාරියෙකි. මෙවැනි විජයග්‍රාහී සත්‍ය කථාන්තර රැසක් සෝවියට් වෛද්‍ය විද්‍යාව ඇසුරු කොට තිබේ.

ඉතා  ඉහල තත්වයක් තිබූ සෝවියට් වෛද්‍ය විද්‍යාව සෝවියට් දේශයේ බිඳ වැටීමත් සමග පරිහානියට පත් විය​. මේ කාලයේදී පරියේෂණ සඳහා ප්‍රතිපාදන කපා දමා තිබුනේය​. බොහෝ දක්‍ෂ වෛද්‍ය විශේෂඥයන් ඇමරිකාව සහ ඊශ්‍රායලය යන රටවලට ගියහ​. මේ නිසා ඉතා කීර්තිමත් යුගයක් සනිටුහන් කල වෛද්‍ය ආයතන කඩා වැටුණහ​. මෙය ඉතා කණගාටුදායක තත්වයක් විය​. ආර්ථික  අර්බුද හමුවේ ඉතා වටිනා වෛද්‍ය උපකරණ නිසි නඩත්තුවට ලක් නොවීය​. මේ නිසා එකී උපකරණ විනාශවී යන ලදි. මෙලෙස මිනිස් ප්‍රජාවට සෙත සැලසූ දැණුම පද්දතියක් අභාවයට පත් විය​. 

කෙසේ නමුත් ජනාධිපති පූටීන් යටතේ පැරණි සෝවියට් වෛද්‍ය විද්‍යාව නව මුහුණුවරකින් – රුසියානු සන්නාමයකින් ඉදිරියට එයි. ජනාධිපති පූටීන් විසින් යලිත් වරක් ප්‍රතිපාදන ලබා දී පැරණී දැණුම කීර්තිය යලි ලබා ගැනීම සඳහා උත්සහයක නියැලෙයි. මේ නිසා නුදුරු අනාගතයේදී රුසියානු වෛද්‍ය විද්‍යාව යළිත් හිස ඔසවනු ඇත​. 

 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress