රස පොහොරට පොහොර දමන බත් බැලයෝ
Posted on April 18th, 2018

මතුගම සෙනෙවිරුවන්

       යහපාලන රජය පත් වූ අලුත ජනාධිපති තුමාගේ විශේෂිත සංකල්පයක් බවට පත් වූයේ වස විස නැති ගොවිතැනයි. වකුගඩු රෝගයෙන් පිළිකා සහ වෙනත් බෝ නොවන රෝග වලින් හෙම්බත්ව සිටි රජරට ජනතාව ඉන් මුදවා ගැනීමේ සද් චේතනාවෙන් ඇරඹි මේ වැඩ සටහන නිසා  උග්‍ර පිළිකා කාරකයක් ලෙසට නම් දරා ඇති ග්ලයිෆොසොට් හෙවත් වානිජ වශයෙන් සර්පාර්ස් රවුන්ඩ් අප් වැනි නම් වලින් හඳුන්වන වල් නාශකය තහනම් කරන ලද්දේය. එයට අමතරව රසායනික පොහොර සහනාධාරය වෙනුවට ගොවියාට මුදල් ලබා දීමේ ක්‍රම වේදයක්ද ඇරඹිණ.දැන් වසර දෙකක පමණ කාලයක් එම ප්‍රතිපත්තියේ සිටි රජය හිටි හැටියේ වල් නාශක තහනම ඉවත් කරන්නටද නැවත රසායනික පොහොර සහනාධාරය ලබා දීමටද ලක ලෑස්ති වෙයි. මේ අරුම පුදුම ප්‍රතිපත්තිය කුමක්ද. වකුගඩු රෝගීන් සුවපත් කිරීමේ සද් චේතනාවක් සෑබෑවටම රජයට තිබුණාදැයි සැකයක් මතු වන්නේ මේ  වෙස් පෙරළියෙනි.

           යහපාලන රජය පත් වන්නට ප්‍රථම පෙර කී වල් නාශකයන් ගැන කරන ලද රසායනාගාර පරීක්ෂණ වලින් තහවුරු වූයේ මෙරටට ගෙන්වීමට තහනම් කරන ලද ආසනික් මේ වල් නාශකයන්ට කලවම් කර නිකුත් කරන බවයි. එසේම සහනාධාර පොහොර වශයෙන් නිකුත් කරන තොග වල තිබෙන අප ද්‍රව්‍යෙ මෙන්ම සයනයිඩ් වැනි උග්‍ර වස වර්ගද මේ පොහොර වලට මිශ්‍රව තිබී අතැයි සොයා ගන්නා ලදී.සැබවින්ම පොහොර සහනාධාරය වෙනුවට මුදල් දීමේ ක්‍රම වේදය ආරම්භ කිරීමට හෙතුවක් වූයේ මෙයයි. නමුත් මෙම තීරණය ගත් පසු  කැඳවන ලද කාබනික ගොවීන් ගේ රැස්වීමකදී කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් වරයාට මෙන්ම අමාත්‍ය වරයාට මා විසින් කාරණා දෙකක් ප්‍රධාන වශයෙන් පැහැදිලි කර දෙන ලදී. එකක් නම් දිවයින පුරා විසිරී සිටින පාරම්පරික වී වගා කරන ගොවීන් මෙන්ම කාබනික ගොවීන් වෙනුවෙන් ඔවුන් දිරිමත් කරලීමේ ප්‍රායෝගික වැඩ සටහනක් ආරම්භ කරන ලෙසයි.ඒ සඳහා දැනට සිටින කෘෂි නිළධාරීන් සහ බලධාරීන් හට පාරිසරික ගොවිතැන පිළිබඳ අවබෝධයක් ලබාදීම කළ යුතු විය. අනෙක් කාරණය නම් පොහොර සහනාධාරය වෙනුවට මුදල් ලබා දීමේ ක්‍රම වේදය ට එන්නේ නම් එම මුදල් ගොවියාට සෘජුවම ලබා නොදී ගොවි සංවිධාන වලට බැර කොට ක්‍රමානුකූලව පොහොර වෙනුවෙන් නිකුත් කරන ලෙසයි. නමුත් මේ වැඩ පිළිවෙල ආරම්භයේදීම ආණ්ඩුව අනා ගත්හ. ගොවියාගේ බැංකු ගිණුමට සෘජුවම මුදල් බැර කරනු ලැබිණ. එහි ප්‍රතිඵලය වූයේ ඒ කන්නයේදීම වගා ඉලක්ක කඩා වැටීමයි. ගොවියා තම අතට ලැබුණු මුදල් වෙනත් කරුණු වලට වියදම් කර සිටියහ. මේවා පිළිබඳ රජයේ ආයතන වල සම්බන්ධීකරණක්ද නොවූයෙන් මේ කඩා වැටීම බරපතල විය. එයින් පසු යලි වගා ඉලක්ක සඳහා යෑමට සෑහෙන වෙහෙසක් දැරීමට සිදු විය. නමුත්   විශේෂයෙන්ම බස්නාහිර පළාතේ වගා ඉලක්ක මේ වනතුරු සපුරාලිය නොහැකි විය.

             පොහොර යනු ආපෝ තේජෝ වායු පඨවි ආකාශ යන්නෙහි එකතුවකි. මෙම පංච සාරය ගොවියා විසින් කුඹුරට ලබා ගන්නේ දිරාපත් වන කොළ රොඩු ගොම  සූර්ය ශක්තිය වැනි දේ වලිනි. අවසානයේ පඨවි ධාතුව පෝෂණය වෙයි.කලට කන්නෙට කතාවට ගොවිතැන් කිරීමෙන් සෝදා පාලුව අවම වී පසේ තිබෙන පොහොර රසය සෘජුවමඉතා ඉක්මනින් ගොයම් ගසට එකතු වේ.එසේම පසේ ජීවත්වන ක්ෂුද්‍ර ජීවීන් හට ආහර ලැබීමෙන් දිරිමත්ව පසේ වයනයද සාරවත් බවද වැඩි දියුණු කරනු ලබයි. මේ පාරම්පරික මූලධර්ම නොසලක හැරි නිළධාරීන් සහ ගොවීන් නිසා රසායනික පොහොරට වහල් වී පසත් ජලයත් දූෂණය කර තිබේ. පස සරු කරන ක්ෂුද්‍ර ජීවීන් ගහනය  වඳ භාවයට පත් කර තිබේ. රසායනික පොහොර ලබා දීම පිටිපස තවත් මාෆියාවක් ක්‍රියාත්මකය. පොහොර සහනාධාරය ලබා දෙන්නේ පොහොර ගෙන්වන සමාගම්වලටයි. එවිට ඒ හරහා ඉහළ නිළධාරීන් ගේ දරුවන්ට ශිෂ්‍යත්ව රැකියා ලැබේ. දෙපාර්තමේන්තු වලට මේ පොහොර ලැබුණු කල්හි මේවා පැටවුම  බෑම බෙදා හැරීම ආදී සියල්ල කරන්නේ නිළධාරි සමූහයක් විසිනි. ඔවුහු මේ ක්‍රියාවලියේදී අතිරේක ලාභයක් ලබා ගනිති. ඒවා ලැබෙන්නේ බැර වන්නේ ගොවි සංවිධාන වල ගිණුම් වලට නොව  ඔවුන්ගේ සාක්කුවටයි. ඉතින් රසායනික පොහොර ලබා දීමේ ක්‍රායාවලිය දශක කීපයක් තිස්සේ මාෆියාවක් බවට පත්ව තිබේ. ඒවායින් ප්‍රතිලාභ ලැබූ කිසිවකු වස විස නැති ගොවිතැනට යන්නට අකමැතිය.දේශපාලකයන්ටද මේවායින් ලැබෙන්නේ ඉහළම කුට්ටි බව දන්නෝ දනිති. නවීන් දිසානායක ඇමතිවරයා ග්ලයිෆොසොට් තහනම ඉවත් කරන්නට වලිකන්නේ යම් සේද දුමින්ද දිසානායක ඇමති තුමා නැවත් පොහොර සහනාධාරය ලබා දෙන්නට වලිකන්නේ ඇයිද යන්න සරල ලෙසට තේරුම් ගත හැකි දෙයකි.

       දැන් රසායනික පොහෙර සහනාධරය මෙම අප්‍රියෙල් මස සිට ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ. රසායනික භාවිතාවට හුරු ව තිබෙන ගොවීහු මේ ප්‍රතිලාභය ලබති. නමුත් පාරම් පරික වී වර්ග වගා කරන වස විස නැති ගොවිතැන් ක්‍රියාවලිය නිසා රසායනික ගෙවිතැනෙන් ඈත්ව කටයුතු කරන ගොවීන් විශාල පිරිසක් අද වන විට රට පුර සිටින බව කිව යුතුය. මෙම් පොහොර සහනාධාර ක්‍රමයෙන් ඔවුන්ට වැඩක් නැත. පෙර කන්න වල ලැබුණු මුදල්ද ඉදිරියේ දී නොලැබේ. එවිට රටේ නිෂ්පාදන ක්‍රියවලිය පණ ගන්වන එමෙන්ම මහජනතාවගේ සෞඛ්‍ය මෙන්ම පසේ සෞඛ්‍යත් ආරක්ෂා කරන්ට වෙර දරන පිරිසට බලවත් අසාධාරණයක් ඇති වෙයි.ජාතික පොහොර ලේකම් කාර්යාලය විසින් මෙම දෙපිරිසට තම තමන්ට ආවේණික ලෙසට පොහොර සහනාධාරය ලබා දෙන්නට තීරණය කරන්නේ නම් සතුටු විය හැකිය. එනම් වස විස නැති ගොවිතැනෙහි නියැලි ගොවීන් සඳහා කොම්පෝස්ට් සහනාධර ක්‍රමයක් ඇති කිරීමයි.  එහෙත් එවැනි තීරණයකට පැමිණි බවක් දැන ගනන්ට නැත. එයට හේතුව  රජයේ චක්‍ර ලේඛන වලින් මහජනයාට දෙවිදියකට සැලකීමට නොහැකියාව බව නීලධාරීන් පවසයි. නමුත් දැනටමත් පාසල් ළමුන්ට නිළ ඇඳුම් සඳහා රෙදි ලබා දීමේදී මුස්ලිම් ළමුන්ට එක් ආකාරයකටත් සිංහල ළමයින්ට තවත් ආකාරයකටත් මුදල් ලබා දීම දැක්විය හැකිය. ගොරකා වුවත් දඩමස් කිරීමේ න්‍යායේ සිටින මේ බත් බැලයන් අවශ්‍ය තැනදී රජයේ චක්‍ර ලේඛන වෙනස් කරන ආකාරය එයන් පෙනේ.එසේ නම් වස විස නැති ගොවිතැනේ නියැලි සමස්ත ගොවි ජනතාවගේ සාධාරන ඉල්ලීම ඉටු කිරීමට රජය බැඳී සිටින බව ඉඳුරාම මේ අවස්ථාවේ දී මතක් කර දය යුතුය.

මතුගම සෙනෙවිරුවන්

One Response to “රස පොහොරට පොහොර දමන බත් බැලයෝ”

  1. Christie Says:

    දිගු කාලීන වැඩපිලිවෙලක් පුද්ගලයාටත් රටකටත් අවැසිය.

    පනස් ගනන් වල ගොවි පාසල් තිබුනි. ගොවිතැන ඉන්ගිරිසියෙන් ඉගැන්නුවේය.

    කොම්පෝස්ට් පොහොර කියලා කිව්වේ ඔය අද කියන කාබනිකයටය.

    ඒ කාලයේ ගොවිතැන දසවන වාසරේ පාඩමක් විය.

    We cannot escape use of chemical fertilizers. What we need is factory to make it. We will not be able to make enough compost to fertilize our rice fields specially when labour costs are very high.

    I have read about fertilizer factory that used human waste to make fertilizer in Colombo. Unfortunately it was closed down after operation for few years. I think Japan and other countries use human waste as fertilizer.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress