විශ්වාසභංගයේදී මොකද වුණේ‍? එතැනින් පසු රට කොතැනටද?
Posted on April 20th, 2018

සාකච්ඡා කළේ, ප්‍රසන්න සංජීව තෙන්නකෝන් උපුටාගැණීම ලංකාදීප

විශ්වාසභංගයේදී මොකද වුණේ‍? එතැනින් පසු රට කොතැනටද? මේ ඒ ගැන විමසමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා සමග කළ සාකච්ඡාවකි.

• ප්‍රශ්නය – මොන තර්ක විතර්ක දැම්මත් විශ්වාසභංගයෙන් අවසානයේදී සිද්ධ වුණේ‍ අගමැති රනිල් ශක්තිමත් කිරීමක්?

• පිළිතුර – අගමැති රනිල් ශක්තිමත් වෙලා නම් එක්සත් ජාතික පක්ෂයේ සියලු නාහෙන් ඇඬිලි දැන් නතර වෙලා තියෙන්න ඕන. විශ්වාසභංගයේදී අගමැති රනිල්ට පක්ෂව ඡන්දය දීපු එක්සත් ජාතික පක්ෂයේම සමහර මන්ත්‍රීවරුන් දැන් ආපහු කියන්න පටන් අරන් තියෙනවා අපි ගේනවා දැන් විශ්වාසභංගයක් කියලා. ඔවුන්ට පෙනිලා තියෙනවා ඔවුන් බලාපොරොත්තු වෙන ප්‍රතිසංවිධාන යූඑන්පීය ඇතුලේ වෙන්නේ නැහැ කියලා. ඒ නිසා අගමැතිවරයා ශක්තිමත්වීමක් මේකෙන් වෙලා නෑ. හිටියට වඩා ඔහු දුර්වලවීමක් වෙලා තියෙන්නේ.

• ප්‍රශ්නය – එහෙම කියන්න බැහැ. විශ්වාසභංගය එනකොට අගමැතිවරයාට පක්ෂ නායකත්වයෙන් ඉවත් වෙන්න කියලා පක්ෂ අභ්‍යන්තරයෙන්ම විශාල කැරැල්ලක් නිර්මාණය වෙලා තිබුණේ. නමුත් දැන් පක්ෂය ඒකමතිකව තීරණය කරලා තියෙනවා ‘පක්ෂයේ නායකයා රනිල්’ විය යුතුයි කියලා.

• පිළිතුර – ප්‍රතිසංස්කරණයට අදාළව යූඑන්පී මන්ත්‍රී කණ්ඩායම කැඳවලා අරලියගහ මන්දිරයේ දී සාකච්ඡාවක් තිබ්බා. ඒ විශ්වාසභංගයෙන් පස්සේ අපට තියෙන තොරතුරුවලට අනුව සියයට 90කට වඩා මන්ත්‍රීවරුන් ඉල්ලා සිටියා ඔහු අගමැතිකමේ ඉන්නත් පක්ෂ නායකත්වය වෙන කෙනෙකුට දෙන්නත් කියලා. පක්ෂ නායකත්වය වෙන කෙනෙකුට දීම ගැන අවසන් තීරණයක් අරගෙන නෑ. නැවත ඔවුන් අප්‍රේල් 30 හමුවෙන්න තීරණය කරලා තියෙනවා. ඒ තීරණාත්මක හමුවේ දී තමයි යූඑන්පීයේ පිපිරීම කොයි විදියට ද වෙන්නේ කියලා තීරණය කෙරෙන්නේ. යම් හෙයකින් අගමැතිවරයා පක්ෂ නායකත්වය වෙන කෙනෙකුට දෙන්න තීරණය කළොත් අර්බුදය තාවකාලිකව සමථයකට පත් වෙයි. එහෙම නැතිව තමන්ට එරෙහිව එන කැරලිකාර මන්ත්‍රීවරුන්ට ඇමැතිකම් නියෝජ්‍ය ඇමැතිකම් දීමෙන් පමණක් මේක විසඳාගන්න පුළුවන් වෙයි කියලා අපි නම් විශ්‍වාස කරන්නේ නෑ. අනික් අතට අගමැතිවරයා දිනුවට ඔහුත් ඇතුළත් වුණු ඊනියා ජාතික ආණ්‍ඩුවේ මන්ත්‍රීවරුන් 16ක් අද විපක්ෂයට එන්න ලෑස්ති වෙලා ඉන්නවා. එතකොට කොහොමද ඒක දිනුමක් වෙන්නේ? අගමැතිවරයාගේ ආණ්ඩුවේ ඔවුන් හිටියේ. හැබැයි විශ්‍වාසභංගයෙන් පසුව ඔහුගේ ආණ්ඩුවේ දහසය දෙනෙක් විපක්ෂයට එන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. එතකොට තව හය හත් දෙනෙක් ඕකට එකතු වුණොත් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය මේ ඊනියා ජාතික ආණ්‍ඩුවට නැති වෙනවා. දැන් ශ්‍රී ලංකා නිහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අඟහරුවාදා තීරණය කරලා තියෙන්නේ කෙළින්ම නිල වශයෙන්ම ඊනියා ජාතික ආණ්ඩුවෙන් ඉවත් වෙන්න. බදාදා ඔවුන් කැබිනට් එක වර්ජනය කළා. යම් හෙයකින් ඔවුන් තීරණයක් ගත්තොත් මේ ඊනියා ජාතික ආණ්ඩුවෙන් ඉවත් වෙන්න එතකොට අගමැතිවරයා ලබලා තියෙන්නේ ජයග්‍රහණයක් ද?. ඔහු හිටපු තත්ත්වයෙන් පහළට ගමන් කරලා තියෙන්නේ.

• ප්‍රශ්නය – මගේ ප්‍රශ්නය වෙන්නේ පාර්ලිමේන්තුව තුළ ඔහු ලැබුවේ ජයක් නොවන්නේ කොහොමද කියලයි?

• පිළිතුර – ජය පරාජය හොඳට පේන්නේ රනිල් වික්‍රමසිංහ පැරදිලා අපි දිනුවානම් තමයි. අපි පරාදයි කියලා පෙනුණට ඔය ඔබ කියන පරාජය ඇතුළෙත් හානිය වෙලා තියෙන්නේ ආණ්ඩුවට. අපිට හානියක් වෙලා නෑ.

• ප්‍රශ්නය – ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 41ක් ඉන්නවා. ඒකෙන් 16ක් විතරක් ගැනීම ජයග්‍රහණයක් හැටියට ඔබ විග්‍රහ කරන්නේ කොහොමද?

• පිළිතුර – 41න් 16ක්වත් ගන්න පුළුවන් තත්ත්වයක් කලින් තිබුණාද? 16ක් නොවෙයි නිකම් 4ක් 5ක්වත්. කිසි ප්‍රශ්‍්නයක් නැතිව 16ක් අපේ පැත්තට ආවේ මේ විශ්වාසභංගය හින්දනේ. ඒ 16 බලනවනේ තවත් මේක ශක්තිමත් කරගන්න. ඔවුන් විපක්ෂයට එන්න තීරණය කරන දවසට ඔවුන් එන්නේ තවත් අය එකතු කරගෙන. ඒක බලාගන්න පුළුවන් වෙයි අනාගතයේ දී. ඒ සියලු පිපුරුම් ඇති වුණේ මේ විශ්‍වාසභංගයෙන් පස්සේ. දේශපාලනය කියන්නේ සාමාන්‍ය පරිදි ඔහේ ගලාගෙන යන්න ඉඩ දීලා බලාගෙන ඉඳීම නම් අපි මේ කරලා තියෙන්නේ වැරැද්දක්. නමුත් දේශපාලනය කියන්නේ සුදුසු මොහොත බලලා සුදුසු ප්‍රහාරය එල්ල කිරීමයි. අපි කළේ‍ ඒක තමයි. ඒකේ ප්‍රතිඵල තියෙනවා. 54ක්ව හිටපු ඒකාබද්ධයට තව අලුතෙන් 16ක් එකතු වීමට නියමිතයි. 16ට වඩා ඊනියා ජාතික ආණ්ඩුවේ තුනෙන් දෙකක බලය අහිමිවීමට නියමිතව තියෙනවා. ජවිපෙ පය පැත්තකට තිබ්බත් තුනෙන් දෙකේ බලය පාවිච්චි කරගෙන ව්‍යවස්ථා සංශෝධනය කරගෙන බටහිර න්‍යාය පත්‍රය දිගෙලි කරන්න ගිය ගමන එක්තරා ආකාරයකට අඩාළවීමක් වෙලා තියෙනවා. ජනාධිපතිවරයයි අගමැතිවරයයි අතර තියෙන සීතල යුද්ධය උණුසුම් තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒ වගේම ජනාධිපතිවරයාට තමන්ගේ හා තමා සමග සිටින පිරිසගේ අනාගත ඉරණම ගැන කල්පනා කරන්න බල කෙරිලා තියෙනවා. පෙබවරවාරි 10 මහජනතාව ඡන්දයෙන් දීපු ප්‍රතිඵලය පාර්ලිමේන්තුව ඇතුළේ‍ මේ රසායනික පරිවර්තනය වෙන්න නම් මේ පියවර අපි ගත යුතුව තිබුණා. අපි ඒක කළා.

• ප්‍රශ්නය – ඔබ හිතන විදියට මේ විශ්වාසභංගය ඔබලා පැරදුණේ ඇයි?

• පිළිතුර – මම නැවතත් කියනවා අපි පරාද නැහැ. භූමිකම්පාවක් මේ වුණේ‍. ඒක රිච්ටර් මාපක 8.5ක නොවෙන්න පුළුවන්. 6.5ක වෙන්න පුළුවන්. 6.5ක භූමි කම්පාවකින් 8.5ක භූමි කම්පාවක ප්‍රතික්‍රියාව ඇති වෙන්නේ නැහැ. හැබැයි 6.5කටත් කම්පනයක් තියෙනවා. පසු පිපිරීම් තියෙනවා. 8.5ක කම්පනය වඩාත් බිහිසුණුයි. පසු පිපිරීම් තියෙනවා. ඒ නිසා කෙනෙකුට කියන්න බෑ මේක 8.5කට නොවීම නිසා මේක 6.5කට වීම නිසා මේක භූමිකම්පාවක් නොවේ කියලා. මේක භූමි කම්පාවක්.

ප්‍රශ්නය – මගේ ප්‍රශ්නය ඒ ගැන නොවෙයි. අවසන් ප්‍රතිඵලය ගැනයි?

පිළිතුර – මෙවැනි පියවරක් ගන්නකොට ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් අපි රැස්වෙලා සාකච්ඡා කරනකොට අපි බලනවනේ ප්‍රතිඵලය ‘ඒ’ නම් මොකද්ද තත්ත්වය. ප්‍රතිඵලය ‘බී’ නම් මොකද්ද තත්ත්වය. ඔහු පරාජය වුණොත් ඊළඟට යන තත්ත්වය මොකද්ද? ඒකට මුහුණ දෙන්න අපි ලෑස්තිද? ඔහු දිනුවොත් ඒකට මුහුණ දෙන්න අපි ලෑස්තිද? එතකොට මොකද්ද අපිට තියෙන තත්ත්වය. එහෙම සලකා බලමින්නේ අපි තීන්දු තීරණ ගන්නේ.

• ප්‍රශ්නය – එහෙම සලකා බැලීමක් තිබුණා ද?

• පිළිතුර – නැතිව. සමහර පඬියෝ හිතාගෙන ඉන්නවා එහෙම නැහැයි කියලා. ඔය සමහර ආචාර්ය පඬියෝ ඉන්නවා මෙතෙක් කල් අපි ගත්ත තීරණ වැරැදියි. 2010 පෙබරවාරි 18 නුගේගොඩන් පටන් ගත්ත සටනක් වැරැදියි. එහෙම බැලුවොත්. ඇයි අපි ඒ පඬියන්ගෙන් අහලා නෑනේ. පඬියගෙන් උපදෙස් අරන් නෑ.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාටත් වඩා එතුමාවත් වාටියට තල්ලු කරමින් තීන්දු තීරණ ගැනීමේ සම්පූර්ණ බලය තමන් අතට ගනිමින් ඒ විදේශ ඔත්තු සේවා න්‍යාය පත්‍රයට අනුව මේ බලවේගය අයාලේ රැගෙන යන්න ජයග්‍රාහී සටනකට නොවෙයි පරාජයේ සටනකට රැගෙන යන්න ඇතැමුන් උත්සාහ කරනවා.

• ප්‍රශ්නය – ඔබ කාටද ඔහොම චෝදනා කරන්නේ?

• පිළිතුර – පඬියට හා පඬියන්ට. සමහර පඬියෝ ඔය මතය හදන්න හදනවා. සමහරුන්ගේ පටු විග්‍රහයක් තියෙනවා ‘රනිල් දිගටම ඉන්න ඕනෑ’ කියලා. එතකොට මේක තවත් කුණු වෙනවා. ආණ්ඩුව විතරක් නොවෙයිනේ කුණු වෙන්නේ. රටත් එක්කමනේ කුණු වෙන්නේ. රටත් එක්කම කුණු වුණාට ඒ අයට ප්‍රශ්නයක් නෑ. රටත් එක්කම කුණු වුණාට පස්සේ මේ රට කවුරු බාර ගත්තත් ඒක පරණ තත්ත්වයට ගේන එක ලේසි නෑ. එතකොට රනිල් අතේ තමයි බටහිර න්‍යාය පත්‍රය තියෙන්නේ. රනිල් අතේ තමයි ඉන්දියානු න්‍යාය පත්‍රය තියෙන්නේ. රනිල් තමයි නරුම හා මුග්ධ මානසිකත්වයෙන් යුතුව ඒ න්‍යාය පත්‍ර දිගේලි කරන්න සුදුසු මිනිහා.

• ප්‍රශ්නය – එතකොට ජනාධිපති මෛත්‍රී ගැන ප්‍රශ්නයක් නෑ?

• පිළිතුර – සිරිසේන ජනාධිපතිවරයා කියන්නේ උන්නැහැගේ මන්දිරයේ එක්තරා ආකාරයකට දේශපාලන හුදකලා භාවයට පත් වූ සාධකයක්. ඔහුටත් විධායක ජනාධිපති හැටියට කළ හැකි බලපෑමක් තියෙනවා. නමුත් ඔහු අතේ නොවෙයි ආණ්‍ඩු පාලනය තියෙන්නේ. ආණ්ඩු පාලනය තියෙන්නේ අගමැතිවරයා අතේ. ඒ නිසා ඒ ආණ්ඩු පාලනයේ මුදුනටනේ ප්‍රහාරය එල්ල කරන්න ඕනෑ. ආණ්ඩු පාලනයේ මුදුන ජනාධිපතිනම් එතැනට. මුදුන අගමැතිනම් එතැනට. මෙතැන මුදුන අගමැති. ව්‍යවස්ථාවේ කොහොම තිබුණත්. ඒ මුදුනට ප්‍රහාර එල්ල කරන්න ඕනෑ. එහෙම ප්‍රහාර එල්ල කරලා ඒ ආණ්ඩුව දුර්වල කරන්න ඕනෑ. ඊනියා ජාතික ආණ්‍ඩුව වට්ටන්න ඕනෑ. ඒකට අපි ප්‍රහාරාත්මක වෙන්න ඕනෑ. අගමැතිවරයා දිගටම තියාගෙන දේශපාලනය කරන්න ඕනෑ කියලා කියනවා නම් ඒක අමු තක්කඩිකමක්.

• ප්‍රශ්නය – විශ්‍වාසභංගය පරාද වුණේ ඔය ඔබ කියන වර්ගයේ තක්කඩියන් පොහොට්ටුවේ හිටපු නිසාද?

• පිළිතුර – ඒකට ප්‍රධාන වශයෙන්ම බලපෑවේ ජනාධිපතිවරයාගේ වැනෙන සුළු දියාරු ප්‍රතිපත්තිය කියලයි අපි නම් හිතන්නේ. විශ්වාසභංගයට කලින් දවසෙත් යූඑන්පී එකේ 26 දෙනෙකුට වැඩි ප්‍රමාණයක් ස්ථාන තුනක රැඳිලා හිටියා ජනාධිපතිවරයාගෙන් තමන්ගේ කණ්ඩායමට නිසි විධානයක් ලැබෙන තුරු. විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 41 දෙනාට. ඒ නිසා එතැන මත දෙකක් මතු වුණා. අවසානයේ දී ජනාධිපතිවරයා ඔහු විසින් දිය යුතුව තිබූ විධානය මග ඇරියා. ඒක ඇතුළේ යූඑන්පී කණ්ඩායම් එක්ක සාකච්ඡා කරමින් හිටපු ශ්‍රී ලංකා එකේ ජ්‍යෙෂ්‍ඨ නායකයන්ට වුණා ගිහින් කියන්න ‘අපේ පැත්තේ අවුලක්. ඔයගොල්ලෝ කැමති තීරණයක් ගන්න’ කියලා. ඒ නිසා තමයි උග්‍ර රනිල් විරෝධයක හිටපු යූඑන්පීයේ මන්ත්‍රීවරුන්ටත් විශ්වාසභංගයට විරුද්ධව ඡන්දය දෙන්න වුණේ. එතැන ඇත්තටම ජනාධිපතිවරයාගේ වැනෙන සුලු දියාරු හැසිරීම අගමැතිවරයාගේ දේශපාලන ප්‍රාණය ආරක්ෂා කිරීම සඳහා සෘජු ලෙස ඉවහල් වුණා.

• ප්‍රශ්නය – විශ්වාසභංගයේදී මොණර කොළ හුවමාරුවීම් ගැන කතා වුණා. රහස් ගිවිසුම් ගැන කිව්වා. මේවා සුපුරුදු චෝදනා?

• පිළිතුර – මොණර කොළ කතාව මම විතරක් නොවෙයි කියන්නේ. දයාසිරි ජයසේකර මම දැක්කා කියලා තියෙනවා ‘කෝටියක මුදලක් ගත්ත මන්ත්‍රීවරයෙක් ඔහු සමග කිව්වා කියලා ණය තුරුස්ටික ඔක්කොම ඒකෙන් බේරාගත්තා’ කියලා කිව්වා කියලා. තව ඕන තරම් කියන්න පුළුවන්. නමුත් නම්ගම් කියන එක සදාචාරාත්මක නැහැ. දෙමළ ජාතික සන්ධානයේ ඡන්ද ටිකත් අර කොන්දේසි 10ට විතරක් එකඟවෙලා දුන්නා නොවෙයි. ඒ එක ඡන්දයකට අදාළ මිලක් තිබුණා. ඒ මිල ලැබුණා. ඔවුන්ට අයවැයේදීත් මිලක් ගෙවලා තිබුණා. ඔවුන්ම පසුව ඒක ප්‍රසිද්ධියේ කිව්වා. ඊට වඩා වැඩි මිලක් මේකේදී හමු වුණා. මං හිතන්නේ බැඳුම්කර හොරකමෙන් උපයපු අයථා ධනයෙන් සැලකිය යුතු පංගුවක් ඔය සති දෙකේ වියදම් වුණා. පාර්ලිමේන්තුවට නොපැමිණ සිටීමටත් ගෙව්වා. නෑවිත් ඉන්නත් ගෙව්වා. හැබැයි ඔය මොණර කොළ සෙල්ලම් තිබුණත් සිරිසේන ජනාධිපතිවරයා තමන්ගේ කණ්ඩායම එක මතයකට ගන්න සමත් වුණා නම් ප්‍රතිඵලය ඊට වඩා වෙනස්.

• ප්‍රශ්නය – ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන කියලා තිබුණා. ‘අපේ කට්ටිය කළේ මාධ්‍ය සංදර්ශන. තිබුණ සියලුම තුරුම්පු කලින් කිව්වා. එතකොට යූඑන්පීයට ඒකට සූදානම් වෙන්න පුළුවන්කම ලැබුණා’ කියලා.

• පිළිතුර – ඒ කවුරුහරි උගන්වපු එකක්නේ කියන්නේ. චන්ද්‍රසේන මන්ත්‍රීතුමාට ස්වයංව පහළ වෙච්ච අදහසක් නොවෙයි. එයාගේ කවුරුහරි ගෝඩ් ෆාදර් කෙනෙක් උගන්වපු කතාවක් ඔය කියන්නේ.

• ප්‍රශ්නය – නමුත් ඔහු කියන කතාවේ ඇත්තක් තියෙනවා. සංඛ්‍යා ලේඛන එළිපිටම කිව්වා.

• පිළිතුර – මෙහෙමයි. කවුරුවත් මේකේ මාධ්‍ය සංදර්ශන තියන්න ගියේ නැහැනේ. එහෙන් එන්නෙ කවුද කියලා නම් ගම් කියන්න ගියෙත් නෑනේ. එතකොට විශ්වාසය ඇති කරන්න යමෙක් යම් යම් සංඛ්‍යා ලේඛන කියන්න ඇති. 225 දෙනා අතරේ බලපෑම් සහගත මනසක් හදන්න එහෙම කියන්න වෙනවා. එහෙම වුණාම තමයි මැද ඉන්න ​ෙකනත් අපේ පැත්තට එන්න තීරණයක් ගන්න ​ෙපළඹෙන්නේ. ඒ සඳහා කරපු ප්‍රකාශ මේක අසාර්ථක වෙන්න හේතු වුණේ නැහැ. ඒ වගේ ප්‍රකාශයකින් වෙන්නේ විශ්‍වාසය වැඩි වීමක්. ඔය චන්ද්‍රසේන මන්ත්‍රීතුමාගේ පිටිපස්සේ ඉන්න කෙනෙක් උගන්වන දෙයක් තමයි ඔහු ඔය කියන්නේ.

• ප්‍රශ්නය – කවුද ඔය ඔබ කියන ගෝඩ් ෆාදර්?

• පිළිතුර – බලාගත්තැකි ඉදිරියේදී.

• ප්‍රශ්නය – ඒකාබද්ධය ඇතුළෙත් දේශ​ෙද්‍රා්හියෝ. බටහිර හා ඉන්දියන් පිල්ලි ඉන්නවා කියලා ඔබම කියලා තිබුණා.

• පිළිතුර – මේ මහින්ද රාජපක්ෂ මැතිතුමා වටා ගොඩනැගෙන මේ මහා සජිවී බලවේගය බෙදන්න, විවිධ ප්‍රශ්න හදන්න. ඒක ඇතුළේ අසතුටට හා අතෘප්තියට පත් බලවේගයක් නිර්මාණය කරන්න විදෙස් ඔත්තු සේවාවන්වලට ඕනෑ. මේ බලවේගයත් ඒ ඔත්තු සේවාවන්හි න්‍යාය පත්‍රයට අනුව හසුරුවා ගන්න පුළුවන් නම් ඒ විදේශ ඔත්තු සේවා ඒක කරනවා. මේකට නිදහස් ස්වාධීනව ගලා යන්න දෙන්නේ නැහැ. අද ඒ විදේශ ඔත්තු සේවාවන්ට වුවමනාව නියෝජනය කරන ක්‍රියාකාරීත්වයක් ඇතැම් පුද්ගලයන්ගෙන් අපට පෙනෙන්න තියෙනවා.

• ප්‍රශ්නය – කෙළින්ම කියන්න? ඒ අය කවුද?

• පිළිතුර – ඒ අය කවුද කියලා අනාගතයේ දී මීට වඩා විවෘතව කතා කරන්න අපි සූදානම්. ඒ අය බලන්නේ ප්‍රාදේශීය සභා සභාපතිවරු පත් කරනකොට වෙනත් අනෙකුත් පක්ෂ සමග වැඩ කරනකොට විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කැමැත්තටත් වඩා ඒ ඒ බලවේග තමන්ගේ අණසකට ගන්න බලාගෙන ඉන්නේ ඒ ඔත්තු සේවාවන්ගේ සහායකයන්ගේ යටතට. මේ බලවේගය පත් කිරීමේ උත්සාහයක් තියෙනවා.

• ප්‍රශ්නය – ඔබ වගකීමෙන් ද කියන්නේ?

• පිළිතුර – පැහැදිළිවම! අපි ඒ ගැන හොඳ අවබෝධයකින් වගේම අවදියෙන් ඉන්නේ. ඒ අයට ඕනෑ අපිවත් මේකෙන් එළියට ඇඳලා දාන්න. අපිව එළියට ඇඳලා දැමීම සඳහා වූ පියවර ඔවුන් ගත්තා පහුගිය දවස්වල. ඒක අපි හොඳට දැනුම්වත්ව අවබෝධ කරගෙන අපි මේ ඉන්නේ. අපි මේ ඉන්නේ එළියට යන්න බයේ නොවෙයි. ඒ ඔත්තු සේවාවන්ට අවශ්‍ය විදියට මේ බලවේගය කඩන්න ඉඩ දිය යුතු නැති නිසා.

• ප්‍රශ්නය – ඇතුළෙන් මේ ප්‍රහාරය එල්ල වෙන්නේ ඔබට විතරද? තවත් අයටත් එල්ල වෙනවද?

• පිළිතුර – මම හිතන්නේ මම ඉන්න මතයේ තවත් අය ඉන්නවා.

• ප්‍රශ්නය – මහින්ද සුළඟ බලවේගය දැන් බැසිල්ගේ කල්ලිය හා ගෝඨාගේ කල්ලිය කියලා දෙකට බෙදිලා කියලත් කියනවා?

• පිළිතුර – නෑ මේකේ කල්ලි නෑ. කල්ලි හදන්න සමහරු හදනවා. හැබැයි මේකේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මූලික කරගත් බලවේගයක් මෙතැන තියෙන්නේ. එහෙම නැතිව අර කල්ලි මේ කල්ලි කියලා දෙකක් මෙතැන නෑ. හැබැයි එහෙම කල්ලියක් හදන්න සමහරු උත්සහා කරනවා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාටත් වඩා එතුමාවත් වාටියට තල්ලු කරමින් තීන්දු තීරණ ගැනීමේ සම්පූර්ණ බලය තමන් අතට ගනිමින් ඒ විදේශ ඔත්තු සේවා න්‍යාය පත්‍රයට අනුව මේ බලවේගය අයාලේ රැගෙන යන්න ජයග්‍රාහී සටනකට නොවෙයි පරාජයේ සටනකට රැගෙන යන්න ඇතැමුන් උත්සාහ කරනවා.

• ප්‍රශ්නය – ඒ ඔත්තු සේවා නියෝජිතයන් කවුද කියලා ඇයි කෙළින්ම කියන්න බැරි?

• පිළිතුර – ඒ කවුද කියලා අපි අනාගතයේ දී කියන්නම්.

• ප්‍රශ්නය – ගෝඨාභයගේ තදියම් කල්ලිය තමයි මේ විශ්වාසභංගය ගෙනල්ලා අසාර්ථක සටනක් කළේ කියලත් කියනවා.

• පිළිතුර – ගෝඨාභය කියන්නේ මේ මොහොතේ මේ රටේ දේශපාලනයේ නිරත වෙන කෙනෙක් නොවෙයි. එතුමා මේ වෙලාවේ ඉන්නෙත් චීනයේ. එතුමා කවදාවත් දේශපාලන තීරණවලට බලපෑම් කරලා නැහැ. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණයට එයි කියන බයට ගෝඨාභයගේ ප්‍රතිරූපයට ගහන්න තියෙන මෝඩ තෘෂ්ණාව ඉටු කරගන්න තමයි මේකට ගෝඨාභය කෙනෙක් පටලවා ගෙන තියෙන්නේ. මේ විශ්වාසභංග යෝජනාවට එතුමගේ කිසිම සම්බන්ධයක් නෑ.

• ප්‍රශ්නය – එහෙම නම් කොහොමද මේ විශ්‍වාසභංගය එකපාරටම ආවේ.

• පිළිතුර – මේ විශ්‍වාසභංග යෝජනාව දාන්න තීරණය කළේ‍ මහින්ද රාජපක්ෂ මැතිතුමා. බැසිල් රාජපක්ෂ ඇතුළු අනෙක් පක්ෂ නායකයෝ ඔක්කොම ඉන්න පක්ෂ නායක රැස්වීමේ දී. ඔය තීරණය ගත්තු පළමු රැස්වීමට මම ගිහිල්ලා හිටියෙත් නෑ. මම වෙන කටයුත්තක හිටියේ.

• ප්‍රශ්නය – මෙතැනින් එහාට මොකක් වෙයිද?

• පිළිතුර – මේ ති​ෙයන්නේ පූර්ව ප්‍රසව අවදියක්. 2019 ජනාධිපතිවරණයේදී ප්‍රසූත කිරීමට නියමිත පාලන තන්ත්‍රයක් තියෙනවා. ඊට පෙර එන විළිරුදාව තමයි මේ රට දැන් අත්විඳිමින් ඉන්නේ. අද රට යන තැන. හැම පැත්තෙන්ම පහළට වැටීමක් මිසක් ඉහළට යාමක් නෑ. ජීවන බර හැර වෙනත් කිසිවක් ඉහළ යන්නේ නෑ. රටේ පාලනයක් නෑ. අම්මා – අප්පා නැති දරුවකු බවට රට පත් වෙලා.

• ප්‍රශ්නය – ඒකාබද්ධය මොකද්ද මේ පසුබිම තුළ කරන්න තීරණය කරලා තියෙන්නේ?

• පිළිතුර – මේ තත්ත්වයෙන් ගොඩ එන්න වඩාත් වැදගත් වෙනවා කිසිදු බෙදුම්වාදී හා වෙනත් න්‍යාය පත්‍රයකට යමක් නොවුණු පාලන තන්ත්‍රයක් බිහි කර ගැනීම. ඉතා හොඳ අන්තර් කාලීන පාලනයක් ඊළඟ ජනාධිපතිවරණයට හෝ මහ මැතිවරණයට කලින් බිහි කර ගත යුතුයි. රටේ දැවෙන ප්‍රශ්‍්න වලට වෙනත් උත්තරයක් නෑ.

සාකච්ඡා කළේ,
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්

One Response to “විශ්වාසභංගයේදී මොකද වුණේ‍? එතැනින් පසු රට කොතැනටද?”

  1. Lorenzo Says:

    WELL SAID WIMAL WEERAWANSA!!

    Some people (BASIL, etc.) have been HURT by WW. Excellent!

    “සමහරුන්ගේ පටු විග්‍රහයක් තියෙනවා ‘රනිල් දිගටම ඉන්න ඕනෑ’ කියලා. එතකොට මේක තවත් කුණු වෙනවා. ආණ්ඩුව විතරක් නොවෙයිනේ කුණු වෙන්නේ. රටත් එක්කමනේ කුණු වෙන්නේ. රටත් එක්කම කුණු වුණාට ඒ අයට ප්‍රශ්නයක් නෑ. රටත් එක්කම කුණු වුණාට පස්සේ මේ රට කවුරු බාර ගත්තත් ඒක පරණ තත්ත්වයට ගේන එක ලේසි නෑ. එතකොට රනිල් අතේ තමයි බටහිර න්‍යාය පත්‍රය තියෙන්නේ.”

    Even better!

    “සමහර පඬියෝ හිතාගෙන ඉන්නවා එහෙම නැහැයි කියලා. ඔය සමහර ආචාර්ය පඬියෝ ඉන්නවා මෙතෙක් කල් අපි ගත්ත තීරණ වැරැදියි. 2010 පෙබරවාරි 18 නුගේගොඩන් පටන් ගත්ත සටනක් වැරැදියි. එහෙම බැලුවොත්. ඇයි අපි ඒ පඬියන්ගෙන් අහලා නෑනේ. පඬියගෙන් උපදෙස් අරන් නෑ.

    මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාටත් වඩා එතුමාවත් වාටියට තල්ලු කරමින් තීන්දු තීරණ ගැනීමේ සම්පූර්ණ බලය තමන් අතට ගනිමින් ඒ විදේශ ඔත්තු සේවා න්‍යාය පත්‍රයට අනුව මේ බලවේගය අයාලේ රැගෙන යන්න ජයග්‍රාහී සටනකට නොවෙයි පරාජයේ සටනකට රැගෙන යන්න ඇතැමුන් උත්සාහ කරනවා.

    BASIL is written all over.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress