88-89දී දිවි පිදූ 60,000ක සොහොන් කොත්වලට ජවිපෙ මුත‍්‍රා කරයි..
Posted on April 26th, 2018

 lanka C news

1987 දී 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් බලාත්මක වූ පූර්ණ සන්ධීය රාජ්‍යයක් බිහිවීම වැළැක්වීමට එවකට ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතාට ව්‍යවස්ථා බාධක හෙවත් ‘අඩ කොට’ තැබීමට සිදු වූයේ ඒකීයභාවය වෙනුවෙන් දිවි පිදූ ජවිපෙ සාමාජිකයන් 60,000කගේ පරිත්‍යාගයන් හේතුවෙන් බවත් වත්මන් ජවිපෙ නායක අනුර දිසානායක විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාව හරහා එම ව්‍යවස්ථා බාධක ඉවත් කිරීමේ කොන්ත්‍රාත්තුව භාරගෙන ඇති බවත් එය රටේ ඒකීයභාවය වෙනුවෙන් දිවි පිදූ ඉහත කී පිරිසගේ සොහොන් කොත් මතට මූත්‍රා කිරීමකට සමාන බවත් ජානිපෙ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා පෙන්වා දෙයි.

පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක දී ඒ මහතා මෙසේ පෙන්වා දුන්නේය.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ජයන්ත සමරවීර මහතා මෙසේ ද ප්‍රකාශ කළේය.

88-89දී දිවි පිදූ 60,000ක සොහොන් කොත්වලට ජවිපෙ මුත‍්‍රා කරයි..

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමෙන් ජනතා විමුක්ති පෙරමුණ ඉටු කරන්නේ කවරකුගේ කොන්ත්‍රාත්තුවක් ද? යන්න අපි සලකා බැලිය යුතුයි. ජනතා විමුක්ති පෙරමුණ මේක ගෙන එන්නේ ශිෂ්ටත්වයේ, ප්‍රජාතන්ත්‍රවාදයේ යෝජනාවක් ලෙසටයි.

2015 මහින්ද රාජපක්ෂ පාලනය පෙරළා දැමීමට මුල් වූ බටහිර සහ ඉන්දීය අධිරාජ්‍යවාදී කඳවුර ඉන් බලාපොරොත්තු වූ ප්‍රධානතම අරමුණ වූයේ මේ රට තුළ ෆෙඩරල් පාලනයක් ස්ථාපිත කිරීම. 2013 දී මංගල සමරවීරලා දෙමළ ඩයස්පෝරාව සමඟ සිංගප්පූරුවේ දී ඇතිකර ගත් එකඟතාව අනුවත් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ දී සම්මත කරගත් ශ්‍රී ලංකාවට එරෙහි 30/1 යෝජනාවලිය අනුවත් ශ්‍රී ලංකාව පූර්ණ වශයෙන් ෆෙඩරල් රාජ්‍යයක් බවට පත් කළ යුතුව තිබෙනවා. ඒ සඳහා පාර්ලිමේන්තුව ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් බවට පත් කරමින් ‘ෆෙඩරල් ව්‍යවස්ථා පොට්ටනියක්’ ගෙන එන්න සිරිසේන – වික්‍රමසිංහ ආණ්ඩුව උත්සාහ කළා. ඒ ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය යටතේ පත් කළ අනු කමිටු අතරින් මධ්‍ය – පරිධිය සබඳතා පිළිබඳ අනු කමිටුවේ ‘වාර්තාව’ අපි දැක්කා. දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. සිද්ධාර්ථන් සභාපතීත්වය දැරූ එම අනු කමිටුවේ වාර්තාවෙන් නිර්දේශ කළේ ‘ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන්ම ෆෙඩරල් ව්‍යුහයකට පරිවර්තනය කිරීම’ යි.

‘ෆෙඩරල් ව්‍යවස්ථා පොට්ටනිය අත හැරීමට සිදුවීම‘

නමුත් 2018 පෙබරවාරි 10 වැනිදා ලැබුණු මහා ජනවරම නිසා සිරිසේන – වික්‍රමසිංහ ආණ්ඩුවට ‘ෆෙඩරල් ව්‍යවස්ථා පොට්ටනිය’ සම්මත කර ගන්න බැරිව එය අත්හැර දැමීමට සිදුව තිබෙනවා. අද ‘සිරිසේන – වික්‍රමසිංහ’ ආණ්ඩුවට තමන්ගේ බෙදුම්වාදී මනදොල සපුරා දෙන්න බැහැ කියලා දෙමළ ඩයස්පෝරාව ඇතුළු බෙදුම්වාදීන් දන්නවා. ඒ වගේම මේ ආණ්ඩුවේ සහ එම බෙදුම්වාදීන්ගේ හාම්පුතුන් වුණු බටහිර – ඉන්දීය ඒකාබද්ධ අධිරාජ්‍යවාදීනුත් ඒක දන්නවා.

‘වික්‍රමසිංහ මේ පාරත් අසාර්ථකයි‘

පිරබාහරන් – වික්‍රමසිංහ ඊනියා සටන් විරාම ගිවිසුම මගින් සහ සුනාමි සහන මණ්ඩලය හරහා ස්වයං පාලන අධිකාරියක් මගින් මේ අධිරාජ්‍යවාදීන් සහ බෙදුම්වාදීන් ශ්‍රී ලංකාව තුළ යුදමය නොවන ආකාරයෙන් වෙනම රාජ්‍යයක් හදන්න උත්සාහ ගත්තා. ඒ අවස්ථා දෙකේදීම එවකට ජවිපෙ නායක සෝමවංශ අමරසිංහ සහෝදරයා පක්ෂ යාන්ත්‍රණය සහ දෑහිතකාමී බලවේග සමඟ එක්ව එම උත්සාහයන් පරාජය කළා. ඉන්පසුව තමයි මේ ‘ෆෙඩරල් ව්‍යවස්ථා පොට්ටනිය’ රනිල් ලවා සම්මත කර ගන්න හැදුවේ. අද ඒකත් අසාර්ථකයි. ඊට පසුව තමයි, 13 සම්පූර්ණයෙන් බලාත්මක කර රට ෆෙඩරල් කිරීමේ කොන්ත්‍රාත්තුව ජවිපෙ නායක අනුර කුමාර දිසානායකට භාර දී ඇත්තේ.

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හඳුන්වා දෙන විට එය ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරක් සේ පෙනුනා. ඊට අදාළ විවේචනය සහිත සටන් පැන නැගුණා. එම ව්‍යවස්ථාවෙන් ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වූ තර්ජනයට එහා ගිය තර්ජනයක් එයට ඉන්දියාවේ බලහත්කාරය මත ජේ. ආර්. ජයවර්ධනට එකතු කිරීමට සිදුවූ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් එල්ල වී තිබුණා. එය එදා වඩා හොඳින්ම දුටුවේ ජවිපෙ නිර්මාතෘ රෝහණ විජේවීර සහෝදරයා. රටේ ඒකීයභාවයට 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් එල්ල වූ තර්ජනයට එරෙහිව එදා ජවිපෙ සිවිල් නීති කැඩීමේ ව්‍යාපාරයක් ආරම්භ කළා. පාසල් සිසුන් වූ අපට කීවා, ‘පළමුව මව්බිම – දෙවනුව ඉගෙනුම තෝරාගන්න’ කියලා. ඒක හරි. අපි එදා පාරට බැස්සේ ‘පලා බබා අපට එපා!’ කියලා. රටේ ඒකීයභාවය රැක ගැනීම වෙනුවෙන් 1987 ජූලි මස ඇරැඹි අරගලයේ දී රෝහණ විජේවීර, උපතිස්ස ගමනායක වැනි නායක සහෝදරවරුන් ඇතුළු තම මාතෘභූමියට අසීමිතව ආදරය කළ 60,000ක් සුජාත දූ පුතුන් දිවි පිදුවා. නමුත් ඒ ජීවිත පරිත්‍යාගයන් නිසා 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් බලාත්මක වීම නතර කරන්න ජේ. ආර්. ජයවර්ධනට ව්‍යවස්ථා බාධක හෙවත් ‘අඩ කොට’ තියන්න සිදු වුණා. ඒ නිසා බෙදුම්වාදීන්ගේ මනදොල එදා පූර්ණ ලෙස සපිරුණේ නැහැ. එදා 13න් ඊළම හැදෙන එක වළක්වන්න ජේ. ආර්. තැබූ ‘අඩ කොට’ ඉවත් කරන්න වත්මන් ජවිපෙ නායක අනුර දිසානායක ඇතුළු පිරිස අද සූදානම් වෙනවා.

‘සොහොන් කොත්වලට මුත්‍රා කිරීම’

නමුත් අද ‘රෝ – සී. අයි. ඒ. ඒජන්සියක්’ වුණු වත්මන් ජනතා විමුක්ති පෙරමුණ සිදු කරන්නේ ඒකීයභාවය වෙනුවෙන් දිවි පිදූ 60,000ක් තරුණ, තරුණියන්ගේ සොහොන් කොත්වලට මූත්‍රා කිරීමයි. අද මේ අනුර දිසානායක හදන්නේ රනිල් හාමුට බැරි වුණ දේ කරන්න. විධායක ජනාධිපති ක්‍රමය ගැන අද අනුර දිසානායක කියන්නේ ඇත්ත ද? 2015 ගෙන ආ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් විධායක ජනපති ක්‍රමයේ දත් ගැලෙව්වා. දැන් පාර්ලිමේන්තුව මුල් වරට රැස් වී වසරකට පසුව එය විසුරුවා හැරීමට ජනාධිපතිට බැහැ. ඒකට වසර හතරහමාරක් බලා ඉන්න ඕනේ. අගමැති පත් කළාට ඉවත් කරන්න බැහැ. දැන් විධායක ජනාධිපති ක්‍රමය කියන්නේ දත් තුනහතරක් තිබෙන කටක් වගේ. ඒ දත් තුනහතර තිබෙන්නේ කුමකට ද? 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් බලාත්මක වී මේ රටේ ඒකීයභාවය අහිමි වීම වැළැක්වීමටයි. දැන් ඒ දත් තුනහතරත් ගලවන්න, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට රතු අලිපැටියාට ඔහුගේ හාම්පුතුන් භාර දී තිබෙනවා.

‘කාරක සභා අවස්ථාවේ කරන සෙල්ලම’

දැන් අනුර දිසානායක සූදානම් වෙනවා, ‘විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම’ කියන යෝජනාවට මුවා වෙලා 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් බලාත්මක කරලා දෙන්න. මෙතැන දී සිදු වන ක්‍රියා පටිපාටිය කුමක්ද, කියලා බලමු. පළමුවෙන් මේ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. ඉදිරිපත් කළාට පසු ගැසට් කරනවා. ගැසට් කළාට පසු දින 14ක් ඇතුළත අපට ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ එය අභියෝගයට ලක් කිරීමට පුළුවන්. එවිට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරාවි, ‘ඇතැම් වගන්ති සම්මත කිරීමට පාර්ලිමේන්තුවේ 2/3 ඡන්දය ප්‍රමාණවත්. ඇතැම් වගන්ති සම්මත කිරීමට 2/3ක ඡන්දය සහ ජනමත විචාරණයක් අවශ්‍යයි’ කියලා. එවිට 2/3 ඡන්දය ප්‍රමාණවත් වගන්ති සඳහා විවාදය පැවැත්වේවි. නමුත් ඔබට මතක ඇති පළාත් පාලන ඡන්ද විමසීම් පනත් කෙටුම්පත සහ පළාත් සභා ඡන්ද විමසීම් පනත් කෙටුම්පත මේ ආණ්ඩුව සම්මත කරගත් ආකාරය. එහිදී කාරක සභා අවස්ථාවේ දී තමන්ට උවමනා වගන්ති සියල්ලම ඇතුළත් කරගත්තා. එහෙම නම් විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීමේ පනත් කෙටුම්පත ගෙනල්ලා මේ අය නිකන් ඉඳියිද? නැහැ. මේ අය කාරක සභා අවස්ථාවේ දී 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ඊළම දක්වා යාමට නොදී තබා ඇති ‘අඩ කොට’ සියල්ල ගලවනවා. ඒ නිසා එහිදී ගෙනේවි අපූරු සංශෝධන. පළමු එක තමයි, ‘ජනාධිපතිවරයා විසින් ආණ්ඩුකාරවරයා පත් කළ යුත්තේ මහ ඇමතිවරයාගෙන් විම්සීමෙන් අනතුරුව ය.’ යන්න. අපි අහනවා අනුර දිසානායකගෙන් ‘මහ ඇමතිවරයාගේ නිර්දේශය අනුව ජනාධිපතිවරයකු විසින් පත් කරන ආණ්ඩුකාරවරයකු පළාත් සභාවට ගෙන එන ඒකීයභාවයට හානිකර ප්‍රඥප්ති හරවා යවයි ද? කියා. නැහැ. ඉඩම්, පොලිස්, මුදල් ආදී බලතලවලට අදාළ කිසිදු ප්‍රඥප්තියක් එවැනි ආණ්ඩුකාරවරයකු හරවා යවන්නේ නැහැ. එවිට ඉඩම්, පොලිස්, මුදල් බලතල සියල්ල පළාත් සභාවලට යනවා. ඒක ඊළමට පාර කැපීමක් නොවෙයි ද? උත්තර දෙන්න අනුර දිසානායක රතු අලිපැටියෝ. මේ ටික වෙන්න දෙන්න ද ජවිපෙ 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට, පළාත් සභා පනතට විරුද්ධව දෙතිස් මහා වධ බන්ධනයන් මැද්දේ අරගල කළේ? උත්තර දෙන්න අනුර දිසානායක රතු අලිපැටියෝ. අද ජනතා විමුක්ති පෙරමුණ විසින් පාවා දෙන්නේ ඒ මහා පරම්පරාවක අභිලාෂයන් බව ජාතිය හමුවේ සිහිපත් කරන්න මෙය අවස්ථාවක් කර ගන්නවා.

‘මේක දිනන්න දෙන්නේ නැහැ’

අනුර දිසානායක කියනවා ‘අපි මේ පනත් කෙටුම්පත ගෙනෙන්නේ දිනන්න’ කියලා. නමුත් අපි අවධාරණය කරනවා, ‘මේ රටේ ඒකීයභාවය වනසන – බෙදුම්වාදීන්ගේ මනදොල සපුරන මේ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ජය ගැනීමට 60,000ක් දිවි පිදූ ඒ මහා පරම්පරාවේ නාමයෙන් අපි ඉඩ දෙන්නේ නැහැ.’ කියා.”

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress