ලෙස්ටර් සිනමාකරුවෙකු පමණක් නොව සමාජ චින්තකයෙකුද විය
Posted on May 1st, 2018

මහින්ද රාජපක්‍ෂ ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති

 ශ්‍රේෂ්ඨ ශ්‍රී ලංකීය පුත්‍රයෙකු වූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ අභාවය ගැන අපගේ බලවත් ශෝකය ප්‍රකාශ කර සිටිමු. අපේ මේ කුඩා දිවයින ලෝකය තුළ ඔසවා තබන්නට හේතු වූ පුද්ගලයන් විරලය.ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ඒ විරලයන් අතර ප්‍රමුඛයෙකි.ඔහුගේ පළමු සිනමා නිර්මාණය වූ රේඛාව’ මෙරට බිහිවූපළමු එළිමහන් දර්ශණ ඇතුලත් චිත්‍රපටිය වන අතර, එතුළින් ඔහු මෙරට පමණක් නොව ජාත්‍යන්තරවද කීර්තියට පත් විය.”සංදේශය” චිත්‍රපටිය  නිර්මාණය කරමින් කලාත්මක මෙන්ම වාණිජ චිත්‍රපටද නිර්මාණය කිරීමට ඔහුගේ හැකියාව ලොවටම පෙන්වීය. තවද ලෝකයේ මෙතෙක් බිහිවූ හොදම චිත්‍රපට 100 අතරට ඒමට නිධානය” චිත්‍රපටපටය සමත් විය.

එතුමන්ගේ විශේෂත්වය වන්නේ ශ්‍රී ලාංකේය අනන්‍යතාවය ප්‍රකට කරවමින් ශ්‍රී ලංකාව ලෝකය අතරට ගෙන යෑමය. කුඩා අවදියේ සිටම ඉංග්‍රීසි භාෂාව පරිශීලනය කලද  ඔහුගේ නිර්මාණ වලින් ප්‍රකට කෙරුනේ මෙරට සමාජ සංස්කෘතික හර පද්ධතීන්ගේ ගුණ සුවදයි.ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මෙරට සිනමාවට පමණක් නොව ලෝක සිනමාවටද සම්පතක් විය. සිනමාකරුවෙකු ලෙස ඔහුගේ ප්‍රතිභාව හා පරිචය කෙබඳු වීද කියතොත් ඔහුද අකිර කුරසොව, සත්‍යජිත් රායි වැනි ලෝක මට්ටමේ සිනමා කරුවෙකු ලෙස ලොවම පිළිගත්තේය.එමගින් ඔහු අපගේ රටට කීර්තියක් අභිමානයක් අත්කර දුන්නේය.එම නිසාම  සිවිල් පුරවැසියෙකුට පිදෙන ඉහලම සම්මානයෙන් ඔහු පුදන්නට වර්ෂ 2007 දීඅපි පියවර ගත්තෙමු.

ගුරුකුලයක් ගොඩ නැංවූයේ නැති  වුවද ඔහු මෙරට සිනමා පරම්පරාවේ  ආරම්භකයා විය. ඔහුගේ නිර්මාණ පූර්වාදර්ශයට ගෙන මෙරට සිනමා ක්‍ෂේත්‍රයට අවතීර්ණ වූවෝ බොහෝය.විශේෂයෙන්ම 60,70,80  දශකවල බිහිවූ සිනමා නිර්මාණකරුවන්ගේ මුල්  ගුරුවරයා වූයේ ආචාර්ය ලෙස්ටර් හා ඔහුගේ නිර්මාණ බව අපගේ අදහසයි. ලෝක පිළිගැනෘමට ලක් වූ  සිනමා කරුවෙකු වුවද කවර මට්ටමේ වුවද නවකයනට එතුමා බොහෝ නිහතමානීව,නිරහංකාරව තමන් දන්නා දේ කියා දුන් බව ප්‍රකට කරුණකි.

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සිනමා නිර්මාණ කරුවෙකු පමණක්ම  නොව සංස්කෘතික චින්තකයෙකුද විය. ඔහු තම නිර්මාණ හරහා ප්‍රකට කල චින්තනය ශ්‍රී ලංකීය සමාජයේ ජන මනස පෝෂණය කරන්නටද විශාල පිටිවහලක් විය.විවිධ සංස්කෘතීන් එකිනෙක හා ගැටෙන, එකිනෙක හා මිශ්‍රවන වේගය ඉහල ගොස් ඇති නූතන විශ්ව ගම්මාන යුගය ලෙස්ටර් වැනි චින්තකයන් වැඩි වැඩියෙන් අවශ්‍ය යුගයකි. එතුමාගේ අභාවය සම්බන්ධයෙන් මාගේ කණගාටුව සුමිත්‍රා පීරිස් මැතිනිය ඇතුලු පවුලේ සැම වෙත පල කර සීටීමට කැමැත්තෙමි. අප සියලු දෙනාම ලෙස්ටර් ජේම්ස් පීරිස් මැතිතුමාට නිවන් සුව ලැබේවා, යැයි ප්‍රාර්ථනා කර සිටිමු.  

මහින්ද රාජපක්‍ෂ

ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress