ගෝටාභය අත්අඩංගුවට ගන්න සූදානම්.. ඉහල අණින් සාක්‍ෂි හදයි..
Posted on May 9th, 2018

– අරවින්ද අතුකෝරල 

පිවිතුරු හෙල උරුමය පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී එම පක්‍ෂ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල කලේය.

මේ දිනවල ආණ්ඩුවට තියෙන ලොකුම භය තමයි ගෝඨාභය. ගෝඨාභය මහතා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වුනොත් අනේ අපි සුනේ සුන් කියලා හිතලා එතුමව හිර කරන්න පසුගිය අවුරුදු තුන පුරාවටම විවිධ ආකාරයේ නඩු ගොඩ නැගුවා. හැබැයි මේ සුරංගනා කතා පමණක්මය කියන එක ඉහල උසාවියෙන් තීරණය කරලා ඒ සෑම අවස්ථාවකදීම එතුමන්ව අත්අඩංගුවට ගැනීම උසාවි නියෝග හරහා තහනම් කලා. දැන් මොකක්ද කරන්න යන්නේ.

අපට හමුදාවෙන් තොරතුරු ලැබුනා හමුදා බුද්ධි අංශ ප්‍රධානියා එක්නැලිගොඩ අතුරුදහන් කිරීම පිලිබඳ චෝදනා කරලා අත් අඩංගුවට ගත්ත හමුදා භටයන්ව ගෙන්වලා ඔවුන්ට බලපෑම් කරන්න සූදානමක් තිබෙනවා කියලා.  ඒ සදහා අවශ්‍ය දේශපාලන උපදෙස් ඉහලින් ලැබී තිබෙනවා.

ඒ අනුව හමුදා බුද්ධි අංශ ප්‍රධානියා එක්නැලිගොඩ අතුරුදහන් කිරීම පිළිබඳ අත් අඩංගුවට ගත්ත හමුදා භටයන්ය තමන් ලගට ගෙන්වලා, තමන් මේ වරද කල බවත් ඒ කලේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ බලපෑම් මත බවත් පොලීසියට ප්‍රකාශකරන්න යැයි ඔවුන්ට බලපෑම් කරන මෙන් ඉහලින් ඔහුට උපදෙස් ලැබී තිබෙන බවට හමුදාවේ ඉහලම නිළධාරීන් මාර්ගයෙන් අපට දැන ගන්න ලැබුනා.

මේ කතාව ඇත්තනම් අපි බුද්ධි අංශ ප්‍රධානියාට අනතුරු අගවනවා. සාක්ෂිකරුවන් සහ වින්දිතයන් සුරැකීමේ පනත යටතේ සාක්ෂියක් වෙනස් කරන මෙන් සාක්ෂියක් ප්‍රකාශ කරන මෙන් බලපෑම් කිරීම සිරදඩුවම් ලැබිය හැකි වරදක් කියන එක අපි හුමදා බුද්ධි අංශ ප්‍රධානීයා ඇතුලු දේශපාලනයට යට වෙන්න හදන හමුදාවේ ඉහල නිළධාරීන්ට සිහිපත් කරනවා. ඒ වගේම දේශපාලකයන්ට කඩේ ගිහින් හමුදාවේ ගෞරවය රණ විරුවාගේ අභිමාණයත් කෙලසන්න එපා කියලා අපි හමුදාවේ ඉහල නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress