“රාජ්‍ය නිලධාරීන් අයෝජකයින්ගෙන් කප්පම් ගන්නේ ආයෝජන මණ්ඩලයේ දුර්වලතා නිසා“ – කීර්ති තෙන්නකෝන්
Posted on May 10th, 2018

මාධ්‍ය නිවේදනය  මාධ්‍ය ඒකකය ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය

ශ්‍රී ලංකාවට ආයෝජකයන් කැඳවීමටත්, ආයෝජකයන් රඳවා ගැනීමටත් ඒ සඳහා පහසුකම් සැලසීමේ වගකීම  පැවරී ඇති ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය තම රාජකාරිය නිසි පරිදි ඉටු නොකරන  බව  ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය අවධාරණය කරයි. එහි විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා රාජගිරියේදී පැවැති මාධ්‍ය හමුවකදී පෙන්වා දුන්නේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය මෙරටට පැමිණෙන ආයෝජකයින් මෙරට රඳවා ගැනීමට ගනු ලබන පියවර කිසිසේතම් ප්‍රමාණවත් නොවන බවයි.

විශේෂයෙන් මෙරටට පැමිණෙන ආයෝජකයින්ගෙන් කප්පම් ගැනීම නතර කරමින් ඔවුන් රැකගැනීමෙ වගකීම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සතු වන බව ද  තෙන්නකෝන් මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

පසුගියදා කන්තලේ සීනි සමාගම සඳහා පැමිණි ආයෝජකයෙකුගෙන් කප්පම් ලබාගැනිමේදී ජනාධිපති කාර්ය මණ්ඩල හිටපු ප්‍රධානියා අත් අඩංගුවට පත්වූ  බවත් මේ එවන් එක් සිදුවීමක් පමණක් බවත් ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රෙය් විධායක අධ්‍යක්ෂවරයා සඳහන් කළේය. මෙලෙස වාර්තා නොවන අල්ලස් ලබාගැනීම් කොපමණ ප්‍රමාණයක් සිදුවී ඇතිදැයි  නිශ්චිතවම කිසිවකුට පැවැසිය නොහැකි බවද හෙතෙම පෙන්වා දුන්නේය. එවන් නින්දිත සිදුවීම් වළක්වා ගැනීමට නම් ශ්‍රී  ලංකා ආයෝජන මණ්ඩලය විසින් සිය යාන්ත්‍රණය විධිමත් කළ යුතු බව තෙන්නකෝන් මහතා පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ තෙන්නකෝන් මහතා මෙසේ ද පැවසීය

වත්මන් ආණ්ඩුව ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට රුපියල් දෙලක්ෂ හැත්තෑපන්දහසේ සිට රුපියල් අට ලක්ෂ පනස් දහස  දක්වා වැටුප වැඩි කර තිබෙනවා. ආයෝජන මණ්ඩලයේ වත්මන් සභාපතිවරයා  කාර්යාලයට පැමිණෙන්නේ සතියකට වරක් පමණයි. එසේ පැමිණියත් ඔහු කාර්යාලයේ රැඳී සිටින්නේ පැය කිහිපයක් විතරයි. මෙහෙම පුළුවන්ද ආයෝජන නංවන්න? ආයෝජකයෝ ආරක්ෂා කරන්න? ඔවුනගේ ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න?  කන්තලේ ආයෝජකයා අල්ලස් කොමිසම හමුවට ගිය එකට මේ වෙනෙකොට මරණ තර්ජන එල්ල වෙලා. ආයෝජන මණ්ඩලය මොකක්ද ඔහුට දීලා තියෙන සහතිකය ඔහුගේ ආරක්ෂාව ගැන. ඒනිසා  මේ ආයෝජන මණ්ඩලයේ ක්‍රියාවලිය විධිමත් කිරීම අද අත්‍යවශ්‍ය තත්වයක් වෙනවා.

මාධ්‍ය ඒකකය

ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය

2018 මැයි 10 වැනිදා

 

One Response to ““රාජ්‍ය නිලධාරීන් අයෝජකයින්ගෙන් කප්පම් ගන්නේ ආයෝජන මණ්ඩලයේ දුර්වලතා නිසා“ – කීර්ති තෙන්නකෝන්”

  1. Christie Says:

    Yes Sir;

    We Sinhalese should protect Indian Colonial Parasites’ money and them who are bringing back our own money as foreign investments.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress