සොරදෙටු සෙල්ලම් රාජ්‍යය
Posted on May 11th, 2018

වසන්තප්‍රිය රාමනායක උපුටාගැණීම ලංකාදීප

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් කලාකරුවාණෝ පසුගියදා දැයෙන් සමුගත්හ. ඔහු දූපතක් වූ මේ දිවයින සිනමාවෙන් මහද්වීපයක් සේ ඔසවා තැබූ විශ්වකීර්තිධර කලාකරුවෙකි. එතුමාගේ අවමඟුල දා නිවසට පැමිණි අයෙක් ඔහුට ලැබුණු ජාත්‍යන්තර රණමයුර සම්මානය සොරකම් කළේය.

ඊට දින කීපයකට පසු ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා සහ තවත් සංස්ථා සභාපතිවරයෙක් කෝටි දෙකක අල්ලසක් ගනිද්දී අතටම අසුවූහ. මේ එසේ මෙසේ දෙදෙනෙක් නොවෙති. හැමදාම නාස්තිය දූෂණයට එරෙහිව හඬනඟන ඒ වෙනුවෙන් අන් අයට ඇඟිල්ල දිගුකරන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග හිටපු ජනාධිපතිනියගේ සමයේ ද ඇයට සමීපව සේවය කරන ලද ඉහළ තලයේ නිලධාරීන් දෙදෙනෙකි.

ලෙස්ටර්ගේ රණ මයුර සම්මානයේ රත්‍රංවල සංයුතිය නිසාදෝ එය බස් රථයක දමා යෑමට කොල්ලකරුවෝ සමත්වූහ. මේ සිදුවීම් දෙක එකිනෙකට වෙනස් වූ සොරකම් දෙකකි. එහෙත් මෙය වත්මන් සමාජය ගැන කියාපාන කැඩපතක් වැනිය. කුමන පාලනයක් පැවතිය ද දැන් මේ රට අහවල් දේශයක් දැයි සිතා ගැනීමට නොහැකි තරම් පිරිහී අවසන්ය. වසර 2500ක ජාතික අභිමානය ගැන කතා කර කර ඉඳීමෙන් පමණක් අද මේ දේශය ගොඩගත නොහැකි තැනට ම පිරිහී ඇත.

කොතරම් නීති රීති, මුරකාවල් ආයතන පැවතිය ද හොරකමේ අඩුවක් දක්නට නොලැබේ. එකම සැනසීමකට ඇත්තේ ‘වැටත් නියරත් ගොයම් කෑම’ යම් තරමකට හෝ ඉවත් වී තිබීම ගැනය. එසේම නඩුත් බඩුත් දෙකම හාමුදුරුවන්ගේ නොවන බව ද පැහැදිලිය.

එහෙත් වත්මන් පාලනයට රටක් වශයෙන් පවතින වගකීම්වලින් බැහැර විය නොහැක. පැරණි පාලනයට fදාස් කීමෙන් පමණක් නිදහසට කරුණු සොයාගත නොහැකිය. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් බලාත්මක වූ කොමිෂන් සභා තවදුරටත් සක්‍රීය කරමින් ඉදිරියට ගමන් කළ හැකිය. 

කිසියම් ආයතනගත ව්‍යුහයට වඩා වැදගත් වන්නේ ඒවාට නිදහසේ රාජකාරි කිරීම සඳහා ආණ්ඩුවක් මගින් ලබාදෙන නිදහසයි. අල්ලස් කොමසාරිස් නෙවිල් ගුරුගේ සඳහන් කරන පරිදි එම නිදහස ඔවුනට ලැබී තිබේ. ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා කාලාන්තරයක් තිස්සේ කුරුමානම් අල්ලා කොටුකර ගැනීමට හැකි වී තිබෙන්නේ රාජ්‍ය නායකයාගෙන් ලැබී තිබෙන එම නිදහස කරන කොටගෙන බව ඔහු සඳහන් කරයි.

දූෂණය මුලින් උපුටා දමා සියලු දූෂිතයන්ට නීතිය ක්‍රියාත්මක කිරීම රජයේ ඒකායන අරමුණයි.”
(ජනාධිපති පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය අරඹමින් 08. 05. 2018)

පවතින වාතාවරණය යටතේ මේ මට්ටමින්වත් ආයෝජකයන් පැමිණීම පුදුම සහගතය. යහපාලනයේ කොටස්කරුවන් වශයෙන් පසුගිය සමයේ පත්තර පිටු පුරා පුරාජේරු කතා කී සමහරු අද යහපාලනය අයුතු ලෙසින් කෝටි ගණනින් මුදල් උපයාගන්නා චෞර රාජ්‍යයක් බවට පත්කර ඇත්තාහ.

ඉන්දියානු නිදහස් සටනේ දී ශාරීරික කෘත්‍ය ඉටුකර ගැනීමට රේල් පාරවල් අයිනේ ගැවසුණු සමහරු එරට පාලනය කළ සුද්දන්ගේ අත්අඩංගුවට පත්වූහ. අවසන ඉන්දියාවට නිදහස ලැබීමෙන් පසු නිදහස ලැබූ වීරයන් අතර එවන් නිකරුණේ  අත්අඩංගුවට පත් වූ රස්තියාදුකාර පිරිස් ද වූහ. ඒ අය ද වීරයන් ලෙසින් මල්මාලා පළඳවනු ලැබූහ.

යහපාලනය යටතේ ගොම රිටි බඳු එවන් චරිත 2015 ජනවාරි 8 වැනිදායින් පසු සොර දෙටුවන් ලෙසින් මතු වී සිටින බව මේ සිදුවීම්වලින් පැහැදිලි වේ. මේ අය ඉහළ තැන්වලට රෙකමදාරු වන්නේ කාගේ අනුහසින් දැයි පැහැදිලිය. අනුන්ට ඇඟිලි දික්කරන පැරැණි ඉහළ තැන් ඊට වගකිව යුතුය. එසේම අපේ නායක කාරකාදීන්ට මේ අය දේශපාලන ඉවෙන් හඳුනා ගැනීමට නොහැකිවීම කනගාටුදායකය.

ඉතින් දෙයියනේ කාලා බලන්න පුළුවන් ද ?
ඒකත් ඇත්තය. 

එහෙත් මෙය කාලාන්තරයක් තිස්සේ ඕනෑම දෙයකට භාවිතා වන ‘පොදු වදනක්’ බවට පත්ව ඇත. මෙතැන් සිට හෝ පුද්ගලයන් සම්බන්ධයෙන් සොයා බැලීමක් නොකරන්නේ නම් අවසානයේ යහපාලනය මරණ මංචකයට ඇදගෙන යෑමට මේ සොර දෙටුවන්ගේ ක්‍රියා පමණක් වුවද ප්‍රමාණවත් වනු ඇත.

අපට බොහෝ විට අසන්නට ලැබෙන්නේ දේශපාලනඥයින්ට එල්ල වන අල්ලස් – දූෂණ චෝදනා ගැනය. ඒවා ද පොදු කටයුතු උදෙසාය. නැතිනම් ආණ්ඩුවේ සල්ලිවලින් දේශපාලන වුවමනා ඉටු කර ගැනීමට සූදානම් වීම් ගැනය. නිලධාරී මට්ටමේ සොර දෙටුවෝ එහි දී ද සැඟවෙති. සමහර තැනක දේශපාලනඥයන් සොරකමට පොළඹවාගෙන තිබෙන්නේ ද මේ නිලධාරි සොර දෙටුවන් විසින් බව පෙනේ. දෙමවුපියන්ගෙන් උරුම වූ දේපළ ඉඩකඩම් නොමැති කිසිදු මූලික ප්‍රාග්ධනයකින් තොරව නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් ඉගෙනුම් ලබා විභාග පාස්කර පරිපාලන සේවයට පැමිණෙන සමහරුන් සිය තනතුරු දරමින් අගනුවර ගතකරන සුඛෝපභෝගී ජීවිත ගැන කිසිවෙකු සොයා බලන්නේ නැති තරම්ය. තට්ටු නිවාස, කොළඹ 7 සුඛෝපභෝගී නිවාස, ඈත පළාත්වල අක්කර ගණන් වතු යායවල් මොවුන් සතුකර ගෙන සිටින්නේ කෙසේ දැයි නිසි අයුරින් සොයාබැලීමක් සිදු වන බව නොපෙනේ. ඒ වෙනුවට අහිංසක මිනිසුනට රාජ්‍ය ආදායම වෙනුවෙන් බදු බර පැටවේ. 

සාමාන්‍ය පන්තියේ ජනයාගේ දරුවන් ඉහළ පාසල්වලට ඇතුළු කිරීම් සම්බන්ධයෙන් ඔවුන් අධෛර්යමත් කිරීමට තමන්ගේ ගමේ අධ්‍යාපනයේ හැඩ රුව කීමට රූපවාහිනී ආයතනවලට පැමිණෙන්නේ ද මේ අයමය.

එහෙත් ඔවුන්ගේ (මේ සොර දෙටුවන්ගේ) දරුවන් විදේශ රටවල අධ්‍යාපන ආයතනවලට යැවීමට ඇවැසි මුදල් සොයාගන්නා ආකාරය ගැන ප්‍රශ්න කිරීමට කිසිදු බලධාරී ආයතනයක් නොමැති තරම්ය. අද මේ රට හැඩගැසී තිබෙන්නේ එලෙසිනි. මෙවැනි රටක අල්ලස් කොමසාරිස් නෙවිල් ගුරුගේ ඇතුළු නිලදරුවන්ගේ එඩිතරකම ගැන ප්‍රශංසා කළ යුතුය.

දේශපාලනඥයා නම් අඩු තරමින් මැතිවරණයක දී ජනතාවගේ පරීක්‍ෂාවට ලක්වේ. වරදක් සිදුවී තිබේ නම් හෝ එවැන්නක් බාහිර භාවිතය තුළින් හැඟී යන්නේ නම් මැතිවරණයක දී ඒ අය ප්‍රතික්ෂේප කිරීමේ අයිතිය ඡන්ද දායකයා සතුය. මේ නිසා දේශපාලනඥයකුට කොතැනින් ගැලවුණත් එතැනින් ගැලවීමක් නැත. 

‘හොරකම් කරල තියන බව නම් පේනවා තමයි. ඒ වුණත් ඔවුන් අතින් රටටත් යමක් සිදුවී තිබෙනවා’ යැයි ජනතාව විසින් සමහර දේශපාලඥයන් නිදහස් කරන අවස්ථා ද දක්නට ලැබේ. පවතින ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායේ හැටි එහෙමය. එහෙත් දේශපාලනඥයන්ටත් වඩා දූෂිත සමහර නිලධාරීන් කරන හොරකම් කිසිම තැනක සටහන් නොවේ. වසර 5න් පහට පරීක්‍ෂාවට ලක්වන්නේ ද නැත. ඔවුනට අවශ්‍ය වන්නේ වසර 5න් පහට ටයිපටිය, පුටුව හා ස්ථාන මාරු කර ගැනීම පමණි. කන්තලේ සීනි සමාගමට අදාළ පළමු කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් වන්නේ ඉඩම් අමාත්‍යාංශය මගිනි. එහිදී අදාළ ඇමැතිවරයා පවා නොමග යවා තිබෙන බවක් පෙනේ.

මෙවන් පසුබිමක මේ රටට පැමිණෙන ආයෝජකයන්ට සිදුවී තිබෙන්නේ ව්‍යාපෘතියක් සඳහා ආණ්ඩුවේ නීති රීති පිළිගෙන නිලධාරීන්ට දෙන පගාව ද වෙන්කර අදාළ ලන්සුව තැබීමටය. නැතිනම් ආයෝජන සඳහා වෙන්කරන මුදලට අමතරව අපේ රටේ සොර දෙටුවන් වෙනුවෙන් වෙනම මුදල් වෙන්කර ගැනීමටය.

මේතරම් ගෝතකරුමයක් නොවීද මීට වඩා සරල ලෙසින් ආයෝජනය කළ හැකි තවත් බොහෝ රටවල් ආසියාවේ තිබේ. හොඳම උදාහරණය මියන්මාරය, බංගලිදේශය හා වියට්නාමයයි. මේ වනවිට අකුණු කුණාටු, ජල ගැලීම් වැනි ස්වාභාවික විපත්වලින් ගහන බංගලිදේශය අපට වඩා ආර්ථික සංවර්ධනය පැත්තෙන් ඉදිරියට එමින් සිටී. ශ්‍රී ලංකාව මේ දිනවල සටනක් දෙමින් සිටින්නේ යුද්ධයෙන් විනාශවෙමින් පවතින ඇෆ්ගනිස්ථානය සමගය. 

අපේ රටේ අති බිහිසුණු සිවිල් යුද්ධයක් අවසන් වී රට සාමකාමී වී වසර 9ක් ගත වුව ද වසරකට ඇ. ඩොලර් මිලියන 2000ක ඍජු විදේශ ආයෝජන ලබාගැනීමට ශ්‍රී ලංකාව සමත් වී නොමැත. සාමාන්‍යයෙන් බංගලිදේශය, මියන්මාරය, වියට්නාමය වැනි රටවල් මීට වඩා දෙගුණයකටත් වැඩි වාර්ෂික අගයක් ඍජු විදේශ ආයෝජන සම්බන්ධයෙන් දරන බව පෙනේ. අපේ රටේ පසුබෑමට එක් ප්‍රධාන හේතුවක් වන්නේ පගාව ඉල්ලා සිටින සොර දෙටුවන් ආයෝජකයන් මරාගෙන කෑමට සූදානමින් සිටින නිසාය. 

මේ වන විට ශ්‍රී ලංකාව ඉදිකිරීමේ දී මෙන්ම විකිණීමේ දී ද පගාව ඉල්ලන රටක් බවට පත්ව ඇත. මේ මජර ක්‍රමය යහපාලනය යටතේ ද සිදුවෙමින් පවතී. මෙය යහපාලනය වෙනුවෙන් ඡන්දය දුන් අසරණ අහිංසක ජනයාට කරනු ලබන අපහාසයකි. ලෝක දර්ශක යටතේ ආයෝජනයට සුදුසු, දූෂණයට අක්‍රමිකතාවලට බර රටවල් අතර අපට හිමි ස්ථානය වසරින් වසර පිරිහීමකට ලක්වෙමින් පවතින බව වගකිවයුත්තන් දැන්වත් තේරුම් ගත යුතුය.

සමස්තයක් වශයෙන් ගත්කල වර්තමානයේ අපේ රටේ රාජ්‍ය තන්ත්‍රය දූෂිතය. ඒ අතර හොඳ වැදගත් රාජ්‍ය නිලධාරීහු ද සිටිති. අප මේ කතා කරන්නේ සමස්තය ගැනය. ඒ නිසා අවංකව වැඩ කරන අය කලබල විය යුතු නැත. ආණ්ඩුවට තිබෙන ප්‍රශ්නය අවංක දක්ෂයා හඳුනාගැනීමට ඇති ගැටලුවයි. එසේම අලුත් මානයකින් පැමිණෙන පැරණි හොරුන් නැවත නැවත තනතුරුවලට පත් කර ගැනීමට සූදානම් වීමයි. ඊටත් හේතුවක් තිබිය හැකිය. නොමළ ගෙයකින් අබ මිටක් සොයන්නා සේ ද අවංක මිනිසුන් සොයාගන්නේ කෙසේද යන ප්‍රශ්නයයි.

විශ්‍රාමික හොරු අලුත් වටයකින් අත්හැර දමන ලද ව්‍යාපෘතිවලට පගාව ඉල්ලන්නේ මම දැන් අහවල් තැන ප්‍රධානියා ලෙසින් තනතුරු නාමය ද පාවිච්චි කරමිනි. පරෙස්සම් විය යුත්තේ මේවා ගැනය. එහෙත් මෙම සමස්ත අඳුරු චිත්‍රයේ මතුවෙමින් පවතින රිදී රේඛාව බවට පත්ව ඇත්තේ තරාතිරම නොබලා ඕනෑම කෙනකු නීතියේ රැහැනට කොටුකර ගැනීම අදාළ ආයතනවලට ලැබී තිබෙන නිදහසයි. මේ නිසා පීරිසි කුට්ටම් හයක හා රු. 25,000 පගාවේ සිට ඉහළ තැනක කෝටි 2ක දක්වා මෙහෙයුම් අද නිර්භයව මේ රට තුළ සිදුවෙමින් පවතී.

එසේම පුදුම සහගත කාරණා ගැන ද මේ අතර අසන්නට ලැබේ. කැෆේ සංවිධානය දූෂණ විරෝධී පෙරමුණ හා ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය යන ආයතන ශ්‍රී ලංකාවේ ඉහළම රාජ්‍ය නිලධාරීන් 7කට චෝදනා එල්ලකර ඇත. ඔවුන් කිසිවෙක් ගැන අදටත් විමර්ශනයක් හෝ නැත.” (6. 05. 2018 මාධ්‍ය) නව ප්‍රතිපත්ති ප්‍රකාශනය සමඟින් නැවුම් මනසකින් ඉදිරි කාලය තුළදීවත් මේවා ගැන කල්පනා කිරීම යහපාලනයට මෙන්ම රාජ්‍ය තන්ත්‍රයට ද වැඩදායකය.

වසන්තප්‍රිය රාමනායක

One Response to “සොරදෙටු සෙල්ලම් රාජ්‍යය”

  1. Christie Says:

    මා ජාතිවාදියෙකු?

    සීනි පගාව දුන්නේ ඉන්දියන් කාරයෙකි.

    ඔහු 1994 මෙරටට එනවිට සතයක් වත් ගෙනාවද කැෆේ?

    ලෙස්ටෙර්ගෙ දුරකතනය නාව්ලපිටියේ .

    කවුරු ලඟද තිබුනෙ?

    කොලොඹ ඉඩකඩම් අයිතිය කාගෙද.

    ඒ අය ඉන්දියාවෙන් සුද්දගෙ නැවේ නිකන් ආවේ.

    සින්හලයිනි සිතන්න.

    අපි ඉන්දියානු යටත් විජිතයක ජීවත් වෙන්නෙමු.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress