ලෝක යුද්ධයෙන් පරාජිත ජර්මානුවන්ට බුදු දහම ඉගැන්වූ අසෝක වීරරත්න
Posted on May 13th, 2018

ශි්රයානි අජන්තා විතාන උපුටාගැණීම  මව්බිම

අපරදිග රටවල බුදු දහම ප්‍රචාරය කිරීම උදෙසා විශිෂ්ට මෙහෙවරක් සිදු කළ අසෝක වීරරත්න මහතා පිළිබඳ වත්මන් පරපුර නොදන්නවා විය හැකිය. අසෝක වීරරත්නයන්ගේ මෙහෙවර අනගාරික ධර්මපාලතුමන්ට නොදෙවැනි වේ. අසෝක වීරරත්න 1918දී උපන්නේ දකුණේ ව්‍යාපාරික පවුලක දරුවකු වශයෙනි. ඔහුගේ පියාවූ පී.ජේ. වීරරත්නට එවකට ලංකාවේ ප්‍රමුඛ මැණික් හා ස්වර්ණාභරණ වෙළෙඳ ව්‍යාපාර හිමිව තිබිණි. පී.ජේ. වීරරත්න සහ පුත්‍රයෝ වෙළෙඳ ව්‍යාපාරය සතුව පැවැති රන් බඩු කර්මාන්තයේ සේවකයන් 60කට වැඩි ප්‍රමාණයක් සේවය කළහ. 1960දී ඔවුහු ස්විට්සර්ලන්තය හා සම්බන්ධ වෙමින් මෙරට පළමු පෙළ ඔර්ලෝසු වෙළෙන්දෝ බවටද පත්වූහ. ලංකාවට දියමන්ති ආනයනය කළේද ඔවුන් විසිනි. ගාල්ලේ වක්වැල්ල පාරේ සහ දෙවෙනි මරදානේ ඔවුන්ගේ ස්වර්ණාභරණ සාප්පු තිබිණි. 1948 සැප්තැම්බර් 9 වැනි දින මරදානේ ස්වර්ණාභරණ මාලිගය විවෘත කරද්දී ප්‍රධාන අමුත්තා වශයෙන් සහභාගි වූයේ අගමැති ඩී.ඇස්. සේනානායක මහතාය. සර් ජෝන් කොතලාවල, සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර සහ දෙණියාය මන්ත්‍රි වික්ටර් රත්නායකද ඊට එක්වූහ.

අසෝක වීරරත්න වැඩි අවධානය යොමු කළේ අපරදිග රටවල බුදු දහම ප්‍රචලිත කිරීමේ ධර්මදූත කටයුතු පිළිබඳ උනන්දුවෙනි. දෙවන ලෝක යුද්ධය නිමා වන අවධියේ සකල ලෝකවාසීන්ගේ අවධානය ජර්මනිය කෙරෙහි යොමුවී පැවැතියේය.

ජර්මනියට තිබුණේ ඉතාමත් අඳුරු ප්‍රතිරූපයකි. ජර්මන්කාරයින් හීලෑ නොවන ගොරෝසු මිනිසුන්ය යන හංවඩුව ගැසූ හිට්ලර්ද මරණයට පත්ව සිටියේය. අසෝකගේ මැදිහත් වීමෙන් 1952 සැප්. 21 දින ලංකා බෞද්ධ ධර්මදූත සංගමය ආරම්භ කෙරිණි. අසෝක වීරරත්න කල්පනා කළේ අවස්ථාවේ හැටියට ජර්මානු ජනතාවට බිඳ වැටුණු මානසිකත්වයෙන් යළි ගොඩ ඒමටත් ඇවිළුණු සිත් සුවපත් වීමටත් එකම පිටිවහල බුදු දහම බවය. ඔහු ජර්මන් ධර්ම දූත සංගමය ආරම්භ කළේය. ඒ වන විටත් වීරරත්නයන් සමඟ සබඳතා පැවැත්වූ ජර්මානු විද්වතුන් රැසක් සිටියහ. ඔවුන් මහාවංසය ජර්මන් භාෂාවට පරිවර්තනය කිරීමටත් පෙරදිග බෞද්ධ දර්ශනය පිළිබඳ පෙරදිග ලෝකයේ ලියැවුණු බොහෝ ග්‍රන්ථ සඳහා ජර්මන් පරිවර්තන සකස් කරන්නටත් කටයුතු ආරම්භ කර තිබිණි. යුරෝපයේ ථෙරවාදී බෞද්ධයන් වැඩිම පිරිස සිටියේ ජර්මනියේ යැයි පැවැසීම නිවැරැදිය. ධර්මපාලතුමන්ගේ සමීපතම ආචාර්ය පොල්ඩැල්කේද ජර්මනියේ බෞද්ධ පුනර්ජීවනයට දායකත්වය සපයා තිබිණි.

ඩැල්කේගේ මරණින් පසු ඔහුගේ දේපළ ඥාතීන් අතට පත්ව තිබූ අතර අසෝක වීරරත්න මහතා එම බූදලය ජර්මන් ධර්මදූත සංගමයට පවරා ගන්නට කටයුතු කළේය. එහි ප්‍රතිඵලය වූයේ බර්ලින් නගරයේ අක්කර 6ක භූමිභාගයක රැස්වීම්ශාලා, පුස්තකාල, භාවනා මධ්‍යස්ථාන, නේවාසිකාගාර සහිත ‘බෞද්ධ නිවෙස’ පිහිටුවීමය. බර්ලින් විහාරය එය වූයේය.

ශ්‍රී ලංකාවේ වෙසෙන යෝගාවචර භික්ෂුන් වහන්සේට භාවනා කිරීමට සුදුසු ආරණ්‍ය සේනාසනයක් ආරම්භ කිරීම කෙරෙහි වීරරත්න මහතාගේ සිත යොමුව තිබිණි. බස්නාහිර පළාතේ ‍ෙදාම්පේ මීතිරිගල පිහිටි අක්කර 500කින් යුත් නිවර්තන වනාන්තරය හෙතෙම මිලදී ගත්තේය. එහි වෘක්ෂලතාවන්ට හානි නොවන අන්දමින් 1967දී මීතිරිගල නිස්සරණ ආරණ්‍ය සේනාසන ආරම්භ කරන ලදී.

භාවනානුයෝගී ජීවිතයකට අවැසි සියලු පහසුකම් සපයනු ලැබූ අතර ප්‍රවීණ භාවනා ගුරුවරයකු වූ මාතර සිරි ඥානරාම හිමියන්ට ආරණ්‍යයේ මූලිකත්වය පැවැරිණි. අසෝක වීරරත්නයෝ තමන් වෙත පැවැරී තිබූ සියලු ජාත්‍යන්තර බෞද්ධ කටයුතුවල වගකීම අත් හරිමින් ඒවා සුදුස්සන්ට පැවැරූහ. ඉනික්බිතිව 1972 වසරේදී මීතිරිගල ධම්ම සන්ති හිමි නමින් අසෝක වීරරත්නයෝ පැවිදි දිවියට පත්වූහ. එතැන් පටන් ආරණ්‍ය සේනාසනයේ හුදෙකලා කුටියක භාවනානුයෝගීව විසූ ධම්ම සන්ති හිමියෝ 1999 ජූලි 2 දා 80 හැවිරිදි වියේදී අපවත් වූහ. අදද කැනඩාව, ඇමෙරිකාව, ගී්‍රසිය, කොරියාව, ජපානය ආදී ලොව නන් දෙසින් පැමිණි යෝගාවචර භික්ෂුහු මීතිරිගල නිස්සරණ වනයේ බවුන් වඩති.

http://mawbima.lk/columns20170401MB20180430.php?id=1445

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress