රුපියල බාල්දු වීම හා තෙල් මිල
Posted on May 13th, 2018
ආචාර්ය නාලක ගොඩහේවා යුතුකම සංවාද කවය
නමුත් අද සිට යලිත් ලංකාව තුල තෙල් මිල ඉහල ගොස් ඇත. රජය පවසන්නේ ලෝක වෙළඳ පොලේ තෙල් මිල ඉහල ගිය නිසා ලංකාව තුලද තෙල් මිල ඉහල දැමීමට සිදුව ඇති බවයි.
නමුත් මේ තර්කය සම්පූර්ණයෙන්ම නිවැරදි නැත. මන්ද තවමත් ලංකාව තුල තෙල් මිල ඉහල දැමීමට අවශ්‍ය වන තරමට ලෝක වෙළඳ පොලේ තෙල් මිල ඉහල ගොස් නැති නිසාය.
පසුගිය කාලයේ ලෝක වෙළඳ පොලේ තෙල් මිල විශාල වශයෙන් අඩුවූ විට ලංකා තුල තෙල් මිල අඩුකිරීමද රජය කලේ මහජනතාවට දිය යුතු වාසියෙන් කොටසක් රජය තබාගෙන බව බොහෝ දෙනෙකු නොදන්නවා විය හැක.
2009 -2014 කාලය පසුගිය අඩ සියවස තුල ලෝකයේ තෙල් මිල ඉහලම අගයක තිබූ කාලයයි. මේ කාලයේ බොර තෙල් බැරලයක් ලෝක වෙළඳ පොලේ අලවි වූයේ ඇමෙරිකානු ඩොලර් 110ක පමන අගයකටය.
නමුත් 2014 අගෝස්තු සිට තෙල් මිල ක්‍රමයෙන් පහලට එන්නට පටන් ගත් අතර එවකට පැවති රජය ඒ අනුව ලංකාව තුල තෙල් මිල පහත දැමීමට කටයුතු කලේය.
උදාහරණයක් ලෙස ලෝක වෙළඳ පොලේ බොර තෙල් බැරලය ඩොලර් 110 සිට 90 ට අඩුවූ විට පසුගිය රජය ලංකාව තුල පෙට්‍රල් ලීටරය රුපියල් 167 සිට 157 ට අඩු කලේය
බොර තෙල් බැරලය ඩොලර් 90 සිට ඩොලර් 70 ට අඩුවූ විට පසුගිය රජය පෙට්‍රල් ලීටරය රුපියල් 157 සිට 150 ට අඩු කලේය
2015 ජනවාරී මාසයේ ලෝක වෙළඳපොලේ බොර තෙල් මිලා ඉතා විශාල ප්‍රමාණයකින් පහත වැටුනි. ඒ බැරලය ඩොලර් 70 සිට ඩොලර් 46 දක්වාය. ඒ වන විට පත්ව සිටි නව රජය පෙට්‍රල් ලීටරය රුපියල් 150 සිට 117 ට අඩු කලේය
කොටින්ම කියනවා නම ලෝක වෙළඳපොලේ මිල 35% පමන අඩුවන විට රජය ජනතාවගේ තෙල් මිල අඩුකලේ 22% කින් පමනි.
පසුගිය රජය සමයේ ලෝක වෙලඳ පොලේ තෙල් මිල වත්මන් අගයට සමීපව පැවති සෑම අවස්ථාවකම පසුගිය රජය ජනතාවට තෙල් දුන්නේ වත්මන් රජයට වඩා අඩු මිලකටය.
උදාහරණයක් ලෙස අපි පෙට්‍රල් මිළ ගනිමු
- 2004 ඔක්තොබර් තෙල් බැරලයක් $ 50 විට පෙට්‍රල් ලීටරය රුපියල් 70
- 2005 ජූනි තෙල් බැරලයක් $ 55 විට පෙට්‍රල් ලීටරය රුපියල් 80
- 2006 දෙසැම්බර් තෙල් බැරලයක් $ 65 විට පෙට්‍රල් ලීටරය රුපියල් 92
- 2009 දෙසැම්බර් තෙල් බැරලයක් $ 85 විට පෙට්‍රල් ලීටරය රුපියල් 115
වර්ථ්මානයේ ලෝක වෙලඳපොලේ තෙල් මිලේ උච්ඡාවචනය $ 70-$ 80 අතර වේ. ඒ නිසා පසුගිය රජයේ පූර්වාදර්ශය අනුව ලංකාවේ පෙට්‍රල් ලීටරය රුපියල් 110 ට වඩා වැඩි විය නොහැක.
එසේ නම් පෙට්‍රල් ලීටරය රුපියල් 117 සිට 137 ට ඉහල දම්මේ ඇයි ?
“රුපියල බාල්දු වීමේ ප්‍රතිවිපාක දැන් ඔබට පෙනෙනවාද?” කියා ජනතාව අර මඩ වගුරක් සිට තප්පුලන අහවල් ආර්ථික ඔස්තාර් ගොය්යාගෙන් ඇසිය යුතුය.