යුද විජයග්‍රහණය සමරන්නට ආණ්ඩුව බය ඇයි?
Posted on May 20th, 2018

ගාල්ල දෙව්සිරි පී. හේවාවිදාන ලන්ඩන් නුවර සිට  උපුටාගැණීම  මව්බිම

සිංහලයන්ට හැම දෙයක්ම මතක තියෙන්නේ සුමාන දෙකකට පමණයි කියා කිව්වේ ලෝකයේ දරුණුතම ම්ලේච්ඡ මිනීමරුවා වූ ප්‍රභාකරන්ය. ඒ කෘෘර මිනිසා මියගොස් වසර නවයක් ගත වුවද ඒකා කියූ දේ කොතරම් සත්‍යයක් දැයි මට හිතෙන්නේ අපේ මිනිසුන් දැන් හැසිරෙන විදිය දෙස බලන විටයි.

මෙයට වසර දහයකට විස්සකට පෙර ශ්‍රී ලංකාවේත් විශේෂයෙන් කොළඹ තිබුණු බිහිසුණු තත්ත්වය අපට දැන් අමතකය. උදේ වැඩට යන සැමියා ආපසු ගෙදර එතැයි බිරියට විශ්වාසයක් තිබුණේ නැත. කඩේට බඩුවක් ගන්න අපි ගියේ අප්‍රමාණ බයකිනි. පාන්දර සුපිරි ඉස්කෝලෙට ගිය පුතා-දුව හැන්දෑවට ගෙදර එන්නේ පෙට්ටියක් තුළ වැතිරී විය හැකිය යන අප්‍රමාණ බය මවුපියන් තුළ තිබිණි. සංගීත සන්දර්ශනයකට, සිතාම චිත්‍රපටයක් නැරඹීමට බොහෝ දෙනා අදිමදි කළේ පණපිටින් දැවී අඟුරු වීමට තිබූ ඉඩකඩ වැඩි නිසාය. කොළඹ හැම තැනම තිබුණේ මාර්ග ආරක්ෂක කපොලුය. හැම ගොඩනැඟිල්ලකම හා හැම පිට්ටනියකම අපි දුටුවේ මරණයේ සෙවණැලිය.

කොටි ත්‍රස්තවාදීන් බෝම්බ ගැසූ මහ බැංකු ගොඩනැඟිල්ල තුළ විලාප දෙමින් පිච්චී යන අපේම රට වැසියන් රූපවාහිනියෙන් නරඹමින් අපි විලාප දුන්නෙමු. මරදානේ බෝම්බයෙන් අහිංසක දූ පුතුන් අතර සියයක් පමණ බිහිසුණු මරණයකට ලක් වෙද්දී අපි ත්‍රස්තවාදීන්ට සාප කළෙමු. කැබිතිගොල්ලෑවේ බස් රථය තුළ අපේ දූ පුතුන් 50ක් කෑලි කැබලිවලට කැඩෙමින් මිය යද්දී අපි දවස් ගණනක් හැඬුවෙමු. අනේ මේ ව්‍යසනයෙන් අපි බේරාගන්නට කවුරුත් නැද්දෝයි අපි හදවතින් කෑගැසුවෙමු. නිතර නිතර හැඬුවෙමු. මුළු රටම භීෂණයට පත් කරමින් එදිනෙදා ජන ජීවිතය විනාශ කළ කොටි ත්‍රස්තවාදය මැඬ පැවැත්වීමට පුළුවන කොන්ද පණ ඇති කෙනකු නැතුව අපි දිනපතා ළතැ වුණෙමු. රටේ අනාගතය සුරැකීමට සිටි ජාතික නායකයන් එක පිට එක ඝාතනය කරමින් කුරිරු ත්‍රස්තවාදීන් ශ්‍රී ලංකාව අමු සොහොනක් කරද්දී ඔවුන්ව විනාශ කොට ජාතිය බේරා ගැනීමේ පරම ආසාවෙන් පෙළුණු ආරක්ෂක හමුදා ඊනියා සාම ගිවිසුමක් යටතේ කඳවුරුවලට සීමා කරන ලදී.

රටේ ජනාධිපතිනිය මේ කුරිරු ත්‍රස්තවාදීන්ට කොතරම් බය වූවාද කියනවා නම් ලංකාව ලේ විලක් කළ ප්‍රභාකරන් මිනීමරුවාට උතුරු හා නැඟෙනහිර අවුරුදු දහයකට බදු දෙන්නට යෝජනා කිරීමට තරම් ඇය නිවට වූවාය. (එදා එසේ කියූ ඇය අද “මම තමයි යුද්ධයෙන් හතරෙන් තුනක් ඉවර කළේ” යැයි නිර්ලජ්ජිතව තැනින් තැන කියන හැටි)

මේ යුද්ධයෙන් කෙසේ හෝ ත්‍රස්තවාදීන් පරාජය කොට රට හා ජාතිය බේරා ගත යුතුයැයි යන අභිමානවත් අධිෂ්ඨානය හමුදාව තුළත් මහජනතාව තුළත් ඇති කිරීමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සමත් විය. උදාර හමුදා නායකයන් වූ ගෝඨාභය, කරන්නාගොඩ, ෆොන්සේකා, රොෂාන් ගුණතිලක, ජගත් ඩයස්, ප්‍රසන්න ද සිල්වා, කමල් ගුණරත්න, රඹුක්පොත, චාගි ගාල්ලගේ, නන්ද මල්ලවආරච්චි, සරත් වීරසේකර, ආනන්ද පීරිස් හා මහේෂ් සේනානායක වැනි විරුවන් අවසන් යුද්ධය අභීතව නැඟෙනහිරට ගෙන ගියේය. මිලියන දෙකක ශ්‍රී ලාංකේය ජනතාව ඔවුන්ගේ ජය පතමින් වෙහෙර විහාරවල බෝධි පූජා පැවැත්වූහ. පින්කම් කළහ. වීරෝදාර හමුදාවට දිවා රෑ ආශීර්වාද කළහ. වසර 3ක අති බිහිසුණු අවසාන යුද්ධයෙන් පසු ශ්‍රී ලංකා වීර හමුදා භටයන් 2009 මැයි 18 දා නන්දිකඩාල් කළපුවේ දී ලෝකයේ කෘෘරතම මිනීමරුවා ප්‍රභාකරන් මරා දමමින් යුද්ධයෙන් ත්‍රස්තවාදය අවසන් කළ ලොව ප්‍රථම රට වශයෙන් ඉතිහාසයට එක්වූවේය. මුළු රටම සැනසුම් සුසුමක් හෙළුවේ එදාය.

නමුත් අද ශ්‍රී ලාංකිකයන් අප්‍රමාණ සතුටකින් භුක්ති විඳින එම නිදහස අපට ලබා දීම සඳහා සෙබළුන් 27,000ක් තම දිවි පිදූ බවත් තවත් 34,000ක් සදාකාලික ආබාධිතයන් වී ඇති බව අද බොහෝ දෙනකුට අමතකය.

ඇමැතිතුමා තම පවුල සමඟ අලුත්ම බී.එම්.ඩබ්ලිව්. මෝටර් රථයෙන් නුවරඑළි නිවාඩුවට යන්නේ රෝද පුටුවේ අසරණ වී බලා සිටින වීර හමුදා සොල්දාදුවාට පින් සිදුවන්නටය.

මන්ත්‍රිතුමන්ගේ “කොළොම්බියන්” බිරිය හා දරුවන් ජිම් එකට ගොස් අත් පා සොලවමින් රිසි සේ ව්‍යායාම් කරන්නට අද වරම් ලබා ඇත්තේ ඔහුගේ ආසනයේ පැලක අද දුක්විඳින දුප්පත් වීර සෙබළිය තම අත් පා රට වෙනුවෙන් දන් දුන් නිසාය.

ෂැන්ග්‍රිලා හෝටලයට ගොස් රු. දහදාහේ බීර වීදුරුවක් බොන “කොළොම්බියන්ට” රට වෙනුවෙන් දිවි පිදූ වීර සෙබළුන්ගේ අසරණ වූ දරුවන් මතක් වෙන්නේ නැත.

රජයෙන් නොමිලේ ලැබුණු මහා නිල මන්දිරවල රජ බොජුන් කන බොන මැති ඇමැතිවරුන්ට බොරු කකුලක් මිලදී ගැනීමට රු. 15,000ක් නොමැති නිසා රැකියාවකට යෑමට නොහැකිව ගෙදරට වී සුසුම් හෙළන නාවික භටයා ගැන දැනගන්නට වුවමනාවක් නැත. මියගිය හමුදා සෙබළාගේ දරු පවුල රැක බලා ගැනීම හා ආබාධිත සෙබළාට දිවි තිබෙන තුරු බෙහෙත් කිරීමේ යුතුකම් හමුදාවට පමණක් අයත් දෙයක් කියමින් අපි කොළඹට වී ජොලි කරමු. පාටි දමමු. ඩිස්කෝ ඩාන්ස් නටමු.

සමහර කුරුඳුවත්තේ නෝනලාට ආබාධිත සෙබළකු මතක් වෙන්නේ රෝද පුටුවක් පරිත්‍යාග කොට පත්තරේට මුහුණ දමා ගන්නට අවශ්‍ය විට පමණය. (පින්තූරයක් වෙනුවෙන් වීර සෙබළකු අසරණ තත්ත්වයට පත් කොට රටට පෙන්වීම ඔහුගේ අභිමානයට කැළලක් යැයි මට හිතේ. හමුදාව මෙයට තවදුරටත් ඉඩ දිය යුතු නැත)
කොළඹ ධනවත් පාසල් දරුවකුගෙන් “අබිමංසල” මොකක්දැයි ඇහුවොත් “ඒක මේ කොල්ලුපිටිය පැත්තේ අලුතෙන් දාපු ඊඅඡ්ව්ච්ක රෙස්ටුරන්ට් එකක් නේදැ”යි ඔහු ඉඳුරාම ඔබෙන් අසනවා ඇත. ඒ තරමටම යුද්ධය හා රට රැකගත් සෙබළුන් ඔවුන්ට අමතකය.

රට බේරා ගැනීමට ගොස් සදාකාලික ආබාධිත තත්ත්වයට වැටුණ සෙබළුන්ට ශාරීරික හා මානසික සුවය ලබාදීම සඳහා “අබිමංසල” නිවාඩු නිකේතන සංකල්පය බිහි කිරීම ගැන එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ජාතියේ ගෞරවය හිමි විය යුතුය. වත්මන් හමුදාපති මහේෂ් සේනානායකගේ පෞද්ගලික අධීක්ෂණය යටතේ පවත්වා ගෙන යන කුරුණෑගල, අනුරාධපුර හා කඹුරුපිටියේ ඇති “අබිමංසල්වලින්” මෙම ආබාධිත සෙබළුන්ට කෙරෙන උදාර සේවය ගැන ලිවීමට මෙහි ඉඩ මදිය.

යුද හමුදා සේවා වනිතා පදනම, ගම්පහ වික්‍රමාරච්චි පදනම ඇතුළු දිවයිනේ ආයතන ගණනාවක්ම මෙම ආබාධිත සෙබළුන්ගේ හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ දියුණුව වෙනුවෙන් ඇප කැප වී දිවා රෑ වෙහෙසෙති. ආබාධිත සෙබළුන්ගේ විවාහ මංගල්‍ය සංවිධානය කරමින් හා ඒවාට මුදලින් උදවු කරමින් “සියනෑවේ අප” සංවිධානය ද විශාල සේවයක් කරති.

අබිමංසල් තුනේ සිටින භටයන් 128 හැරුණුවිට තවත් තුවාල ලැබූ ආබාධිත භටයන් සිය ගණනක් රාගම රණවිරු සෙවණ, අත්තිඩියේ සෙත් මැඳුර ඇතුළු තවත් රණවිරු ගම්මාන තිහ හතළිහක සිටිති. එයට අමතරව පහළොස්දහසක් පමණ ආබාධිත භටයන් අද ඔවුන්ගේ නිවෙස්වල ප්‍රතිකාර ගනිමින් සිටින බව අප අමතක නොකළ යුතුය. ඔවුනට තම පවුල් ජීවත් කිරීම සඳහා දහසක් ගැටලු ඇති බව අමුතුවෙන් කිව යුතුද?

එහෙත් රට බේරාගත් මේ වීරෝදාර සෙබළුන් රටේ තැන තැන දුක් විඳින බව නොදන්නවා මෙන් අපි හැසිරෙමු.

තමන්ගේ පුතාගේ පරණ ස්මාර්ට් ෆෝන් එක වෙනුවට රු. ලක්ෂ දෙකේ අයි ෆෝන් (ඪ නඩධදඥ 7) දුරකථනයක් අරන් දෙන්නට පසුබට නොවන කොළොම්බියන් රජයේ නිලධාරියාට අසරණ රණවිරු පවුලක දූ පුතුන් හතර පස් දෙනකුට ඇඳුම් දෙක තුනක් පොත් මිටියක් අරන් දෙන්නට බැරි ඇයි?.

‘සුපර් මාකට්’ එකට ගොස් සතියේ කෑම වෙනුවෙන් රු. 40,000ක් ලෝස් නැතුව වියදම් කරන කුරුඳුවත්තේ නෝනලාට රුපියල් දෙතුන් දාහක හාල් පොල් කුළුබඩු මල්ලක් රැගෙන රණවිරු නිවෙසකට ගොස් “දුවේ ඔයා මේක තියා ගන්න ඔයාගේ තාත්තා රට වෙනුවෙන් දිවි දුන් නිසා තමයි අපිට මෙහෙම අද නිදහසේ ඇවිදින්න පුළුවන්” කියා පරිත්‍යාගයක් කරන්න හිත නොදෙන්නේ ඇයි?.

රටේ ස්වෛරීභාවය රැක ගැනීම සඳහා වීර සෙබළුන් 35,000ක් දිවි දුන් බවට පමණක් නොව රටේ 30 වසරක යුද්ධයක් තිබුණු බවත් අමතක කරන්නට වත්මන් යහපාලන රජය බලවත් උත්සාහයක යෙදේ.

යුද්ධය දිනා වසරකට පසු රට බේරා ගැනීම සඳහා දිවි දුන් වීරෝදාර හමුදා භටයන් සිහි කිරීමට කොළඹ දී ලක්ෂ සංඛ්‍යාත ජනකායක් ඉදිරියේ පැවැති අභිමානවත් රැලිය කාට අමතක කළ හැකිද? යුද්ධයට සහභාගි වූ වීර සෙබළුන් හා සේනාධිපතිවරු, රණවිරු මවුපියන් හා ජනාධිපතිතුමා ඉදිරියේ සාඩම්බරවත් ලෙස ආචාර පෙළපාළියේ යෙදෙද්දී ඔවුන් නිසා ජීවිත රැක ගත් ලක්ෂ සංඛ්‍යාත ශ්‍රී ලංකා ජනතාව ජාති ආගම් කුල භේදයකින් තොරව ඔවුනට අත්පුඩි ගැසූහ. ජය ඝෝෂා නැඟූහ. එදා මේ රජය හා ජනතාව හමුදා භටයන්ට කළගුණ සැලකුවේ එසේය.

නමුත් එදා රජයේ මෙහෙයුමෙන් වාර්ෂිකව පැවැත්වුණු මේ විශිෂ්ට ආචාර පෙළපාළිය හා නිදහස් සැමරුම යහපාලනය රජය විසින් අමු අමුවේ මරා දමා ඇත. රාජපක්ෂ යුගයේදී දේශපාලන භේදයකින් තොරව සිංහල, දෙමළ, මුස්ලිම් අපි සැවොම ඉතාමත්ම අභිමානවත්ව සැමැරූ යුද විජයග්‍රාහී දිනය වාර්ෂික කැලැන්ඩරයෙන් අතුගා දමන්නට තරම් රජයට හිතක් පපුවක් නැති වී ඇත. ඒ කැනඩාව, ඇමෙරිකාව හා බි්‍රතාන්‍යයේ සුද්දන්ට ඇති බය නිසාය.

ඒ වෙනුවට මැයි 18දා ඇඟ බේරා ගැනීම සඳහා විනාඩි තිහක පමණ ඉතා සුළු සමරු උත්සවයක් පැවැත්වීමට යහපාලන රජය කටයුතු කිරීම රට බේරා ගැනීමට දිවි දුන් 27,000ක් රණවිරුවන්ට කෙරෙන බරපතළ අවමානයකි.

නමුත් ඔවුන් නිදහසට කරුණු වශයෙන් කියන්නේ රණවිරු උත්සවය පැවැත්වීම සහජීවනයට බාධාවක් කියාය. මේ මොන බම්බු කතාවක්ද, ශ්‍රී ලංකා යුද හමුදාව 2009 මැයි 18 දා බේරා ගත්තේ ශ්‍රී ලංකාවේ සිංහල ජනතාව පමණක් නොවේ. දෙමළ, මුස්ලිම්, බර්ගර් හැම ජන කොට්ඨාසයක්ම කෘෘර ප්‍රභාකරන්ගේ පරාජයෙන් එදා සැනසුම් සුසුම් හෙළුවෝ වෙති. ඩයස්පෝරාකාරයන් සහ කොටි ගැත්තන් හැරුණු විට ලෝකයේ දරුණුතම මිනීමරු නායකයා මරා දැමීම ගැන දුක් වන කිසිවකුද නැත.

ඒ නිසා වාර්ෂිකව මැයි 18දා ඉහළින් රණවිරු උත්සවය පැවැත්වීම සහජීවනයට බාධාවක් වන්නේ කෙසේද?

මිනිස් බෝම්බවලට හා මැෂින් තුවක්කුවලට ගොදුරු වෙමින් සිටි සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් ඇතුළු සෑම රටවැසියකුම අභීතව බේරා ගත් ශ්‍රී ලංකා යුද හමුදාව ලැබූ විජයග්‍රහණය නිසි පරිදි සැමරීමට ශ්‍රී ලාංකිකයන් වන අපට අවසර නැත. එහෙත් 65,000ක් වන අහිංසක ළමා ළපටින් කාන්තාවන් අමු අමුවේ මරා දැමූ කෘෘර මිනීමරුවා ප්‍රභාකරන් ඉහළින් සමරන්නට, ඔහු වෙනුවෙන් පුද පූජා පවත්වන්නට උතුරේ විග්නේශ්වරන්, සම්පන්දන් ඇතුළු කොටි ගැත්තන්ට ඇති තරම් අවසර තිබේ. ඔවුන් පසුපස පොලිසිය පන්නන්නේද නැත. මැයි 18දා උතුරේ දෙමළ සංහාර දිනයක් ප්‍රකාශ කළ යුතු යැයි සශිකලා මන්ත්‍රි ගැහැනිය යෝජනා කරන විට අපේ ඉහළ පෙළේ ඇමැතිවරයෙක් එය බොහොම හොඳ අදහසක් යැයි රජයේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේ පසුගිය 16 බදාදාය. ලෝකයේ කෘෘරතම මිනීමරුවාට මහත් ගෞරවයෙන් ප්‍රභාකරන් මහත්මයායි කියමින් තම දීන බවද ඔහු රටට හෙළි කළේය.

මහා ජාතියට එක නීතියකුත් කොටි අනුගාමිකයන්ට තවත් නීතියකුත් ක්‍රියා කරන්නේ කාගේ වුවමනාව පිටද? මේ රටේ ඇති විවිධ ජාතික හා පුරවැසි සංවිධාන මේ ගැන හඬක් නොනඟන්නේ ඇයි?

ඇමෙරිකාව, මහා බි්‍රතාන්‍ය, තුර්කිය, ඉරානය ඇතුළු ලෝකයේ රටවල් විශාල ගණනක් එම රටවල යුද ජයග්‍රහණ උත්සවාකාරයෙන් සමරති. නරඹන්නන් දස දහස් ගණනකගේ ජයඝෝෂා මැද අගමැති හෝ ජනාධිපතිවරයා ඉදිරියේ රටේ හමුදා භටයෝ අභිමානවත් ලෙස ආචාර පෙළපාළියේ ගමන් කරති. නමුත් ත්‍රස්තවාදය මුළුමනින්ම තුරන් කළ ලෝකයේ එකම රට වන ශ්‍රී ලංකාවේ අපිට ඒ අති විශිෂ්ට ජයග්‍රහණය නිසි සේ සමරන්නට අපේම රජය ඉඩ දෙන්නේ නැත. ඒ යුද්ධය දිනා ගැනීමට අපට රුපියලක්වත් ආධාර දීම ප්‍රතික්ෂේප කළ බටහිර රටවලට ඇති බය නිසාය. වත්මන් රජයේ ලොක්කන් සුද්දන් ඉදිරියේදී දීනයන් ලෙස මෙසේ හැසිරෙන්නේ ඇයි?

“සෙබළුනේ තවමත් අපි ඔබ සමඟයි” යන අභිමානවත් පණිවුඩය වගකිවයුත්තන්ට දැනෙන්නට හා රිදෙන්නට ඔබ රටට පෙන්විය යුතුය. මේ වීර සෙබළු ඔවුන්ගේ වර්තමානය අපේ අනාගතය වෙනුවෙන් පුද කළ ජාතික විරුවන්ය. ඔවුන් රැක බලා ගැනීම හමුදාවට පමණක් භාරකොට ඇඟ බේරා ගැනීම කෙළෙහි ගුණ නොදන්නා ජාතියක් වශයෙන් අප නොකළ යුත්තකි.

රට බේරාගත් අභිමානවත් සෙබළා හා සෙබළිය ආබාධිත අසරණ පුද්ගලයකු බවට පත් වූ පසු ඔබ ඔහු හැරදා නොයන්නේය යන උතුම් පණිවුඩය ඔවුන්ට නොපමාව ලබා දීම ශ්‍රී ලංකාවේ පුරවැසියන් වන අපගේ පරම යුතුකමයි.

ගාල්ල දෙව්සිරි පී. හේවාවිදාන
ලන්ඩන් නුවර සිට

2 Responses to “යුද විජයග්‍රහණය සමරන්නට ආණ්ඩුව බය ඇයි?”

  1. ranjit Says:

    Devsiri be patient all will change very soon as soon as we get a decent government which loves the motherland and it’s people specially the war heroes who sacrificed their own lives to save our motherland. War heroes and the war cannot be forgotten so easily. All the western hypocrites still commemorate the first world war and the second world war in their own countries and other wars because they are proud of their achievements and victories. They are proud of their armed forces etc. Ranil and his clowns are all traitors to our Motherland. What they did during Prabakaran time cannot be forgotten so easily. He almost gave half of the country to that butcher of kankasanturai. He is a half brother of Prabakaran. If we don’t do something urgently this son of a gun will handover my country to the LTTE butchers again. We need to unite as one nation to stop this looming LTTE menace. Already vigneswaran has taken Prabakaran’s place and dancing with the devil therefore we need to be vigilant and alert. Sinhala nation must be saved at all cost.

  2. Christie Says:

    “ඒ යුද්ධය දිනා ගැනීමට අපට රුපියලක්වත් ආධාර දීම ප්‍රතික්ෂේප කළ බටහිර රටවලට ඇති බය නිසාය. වත්මන් රජයේ ලොක්කන් සුද්දන් ඉදිරියේදී දීනයන් ලෙස මෙසේ හැසිරෙන්නේ ඇයි?”

    එන්ගලන්තයේ කෝබිනුත් තව ඉන්දියන් කාරයන්ගේ පස්ස ලෙවකන උනුත් ඉන්දියානු ත්‍රස්තයන්ට කත් අදිති.

    අපිට බටහිරින් ගොඩක් උදව් ලැබුනි.

    අමෙරිකාව ඉන්දියානු ත්‍රස්තයන්ට ආවුද රැගෙන ආ නැවගිල්ල වන්නට නැව තිබෙන තැන් දැන්නුවේ ඇමෙරිකාවය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress