ආණ්ඩුව රණවිරු සමරුව පසෙකට දමද්දී උතුර ජන සංහාරක දිනය සමරනවා
Posted on May 22nd, 2018

මතුගම – වසන්ත කුමාර   උපුටාගැණීම  මව්බිම

අද මේ රටේ රණවිරුවන් සැමැරීම පසෙක දමා, නොසලකා හැර තිබෙන තත්ත්වයක් තුළ උතුරේ සියලු පාසල්වල කොඩිය අඩකුඹු කරලා ජන සංහාරක දිනයක් ලෙස සමරන්නට දීලා ආණ්ඩුව නිකම් බලා සිටින තත්ත්වයකට පත්ව ඇතැයි හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද රාජපක්‍ෂ මහතා පසුගිය 20දා පානදුරේදී කීවේය.

බස්නාහිර පළාත් සභා මන්ත්‍රි හිටපු පළාත් සෞඛ්‍ය ඇමැති ජගත් අංගගේ මහතාගේ දේශපාලන දිවියට වසර 40ක් පිරීම සහ එතුමාගේ පළාත් සභා දේශපාලන දිවියට වසර 25ක් පිරීම නිමිත්තෙන් පානදුර නගර සභා ශාලාවේදී පසුගිය 20දා සවස පැවැති උත්සවය අමතා මහින්ද රාජපක්‍ෂ මහතා මෙසේද පැවැසීය.

”අපි යුද්ධ කළේ දෙමළ ජනතාවත් සමඟ නෙවෙයි. යුද්ධය අවසන් කරන්න සටන් කළේ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදී කණ්ඩායමක් සමඟයි. රජය දෙමළ ජනතාව සමඟ කිසිවිටකත් යුද්ධ කළේ නැහැ. දෙමළ ජාතීන් සමඟ මේ රටේ මිනිස්සුන්ට ප්‍රශ්නයක් නැහැ. අද උතුරේ දකුණෙ දෙපැත්තෙම දරුවෝ නිදහසේ පාසල් යනවා. ඉගෙන ගන්නවා.

අපි යුද්ධය අවසන් කරලා පාරවල් ටික හදලා, දුම්රිය මාර්ග හදලා උතුර – දකුණ යා කරලා ජාතීන් අතර සමඟිය සාමදානය ඇති කළා. මාර්ග පමණක් නෙවෙයි හැම පාසලකම විද්‍යා අධ්‍යාපනය ලබන්නට හැකි ආකාරයට යාපනයේ පවා අපි පාසල් දියුණු කළා. අපි මේ සියල්ල කළේ යුද්ධය අවසන් වූ කෙටි කාලයේදීයි. නමුත් අද කිසිම වැඩක් කෙරෙන්නේ නැහැ. පාලමක්, පාරක්, බෝක්කුවක් හැදෙන්නේ නැහැ.

හැම වෙලාවෙම කතා කරන්නේ අපි ණය ගත්තා කියලයි. අපි ගත්ත ණයවලින් රටට ලෝකෙට පේන්න වැඩ කරලා තියෙනවා. නමුත් මේ ආණ්ඩුව අපේ ණය ගැන කතා කරමින් ගත්ත ණයවලින් කළ දෙයක් නැහැ. අපිට හොරා කියමින් ඔවුන් අමු අමුවේ රටේ ධනය හොරකම් කරනවා. මේක පික්පොකට් ආණ්ඩුවක් බවට පත්ව තියෙනවා.

විශාල ණය බරක් තිබියදී අපි පොහොර සහනාධාර දුන්නා. පාසල් දරුවන්ට ඇඳුම් ටික දුන්නා. සමෘද්ධි සහනාධාර දුන්නා. නමුත් මේ ආණ්ඩුව මහජන ආධාරයෙනුත් මුදලක් කපා ගන්න කටයුතු කර තිබෙනවා. අපේ කාලයේදී රට තුළ ආර්ථික ස්ථාවර බවක් තිබුණා. රුපියල යම් මට්ටමක පවත්වාගෙන ගියා. නමුත් අද මේ සියල්ල කඩා වැටී තිබෙනවා.

අද මේ රටේ ජනතාවට උසුලාගත නොහැකි ලෙස බදු බර පටවා තිබෙනවා. ජීවන වියදම විශාල ලෙස ඉහළ ගොස් තිබෙනවා. ආණ්ඩුව ආවේ වෙනස්කම් කරන බවට පොරොන්දු දීලයි. දැන් කරන්නේ වෙසක් පොසොන් මාරු කිරීමේ වෙනස්කම්. නමුත් මේ තුළ සිදුවන්නේ අපේ රටේ ජනතාව සමඟ තිබුණු බැඳීම නැතිව යෑමයි. රට තුළ විජාතික සංස්කෘතියක් ඇති කිරීම සඳහා ගන්නා මූලික පියවර ලෙස මේවා සිදුවන බව පැහැදිලියි.”

 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress