ජනතාව විසින් සෘජුවම සිය රාජ්‍ය නායකයාව තෝරා ගැනීමට තිබූ අයිතිය අත්හැරීම, ජනමතවිචාරණ අයිතිය අත්නොහැරීම, 83 ව්‍යවස්ථාව සහ වැනීසියේ වෙළෙන්දා…!
Posted on May 28th, 2018

නීතීඥ අරුණ ලක්සිරි උණවටුන

මේ දිනවල සමාජයේ ප්‍රධාන කතිකාව වී ඇත්තේ විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම සම්බන්ධව ඇති කතාවයි. විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම සමග බද්ධවී ඇති නීතිමය පදනම ජනතාවගේ පරමාධිපත්‍යය ඇසුරෙන් සාකච්ඡා කිරීමට මේ ලිපිය මගින් අපේක්ෂා කරනු ලබයි.

විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීම යනු ජනතාව විසින් සෘජුවම ජනාධිපතිවරණය මගින් තමන්ගේ රාජ්‍ය නායකයා කවුද? යන්න තෝරා ගැනීමට තිබූ අවස්ථාව අහිමිකර ගැනීමයි. 1977 පැවති පාර්ලිමේන්තු මැතිවරණයට පෙර ජනතාවට දුන් පොරොන්දුවක් අනුව ජේ.ආර්. ජයවර්ධන මහතා විසින් රටේ රාජ්‍ය නායකයා කවුද? යන්න ජනාධිපතිවරණයකින් තෝරා ගැනීමට ජනතාවට ලබා දුන් අයිතිය තමන්ට අනවශ්‍ය බව ජනතාව විසින් 2015 ජනවාරි පැවති ජනාධිපතිවරණයේ දී සහ 2015 අගෝස්තු පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ජනවරමකින් ප්‍රකාශ කළේය. එකී මැතිවරණ වලදී විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීමට ජනතාව විසින් පැහැදිලිවම ඡන්දය ප්‍රකාශ කළ අතර එසේ  කිරීමෙන් සිදුකරන ලද්දේ රටේ රාජ්‍ය නායකත්වය කවුරුන් ද යන්න රටේ බහුතර ජනතාව විසින් සෘජුවම තෝරා ගැනීමට එතෙක් තිබූ අයිතිය තව දුරටත් අනවශ්‍ය බව රටේ ජනතාව විසින් තීරණය කිරීමත් එයට එකගවිමත් ප්‍රකාශ  කිරීමයි.

1977 පැවති පාර්ලිමේන්තු මැතිවරණය සහ එහිදී දුන් ඡන්ද පොරොන්දු….

1977 පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය විසින් මැතිවරණ පොරොන්දු රාශියක් ලබා දෙන ලදී. ඒ අතර ජනතාව විසින් සෘජුවම සිය රාජ්‍ය නායකයා තෝරා ගන්නා ජනාධිපතිධූරයක් ඇති කිරීමත් ජනතාව විසින් නීති පැනවීමේ සහ සිය මතය ප්‍රකාශ කරන ජනමතවිචාරණ පැවැත්වීමත් ඒවා අතුළත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කර ඉදිරිපත් කිරීමත් වෙනත් කරුණු අතර විය. ඒ අනුව අතිවිශාල බහුතර ඡන්දයෙන් බලයට පැමිණි එක්සත් ජාතික පක්ෂය එකී පොරොන්දු අතරින් ජනතාව විසින් සෘජුවම සිය රාජ්‍ය නායකයා තෝරා ගන්නා ජනාධිපතිධූරයක් ඇති කිරීමත් ජනතාව විසින් නීති පැනවීමේ සහ සිය මතය ප්‍රකාශ කරන ජනමතවිචාරණ පැවැත්වීමත් අතුළත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ජනතාව හමුවේ තබන ලද අතර එය 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ලෙස මේ දක්වා බලාත්මකව පවතී.

1977 මැතිවරණයෙන් පසු ඉදිරිපත් කළ එකී 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ජනතාව විසින් නැවත අනුමත කිරීමක් අවශ්‍ය නොවූයේ ඒ සදහා මැතිවරණයෙන් ජනවරමක් එවකටත් ලැබී තිබූ හෙයිනි. ඒ අර්ථයෙන් ගත්විට ජනතාව විසින් සෘජුවම සිය රාජ්‍ය නායකයා තෝරා ගන්නා ජනාධිපතිධූරය ජනතාවට අනවශ්‍ය බවට 2015 ජනතාව විසින් ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය යන ජනවරම් 2ක් මගින් තීරණය කර ඇති හෙයින් විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමට නීති පැනවීමට එනම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරමින් විධායක ජනාධිපති ධූරය ඉවත් කිරීමට වර්තමාන පාර්ලිමේන්තුවට සහ වත්මන් ජනාධිපතිවරයාට හැකියාව ඇති බව බැලූ බැල්මට පෙනී යයි. එසේ වුවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබද වැඩිදුර හැදෑරීමේදී එහි ඇති ගැඹුර සහ පරිධිය අප සිතනවාට වඩා විශාල බවත් පෙනී යයි.

ඒ සදහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ව්‍යවස්ථාව හොදින් අධ්‍යයනය කළ යුතුය.

(83) 82 වැනි ව්‍යවස්ථාවේ විධිවිධානයන්හි පටහැනිව කුමක් සඳහන්ව ඇත ද –

(අ.) 1වැනි, 2 වැනි, 3 වැනි, 6 වැනි, 7 වැනි, 8 වැනි, 9 වැනි, 10 වැනි සහ 11 වැනි ව්‍යවස්ථාවල හෝ මේ ව්‍යවස්ථාවෙහි හෝ විධිවිධාන සංශෝධනය කිරීම සඳහා වූ හෝ පරිච්ඡින්න කොට ප්‍රතියෝජනය කිරීම සඳහා වූ හෝ ඒ ව්‍යවස්ථාවල යම් විධිවිධානයකට අනනුකූල වන්නා වූ හෝ පනත් කෙටුම්පතකට සහ

(ආ) 30 වැනි ව්‍යවස්ථාවේ (2) වැනි අනුව්‍යවස්ථාවේ නැතහොත් 62 වැනි ව්‍යවස්ථාවේ (2) වැනි අනුව්‍යවස්ථාවේ විධිවිධාන සංශෝධනය කිරීම හෝ පරිච්ඡින්න කොට ප්‍රතියෝජනය කිරීම හෝ සඳහා වූ නැතහොත් ඒ විධිවිධානවලට අනනුකූල වන්නා වූ දඅවස්ථාවෝචිත පරිදි ජනාධිපතිවරයාගේ ධුර කාලය සාවුරුද්දක් ඉක්මවා දීර්ඝ කරන්නා වූ නැතහොත් පාර්ලිමේන්තුව පවත්නා කාලය සාවුරුද්දක් ඉක්මවා දීර්ඝ කරන්නා වූ ද පනත් කෙටුම්පතකටපක්ෂව දෙන ලද ඡන්ද සංඛ්‍යාව (නොපැමිණි මන්ත්‍රීවරයන් ද ඇතුළුව) මුළු මන්ත්‍රී සංඛ්‍යාවෙන් තුනෙන් දෙකකට අඩු නොවේ නම් දජනමත විචාරණයක දී එය ජනතාව විසින් අනුමත කොට ඇත්නම් ද, 80 වැනි ව්‍යවස්ථාවට අනුකූලව ජනාධිපතිවරයා විසින් එහි සහතිකයක් ස්වකීය අත්සන ඇතිව සටහන් කොට ඇත්නම් දඒ පනත් කෙටුම්පත නීතිය බවට පත් වන්නේ ය.

30.2 ව්‍යවස්ථාව යනු ජනරජයේ ජනාධිපතිවරයා ජනතාව විසින් තෝරා පත් කර ගනු ලැබිය යුතු අතර පස් අවුරුදු කාලයක් ධූරය දරන්නේ ය

ඉහත 30.2 ව්‍යවස්ථාව පමණක් නොව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 1වැනි, 2 වැනි, 3 වැනි, 6 වැනි, 7 වැනි, 8 වැනි, 9 වැනි, 10 වැනි සහ 11 වැනි ව්‍යවස්ථාවල හෝ 83 ව්‍යවස්ථාව සහ 62.2 ව්‍යවස්ථාව සංශෝධනය කිරීම හෝ පරිච්ඡින්න කොට ප්‍රතියෝජනය කිරීම හෝ සඳහා වූ නැතහොත් ඒ විධිවිධානවලට අනනුකූල වන්නා වූ ද පනත් කෙටුම්පතක් පක්ෂව දෙන ලද ඡන්ද සංඛ්‍යාව (නොපැමිණි මන්ත්‍රීවරයන් ද ඇතුළුව) මුළු මන්ත්‍රී සංඛ්‍යාවෙන් තුනෙන් දෙකකට අඩු නොවේ නම් දජනමත විචාරණයක දී එය ජනතාව විසින් අනුමත කොට ඇත්නම් ද, 80 වැනි ව්‍යවස්ථාවට අනුකූලව ජනාධිපතිවරයා විසින් එහි සහතිකයක් ස්වකීය අත්සන ඇතිව සටහන් කොට ඇත්නම් දඒ පනත් කෙටුම්පත නීතිය බවට පත් වන බව දක්වා ඇත.

එනම් 83 ව්‍යවස්ථාව මගින් ජනතාව විසින් තෝරා ගන්නා ජනාධිපතිවරයාට නියම කර ඇති වගකීම් රාශියක් පවරා ඇත. 1977 පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු රටට හදුන්වා දුන් ජනමතවිචාරණවල වගකීම ප්‍රධාන වශයෙන් පවරා ඇත්තේ ජනතාව විසින් තෝරා පත් කර ගනු ලැබිය යුතු ජනාධිපතිවරයාටය. එමෙන්ම එකී ජනමතවිචාරණයේ ප්‍රතිඵලය අනුව එය නීතියක් බවට පත්වන්නේ ජනතාව විසින් තෝරා පත් කර ගනු ලැබිය යුතු ජනාධිපතිවරයා විසින් ස්වකීය අත්සන ඇතිව සටහන් කොට ඇත්නම්ය. එමෙන්ම 86, 87 සහ 88 ව්‍යවස්ථා අනුවද ජනමතවිචාරණවලදී ජනතාව විසින් තෝරා පත් කර ගනු ලැබිය යුතු ජනාධිපතිවරයාට ඇති වගකීම දක්වා නියම කර ඇත. 4.(අ) ව්‍යවස්ථාවේද ජනමතවිචාරණ සම්බන්ධව දක්වා ඇත.

ජනතාව විසින් සෘජුවම සිය රාජ්‍ය නායකයාව තෝරා ගැනීමට තිබූ අයිතිය අත්හැරියද, ජනමතවිචාරණ අයිතිය ජනතාව විසින් අත්නොහැරීම….

2015 ජනාධිපතිවරණයේ දී සහ පාර්ලිමේන්තු මැතිවරණයේ දී ජනතාව විසින් සෘජුවම සිය රාජ්‍ය නායකයාව තෝරා ගැනීමට තිබූ අයිතිය අත්හැරියද කිසිම අවස්ථාවක ජනතාව විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති ජනමතවිචාරණ අයිතිය අත්නොහැරි බව විධායක ජනාධිපතිධූරය ඉවත් කිරීමට ජනවරමක් ඉල්ලා සිටීමෙන් සහ ජනමතවිචාරණ අයිතිය අත්හැරීමට ජනතාවගෙන් ජනවරමක් ඉල්ලා නොසිටීමෙන්ම සනාථ වේ. ඒ අනුව ජනතාව විසින් සෘජුවම සිය රාජ්‍ය නායකයාව තෝරා ගැනීමට තිබූ අයිතිය අත්හැරියද කිසිම අවස්ථාවක ජනතාව විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති ජනමතවිචාරණ අයිතිය අත්නොහැරි බව පැහැදිලිය. 

වැනීසියේ වෙළෙන්දාට අනුව මස් රාත්තල ලබා ගැනීමේදී රුධිරය ගැලිමට ඉඩ නොදීම සහ විධායකය තෝරා ගැනීමට ජනතාවට ඇති අයිතිය අහිමි කර ගැනීම සහ ජනමතවිචාරණ අයිතිය අහිමිකර නොගැනීම අතර ඇති සම්බන්ධය.

වැනීසියේ වෙළෙන්දාට අනුව ෂයිලොක් විසින් ඇන්ටෝනියෝගෙන් මස් රාත්තල ඉල්ලා සිටි අවස්ථාවේ එය විසදන ලද්දේ මස් රාත්තල ලබා ගත හැකි නමුත් රුධිරය සෙලවීමට නොහැකි බවට තර්කයක් ඉදිරිපත් වීමෙනි. ජනතාව විසින් සෘජුවම සිය රාජ්‍ය නායකයාව තෝරා ගැනීමට තිබූ අයිතිය අත්හැරීමට 2015 දී ජනවරමක් ලබා දුන්නද ජනාධිපති ධූරය සමග බැදී ඇති ජනමතවිචාරණ අයිතිය ජනතාව විසින් අත්හැරීමක් නොකළ අතර වත්මන් ජනාධිපතිවරයා හෝ පාර්ලිමේන්තුව විසින් ඒ සදහා ජනවරමක්ද ජනතාවගෙන් ඉල්ලා සිට නැත. ඒ අනුව වත්මන් ජනාධිපතිවරයාට සහ පාර්ලිමේන්තුවට ජනාධිපතිධූරය ඉවත් කිරීමට ජනවරමක් ලැබී තිබුණද ජනමතවිචාරණය සම්බන්ධව සිදුකළ යුතු වෙනස්කම් සිදු කිරීමට ජනවරමක් ලැබී නැත. 83 ව්‍යවස්ථාවේ ජනතාව තෝරාගන්නා ජනාධිපතිට අදාල කොටස් සංශෝධනය කිරීම පාර්ලිමේන්තුව විසින් පමණක් කිරීමට ජනවරමක් ලැබී නැත.

ජනාධිපතිධූරය ඉවත් කිරීමට යාමේදී ජනමතවිචාරණ සම්බන්ධව සිදුකරන්නට යන වෙනස් කම් සිදුකළ යුත්තේ අලුතින් ජනතාවගෙන් ජනවරමක් ලබා ගෙන පමණි. මන්ද විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීමට ලබා ගත් ජනවරම වෙනත් ක්ෂේත්‍ර සදහා ව්‍යාප්ත කිරීමට ජනාධිපතිවරයාට හෝ පාර්ලිමේන්තුවට හැකියාවක් නැති අතර එසේ සිදුකරන්නේ නම් එය ප්‍රජාතන්ත්‍රවාදයටත්, යහපාලනයටත් ප්‍රතිවිරුද්ධ වේ. ජනමතවිචාරණ සම්බන්ධව සිදුකළ යුතු වෙනස්කම් පාර්ලිමේන්තුවට පමණක් තනිව සිදුකළ නොහැකි අතර එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාට සහ 1977 ජනවරමටත් 2015 ජනවරමටත් පටහැනි වේ.

ඒ අනුව විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීමට යාම එකක් කඩතොලු මකන්නට ගොස් සියක් කඩතොලු හදාගත් ඉදුරුවේ ආචාරීට වූ නස්පත්තියම වත්මන් පාර්ලිමේන්තුවට අත්නොවේ යැයි කිව හැකිද?

නීතීඥ අරුණ ලක්සිරි උණවටුන

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress